මහාවංශය අකුරු කළ මහානාම හිමිගේ විහාරාරාමය : පිදුරංගල

 ඡායාරූපය:

මහාවංශය අකුරු කළ මහානාම හිමිගේ විහාරාරාමය : පිදුරංගල

සිතියමක් අරගෙන ගල්ළිඳේ ඉඳන් සීගිරියට කෙළින් ඉරක් ඇන්දොත්, ඒ ඉරට කැපිල යන වැදගත් නැවතුමක් වෙන්නේ පිදුරංගල. ඒත් ගල්ළිඳේ ඉඳන් මහපාර දිගේ බයිසිකල් පැදගෙන පිදුරංගලට යන එක පවතින වියළි කාළගුණයත් එක්ක එතරම් පහසු නැති වෙහෙසකර වැඩක්. පිදුරංගල කියන්නේ වෙහෙස නිසා මඟ අරින්නේ නැතිව බලන්න, විමසන්න ඕන තැනක්... ඒ නිසාම “රැස” සංචාරක සටහන වෙනුවෙන්, සීගිරි වටපිටාවේ වගතුග විමසන පාපැදි චාරිකාවේ දෙවැනි නැවැතුම වෙන්නේ පිදුරංගල විහාරයයි.   

“පසුකාලීනව ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රය ෙන මහාවංශය ලියූ මහාවිහාරික මහානාම භික්ෂුව නෑදෑකමින් ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙක්. ඒ වෙනකොට වනවාසී භික්ෂුන්ගේ ආරාම සංකීර්ණයක් වෙන වැදිරටේ පිහිටි සීගිරි පර්වතය මහානාම හාමුදුරුවන් නිතර ආගිය තැනක්. සොලී ආක්‍රමණ පැවැති සමයේ ධාතුසේන කුමාරයා ආරක්ෂා වෙන්නෙත් මහානාම හිමි යටතේ.. ඒත් ඒ සිගිරියෙදිමද කියල නම් පැහැදිලි හඳුනාගැනීමක් නෑ. පසුකාළීනව රජවෙන ධාතුසේන රජතුමාගේ පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් වැඩිමහලු පුත්‍රයා වෙන්නේ කාශ්‍යප රජතුමා. නමුත් සිංහල බිසවගෙන් ධාතුසේන රජුට දාව උපන්නෙක් වෙන නිසා රාජ්‍යත්වයේ සැබැ උරුමය පවතින්නේ බාල පුතු මුගලන්ටයි. වැඩිමහල් පුතු විදිහට හිටපු කාශ්‍යප ගේ රජකම වෙනුවෙන් පැවැති වුවමනාව කුමන්ත්‍රණ ගණනාවක ආරම්භය බවට පත්වෙනවා. අවසානයේ මුගලන් ඉන්දියාවට පළා යද්දි කාශ්‍යප සිය සීයා වන මහානාම හිමියන්ගේ ආරක්ෂාව ලැබ සීගිරියට එනවා. දෙපාර්ශ්වය භේද කරපු මිගාර මස්සිනා අනුරාධපුරේ ඉතිරි වෙනවා. සීගිරියට පෙම්බඳින කලාකාමී කාශ්‍යප සීගිරිය ආලකමන්දාවක් කරද්දි භික්ෂූන්ට සීගිරිය අතහැර යන්නට සිද්ධ වෙනවා. උන්වහන්සේලා වෙනුවෙන් කාශ්‍යප වෙතින් පිදූ විහාර සංකීර්ණය පිදුරංගල නමින් ප්‍රචලිත වෙනවා.”   

මෙන්න මේ විස්තරය තමයි පිදුරංගල අතීත කතාවේ කෙටිම කෙටි සටහන වෙන්නේ… ආටෝප කැටයම් දාලා ලියපු මහාවංශයේ කොහොම තිබ්බත්, අපි මේ විස්තරෙන් වැඩි හරියක් උකහා ගත්තේ තල්කොටේ ගමේ පුංචිබණ්ඩත්තප්පාගෙන්. ඉතිරි අඩුපාඩු පිරෙව්වෙත් සීගිරිය කිට්ටුව ජීවත්වෙන, බුලත් විටෙන් කට රතු කරගත්තු සුන්දර මිනිස්සුම තමයි. අක්කර එක් දහස් දෙසීයකට ආසන්නව නිලට නිලේ නිල්ල දිලෙන සීගිරි වනාන්තරය මැද්දේ, සිගිරි පර්වතයේ උතුරු දොරටුවට සැතැපුම් එක හමාරක් උතුරෙන් පිහිටි මීටර් 340ක් උස ශේෂ කන්දක් පුරා පිදුරංගල විහාර සංකීර්ණය විහිදි පැතිරි යනවා.  

පිදුරංගල ලිඛිත ඉතිහාසය ගැන කතාකරද්දි කාශ්‍යප රජතුමා විහාරාරාමයක් වශයෙන් සැකැසීමටත් කලින්ම එය යෝගාවචර භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් අාරණ්‍ය සේනාසනයක් ලෙස පැවැති බව තහවුරු කරගත හැකියි. පිදුරංගල අවට හමුවන ක්‍රි.පූර්ව තුන්වන හා එක් වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන මගින් ඒ බව සනාථ වන අතර පිදූ අරංගල, පිදු අරංගල, පිදුරංගල ලෙස ජනවහරට එක්ව තිබේ.  

“සීගිරියේ උතුරු දොරටුවට පිටතින් ‘නියියන්ති’ නම් වනයේ කසුප් රජු තමා හා තම දූ වරු දෙදෙනා නමින් විහාරයක් සෑද වූ බවත් එය ‘බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය’ හෙවත් ‘බෝ උපුල්වන් කසුප්ගිරි’ වෙහෙර යැයි විශ්වාස කෙරෙන අතර මහා වංශයේ සඳහන් වන ‘දළ වෙහෙර’ මෙය ම බවත් ශිලා ලේඛන අනුව තහවුරු කරගත හැකියි.  

දුහුවිල්ල සමඟ මිතුරු වියළි සුළ‍ෙන් නිරන්තර ආගන්තුක සත්කාර ලබමින් අපි පිදුරංගලට එද්දි ඉර මුදුන් වෙලා හෝරා එක හමාරක් විතර ගෙවිලා ගිහින්. සංචාරක සංස්කෘතියට හුරුවුණු සීගිරියේ වියහියදම් දේශීය සංචාරකයින්ට දරන්නට අමාරු නිසාම සීගිරිය සහ අවට ප්‍රදේශවල දේශීය සංචාරකයින්ට වඩා විදේශ සංචාරකයින් බහුලව දකින්නට පුළුවන්. මේක සංචාරක පුරවරයන් වූ හික්කඩුව, නිලාවේලි, අරුගම්බෙ ප්‍රදේශවලදිත් දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයක්. සිගිරිය වගේම පිදුරංගලත් සුද්දන්ට මැජික් එකක් වෙච්චි නිසාම “විදේශිකයින්ට පමණක් සීමාවන” ප්‍රවේශපත්‍ර ගාස්තුවකට යටත්ව පිදුරංගල දකින්නට ඔවුන්ට නියම වෙලා. ඒත් තැනක දෙතැනක තිබුණූ පුවරු කිහිපයක් හැර පිදුරංගල වැදගත්කම පහදා දිය හැකි, එහි අතීත කථාව හෙළි කරන්නට ඉදිරිපත්වන මඟපෙන්වන්නෙකු හෝ විස්තර පුවරුවක්වත් පිදුරංගල තිබුණේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සවිකළ පුවරු දෙක තුනක් තිබ්බත් ඒවායේ විදෙස් භාෂා විදිහට තිබුණේ ඉංග්‍රීසි පමණයි. පුද්ගලික මඟ පෙන්වන්නන් සමඟ ආ සංචාරකයින් පිදුරංගල ගැන දැනුම ලබාගත්තත්, තනි තනිව එන සංචාරකයින් “මැස්සන්ට බැට දෙන්නට නොහැකිව අසරණ වූ වල්ගය නැති ගොනුන්” සේ ආතක් පාතක් නැතිව පිදුරංගල සංචාරයේ යෙදෙන හැටි අපි දැක්කා. අඩුම තරමේ ජල පහසුකම් සහිත වැසිකිළියක්වත් “පිදුරංගල” කිට්ටුව තිබුණේ නෑ.   

මෑතකදි ඉදිකළා යැයි සිතෙන මකර තොරණකින් ඇතුළු වෙලා පුදබිමට පිවිසෙද්දි බෝ සෙවණක සිසිලස අපට දැනුණා. ගලින් කළ අතීත බෝධිඝරයට පිටතින් මෑතකදී ඉදිකළ බෝධි ඝරයකින් වටවුණු විසල් බෝ රුක තරාතිරම නොබලා ඒ වෙත එන හැමෝටම එකසේ සිසිලස පැතිරුවා. පසෙකින් පිහිටි විහාර ගෙයි අපි යන මොහොතේ විහරාධිපති ස්වාමින් වහන්සේ වැඩසිටියේ නැහැ. ඊළගට හමුවුණු ගල් පඩිපෙළ දිගේ ඉහළට නැඟි අපිට හමුවුනේ බුදුමැදුර. සැතපෙන බුදු පිළිමයක් සහ හිඳි පිළිමයක් පසුබිමෙන් වූ බිත්තිය කැටයම් සහ චිත්‍ර වලින් සැරසී තිබුණා. විශාල ගල් පර්වතයකට පසුබිම්ව නිමවුණු බුදු මැදුරේ සිතුවම් සහ කැටයම්වල අනුරාධපුර යුගයේ ලක්ෂණවලට වඩා මෑත යුගයේ ලක්ෂණ තමයි දක්නට ලැබුණේ. අතීත උරුමයක් තිබෙන මෙම විහාරයේ මෑතකාලීන අලුත්වැඩියාවන් සඳහා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වුණාද කියන එක සැක හිතෙන විදිහට සමහර ගොඩනැඟිලි අලුත්වැඩියා සිද්ධ වෙලා තිබ්බා. වහළවල් සඳහා උළු වෙනුවට ඇස්බැස්ටෝස් භාවිතා කිරීම එක උදාහරණයක්.   

බුදු මැදුර පහුකරගෙන ගල්පඩි පෙළ දිගේ ඉදිරියට යන අතරතුර හමුවන පෙත්මං භාවනායෝගී භික්ෂුවරුන් වැඩ හිඳින කුටි සඳහා යොමුවන බව තමයි දැනගන්නට ලැබුණේ. සංචාරකයින් සදහා ඇතුළුවීම තහනම් කර තිබුණු නිසා අපි ඒ පෙත්මං දිගේ නොගොස් ප්‍රධාන මඟදිගේම කඳු මුදුන බලා පිටත් වුණා. ඒකාකාරි නොවුණු පඩිපෙළ පරෙස්සමෙන් අඩි තබමින් ඉදිරියට යා යුතු එකක් වුණා. ටිකෙන් ටික ඉහළට නඟිද්දි සීගිරිය සහ පිදුරංගල වසා පැතිරෙන වනගොමුව පෙනෙන්න ගත්තා.   

අතරමඟ තැනින් තැන ගරාවැටුණු භාවනා කුටි වල ගලින් කළ පාදම් ගණනාවක් හමුවුණා. ඒ කුටි සියල්ල අවසානයේ කූටාප්‍රාප්තිය ලෙසින් අඩි දෙසීයක් පමණ දිගැති කටාරම් කෙටූ ගල් ලෙන කෙළවරෙහි මැටියෙන් සහ ගඩොලින් කළ සැතපෙන බුදු පිළිමයක් දකින්නට පුළුවන්. අඩි 49ක් පමණ දිග මේ පිළිමය ( මේ යුගයේ ඉදිකළ පිළිම අතරින්) ආසියාවේ දිගම සැතපෙන පිළිමය බවට සඳහන්. මේ බුදු පිළිමයට හරියටම ඉදිරියෙන් සීගිරියේ සිංහපාදය දකින්න පුළුවන්. මේ නිසාම මේ පිළිමය ගැන තිබෙන ඓතිහාසික කතන්දරත් අපූරුයි.   

“සීගිරියේ ලෞකික සුව විඳිමින් කල් ගෙවූ කාශ්‍යප රජුට සිය මාළිගය ඉදිරියෙන් පැහැදිලිව පෙනෙන ලෙස මෙම පිලිමය ඉදිකළ බව තමයි කියවෙන්නේ. ඒ අනුව කාශ්‍යප රජතුමා සිගිරියේ සිටම පිදුරංගල පිළිමය උදේ-හවා වන්දනාමාන කළ බවත් කියවෙනවා. පියාගේ මරණයට දායක වුණු කාශ්‍යපගේ චිත්ත පීඩාව දුරුකර ගැනීම වෙනුවෙන් මහානාම හිමිගෙන් ලැබුණු උපදෙස් මත මේ පිළිමය ඉදිකළ බවයි විශ්වාස කරන්නේ... ”  

මෑතකාලීනව මෙම පිළිම සහ නෂ්ඨාවශේෂ නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව පැහැදිලිවම දකින්නට පුළුවන්. ආරම්භයේ සිටම සිගිරියට සීමාවූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය පිදුරංගලට යොමු වී  ඇත්තේ නිදහසින් පසු සමයකදි. සෙනරත් පරණවිතානයන් පවසන පරිදි කාශ්‍යප රජතුමන්ගේ ආදාහනය පිදුරංගල විහාරයට ආසන්නව සිදුවී ඇති බවත්, පිදුරංගලට නුදුරින් වනගොමුවේ පවතින චෛත්‍යය එතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානය බවත් සඳහන්. නමුත් එයට විරුද්ධව මත ඉදිරිපත් කරන පුරාවිදු පර්යේෂකයින් එය එසේ නොවේ යැයි සඳහන් කර තිබෙනවා. ඒ අනුව එක් දෙයක් පැහැදිලියි. කාශ්‍යප රජුගේ වසර දහඅටක රාජ්‍ය කාළය තුළ නිර්මාණය කොට අවසන් කළැයි සඳහන් සීගිරිය ගැන වසර සියයකට අධික පුරවිද්‍යා කැණීම් වලින් වත් පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා.   

සැතපෙන පිළිමයට නුදුරින් සෙල්ලිපියක් හඳුනාගන්න පුළුවන්. එය ‘පිදුරංගල ගිරි ලිපිය” ලෙස ප්‍රසිද්ධයි. ක්‍රි.ව. 6 වැනි සියවසේදී පැරණි සිංහල භාෂාවෙන්, බ්‍රාහ්මී අක්ෂර භාවිතයෙන් කෙටූ මෙම සෙල්ලිපියෙන් පෙදරේරු වෘත්තිකයෙකු  පිදුරංගලට පූජා කළ කහවණු සහ වී අමුණක බිම් ගැන සඳහන් වන බවයි කියැවෙන්නේ. ඒ අනුව භික්ෂූන් පන්සියයකට ආසන්න පිරිසක් භාවනායෝගීව සිටි, ශෛලමය කුටි දෙසීයක් පමණ පැවතුණු පිදුරංගලට දායකයින් පිදූ බොහෝ දේ අතර දලගණයුගක නම් පෙදරේරුවා පිදූ දේ පමණක් සටහනක් ලෙස ඉතිරිව තිබෙන බව පමණක් කිව හැකියි.   

මේ වැදගත්කම් සියල්ල පසු කළ විට ඊළඟට හමුවන්නේ පොකුණක්. පොකුණ පසුකර මඳ දුරක් ගිය පසු පිදුරංගල ගිරි ශිඛරයට ළඟාවිය හැකි තරමක් අසීරු මාර්ග කොටස හමුවෙනවා. ගල් අතරින් රිංගා යමින්, ගලින් ගලට පනිමින් මද දුරක් ගිය විට දකින ඒ මනස්කාන්ත දර්ශනය ගමනේ වෙහෙස මදකට නොව සදහටම අමතක කර දමන්නට සමත් එකක්. ගිරි ශිඛරයක් වෙනුවට පිදුරංගල ඇත්තේ ගිරි තලාවක්. වර්ග සැතපුමක් පමණ විහිදෙන මේ ගල් තලාව තැනිතලාවක්ම නොවුණත් නිදහසේ ඇවිද යා හැකි ආනතියකින් යුක්තයි. වනගොමුව ඉරා අහසට නඟින “සිහිගිරිය” පැහැදිලිවම බලන්න පුළුවන් පිදුරංගලදි.   

ගල මුදුනේ පිදුරංගල විහාර සංකීර්ණයට අයත් කිසිදු ඉදිකිරිමක් හෝ ඒවායේ නෂ්ඨාවශේෂ හමුවන්නේ නෑ. ඒත් ගල්තලාවේ එක් කෙළවරක පිහිටි සුවිශේෂි ගල්ගෙඩියක් ගැන විවිධ මත ඉදිරිපත් වනවා… යම් බලයක් හමුවේ පහළට පෙරළා දැමීමට හැකි වන පරිදි මෙම ගල් ගෙඩිය රඳවා තැබූ බව තමයි විශ්වාස කරන්නේ. ඒ අනුව පිදුරංගල ගල මුදුන කාශ්‍යප රජතුමාගේ මුර සෙබළුන් රඳවා තිබූ ස්ථානයක් ලෙසට හිතන්න පුළුවන්. සිය සොයුරා වූ රාජ්‍ය උරුමය ඇති මුගලන්ගේ ආක්‍රමණයකට බියෙන් කල් ගත කළ කාශ්‍යප රජතුමා සතුරු බළමුළු විනාශ කිරීමේ අරමුෙණන් හෝ, අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙසින් පහළට පෙරලීමට මෙම ගල්ගෙඩිය රඳවා තැබූ බවට විශ්වාස කරනවා.   

කොහොම වෙතත් ඒ ගල අසලට එක එල්ලයේම සිගිරියේ සිංහ පාදය සහ පඩිපෙළ දකින්නට පුළුවන්. ගල් තලාවේ හාත්පස විමසා බලද්දී වනගොමුව අතරින් කණ්ඩලම වැව, මහ කිඹිස්ස වැව ඇතුළු සිගිරිය අවට පිහිටි වැව් ගණනාවක් හඳුනගන්න පුළුවන් කම තියෙනවා… තැනින් තැන වනගොමුව ඉරා මතුවන සංචාරක හෝටල්වල කෘත්‍රිම වහළවල් නොවෙන්න හාත්පස දසුනේ කිසිම අඩුපාඩුවක් කියන්න නම් බෑ..ඉර බැහැගෙන යනතුරු පිදුරංගල මුදුනේ සිටින්නට හැකිනම් එය තව තවත් සුන්දර සන්ධ්‍යාවක් වෙන්නට ඉඩකඩ තිබුණත් පිදුරංගල පාමුල ඇති නටබුන් වල වගතුග දකින්නට අවශ්‍ය නිසාම අපි තවත් ටික වේලාවකින් පල්ලම් බැස්සා.   

සීගිරියට එන පිරිසෙන් හරි අඩක්වත් පිදුරංගලට නොඑද්දි, පිදුරංගලට එන පිරිසෙන් අඩක්වත් පිදුරංගලට නුදුරු විහාරාරාම සංකිර්ණයට එන්නේ නෑ… පිදුරංගල සිට සීගිරිය වැව දෙසට යන්නට හැකි මාර්ගයේ මීටර් තුන්සියයක් පමණ ඉදිරියට යද්දී පිදුරංගලට ප්‍රතිවිරුද්ධ දෙසින් මේ විහාරාරාම සංකීර්ණය හමුවනවා. තවමත් සම්පූර්ණයෙන්ම මතු කරගෙන නැති වුණත් කැණීම් වලින් මතුකරගෙන ඇති කොටස අක්කර දෙකතුනකට වඩා වැඩියි.   

කාශ්‍යප රජුගේ සොහොන යැයි සැලකෙන නටබුන් චෛත්‍යයත්, දාන ශාලාවක සහ බෝධි ඝරයක නටඹුන්, ගල්කණු රාශියක් සහිත මේ බිම ආරක්ෂකයෙක්, මඟ පෙන්වන්නෙක්, තොරතුරු පුවරුවක් පවා නැති හුදකලා ස්ථානයක්… තවත් හඳුනාගත නොහැකි ගොඩනැඟිලි පණහක හැටක නටඹුන් පැවැතුණත් ඒවා විවරණය කරන්නට හෝ විමසා බලන්නට පුරාවිදු දැනුමෙන් තොර අයෙකුට හැකියාවක් නෑ… එ නිසාම ඒ හුදකළා බිමේ පරෙස්සමෙන් ඇවිද ගිය අපි ඊළඟ මොහොතේ ආපසු හැරෙන්නට තිරණය කළා… සවස් වෙන කොට වන අලි සැරිසරන සීගිරි වන බිමේ පාපැදි ගමන නුවණට හුරු නැති නිසා සැඳෑ අඳුරට කළින් සීගිරි වන ගොමුවේ පිහිටි පුංචි නවාතැන්පොළකට ළඟාවෙන්න අපිට පුළුවන් කම ලැබුණා.  

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ]

මාතෘකා