මහරත්මල් පිපුණු පාර දිගේ මහ එළිය තැන්නට ගෝණ රංචු දකිමින් කිරිගල්පොත්ත නැංගෙමු

 ඡායාරූපය:

මහරත්මල් පිපුණු පාර දිගේ මහ එළිය තැන්නට ගෝණ රංචු දකිමින් කිරිගල්පොත්ත නැංගෙමු

“බස් එකේ වැලිමඩ යන්නේ කොහොමද?”

පුංචි පන්තිවල ඉද්දි පණ්ඩිත මිතුරකු අහපු ඒ පැනයට දෙන්න උත්තර හෙව්වේ අහස පොළොව ගැටගහන තරම් අමාරුවෙන්…

ඒ එදා. මෙදා දවසක හවස් වරුවේ බැස්ටියන් මාවත බස් නැවතුමට ගොඩවුණේ 79 පාර දිගේ වැලිමඩට යන බස් එකක් හොයාගෙන. වැලිමඩට නොයා, ඊට ටිකක් මෙහායින් බහින්න හිතාගෙන. හරියටම කිව්වොත් අපි යන්නේ නුවරඑළියට…

වෙහෙසවුණු දවසක අවසාන අඩහෝරාව

වේලාව රාත්‍රී 11.45

රාජකාරිය අවසන් කළ සැණින් නුවරඑළි යන්නට පිටකොටුවට ආ අරවින්ද භූමිත් මම යනකොට බස් නැවතුමේ…

“බිත්තර රොටියක් කාලම බස් එකේ නගිමු.”

රෑ දොළහට පිටකොටුවෙන් වැලිමඩ බලා පිටවෙන ආර්.එම්.ඩී. බස් එක, බස් නැවතුමේ මලානික විදුලි පහන් යට අවදියෙන් උන්නා.... වෙනදට කෝච්චියෙන් පට්ටිපොළට ගිහින් හෝටර්න් යන අපිට, මෙවර දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න අවස්ථාව මඟ හැරිලා ගියා... ඒ නිසා මෙවර පට්ටිපොල දක්වා අපේ ගමන් සගයා වුණේ බස් රියක්.... අපිට ආසන වෙන්කරගෙන තිබුණු නිසා අපහසුවක් නොවුණත් - දිගු සති අන්තයක ඇරඹුමේ නුවරඑළිය හරහා වැලිමඩට යන්න හිටපු බොහෝ දෙනෙකුට ආසන අහිමිවීම නිසා ඊළඟ බස් රථය එනතුරු දෑස දල්වා බලා සිටින්නට සිදුවුණා.

වේලාව රාත්‍රී 11.55 සටහන් වෙද්දිත් බසයේ යන්නට නියමිතව සිටි සහය සංවිධායක දුලිප් සිකුරාජපති සහ නිල ඡායාරූප ශිල්පී ශාලික මධුශංක පැමිණ තිබුණේ නෑ.... මගෙන් ශාලිකට අමතුමක්....

'මොකෝ වෙන්නේ..... එන්නේ නැද්ද?"

'එනවා... එනවා... දැන් හරියටම බස් ස්ටෑන්ඩ් එකේ ගේට්ටුව ගාව....'

ඔන්න ඔය විදිහට පියවරෙන් පියවර එක්කාසු වුණු අපේ නඩය සැරින් සැරේ ඇහැරෙන කුකුල් නින්දක පහස අරගෙන පාන්දර පහමාර වෙද්දි නුවරඑළියට ගියා.... දහවලට ඇඟම ගිනි ගන්න කොළඹ උණුසුම හුරු අපිට, පාන්දරට දැනෙන නුවරඑළියේ සීතල දරාගන්න එක ඇත්තටම අමාරුයි. ජංගම දුරකථනයේ සටහන් වුණු විදිහට අපි නුවරඑළියෙන් බහින කොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 8ක්....

සීතල දරාගන්න උත්සහ දරන සිරුරට ශක්තියක් වෙන්න විවෘත වෙලා තිබ්බ පුංචි තේ කඩේකින් උණු උණු ප්ලේන්ටියක් බිව්ව අපි නුවරඑළියෙන් පට්ටිපොලට ඇදෙන පළමුවෙනි බස් රථයේ සාමාජිකයින් වුණා.... ඒ වෙනකොට කෝච්චියෙන්,වෙනත් පෞද්ගලික ප්‍රවාහන ක්‍රමවලින් අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ආව සාමාජිකයෝ දොළොස් දෙනෙක් පට්ටිපොලට ඇවිත් තිබුණා...

Eternal Traveller අපි මෙදා පාර අපේ චාරිකාව සංවිධානය කළේ හෝටර්න් තැන්නට.... හෝටර්න් තැන්න කියන්නේ මෙරට තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය... මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දකුණු මායිමේ පිහිටා තිබෙන මේ සුවිශේෂී වනගොමුව කඳුකර පතන් බිම්/ කඳුකර වනාන්තර කාණ්ඩයට වර්ගීකරණය කර තියෙන්නේ... ඈත අතීතයේ "මහඑළිය තැන්න" විදියට හඳුන්වපු මේ සුවිශේෂී බිම 1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් නැවත සොයා ගෙන තියෙනවා... පසුව මෙයට හෝර්ටන් තැන්න යන නම ලැබිලා තියෙන්නේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ පැමිණීම සිහිපත් කරන්නයි. 1969දී ජාතික වනෝද්‍යානයක් වූ හෝටර්න් තැන්නේ ශාක විශේෂ 101 ක්, පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්, උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන තියෙනවා... මෙන්න මේ විදියේ වැදගත්කමක් තියෙන හෝටර්න් තැන්නට අපි යන්නේ ගොඩක් දෙනා යන ලෝකාන්තය බැලීම විතරක් අරමුණු කරගෙන නොවෙයි....

අලුත් දවසක අලුත් උදෑසනක්…..

වේලාව උදේ 8.20

පට්ටිපොළින් උදේ කෑම ගත්තු අපි, කලින්ම පට්ටිපොල දුම්රිය පොළට එවලා තිබුණු කඳවුරු බිම ඉදිකිරීම සඳහා අවශ්‍ය කූඩාරම්, මෙට්ට, පැදුරු වගේ දේවල්, හට්ටි මුට්ටිත් අරගෙන හෝර්ටන්තැන්න බලා යන දිනේත්‍රා බස් එකට නැංගා... විනාඩි පහළොවක විස්සක ගමනකින් පස්සේ හෝටර්න් පිවිසුමට ආව අපි ප්‍රවේශපත්‍ර අරගෙන පැරණි ෆාර්ඉන් හෝටලය අසල ඇති ලෝකාන්ත පිවිසුම දක්වා බස් රථයෙන් ආවා... අතරමඟදී හෝටර්න් තැන්නේ සුලබ ගෝන්නු රංචුවකුත් මාර්ගයට බොහොම සමීපව දැකබලාගන්න අවස්ථාවක් අපිට ලැබුණා... දැන් ෆාර්ඉන් හෝටලය නෑ... ඒ වෙනුවට එතැන තියෙන්නේ වනජීවි එකේ මෙහෙයුම් කාර්යාලය සහ කෞතුකාගාරයක්....

දවසේ මුල්ම කටයුත්ත කිරිගල්පොත්ත කඳු මුදුනට යන පාගමන නිසා අපි අපේ ගමන්මලු සහ බඩු බාහිරාදිය කර්යාලයේ ගබඩා කාමරයක ගබඩා කරලා සැහැල්ලුවෙන් පාගමන ආරම්භ කළා.... ඒ කටයුත්ත වෙනුවෙන් අපිට සහයෝගය දුන්නේ හෝටර්න් පිවිසුමේ කෝකිලා කියන නිලධාරිනිය…

හිරු රැසින් පිණි වියැළෙන සුයාමය..

වේලාව උදේ 9.30

පිදුරුතලාගලට පමණක් දෙවැනි ලංකාවේ උසම කන්ද වෙන කිරිගල්පොත්ත තියෙන්නේ හෝටර්න් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළේ... ඇත්තටම කිව්වොත් ලංකාවේ දෙවැනියට උසම කන්ද වන කිරිගල්පොත්තත්, තෙවැනියට උසම තොටුපොළ කන්දත්, සිව්වැනියට උසම අග්‍රාබෝපත් කන්දත් තියෙන්නේ හෝටර්න් තැන්නෙම තමයි.... මීටර් 2395 ක් එහෙමත් නැත්නම් අඩි 7858 ක් උස කිරිගල්පොත්ත මුදුනට ලෝකාන්ත පිවිසුමේ සිට කිලෝමීටර් 8ක විතර දුරක් තියෙනවා.... පළපුරුදු මඟපෙන්වන්නෙක් නොමැතිව නම් කිරිගල්පොත්ත නඟින්න යන එක එච්චර සුදුසු නෑ... මොකද මේකට යන්න තියෙන්නේ අඩිපාරක්... අතරමඟදි වන සතුන්ගේ වනමං සහ දිය පහරවල් හමුවන නිසා මඟ වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසාම අපි අපේ සංචාරයේදී මඟපෙන්වන්නා විදියට "අරවින්ද භූමි" කියන දක්ෂ පරිසර ගවේෂකයාව සම්බන්ධ කර ගත්තා...

කිලෝමීටර් 8ක දුරකදී මීටර් 300ක විතර උසක් නඟින්න වෙන මේ ගමන බොහොම සුන්දර ගමනක්... තැනිතලා තණ බිම් මැද්දෙන් ගොඩක් දුර යන්න තියෙන මේ ගමනෙදි අතරින් පතර බට පඳුරු සහ විවිධ තුරුලතා සහිත වනතීරුත් හමුවෙනවා.... තණ බිම් සහ වනතීරු වෙන්කරන නිම්න මැදින් චිමිනි පොකුණ හරහා බේකර්ස් ඇල්ල පහුකරගෙන වළවේ ගඟට වැටෙන පුංචි පුංචි දියසීරාවන් ගණනාවක් හමුවෙනවා... ටිකෙන් ටික මුදුන් වෙන හිරු එළියත් එක්ක උදේ පාන්දර දැනුණු උහුලගන්න බැරි සීතල පහවෙලා ගිහින් . ඒත් ලොකු දාහයකුත් දැනෙන්නේ නෑ…

අරවින්ද භූමිගේ මඟපෙන්වීම යටතේ දුලිප්,මම, ශාලික, ලක්සිරි, නවෝදා, අමිල, සන්තුෂ්, භාණුක, ලක්ෂ්මන්, ප්‍රශාන්, දමින්ද, ළහිරු , චතුර සහ විදත් යන පිරිස ගමන පටන්ගත්තා... තෘණ ගාල්වලින් වැහුණු පතන් බිම තැනින් තැන උස්ව වැඩුණු මහරත්මල් පඳුරුවල මල් පිපිලා තිබුණා... ඒ මල්වලට රුචි සිතැසියෝ, ගලුගුඩුවෝ ගහෙන් ගහට මාරු වෙමින් වටපිටාව ලස්සන කළා... ශාලික, ලක්සිරි සහ දමින්ද වටපිටාවේ සොඳුරු සුන්දරත්වය තම තමන්ගේ කැමරා කාචවලින් උකහාගන්න උත්සහ කළා...

හිරු මද්දහනට ආ දහවල

වේලාව දවල් 12.30

පැය තුනහමාරක විතර තරමක් අසීරු එහෙත් සුන්දර ගමනකින් පස්සේ අපි කිරිගල්පොත්ත කඳු මුදුන සමීපයට පැමිණියා... අතරමඟදි බිස්කට්, රටඉදි සහ චොක්ලට් වගේ දේවල්වලින් බඩ පුරවගත්තු අපි හමුවුණු දොළ පාරවල්වලින් හිත පුරා වතුර බිව්වා... කඳු මුදුනට මිටර් පණහක් පමණ පහළ දි හාත්පස වටපිටාව බොහොම ලස්සනට බලන්න පුළුවන්... එතැන ඉඳන් කඳු මුදුනට යන්න තියෙන්නේ දෙපසින්ම බෑවුම තියෙන කටුසු කොන්දක් වගේ බොහොම අවදානම් සහිත පටුමඟක්... ඒත් හිත හයිය කරගත්තු අපේ පිරිවර අසීරුවෙන් කඳු මුදුන දක්වාම ගියා.... කඳු මුදුන වන ගොමුවකින් වැසී ඇති නිසා හාත්පස වටපිටාව දකින්න අමාරුයි. ඒත් එතැන සුන්දරත්වයෙන් අඩුවක් නම් නෑ....

මිහිදුම නිසා වටාපිටාව ගොඩක් පැහැදිලිව බලන්න අමාරුයි...ඒත් වටපිටාවේ කඳු යායවල් සහ පට්ටිපොල හෝටර්න්තැන්න ප්‍රධාන මාර්ගය පැහැදිලිව බලන්න පුළුවන්....ඊට අමතරව අපි පාගමනින් පැමිණි මාර්ගයත් අතරින් පතර හඳුනාගන්නට පුළුවන් වුණා...මහවැලි ගඟට උපත දෙන අග්‍රාබෝපත් කන්දත් පසෙකින් විරාජමානව හිටියා...

"එහෙනම් ඉතින් පහළ බහිමු..... මේ වෙලාවට බැස්සහම හවස් වරුවට එළියට එන ගෝන්නු බලන්නත් පුළුවන්.... " අරවින්ද භුමි කිව්වා....

"ඔව්... දවල් කෑම ලැබෙන්නේ ඔෆිස් එක ළඟදි.... ඒ නිසා ළමයි ටික ඉක්මනටම පහළට බහින්න පටන්ගන්න ...." මම එහෙම කිව්වා....

මහන්සියෙන් මලානික වෙලා තිබ්බ ගමන් සගයින්ගේ මුහුණු මල් වගේ පිපිලා ලස්සන වුණා....

" එහෙනම් ඉතින් පහළ බහිමු..."

තවත් පැය දෙක තුනක ආපසු ගමනක් වෙනුවෙන් හැමෝම එකතු පහදු වුණා.....

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමඟ ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමඟ අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව අලගල්ල කන්දට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752

දුලිප් 0777 043 804 / 0759 043 804

සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ [email protected]

ඡායාරූප - Eternal Traveller වෙනුවෙන්

ප්‍රදීප් ලක්සිරි සමඟ ශාලික මධුශංඛ

මාතෘකා