විසල් තුරු සෙවණ යටින් කලාවැව වටේ ගිය පාපැදි චාරිකාවක මතකය

 ඡායාරූපය:

විසල් තුරු සෙවණ යටින් කලාවැව වටේ ගිය පාපැදි චාරිකාවක මතකය

උදේ කෑමෙන් පස්සේ අපි පිවිසුණේ යෝධ ඇලේ බැම්මට….

තමන්ගේ රාජධානි අග නගරය වුණු අනුරාධපුරයේ ජල අවශ්‍යතා වෙනුවෙන් අගනගරයට හැතැප්ම තිහ හතළිහක් ඈතින් කරපු වැවක ඉඳන් හදපු මේ ඇළ, ගලා යන අතරමඟ කෙත්වතුත් සරුසාර කළා…මුළු පළාතටම වැස්ස නැති වුණත් කලාවැවත්, යෝධ ඇළත් නොසීඳී තියෙන්නේ මධ්‍ය කඳුකරයේ උතුරු කෙළවරට ලැබෙන නිරන්තර වැසි නිසා….

කෘතිමව තැනූ ඇළක් වුණත් කාලාන්තරයක් තිස්සේ පරිසරයත් සමඟ ඒකාත්මිකව පැවැතුණු නිසා දැන් යෝධ ඇළ බැම්ම කියන්නේ ජෛව විවිධත්වයෙන් අනූන, පොහොසත් පරිසර පද්ධතියක්….

මල් පිළිහුඩුවා, වත නිල් මල් කොහා, දියකාවා, මැදුම් ඇලි කොකා, මොණරා, මහ කරවැල් කොකා වගේ කුරුල්ලනුත්, වඳුරා, රිලවා, දඬුලේනා වැනි සිව්පාවුනුත්, දියබල්ලා, ගැරඬියා, නයා ඇතුළු උරගයනුත් යෝධ ඇළ බැම්ම දිගේ යන අපිට නිරන්තරව දැකගන්න පුළුවන් වුණා… සමනළ විශේෂ ගණනාවක් හමුවුණාට, වෙන්කර හඳුනාගැනීමේ හැකියාවක් අපට තිබුණේ නෑ..

තල් වැට අද්දරින් ගලන යෝධ ඇළ බැම්ම දිගේ වංගු ගැහුණු පාරේ ඉදිරියට යන අපිට ඊළඟට හමුවුණේ ධීවර කර්මාන්තයේ යෙදෙන කෙනෙක්… දැෙල් එක කෙළවරක් අතින් අල්ලගෙන අනෙක් කෙළවර වතුරට විසිකරන එක අපූරු දර්ශනයක්….

“අපි දැන් යන්නේ උස්ගලට…. එතැන තමයි ධාතුසේන රජ්ජුරුවන්ගේ රැස්වීම් ශාලාව තියෙන්නේ…..” එහෙම කිව්වේ අපිට මඟපෙන්වන සෝමු.

මේ දවස්වල හමන සුළඟ සරුංගල් යවන්න හොඳ උත්තේජනයක් වුණාට, ඒ හුළඟේ බයිසිකල් පදින එක නම් අමාරු වැඩක්…. මුදුන් වෙන හිරුගේ සැඩ පරුෂ බව නිසා මතුවෙන දහදිය, සුළඟේ පහසින් ඉක්මනින්ම වියැකිලා ගියත් දැනෙන වෙහෙස නම් අඩුවෙලා නෑ…. යෝධ ඇළ අද්දර සරුසාර ගෙවතු මැද්දෙන් යන කොට ඒ වෙහෙස නිවන්නට උදව් වුණේ කුරුම්බා සහ කොමඩු තමයි… අතරමඟ හේනකින් කොමඩු ගෙඩියක් අරගෙන කාලා, තවත් තැනකින් කුරුම්බයක් බීලා බයිසිකලයක් පැදගෙන යන ගමන අපූරු අත්දැකීමක්.

යෝධ ඇළ දිගේ ගිහින් ඒ හරහා වැටුණු පටු පාළමකින් එගොඩ වෙලා ගම්මැද්දක ගිය අපි ඊළගට පිවිසුණේ උස්ගල ගමට… අපි උස්ගලට යනකොට පන්සලේ ලොකු හාමුදුරුවෝ දානයකට වැඩලා…. ඒ නිසා අපිට තොරතුරු කියන්න ඉදිරිපත් වුණේ පන්සලේ දායක මහත්මයෙක්…

“කලාවැවත්, යෝධ ඇළත් කියන්නේ ධාතුසේන රජතුමා කරපු යෝධ ව්‍යාපෘතියක්… ඒ වෙනුවෙන් වසර හත අටක්වත් ගත වෙන්න ඇති. වැවේ වැඩ සඳහා තැන් තැන්වලින් රැගෙන ආව ශ්‍රමිකයින් වැව වටේ ගැළපෙන තැන්වල පදිංචි කරලා ඔවුන්ගේ ගම්පතියන්ව රැස්වීම් සඳහා කැඳවූ තැන තමයි උස්ගල කියන්නේ… ඒ ඒ ගම්පතියන්ට තමයි රාජකාරි පවරන්නේ…”

වැව වටා ඇති කළ ගම්මාන ආශ්‍රිතව විහාරාරාම දාහතක් පමණ ධාතුසේන රජතුමා විසින් කරවූ බව ඉතිහාසයේ කියැවෙනවා… ධාතුසේන රජතුමා වැවේ ඉදිකිරීම් නිරීක්ෂණයට පැමිණි විට විවේක ගත් ස්ථානයත්, වැවේ කටයුතු විමසීමට නිලධාරීන් රැස් කරවූ සම්මන්ත්‍රණ ශාලාවත් ඇත්තේ උස්ගල ධාතුසේන විහාරයට යාබද ස්ථානයක. දැන් නම් ඒ ප්‍රදේශය වල් බිහිවෙලා කියලයි අපිට දැනගන්න ලැබුණේ… රජතුමා රැස්වීම් ශාලාවට නිතර පැමිණෙන නිසා ඒ විහාරාරාම අතරින් ප්‍රධානම ස්ථානය හිමිවෙලා තියෙන්නේ උස්ගල විහාරයට….

“වැවේ රළපනාවට අවශ්‍ය ගල් කුට්ටි කැපුවේ වැවේ ඉහත්තාවෙන්. ඒ පැත්තේ තිබුණූ ගල් කන්දකින් . ඒ ගල් කුට්ටිවල සිදුරු විදලා, ඒවට තේඩා දාලා ඇතුන් ලවා බැම්ම බදින තැනට අද්දවල තියෙනවා… සමහර කාලවල වැස්ස නිසා, සේවක ගැටලු නිසා වැවේ වැඩ අඩපණ වෙද්දි වැවේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හිතලා බුදු පිළිමයක් නෙළන අදහසක් රජතුමාට ඇවිත් තියෙනවා… සමහර විට ඇමැතිවරු යෝජනා කරන්න ඇති. ඒ අනුව උස්ගල ගල් කුළ තෝරගෙන තියෙනවා, වැව දිහා බලාගෙන ඉන්න හිටි පිළිමයක් නෙළන්න…”

රජතුමා එවන් පිළිමයක් නෙළන්නට අරමුණු කෙෙළ් නම් ඒ සඳහා සුදුසුම තැන උස්ගලය. උස්ගල පිහිටා ඇත්තේ වැවට ඉහළිනි. උස්ගල සිට වැවට ඇත්තේද සැතැපුමකට අඩු සෘජු දුරකි. එහෙත් ධාතුසේන රජුටත්, කලාවැවටත් පැවැති අභියෝග හඳුනාගත් ගල්කුළද අවසානයේ පළුදු වී ගියේය. ඉන් අනතුරුව වූ අරමුණ ඉටුකරන්නට වැවට සැතැපුම් හතරක් ඇතින් සොයාගත් ගල්කුළක “අවුකන’ පිළිමය නෙළා තිබේ.

“වැවේ වැඩ නොමැති වෙලාවල්වල ගල්වඩුවන් විසින් මේ පිළිමය නෙළන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා… ඒත් සිරස නිර්මාණය කරන්න හදපු තැන, ගල් කුලේ පැල්මක් තිබුණු නිසා මෙතැන බුදුපිළිමය නෙළන වැඩේ අත්හැරලා තියෙනවා…. අවුකන පිළිමයක් විතරයි හදල තියෙන්නේ… මොකද විහාරය මෙතැන තිබුණු නිසා…. කාලයක් ගිහින් රජරට වල් වැදුණාගෙන් පස්සේ ආයෙත් හොයාගත්තම තමයි අවුකන වෙනම පන්සලක් වෙන්නේ…..” ප්‍රදේශයේ ඉතිහාසය ගැන මනාව දත් පාසැල් ගැරුවරයකු වන උණගොල්ලෑව පදිංචි අජිත් කුමාර ජයසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් උස්ගල ගැන දැනුවත් වු අපි ඔහුට ස්තූති කර පිටවුණේ කෝමාරිකා ගල යාය ආශ්‍රිත වැව ඉහත්තාවට යන්නටය.

කුඹුක්, නුග, බෝ සහ ඇහැටු ගස් සෙවණ යටින් විහිදුණු ගුරු පාර දිගේ වැව් තාවුල්ලේ ඉහලට ගිය අපි නැවැතුෙණ් විශාල ගල් පර්වතයක් ළඟ.

“මේකට තමා කෝවිල්ගල කියන්නේ…. අර බලන්න හරි කෙළින් පෙනෙන්නේ කඩවර දේවාලේ… ඉස්සර මේ පැත්තේ තමා දේවාලේ තිබිලා තියෙන්නේ… ඝණ දෙවි කෝවිලත් තිබිලා තියෙන්නේ මේ පැත්තේ…. පරණ පන්සලක නටඹුන් මේ කැලේ තවමත් යටවෙලා තියනවා….” ආයෙමත් සෝමුගේ පැහැදිලි කිරීම…

රජ සමයේ හොඳින් තිබූ වැව කැඩීබිඳී යාමෙන් පසු හුදකළා ගම්මාන කිහිපයක් පැරණි වැව් තාවුල්ලේ වනගත බිම්වල පිහිටා තිබී ඇත. ඒ සමඟම ආගමික සිද්ධස්ථානද තිබී ඇත. එහෙත් 1872 දී සිදුකෙරුණු ප්‍රතිසංස්කරණයෙන් පසු මේ පිරිස ඉවත් කර ඇත්තේ ඔවුනගේ ගම්මානද යටවන ලෙස වැව් බැම්ම උස් කළ නිසාය.

දැනට වැවට අයිති බිමද වැව ඉදිවන්නට පෙර වනගතව තිබෙන්නට ඇත. මෙම ස්ථානයේ සිට වැව් බැම්මට සෘජු දුර සැළකුවහොත් කිලෝමීටර දෙකක් පමණ තිබේ. දැනටද ඒ බිමෙහි රළපනාවට භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ගල් කුට්ටි විසිරි තිබේ. ඒ අනුව “මෙම ප්‍රදේශයෙන් වැව් බැම්මටත්, රැල පනාවටත් අවශ්‍ය ගල්” සපයාගත් බව විශ්වාස කළ හැකිය.

නියඟය නිසා මේ දිනවල වැවේ වතුර අඩුය… ඒ නිසා අපට වැව් තාවුල්ලේ ඇවිද යන්නට බොහෝ ඉඩකඩ තිබේ. අපට පමණක් නොව කලාවැවට එන්නන්ටද, උද්‍යානයක් ලෙස භාවිතාකරන්නට වැව් තාවුල්ලේ බිම් කොටසක් වෙන් කර ඇත. සවස්වරුවට වන අලි ගොනුවන මේ බිම වන සත්ත්ව ලෝලීන්ගේ ජනප්‍රිය ඉසව්වකි. එහෙත් ගැටලුවකට ඇත්තේ නිසි නියාමනයක් නොමැති වීමය. පැමිණෙන සැවොම පරිසර හිතකාමීන් නොවන නිසා එහි තැනතැන ගොඩගැසුණු කුණු කඳුය. හිස් අරක්කු බෝතල්ය. ධාතුසේන රජ සමයේ විවේකයට හිටි පිළිම නෙලූ ජාතියක් අද දවසේ විවේකය සිල්ලරට ගෙවා දමන’යුරු එහිදි දැකගත හැකිය.

වැව් තාවුල්ලේ රක්ෂිතය අදටත් සාම්ප්‍රදායික මිනිස් ක්‍රියාකාරකම් කිහිපයක් වෙනුවෙන් වෙන්ව පවති. ඉන් ප්‍රධානම ක්‍රියාකාරකම නම් මිරිදිය ධිවර කර්මාන්තයයි. අනෙක කිරි ගව පාලනයයි.

අපට මුලින්ම හමුවුණේ කිරි ගව පට්ටියක් පාලනය කරන තරුණයෙකි. ඔහුගේ වයස විසිඅටක් වුවද පෙනුම ඊට වඩා වැඩි එකකි. නමින් නිශාන්ත වන හු අසබඩ ගමක පදිංචිකරුවෙකි.

“අපේ සීයලගේ ගෙවල් පවා ඉස්සර තිබුණේ මෙහේ… පස්සේ තමයි පහළ ගමට ගිහින් තියෙන්නේ… තාත්ත තමයි මේ ව්‍යාපාරය කරන්නේ… මම එයාට උදව් කරනවා…. අපිට එළ හරක් පණහක් විතර, මී හරක් අසූවක් විතර ඉන්නවා… කැලේ ඇතුෙළ් තමා කොටු කරලා තියන්නේ… දවසකට කිරි ලීටර් 50ක් 60ක් ගන්නවා….”

ඔහුට රජයේ රැකියාවක් සොයා උද්ඝෝෂණය කරන්නට අවශ්‍ය නැත. පිය උරුමයෙන් හොඳ ව්‍යාපාරයක් ඔහුට උරුමව තිබේ. නමුත් මුහුණුපොතේ වීරයකු වන්නට හෝ නවීන සමාජයේ ආකර්ශනීය චරිතයක් වන්නට ඔහුට හැකියාවක් හෝ වුවමනාවක් නැත. ස්මාර්ට් ෆෝන් එකක් තිබේදැයි මා ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ තමන් වෙත කිසිදු දුරකථනයක් නැති බව කියමිනි.

“කිරි ලීටරයකට රුපියල් 65ක් විතර ගෙවනවා… පවුලටම කාලා බීලා ජීවත්වෙන්න පුළුවන් කමක් අපිට තියෙනවා… මේ වගේ කිරි පට්ටි සියයක් විතර වැව වටේට තියෙනවා…”

ඊළඟට අපට හමුවුණේ කලාවැවේ ධීවර ව්‍යාපාරිකයෙකි. තරුණයකු වූ ඔහු නමන් සුරංගය. ඔහු සතුව ධීවර ඔරු විස්සක් පමණ තිබේ. ඒවා ධීවරයින් වෙත ලබාදී ඔවුන්ගේ අස්වැන්නෙන් කොමිස් මුදලක් ලබාගැනීම සුරංගගේ ව්‍යාපාර ස්වභාවයයි.

“මේ මිනිස්සුන්ට ඕන එදාවේල විතරයි… ඉතිරියක් නෑ… ඒ වගේම කසිප්පු වගේ දේට ඇබ්බැහි වෙලා… ඉතින් මම වියදම් කරලා ඔරු අරගෙන තියෙනවා… දැල් අරගෙන තියෙනවා… මගේ යටතේ කර්මාන්තය කරන්න කැමැති අයට ඒවා දීලා ආදායමක් උපයනවා… පවුල් විස්සක් තිහක් මම නිසා යැපෙනවා….”

සංචාරයක අතරතුර හමුවූ මිනිසුන්ගේ ජීවිතවලට එබී බැලූ අපි යළිත් කෝවිල් ගල පාමුලට ගියේ වෑදිය නිල්ල පාගමිනි. ඈතින් හමා එන සුළං පහර සැඩය. අපවාද ගසා යන තරම්ය.

“ඉස්සර මෙතන අවුරුද්දක් ගානේ මුට්ටි ඉතිරුම් මංගල්ලයක් තිබිලා තියෙනවා…. දැන් ඒක තියෙන්නේ කඩවර දේවාලෙට පහළ යෝධ ඇළ සොරොව්ව ළඟ… හැම කන්නෙකම වතුර නිකුත් කරන දවසට ඒක කෙරෙනවා…

මෙදා සැරේ තියෙන කොට මහත්තයලත් එන්න…..”

ඔහුගේ ආරාධනය පිළිගත් අපි ආපසු හැරුණේ වැව් පිටියේ කෙළවරක කූඩාරමක රැය ගතකරන්නටත්, නිදහසේ සරන වන අලි දකින්නටත්, මුට්ටි ඉතුරුම් මංගල්ලයට සහභාගි වන්නටත් යළි කලාවැවට එන බලාපොරොත්තුවෙනි.

    

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ] [email protected]

ඡායාරූප [චතුර හේමාල්]

මාතෘකා