මහසෙන් රජ පහස නිවූ දිය උල්පත | ඇස පාදන රැස


මහසෙන් රජ පහස නිවූ දිය උල්පත

 ඡායාරූපය:

මහසෙන් රජ පහස නිවූ දිය උල්පත

සීගිරි කැටපත් පවුර, සීගිරි චිත්‍ර සහ තවමත් පැහැදිලිව හෙළි කර නොගත් ඉතිහාසයක් සහිත සීගිරිය පර්වතය ආශ්‍රිත නටඹුන් නිසාම සීගිරියට පෙම්බඳින්නන් බොහොමයි. සීගිරිය පාමුල නවාතැනක ගතකළ, මිල අධික රාත්‍රිය අහවර කරපු අපි උදෑසනින්ම කුළියට දෙන පාපැදියක නැඟල චාරිකාව ඇරඹුවේ හැමෝම යන සීගිරියට නම් යන්න හිතාගෙන නොවේ.

මුළු රජරටටම වැස්ස වළාහක දෙවියන්ගේ පිටුපෑම සාපයක් වෙද්දි සීගිරියට වැස්ස නොලැබීම ආශිර්වාදයක්.  

“වැස්සහම ගෙස්ට්ල එන එක අඩු වෙනවා…. පායනකොට බිස්නස් හොඳයි”

වෙරළු ගෙඩියේ ඉඳන් අලි ඇතුන් දක්වා සියල්ල ඩොලර් වලට විකිණෙන සීගිරියේ වෙළෙන්දෙක් පෑවිල්ල ආශිර්වාදයක් වෙන හැටි කිව්වේ එහෙමයි.

සුද්දන්ට මැජික් වෙච්ච, ගම්මුන්ට ඉල්ලමක් වෙච්ච සීගිරි  පිවිසුම පහුකරගෙන සීගිරි වැවට උඩින් යන තාර පාරට පිවිසුණු අපි හෙමි හෙමින් ඉස්සරහට ගියා. කා‍ෙලකින් පාපැදියක යන නිසාම නුහුරු ගතියක් දැණුනට, වට පිට බල බලා හෙමින් යන ගමනට පාපැදිය කදිමයි.  

සීගිරිය වැව පහු කළහම තනිකර කැළේ. දෙපස විශාල ගස් වලින් වැහුණු පාර දිගේ ඇතිරිලා තිබ්බේ කළුවරක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තැනින් තැන සවිකරපු දැන්වීම් වලට අනුව නම් අපි පහුකරන්නේ සීගිරිය අභය භූමිය. ඒත් තව ටිකක් දුර යද්දි අභය භුමියේ තැන තැන මහ වන බිම එලිපෙහෙළි කරල හදපු සංචාරක නවාතැන්, හෝටල් ගණනාවක් දක්නට ලැබුණා. ඒ වගේම වන බිම තැන තැන කසළ කඳු ගොඩගැහිලා තිබුණා. ඒ කුණු කඳු අසල බහුලව තිබෙන අලි වසුරු, සාක්ෂ්‍යයක් වුණේ ඒ ඉසව්වේ වන අලි සැරිසරනවා කියල කියන්න විතරක් නොවෙයි. ඒ අලින්ගේ කුස තුළට ප්ලාස්ටික් පොලිතින් පවා ඇතුළුවීමේ හැකියාවක් තිබෙන බවත් කියන්නයි.

බෙල්, පරණවිතාන, රාජා ද සිල්වා, රෝලන්ඩ් සිල්වා වගේ වැදගතුන් කරක් ගැසූ බිම්වල අද දවසේ කෙරෙන කැණීම් සහ සොයාගැනීම් වල ආරළු බූරළු මොනවද කියල නොදන්න අපිට පේන එකම දේ, සීගිරියේ වටිනාකම් නොදැන එය අවභාවිතා කෙරෙමින් බොහෝ දෙනා මඩි තරකරගන්නා බව පමණයි.  

එවදන් තහවුරු කෙරෙන විසූක දස්සන බලමින් අපි මේ යන්නේ අපූරු ඉතිහාසයක සකෂ්‍ය සඟවාගෙන සිටින ඉසව්වක් හොයාගෙන. සීගිරියට උතුරෙන් පොළොන්නරු මායිමේ, මින්නේරි වැව ඉස්මත්තේ පිහිටි පුංචිම පුංචි ළිඳක්  තමයි අපේ ගමනාන්තය වෙන්නේ… මේ ළිඳ පුංචි වුණාට මහසෙන් රජතුමා මින්නේරි වැව ඉදිකරන්නත් කලින් කා‍ෙලකට අයිති ඉතිහාසයක් මෙතැනට තියෙනවා… ඒත් සීගිරියට එන ගොඩ දෙනෙක් මඟහැරලා යන, ගොඩක් දෙනෙක්ට මඟහැරී යන මේ ස්ථානය ගැන  කියන්න කතන්දර එමටයි.

ධාතුසේනලා, මහසෙන්ලා, කාශ්‍යපලා බැල්ම හෙලන්න කළින් මේ බිම අයිති වෙලා තිබුණේ වැද්දන්ට කියලයි කියන්නේ. තාමත් පැරණි තෝම්බු වල මේ ප්‍රදේශය හඳුන්වන්නේ වැදිරට කියල තමයි. ඒ නිසා ඒ කතාවට අමුතුවෙන් සාකෂ්‍ය හොයන්න දෙයක් නැහැ. අදටත් මේ ප්‍රදේශවල පාරම්පරිකව ජිවත්වන මිනිස්සු වැදි පරම්පරාවෙ උරුමය කියන්න කිසිම විදිහකින් පැකිලෙන්නේ නෑ… ඒ ආත්මාභිමානය පිරුණු ඉතිරුණු මිනිසෙකු වුනු තල්කොටේ ගමේ පුංචිබණ්ඩත්තප්පාගෙන් කඩඉම් ළකුණු අහගෙන යන මේ ගමන වරදින්න විදිහක් නම් නෑ…

ක්‍රිස්තු වර්ෂ 276 දී රජ වුණු මහසෙන් රජතුමා, වැව් දාසයක් හැදුවා. රිටිගලින් මෙහාට ඝණ කැළේ. එතුමා රිටිගල නැවතිලා වැවක් හදන්න සුදුසු තැනක් හෙව්වා. රජවුණු වහාම මහා විහාරය විනාශ කරලා, ඒකේ උඳු වැපුරුව නිසා රාජධානියේ වැසියෝ එතුමා දුෂ්ඨයෙක් විදිහට හිතපු කාලෙක ඒ  අපවාදයෙන් ගැලවෙන්න මඟක් විදිහට තමයි එතුමා වැව් බඳින්න හිතුවේ. අනුරාධපුරේ මඟ ඇරල ඇවිත් රිටිගලට වෙලා ඉද්දි එතුමාගේ ඕනෑ එපාකම් සැපිරුවේ වැදිරටේ මිනිස්සු. රජතුමා රිටිගල ඉඳන් මින්නේරිය වැව බඳින තැනට යන්නේ ගොනා පිටේ. ඒ යන්නේ මේ පාර දිගේ. දවසක් මෙහෙම යනකොට උන්වහන්සේ විවේක ගන්න නවතිනවා මයිල ගහක් යට. වතුර පොදක් බොන්න බලද්දි අතවැසියන්ට වතුර ලබ්බ ගේන්න බැරිවෙලා. දැන් මොකද කරන්නෙ කියල වටපිට බලද්දි කාෂ්ඨක පොළවේ ටිකක් විතර සාරෙට හැදුණු තණ පදුරක් දැකලා තියෙනවා. මයිල ගස් කොහොමත් හැදෙන්නේ උල්පත් සිමාවේ. රජතුමා තමන්ගේ කඩුව මෙතැනට ඇනල තියෙනවා. ඉන්පස්සේ සේවකයෝ මැදිහත් වෙලා පාදපුවහම උල්පත මතුවෙලා තියෙනව. ඒ උල්පත එදා ඉඳන් අද වෙනකම් එක සීරුවට සාරෙට තියෙනවා. ඒකට තමා ගල්ළිඳ කියන්නේ. ගල්ළිඳෙන් වතුර බීලා ගිහින් එතුමා හැදුව මින්නේරි වැවෙන් මෙනේරි හදපු වැද්දො වී වපුරන ගොවියො වුණා. දුෂ්ඨයෙක් කියල කියපු මහසෙන් රජ්ජුරුවෝ දෙයියෙක් වුණා.  

මින්නේරි කතන්දර කියන්නේ මහාවංශයේ නොලියවුණූ අපූරු ජනප්‍රවාද රාශියක එකතුවක්. කතන්දර විතරක් නොවෙයි, කවිත් ඕන තරම්.

ඉර ටිකෙන් ටික මුදුන් වෙන්නේ පාපැදි ගමන දුෂ්කර ව්‍යායාමයක් බවට පත් කරමින්. ඒත් අතරමඟ දකින ආගන්තුක ගැමි දසුන් නෙතඳුනක් වෙමින් ගිමන නිවද්දි ඉලක්කය ළඟාවෙන්නේ නොදැනිමයි. සීගිරියෙන් හැතැප්ම පහ හයක් උතුරට යද්දි “මහසෙන්ගම” නමින් ගම්උදා බිමක් හමුවෙන්නේ පාරම්පරික ගල්ළිඳ වැදි ජනයාගේ නූතන ජනපදකරණයට උදාහරණ සපයමින්. මේ වෙද්දි ගල්ළිඳ අයිති මින්නේරි කැළේට. පාරම්පරික වැද්දෙකුටවත් වනජීවියෙන් අවසර නොගෙන කැළේ පනින්න බෑ. ඒත් සීගිරියේ හෝටල් කාරයින්ට ඒ නීති වලංගු නෑ. කැමැතිම තැනින් නීතිය නමන්න වැද්දන්ට බැරි වුණාට මුදලාලිලාට පුළුවන්.

අතීත වෘතාන්තයට අයිති මයිල ගහ මොකද්ද කියන එක නොදනිතත් ගල්ළිඳ අද්දර මයිල ගස් කිහිපයක්ම අදටත් දකින්න පුළුවන්. අඩි අටක් පමණ ගැඹුරු ළිඳ මැතකදි සිමෙන්තියෙන් වටකළ බවට සාක්ෂ්‍යත් දකින්න පුළුවන් කම තියෙනවා. මාස තුනකට අධික කාලයක් තිස්සේ වැසි බිඳක් නොලැබූ කාෂ්ඨ පරිසරයේ ගැහැට අමතක කරමින් උල්පතෙන් මතුවෙන වතුර ළිං බිත්තියේ හාත්පස තෙමාලමින් ඉවතට ගලායනු දකින්නට ලැබුණා. ළිඳ ආසන්නයේම අලි ඇතුන් විසින් කඩා බිඳ දැමූ ගස් අතුත්, අලි බෙටිත්  කියූ නිහඬ කතාව අපිට තේරුම් ගියා. අලින් පමණක් නොවේ, දිවියන්, වළසුන් සහ වල් ඌරන් මේ ඉමේ ගැවසෙන බවට සාධකත් මේ වන බිමේ අඩු නැතිව විසිරිලා, පැතිරිලා තිබුණා.

ගල් ළිඳට  එන පොඩි අඩිපාරෙම තව ටිකක් එපිටහට, වන මැදින් යන කොට හමුවන්නේ දේවාලයක්. ඒ දේවාලය මින්නේරි වැව තැනූ මහසෙන් රජු වෙනුවෙන් වෙන්වූ එකක්. පුරාවෘත වලට අනුව  මින්නේරි වැව් බැම්මේ පිහිටි මහසෙන් දේවාලයත්, මේ ගල්ළිඳ මහසෙන් දේවාලයත් එකම නැකතට පිළිවෙළින් රන් කණුවෙන් සහ ඇහැළ කණුවෙන් මුල් කණු සිටුවා ඉදිකළ ඒවායි. මහසෙන් රජු වෙනුවෙන් ප්‍රධාන දේවාලය වෙන් කරද්දි රජුගේ ප්‍රධාන ඇමතිවරයෙක් සහ මින්නේරි වැව තැනීමේදී රජුට සහය වූ පනම්බණ්ඩාරයන් වෙනුවෙන් ගල්ළිඳ දේවාලය වෙන්වූ බවටත් සමහර පුරාවෘත වල සඳහන්. තවමත් වාණිජකරණයට ලක්නොවූ මෙම දේවාල බිම බොහොම නිදහස් තැනක්. මහසෙන්ගම, සීගිරිය සහ හිරිවඩුන්න ප්‍රදේශවලින් පැමිණි ප්‍රධාන කපුරාල ප්‍රමුඛ ආවතේව කරුවන් දෙදෙනා එදා එහි රැඳී සිටියේ කෙම්මුර දවසක් වූ නිසාවෙන්. ඒත් පිහිට පතා පැමිණි  බැතිමතුන් නම් කිසිවකුත් නොසිටියේ මේ කුඹුරු වැඩ සමය නිසා විය හැකියි.

දහතුන්වන පරම්පරාවේ උරුමය රකිමින් ගල්ළිඳ දේවාලයේ ප්‍රධාන කපු ධුරය දරන මහසෙන්ගම සෙනෙවිරත්න මහතාගෙන් අපි ගල්ළිඳ දේවාලයේ අතීත කථාව අසා දැනගන්නට උත්සහ කළා.

“වැවක් කරවීමට බිමක් සොයමින් නුවරගල කන්දත්, රිටිගල කන්දත් අතර ස්ථානයක් සොයමින් සිටිය මහසෙන් රජතුමා, තමන්ගේ ආහාරය පිණිස ගෙනා මී කිරි වල ප්‍රණීත බව නිසා එය ලැබුණු හැටි වැද්දන්ගෙන් අහගත්තා. පට්ටියෙන් මිදී කැලෑ වදින දෙනකගෙන් ගෙනා කිරි බැව් වැද්දන්ගෙන් දැනගෙන, පසු දවසක ඇය ආහාර බුදින ඉසව්ව සොයා ගෙන යාමට රජතුමා සහ පිරිස තීරණය කළා. කයිලා මයිලා සහ පත්තා යන වැදි  නායක සොහොයුරන් විසින් වගාකරන මෙනේරි හේනක ඉහත්තාවේ පිහිටි පතනකින් මෙම එළදෙන වැල්මී මුසු තණ බුදින නිසා ඇගේ කිරිවල ප්‍රණිත බව උපදින බව දුටු රජු තමන්ගේ වැව ඉදිකිරීමට ඒ පතන සුදුසු බව තේරුම් ගත්තා. වැද්දන්ට කරුණු දක්වා වැව ඉදිකිරීමෙන් රටට වන යහපතද පෙන්වා දී තර්ක විතර්ක ගණනාවකින් පසු වැද්දන්ව කැමති කරවා ගන්නට රජතුමාට හැකියාව ලැබුණා. නමුත් සාමාන්‍ය රටවැසියන්ගෙන් වැඩි සහයෝගයක් නොලැබෙන නිසා වැව තැනීමට වැද්දන්ගේ සහය රජතුමාට ලබාගැනීමට උපායක් කල්පනා කළ රජතුමා, සිය නැඟණියක වන ටිකිරි වැදි නායකයෙකුට සරණ පාවා දීමටත්, වැදි නායකයාගේ සොයුරියක වු පොකුටී තම බිසවක් කර ගැනීමටත් තීරණය කළා. වැව ඉදිකිරීමට ඉඩකඩ අවශ්‍ය නිසා වැද්දන් සිය නව වාසස්ථානය කරගත්තේ ගල්ළිද ප්‍රදේශයයි. පසුව වැද්දන් විසින්ම මෙම වැව ඉදිකරීම සිදු කළා.  නෑ යකුන් පිදීම වැදි චාරිත්‍රයක් වන නිසා, අභාවයෙන් පසු සිය ප්‍රබල ඥාතියෙකු වූ මහසෙන් රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වූවා. පසුකාලීනව රටේ වැසියන්ගේද නොමඳ ගෞරවයට පත්වූ මහසෙන් රජු අවසානයේ දේවත්වයෙන් පිදීමට වැදිරටේ මින්නේරියේද, ගල්ළිද මහසෙන් දේවාල ඉදිවුණා…”

අව්කෝඩෙටත් පලගන්නා "මෙනේරී"
අව් අතු යටින් මහසෙන් ආවත්නාරී
පව් අරවලා "පත්තට" දුන්නලු "ටිකිරී"
වැව් හදලා දිය පුරවන්නට ඉඩ හරී
පූන් සඳසේම පායාලා දිලෙන්නේ
පින් මදිවද මෙනේරි පල නෙළන්නේ
රන්කඳ "බොකුටියේ" හද ගැබ අඬන්නේ
රන් බඳුනේ වළඳන්නට වරෙන්නේ

අතීත රස කතා එක්ක දවසම ගෙවන්න පුළුවන් වුණත්, හරස් වෙන්නේ කාලය තමයි. ඉර මුදුන් සමයමේ බයිසිකල් පදින එකත් අමාරු නිසා අපි ආපහු එන්න පිටත්වුණේ එතරම් කැමැත්තකන් නොවෙයි. ආපසු පැමිණීම අවශ්‍යම නිසා. අතරමඟ මයිල ගස් සෙවණක නැවැතී කොමඩු ගෙඩියක රසයත්, තැඹිලි ගෙඩියක සුවයත්, වැදි රැහේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරයත් ලැබගෙන සීගිරියට එන්න පිටත් වුණේ අතරමඟ හමුවන්නට නියමිත පිදුරංගලත් ඉසිඹු ලෑ යුතුයැයි සිත් තුළ බලාපොරොත්තුවක් රදවාගෙන.

සටහන [ ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ] ඡායාරූප [චතුර හේමාල්]

මාතෘකා