මනුෂ්‍යත්වයට දෑත් දිගුකරන කාත්තන්කුඩිය

 ඡායාරූපය:

මනුෂ්‍යත්වයට දෑත් දිගුකරන කාත්තන්කුඩිය

 

මුස්ලිම් බැතිමතුන්ගේ පාරිශුද්ධ වූ හජ්ජි වන්දනා සමය නිමා වී හජ්ජි අලුත් අවුරුද්ද උදා විය. මුස්ලිම් හදවත් තුළ ගොඩගැසී ඇති ලැජ්ජාව හා සංතාපය තවදුරටත් දුරුවී නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් තම ප්‍රදේශයේ අයකු වීම ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු ලෙස ඔවුන්ටම ආවේණික වූ සංස්කෘතියකට උරුමකම් කීමට උත්සාහ දරමින් සිටි කාත්තන්තුඩියේ ජනතාවට තවදුරටත් ඉහිලුම් නොදෙන්නකි.

මාධ්‍ය තුළින් කාත්තන්කුඩිය යක්ෂයකු ලෙස හුවා දැක්වීම ඔවුන් තව දුරටත් පිළිකුල් ලෙස බැහැර කරන්නේ ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු ලෙස තමන් මෙතෙක් කලක් ගොඩනඟා ගෙන තිබූ අභිමානයට හානි නොකරන ලෙස අයදිමිනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කාත්තන්කුඩිය අරබයා මාධ්‍යයෙන් එල්ල වූ බරපතල විවේචන බොහොමයක් “අතේ රෝල්” න්‍යායෙන් සකස් වූ මාධ්‍ය වාර්තා බව කාත්තන්කුඩිය කියවන්නකුට රහසක් නොවේ.

කාත්තන්කුඩියට තවදුරටත් අඩු “ඔටුවන්” පමණක් යැයි කියමින් එක්තරා ජාතික පුවත්පතක් පසුගිය කාලයේ රට හමුවේ ආන්දෝලනයක් ඇති කළේය. කාත්තන්කුඩියේ රටඉඳි ගස් පෙළ නැඟෙනහිර පළාතට එක් කළ අපූර්වත්වය හා විවිධත්වය සොබාව සුන්දරත්වය අගයන කිසිවකුටත් බැහැර කළ නොහැක්කකි. මෙම රටඉඳි ගස් සෞදි අරාබියෙන් ආනයනය කළ ඒවා බවත් ඊළඟට ගෙන ඒමට නියමිතව ඇත්තේ ඔටුවන් බවත් ප්‍රකට හිමිනමක්ද කියා තිබිණි. කාත්තන්කුඩියට රටඉඳි ගස් පැමිණීම පිළිබඳ අප කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්. එච්. මොහොමඩ් අෂ්ෆාර් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සියලු රටඉඳි ගස් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ ඒවා මිස ආනයනය කළ ඒවා නොවන බවයි.

“මේ රටඉඳි ගස් වැඩි හරියක් ලංකාවේ විවිධ පළාත්වලින් අරන් ආපු ඒවා. බණ්ඩාරවෙල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, යාපනය වගේ ඈත ප්‍රදේශවලින් ගෙනාපුවා තමයි වැඩියෙන් තියෙන්නේ. මේ ගස් සෞදියෙන් ගෙනාපු ඒවා කියලා මාධ්‍යයෙන් කියද්දි අපට හිනයි. ඔය කතා හැම එකම සමහර මාධ්‍ය මඟින් පතුරවපු පට්ටපල් බොරු. ඒවා බලද්දී ඇයි මේ වගේ බේගල් පතුරවන්නේ, අපි එක්ක තියෙන මොන තරහක්ද මේ කියලා හිතිලා අපිට හරි කනගාටුවක් ඇති වුණා. සහරාන්ට සම්බන්ධ වුණේ සුළු පිරිසක් විතරයි. හැබැයි මාධ්‍ය ලෝකෙට කිව්වේ කාත්තන්කුඩිය කියන්නේ සහරාන්ගේ බලකොටුව කියලා. මම කාත්තන්කුඩියේ නගරාධිපතිවරයා විදියට ඉතාමත් වගකීමෙන් කියන්නේ අපි සහරාන්ව කාත්තන්කුඩියෙන් ගහලා එලෙව්වේ 2015 මහ මැතිවරණය වෙලාවේ. සහරාන්ට ගහපු සිද්ධියට මම දවස් 14ක් රිමාන්ඩ් එකෙත් හිටියා...”

කාත්තන්කුඩි නගර සභාවේ සභාපතිවරයා කියන අන්දමට එම ප්‍රදේශයට රටඉඳි ගස් පැමිණෙන්නේද අහම්බයක් ලෙසිනි. ඔවුන් මුලදී මේ සඳහා ෆාම් ඔයිල් හෝ තල් යොදා ගැනීමට සැලසුම් කළද ඒ තුළින් සිදුවන විවිධ දුෂ්කරතා අවධානයට ලක්විය.

“ෆාම් ඔයිල්වලට හොඳට වතුර තියෙන්න ඕන. ඒ වගේම භූගත ජලය සියල්ල ඒවගෙන් උරා ගන්නවා. සිද්ධ වෙන පරිසර හානියත් වැඩියි; අතු විටින් විට වැටෙනවා. තල් ගස්වල තත්ත්වයත් එහෙමයි. තල් අතු, තල් ගෙඩි වැටිලා හානි වෙන්න පුළුවන්. අපිට රටඉඳි ගස් හදන්න කියලා අදහස දුන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. රටඉඳි ගහේ මුල්වලට වතුර එතරම් අවශ්‍ය වෙන්නෙත් නැහැ. පාන්දර අතුවලට වැටෙන පින්න තමයි ගසේ වර්ධනයට වැඩි වශයෙන් බලපාන්නේ. අනික රටඉඳි ගහ අපේ මුස්ලිම් සංස්කෘතියට ගොඩක්ම සමීපයි. ඒක හරියට සිංහල අයට බෝ ගස වගේ. ඒ වගේම රටඉඳි හොඳ පලතුරක්. ඉතින් අපි රටඉඳි හැදුවා කියලා ඒකෙන් කාටවත් හානියක් සිද්ධ වෙනවද?” නගරාධිපතිවරයා ප්‍රශ්න කරයි.

කාත්තන්කුඩිය මූලික කරගත් නැඟෙනහිර පළාතේ බොහෝ නාම පුවරු අරාබිකරණයට ලක්වී ඇති බවත් ශීඝ්‍ර‍ෙයන් ව්‍යාප්ත වන මද්‍රසා පාසල් හරහා කෙටි කලකින් නැඟෙනහිර පළාත සෞදි අරාබියක් වන බවටත් රට පුරා චෝදනා තිබේ. කාත්තන්කුඩියේ පිහිටි ආගමික ඉගැන්වීම් සිදුකරන ස්ථාන හැරෙන්නට වෙනත් කිසිදු පොදු ස්ථානයක අරාබි භාෂාවෙන් ලියැවුණු නාම පුවරු සොයා ගැනීමට අපොහොසත් වූ බව එම ප්‍රදේශයෙහි ඇවිද ගිය අපට පසක් විය. දිවයිනේ මුස්ලිම් ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන වෙනත් ප්‍රදේශ හා සාපේක්ෂව ගත් කල කාත්තන්කුඩියේ නාම පුවරු අරාබිකරණය වී නොමැති බව පැහැදිලි විය.

“අපේ ආගම උගන්නන පාසල්වල තමයි අපි අරාබි අකුරු දාලා තියෙන්නේ. අපි අරාබි භාෂාව ඉගෙන ගන්නේ මේ රට අරාබියක් කරන්න නෙවෙයි. අපේ ආගමේ හැම දෙයක්ම ලියවිලා තියෙන්නේ අරාබි භාෂාවෙන්. ඒකත් හරියට බුද්ධාගමේ ගාථා හැම දෙයක්ම පාලි භාෂාවෙන් ලියවිලා තියෙනවා වගේ. අනිත් එක තමයි ගොඩක් බෝඩ්වල අරාබි භාෂාවෙන් තියෙන්නේ ආයුබෝවන් කියන එක විතරයි.” කාත්තන්කුඩි නගරාධිපතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

කාත්තන්කුඩියේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 7000 වන විට එහි මුළු ජනගහනය 55,825කි. ඒ වර්ග කිලෝමීටර් 6.5ක වපසරියකය. කාත්තන්කුඩිය සියයට සියයක්ම මුස්ලිම්ය. කාත්තන්කුඩිය පුංචි අරාබියක් කිරීමට අරඅඳින පිරිස් කිසි දිනක කාත්තන්කුඩියේ රැකියා කරන සිංහලයන් නොදැක සිටීම කනගාටුවට කාරණයකි.

සහරාන්ගේ කාත්තන්කුඩියේ පිහිටි තව්හීද් ජමාත් දේවස්ථානයට ආසන්නයේ පිහිටි මෙට්රෝ ෂෝමිල් ලී වෙළෙඳසැලේ ප්‍රධාන ඉරුම්කරු ලෙස කටයුතු කළේ හිඟුරක්ගොඩ නිහාල්ය. මෙට්රෝ ෂෝමිල් වෙළෙඳසැලේ සේවය කරන වැඩිදෙනකු විවිධ ජාතීන්වලට අයත් පිරිස් බව එහි හිමිකරු වූ කේ. එම්. නජීබ් අප සමඟ කියා සිටියේ මහත් වූ ආඩම්බරයකිනි.

“අපේ මහ කියතේ බාස් විදියට වැඩ කළේ හිඟුරක්ගොඩ නිහාල්. එයා අවුරුදු හතරක් විතර අපි ළඟ වැඩ කළා. එයාට කාත්තන්කුඩිය හරියට එයාගේ ගම වගේ. ඒත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ නිහාල් ගමේ ගිහින් ආපහු අවේ නැහැ. එයා කාත්තන්කුඩි එනවට ගෙදර අය බය වෙලා. මොකද ඒ දවස්වල මීඩියාවලින් කියපු දේවල් අහපු අපිටත් බය හිතුණා අපි ඔය කියන කාත්තන්කුඩියෙද ඇත්තටම ඉන්නේ කියලා. ඉස්සර යුද්ධය තිබුණු කාලේ හමුදාව වතුර ටිකක් හරි බොන්න නැවතුණේ කාත්තන්කුඩියේ. ඒත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ හමුදාව වුණත් කාත්තන්කුඩියට ආවේ කාත්තන්කුඩියේ ඔක්කොම සහරාන්ගේ අය කියලා හිතාගෙන.”

හිඟුරක්ගොඩ නිහාල්ගේ අඩුපාඩුව මැකීමට කාත්තන්කුඩියට අලුතින් පැමිණ ඇත්තේ තිස්පස් හැවිරිදි සංජීව බුද්ධික කුමාරය. ඔහු අකුරණ ප්‍රදේශයේ අයෙකි. සංජීවටද කාත්තන්කුඩිය ආගන්තුක නැත.

“මම මෙතනට ඇවිත් මාස තුනක් වුණත් අවුරුදු ගාණක් මේ අවට වැඩ කරලා තියෙනවා. අපිට කිසි වෙනසක් නැහැ. අපිටම පුදුමයි අපි මේ තරම් කාලයක් හිටියේ මේ තරම් විනාශයක් කරපු සහරාන්ගේ පල්ලිය ගාවමද කියලා. අපිට මෙහෙ අය කිසි වෙනසක් නැහැ. කාත්තන්කුඩිය කියන්නේ නරක තැනක් නෙවෙයි. මෙයාලා අපිට සලකන්නේ එයාලගෙම පවුලේ අයට වගේ. ඒ විශ්වාසය නිසයි මම තවමත් මෙතන ඉන්නේ.” සංජීව බුද්ධික කාත්තන්කුඩිය පිළිබඳ චරිත සහතික නිකුත් කරන්නේ එලෙසිනි.

“කාත්තන්කුඩිය සියයට සියයක් මුස්ලිම් බව ඇත්ත. ඒත් කාත්තන්කුඩියේ ඕනතරම් සිංහල, දෙමළ, මුස්ලිම් ඒ වගේම බර්ගර් අය රස්සාවල් කරනවා. අපේ මුස්ලිම් අය වැඩි දෙනෙක් වෙළෙඳාමට බර අය නිසා කර්මාන්ත ගැන අඩුවෙන් දන්නේ. ඒ අඩුව පිරිමහන්නේ වෙනත් ජාතීන්. නමුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කළේ කාත්තන්කුඩියේ සිංහල අයට රස්සා කරන්න, කඩ කරන්න ඉඩක් නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මගේ ලී කඩේම වෙනත් ජාතියේ අය විස්සකට වඩා අදත් වැඩ කරනවා...” නජීබ් වැඩිදුරටත් පැවසුවේය.

කාත්තන්කුඩිය වෙරළ පාරේ පිහිටි බොහොමයක් නිවාස කුලියට ගෙන ඇත්තේ දකුණේ සිට පැමිණි විසිතුරු මසුන් අල්ලන්නන්ය. ඔවුන් සෑම වසරකම මැයි මස සිට නොවැම්බර් දක්වා වූ කාල පරිච්ඡේදය ගත කරනුයේ කාත්තන්කුඩියේය.

“අපි හැම අවුරුද්දකම මේ කාලෙට ඉන්නේ කාත්තන්කුඩියේ. අපි අවුරුදු දහඅටක් තිස්සේ මෙහාට එනවා. අපිට මේ වෙනකම් කාගෙන්වත් හිරිහැරයක් වෙලා නැහැ. හැබැයි ඔය සමහරු ‘සිංහල අයට ගෙවල් දෙන්න එපා, මුහුදේ රස්සාවල් කරන්න දෙන්න එපා’ වගේ කථා පහුගිය කාලේ පැතිරුණා. හැබැයි ඒ කථා මෙහෙ අය ඒ තරම් ගණන් ගත්තේ නැහැ. කොහොම වුණත් දැන් අපිට එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපිට ඒ කාලේ ඔරවපු අය පවා දැන් අපි එක්ක හිනාවෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ එයාලා තේරුම් අරන් තියෙනවා එයාලට කොහේ හරි තැනක වැරදුණා කියලා...” එසේ කියන්නේ මාතර සිට පැමිණි 48 හැවිරිදි කේ. ඩී. ඒ. ආර්. ජීවනාත් මහතායි.

කාත්තන්කුඩියේ ඉදිකිරීම් ව්‍යාපෘතියක කාර්මික නිලධාරිවරයකු ලෙස කටයුතු කරන ජේ. එම්. චන්දන සිසිර කුමාර මහතා මහියංගණයේ සිට පැමිණියෙකි.

“මමත් එද්දි ටිකක් චකිතයකින් තමයි මෙහාට ආවේ. මොකද පහුගිය දවස්වල අපි අහපු දැකපු දේවල්වල හැටියට එහෙම නොවුණා නම් තමයි පුදුමේ. හැබැයි ඔය කියන තරම් යකා කළු නැහැ. හැමෝම සහරාන්ලා නෙවෙයි. මෙහෙ මිනිස්සු හරිම මිත්‍රශීලීයි...”

මුස්ලිම්වරුන්ට හැරෙන්නට වෙනත් කිසිවකුටත් කාත්තන්කුඩියේ කිසිදු වෙළෙඳ ව්‍යාපාරයක් කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව ප්‍රකට රහසකි. අපට හමුවූ ඇතැම් දමිළ ජාතිකයන් කියා සිටියේ කාත්තන්කුඩියේ කිසිදු කඩ කාමරයක් සිංහල හෝ දමිළ ජාතිකයන්ට ලබා නොදෙන බවකි. කාත්තන්කුඩි නගරයේ කඩසාප්පු හා වෙළෙඳ ව්‍යාපාර දෙස බලන විට එය මුසාවක් නොවන බවද පැහැදිලිය.

“ඒක සහතික ඇත්ත. අපේ කඩ කාටවත් විකුණන්නේ නැහැ. ඒකට හේතුව අපිටත් එහෙම විකුණන්න කඩ හරි ගෙවල් හරි කාත්තන්කුඩියේ නැහැ. ඒ නිසයි අපේ අය පිට පළාත්වල ගිහින් වෙළෙඳ ව්‍යාපාර කරන්නේ. මෙහෙ ඒවා විකුණනවා නම් අපේම අය ඉන්නවා වටිනාකම වගේ දෙගුණයක් දීලා හරි ඒවා මිලදී ගන්න.” එසේ කියන්නේ කාත්තන්කුඩි වෙළෙඳ සංගමයේ සභාපති කේ. එල්. එම්. ෆරීඩ් මහතායි.

“අපි මේ වෙනකොට කාත්තන්කුඩියේ සිකුරාදා පොළ ආරම්භ කරලා තියෙන්නේ. අපි ඒ පොළේ වෙළෙඳාම් කරන්න කියලා හැමෝටම ආරාධනය කරලා තියෙනවා. මේ වෙනකොටත් විවිධ ප්‍රදේශවල සිංහල හා දමිළ වෙළෙන්දෝ අපේ පොළේ සාර්ථකව වෙළෙඳාම් කරගෙන යනවා...”

එසේ කියන්නේ කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්. එච්. මොහොමඩ් අෂ්ෆාර් මහතායි.

කාත්තන්කුඩියේ තත්ත්වය එසේ වුවද දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා හා වෙළෙඳ ව්‍යාපාර කරමින් වාසය කරන කාත්තන්කුඩියේ අයගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව කාත්තන්කුඩි ප්‍රදේශයේ මාධ්‍යවේදියකු වන පරහන් කියා සිටී.

“ලංකාවේ නගර දෙකක හැරෙන්න අනිත් හැම නගරයකම කාත්තන්කුඩියේ කෙනෙක් ඉන්නවා. ඒත් සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ අපේ අයට පිට පළාත්වල ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපේ අය දෙමළ ගම්වල රස්සාවලට ගියාම එළවගෙන තියෙනවා. අවුරුදු පහකට විතර ඇඩ්වාන්ස් දීලා කුලියට ගත්තු කඩ ආපහු අරගෙන තියෙනවා. කාත්තන්කුඩියේ මුස්ලිම් අයට කඩ දෙන්න එපා කියලා සිංහල දෙමළ අය මතයක් හදාගෙන යනවා. මේ නිසා අපේ අය දැඩි කම්පනයට පත් වෙලා ඉන්නේ. අපි කිසිකෙනෙක් සහරාන් අනුමත කරන්නේ නැහැ. අපි සහරාන්ට විරුද්ධයි. ඒ නිසයි සහරාන්ගේ ගෝලයෝ හැමෝම මේ තරම් ඉක්මනට හමුදාවට හෝ පොලිසියට කොටු වුණේ. අපිත් මේ රටේ මිනිස්සු. අපිට වෙනස් විදියට සලකන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා...”

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එළැඹෙන පළමු හජ්ජි අවුරුද්ද කාත්තන්කුඩියට වෙනදා තරම් සරු නැත. බොහෝ දෙනකුගේ හිත් තුළ නළියන්නේ සහෝදර ජනතාවට තමන්ගේ මිනිසකු අතින් සිදුවූ වරද මඟින් සිදුවූ අවනම්බුව කොතෙක්ද යන්නයි. කාත්තන්කුඩිය මුස්ලිම් ජනයා සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරමින් කියා සිටින්නේ එක් උන්මත්තකයකු විසින් දියත් කළ ම්ලේච්ඡත්වය තුළින් සියලු මුස්ලිම්වරු දෙස නොබලන ලෙසයි.

“සහරාන් කියන්නේ පිස්සෙක්. මට මීට කලින් සහරාන් හමුවුණා නම් මගේ මානසික සායනයට ගෙනත් ප්‍රතිකාර කරන්න තිබුණා...” එසේ කියන්නේ කාත්තන්කුඩි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි මනෝ වෛද්‍ය එම්. එස්. එම්. ජාබීර් මහතායි.

ත්‍රිකුණාමලය [මංගලනාත් ලියනආරච්චි]

මාතෘකා