ඒ සත්තු මේ සත්තු සහ විල්පත්තු

 ඡායාරූපය:

ඒ සත්තු මේ සත්තු සහ විල්පත්තු

විල්පත්තු ගමන පටන් ගත් තැනින්ම පාර හරස් වන්නට ඉගිල ගියේ සර්ප සිළු උකුස්සාය. දුටු තැන සර්පයින්ට විසුමක් නොදෙන ඌ ඈත පෙනුණ සර්පයකු ලුහුබැන්දා වන්නට ඇත. නැත. වාහනයක රෝද හතරේ හඬද දැන් ඌට පුරුදු දෙයකි. එහෙයින් ඌ මිනිස් වාසයෙන් ඈතට ගියා විය හැකිය. දෙපසෙහි ඇත්තේ සංචාරකයින් ගමන් ගන්නා මාර්ගය වට කොට ගත් මහා ගස්ය. අහසට නැගුණ සර්ප උකුස්සා දෙස බලමින් විල්පත්තුවට ඇතුළු වුණ සංචාරකයින් පිළි ගන්නට පර්සි බැඳි වැව සුදු නෙළුම් පිරිවරාගෙන බලා සිටී. වරින් වර ඇවිත් යන ඌරන් හැරෙන්නට පර්සි බැඳි වැවේ අයිතිකරුවන් වන්නේ ගැට කිඹුලන්ය. දිය කාවන්, කොකුන් සහ නම් නොදත් පක්ෂීන් එහි ඇවිත් යන්නේ ඉන් පසුවය.

සැබවින්ම පාරාදීසයක් හැබැහින් දකින්නට අවසර ලැබී ඇත්දැයි දැනෙන සැටියකි. සොබාදහමටත් වනයේ අසිරියටත් ඇළුම් කරන්නෙකුට දැනෙන නිසැක හැඟීම නම් මෙයය. සෆාරි රථය නැවතූ කෙණෙහි පැතිර යන්නේ දැඩි නිහඬතාවකි. කිසිවකුගේ ආශ්වාස හඬක් හැරෙන්නට ගන වනය තුළ ඇසෙන්නේ කුරුල්ලකුගේ වදන් හරඹයකි. මොණරකුගේ හඬ නැගීමකි. උදෑසනක නම් වලි කුකුළකුගේ කරච්චලයකි. පිරිසිදු ඔක්සිජන් නොමිලේ හිමි කර දෙන්නට මේ පාරාදීසයට හැකිය.

අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්ක අතර වර්ග

කිලෝ මීටර් 1317ක භූමි භාගයක ස්වභාවික විල් හැටකින් සමන්විත ප්‍රදේශයක් වීමෙන් විල්පත්තුවට එම නාමය හිමි වී ඇත. මරදන්මඩුව, මානික්කපොල පත්තු, පනික්ක විල, ඉකිරිගොල්ලෑව, තලවිල, මාකලන් මඩුව, මනවිල, කාලිවිල්ලු, පොම්පරිප්පු, මුල්ලිකුලම, ඔච්චප්පු කල්ලු, කරුවල්කුඩා යනාදී ප්‍රදේශ විල්පත්තුවේ පිහිටි ප්‍රධාන වාසස්ථාන වන්නේය. වනජීවී දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන මෙම වාසස්ථාන කිහිපය බංගලා නමින් හැඳින්වෙන්නේ මහ කැලය මැදදී එයට වැඩි බංගලාවක් කිසිවකුට හිමි නොවීම හේතුවෙනි.

විල්පත්තුව ශ්‍රී ලංකාවේ පැරණිම හා විශාලම ජාතික වනෝද්‍යානය වන්නේය. ලෝකයේ කොටි ගහනය ඉහළ ජාතික වනෝද්‍යාන අතරටද විල්පත්තුව එක් වන අතර වළසුන් බහුලව දැකිය හැකි ජාතික වනෝද්‍යානයක් හැටියද විල්පත්තුව හැඳින්වේ. වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන විල්පත්තු ජාතික වනෝද්‍යානය‍ 1905 වනජීවී මධ්‍යස්ථානයක් වශයෙන් පැවති 1938 දෙසැම්බර් 25 ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරිණි.

ඉඩම, භූමිය, බිම් කොටස, අඩවිය වැනි සමාන අර්ථ ඇති 'පත්තුව' යන වදන හා එක්ව විල් පිහිටි බිම විල්පත්තුව යන නම ලබා තිබේ. එකම බිමක විල් ගණනාවක් පිහිටි ලෝකයේ වන බිම් අතරට විල්පත්තුවේ එක්වීම සාඩම්බරය. එහෙත් සොබාදහමේ වටිනාකම් විනාශ කරමින් තිබෙන බිමක විල්පත්තු බිමෙහි පැවැත්ම පුදුම විය යුතු වන්නේය. සන්ධ්‍යාවේ ඉර බසින්නට පැය දෙකකට පමණ පෙර බොරුපන් විල ඉවුරෙහි බිඟුහරයෝ බෙහෙවින් ගැවසෙති. ගැට කිඹුලකු කට ඇර බලා හිඳින්නේ දහවලේ ගිල දැමූ ගොදුරක් දිරවීමට වාගේය. ඒ අතරේ ඌ සන්ධ්‍යා අව්ව තපියි. බිඟුහරයෝ ගැට කිඹුලා අසල ගැවසෙමින් ඇහිඳ කති. විල්පත්තුවේ සෑම විලක් හා වගුරක් ආසන්නයේම ගැට කිඹුල් ගහනය ඉහළ වන්නේය. ජලාශවල මසුන් ගොදුරට ගන්නා ගැට කිඹුලා බෙහෙවින් ආහාරය සඳහා පහර එල්ල කරන්නේ මුවන්ටය.

විල්පත්තු වනෝද්‍යානයේ සංචාරකයින්ට නවාතැන් ගත හැකි බංගලා කිහිපයකි. එක් අයකු බැගින් නීදා ගත හැකි ඇඳන් දහයක් සහිත බංගලා සියල්ල විවිධ ස්ථාන කෙරෙහි ළඟා වන පරිද්දෙන් පිහිටුවා ඇත. බොරුපන්විල, තිඹිරි විල, මහපතැස්වැව, දෙමට විල, ඊරියක්කුලම, කුඹුක් විල යනාදී විල් ගණනාවක් ලුණුවැව බංගලාව ආසන්නයේ පිහිටා ඇත. ලුණුවැව බංගලාව ආසන්නයට යන එන කොටින්, ගෝනුන්, මුවන් පමණක් නොව වළසුන්ද එහිදී දක්නට ලැබෙන සුලභ දසුනකි. මොණරුන් ඈත පිල් විදහා නටන ආකාරය වනයෙන් එපිට දෙයක් සිහි කරන්නට ඉඩ නොතබන්නේය. නමුත්, අපේක්ෂා නොකරන මොහොතක මෙම දසුන් බිහිසුණු අත්දැකීමක් වන ආකාරය ලුණුවැව බංගලාව භාරකරු අසංක රත්නායක පැවසුවේ සංචාරකයින්ගේ ලොමුඩැහැ ගන්වමිනි.

"එදා කවුරුත් බංගලාවේ නවතින්න ආවෙ නැති දවසක්. එහෙම දවස් හිතට ගේන්නේ හරිම සාංකාවක්. කොයි වෙලේ කරදරයක් වෙයිද කියන බයත් එනවා. එදා මම රෑට කාලා මගේ කාමරයට ගිහින් නිදා ගත්තා. මහ රෑ මගේ දොර පහුරු ගාන සද්දය ඇහුණා. මම දැනගත්තා වළහා ඇවිත් බව. දිගින් දිගටම පහුරු ගෑවා, නිකමටවත් දොර ඇරියොත් සිද්ධ වෙන දේ දැනගෙන මම කාමරයේ බිරාන්ත වෙලා හිටියා. උදේ ඇවිත් බලනකොට බංගලාවේ පෝටිකෝවේ වළහා වසුරු දාලා ගිහින් තිබුණා."එහෙම කී අසංක ලුණුවැව බංගලාවට එන සංචාරකයින්ට උපදෙස් දෙන්නේ රාත්‍රියේ නින්දට ගිය පසු උදෑසන වන තුරු කාමරවල දොරවල් නාරින ලෙසය.

දුම් බොන්නා හෙවත් ඉන්ඩියන් රෝලර්, ග්‍රීන් බීටර්, ව්හයිට් ට්‍රම්පර්, කිරලා, නීල කොබෙයියා, බ්ලැක් හෙඩඩ් ලිඩ්ල් නමින්ග් හඳුන්වන හිස කළු පැහැති සුදු කොකා, හබන් කුකුළා, ලතුවැකියා හා සේරු කුරුල්ලන් මෙන් පස් හය ගුණයක පක්ෂි ගහනයක් විල්පත්තුවේ හිමිකරුවන්ය. වනාන්තරයේ නිහඬතාවට කන්කළුභාවයක් ගෙනෙන්නේ ඔවුන්ය.

වැඩිම වළස් ගහනයක් සිටින ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානය වන්නේ විල්පත්තුවය. නමුත්, වැසි සමයක එහි ගොඩ වන සංචාරයකුට විල්පත්තුවේ කොටි හෝ වළසුන් දකින්නට නොහැකිය. කොටි, වළසුන් පමණක් නොව මුළු වනයම අලස කරන්නට වැස්ස සමත්ය. ශ්‍රී ලංකාවේ කොටියා මෙරට බිළාල ගණයට අයත් විශාලම සත්ත්වයාය. ලෙපර්ඩ් (leopard) හෙවත් පැන්තෙලා පර්ඩුස් (Panthera pardus kotiya) නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොටියා - දිවියා යන නාමයෙන් හැඳින්වුවද නියම නාමය වන්නේ කොටියාය.

කොටියා වැසි වැටෙන විට ගස් බෙණ හෝ ගස් උඩින් එළියට එන්නේ නැත. ස්වභාවයෙන්ම කොටියා අලස සත්ත්වයෙකි. මිනිසුන් දුටුවද හඹාගෙන ගොස් ගොදුරට ගැනීමේ පුරුද්දක් උෟට නොමැති බව කීවේ වනාන්තර උපදේශක නලින් ඉන්ද්‍රජිත්ය. "මෙහෙමම ළඟට දැක්කත් බඩගින්නෙ නෙමේ නම් කොටියා කාගෙවත් පස්සෙ පන්නන්නෙ නැහැ. ඌට බඩගිනි නම් විතරයි ඌ එළවගෙන ගිහින් ගොදුරු ගන්නේ. සමහර වෙලාවට මුවන් පවා කොටින් ළඟ ගැවසෙමින් ඉන්නවා." යැයි ඔහු කීවේය.

කොටියා ගොදුරක් මස් කර ගත් පසු සාමාන්‍යයෙන් දින තුනක් පමණ තබාගෙන අහාරයට ගන්නේය. වළසා යනු කොටියාට වඩා භයානක සතෙකුය. වනාන්තර මාර්ගෝපදේශකයින් වළසුන් පිළිබඳ මුහුණ දුන් ඇතැම් සිදුවීම් ඇසීමේදී වනජීවී නිලධාරීන්ට ඇති ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලු ප්‍රශ්න කෙරෙන්නේය.

ශ්‍රී ලංකාවට ආවේණික කොටියා, වළහා, ගෝල්ඩන් ජැකල් හෙවත් හිවලා, ගෝනා, කුළු හරකා, තිත් මුවා, වැලි මුවා, උකුස්සා, මොණරා, බකමූණා, ගැට කිඹුලා විල්පත්තුවේ අනෙක් සාමාජිකයෝය.

කොටින්ට තමන්ගේ බල ප්‍රදේශයක් තිබේ. සිය සීමා මායිම් ලකුණු කර ගැනීමෙන් අනතුරුව වෙනත් කොටියකු තමන්ට අයිති භූමියකට පැමිණෙන්නේ නම් එය අනෙකාගේ මරණයට හේතුවක් වන්නේය. පසුගිය සෙනසුරාදා විල්පත්තුවේ එවැනි දෙයක් සිදු විය. ඒ ඉහත කී මායිමක් පැනීමෙන් හට ගත් දබරයක් හේතුවෙන් වයස අවුරුදු 07ක් පමණ වන කොටියකු මියයෑමයි. සාමාන්‍යයෙන් කොටින් අතර මෙවැනි දබරයන් සිදු වුවද කොටියකු මියයෑමට තරම් තත්ත්වය දරුණු වන්නේ කලාතුරකිනි. මිය ගිය කොටියා ඉදිරියේදී විල්පත්තු ජාතික වනෝද්‍යාන කෞතුකාගාරයේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇති බව විල්පත්තු ජාතික වනෝද්‍යාන භාරකරු චමත් ලක්ශ්මන් ප්‍රකාශ කළේය.

වනය යනු අපට අයිති වූවක් නොවේ. එය සතුන්ට අයිති තැනය. එය කොටින්ගේ, වළසුන්ගේ හා නේක විධ ජීවීන්ගේ රාජධානියය. අප සැම විටම එහි සිටිය යුත්තේ ඔවුන්ගේ නිවසට ගිය හැටියටය. සංචාරකයින්ගේ ආගමනයෙන් සතුන්ට හා ඔවුන්ගේ චර්යාවන්ට

සිදු වන බාධාවන් ගැන විවාදයක් නැත. වාහන හඬ, මිනිස් කටහඬ වැනි දේ පිටතට නෑසෙන්නට සංචාරකයින් වග බලා ගත යුත්තේ එහෙයිනි. විල්පත්තු වනාන්තරය තුළ අලින් දකින්නට නොලැබෙන තරම්ය. ඒ ගම් ආශ්‍රිතව කෑමට බීමට ඔවුන් හුරු වීම හේතුවෙනි.

වනය ඉතා පිරිසිදුය. වන සත්තු සිය රාජධානිය සංයමයෙන් පවත්වාගෙන යති. වනජීවී නිලධාරින්ගෙන්ද එයට බලපෑමක් නැත. එහෙයින් සංචාරකයින් සතුන් වෙනුවෙන් කළ යුතු තවත් මෙහෙයක් තිබේ. ඒ ඔවුන් පිටතින් ගෙන යන දෑ වනයට වීසි නොකිරීමය. විල්පත්තුවට ඇතුළු වන තැනම මේ ගැන දැනුම් දෙන වනජීවී දෙපාර්තමේන්තුව නොකියා කියන්නේ පොලිතීන් වනයේ දමා එන සංචාරකයින්ද මෙවැනි වන සංචාරයන්ට සහභාගි වන බවය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක මාර්ගෝපදේශකයෝ හා සෆාරි රියදුරෝ සිය කාර්ය භාරය අකුරටම ඉටු කරන්නෝය. නමුත්, වනාන්තරයේ නිබඳ රැඳී සිටින වනජීවී නිලධාරීන්ට සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් හෝ හදිසි තත්ත්වයකදී ප්‍රථමාධාර සඳහා භාවිතයට කිසිවක් ලබා දී නොමැත. ඔවුන් නොවන්නට වනය වනයක් හැටියටම දකින්නට නොහැකිය. ජලය අඩු කාලයේදී සතුන්ට දිය බොන්නට හැදූ කෘත්‍රිම වතුර වලවල් හැරෙන්නට සියල්ල නිරුපද්‍රිතය.

බොහෝ ජාතික වනෝද්‍යාන පිළිබඳ මැසිවිලි නැගෙන මොහොතක විල්පත්තුව යනු පාරාදීසයක් යැයි හැඟෙන්නේ මේ නිසාමය. ඒ පාරාදීසය සුරැකිය යුත්තේ එහි යන සංචාරකයින්ම මිස අනෙකෙකු නොවන බව සෑම අයකුම යළි යළි සිහි තබා ගත යුතුය. වනය සතුන්ගේ රාජධානියයි. අපි එහි අමුත්තන් මිස හිමිකරුවෝ නොවෙමු.

විල්පත්තුව ශ්‍රී ලංකාව මත පිහිටි හෘදය වස්තුවක් වැනිය. එහෙත්, රුදුරු ප්‍රහාර වැද ඒ හදවතේ එක් පසෙක තුවාල වූ තැන්වල ශේෂ සලකුණු තවමත් ඉතිරිව තිබේ. සොබාදම් දිනිතියේ අසිරිය වෙනස් නොකරන සත්තු විල්පත්තු 'හදවත'රකිති. එය නොරකින්නේ අපයි. දෙපා සතුන්ය. එසේ වුවද ඒ සත්තුත්, මේ සත්තුත් මැද විල්පත්තුව තාමත් අසිරිය මවමින් සිටී.

සටහන සහ ඡායා

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?