ගොදුරු සොයන රකින විල්පත්තුව

 ඡායාරූපය:

ගොදුරු සොයන රකින විල්පත්තුව

කාලිවිල පසුකර කුදිරමලේට ගිය ගමන

උදේ කෑමෙන් පස්සේ අපි ඇවිදගෙන ගියේ කුඹුක්විල ගාවට…. විලක් කිව්වට වැවක් තරමට විශාල ජලාශයක්… ඉවුර වටේට වැවණු කුඹුක් ගස් බදන්න බැරි තරම් විශාලයි… වසර සිය ගණනක අතීතයක් දැකපු ඒ කුඹුක් ගස් සෙවණේ ඉඳගෙන හාත්පස ගැවසෙන පක්ෂි සමූහයා නිරීක්ෂණය කරන්න ලැබෙන එක බොහොම සුන්දර අත්දැකීමක්….

හොඳින්ම දන්නා දියකාවුන්, පිළිහුඩුවන්, හැදි ආලාවන්, බළල්සේරුවන්, නිල් කිතලන් වැනි කුරුලු විශේෂ අතරේ නිතර ඇස නොගැසෙන පාදිලි මානාවන්, විවරතුඩුවන් ඇතුළු පක්ෂි විශේෂ විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඒ බිමේදි දැකගන්නට අපට හැකියාව ලැබුණා… තවමත් දහවල නොඑළඹුණු විල් ඉවුරට අානතව වැටෙන රන්වන් හිරු රැස්, විල් ජල තලය විනිවිදගෙන ගිහින් නොගැඹුරු පතුලට වැටෙන්නේ අපූරු චිත්‍ර රටා අඳිමින්… ඒ අතරින් ඈත බලද්දි එහා ඉවුරේ තණ බුදින මුවන් රංචුවක් දැකගන්නට ලැබුණා….

“අන්න නරි දෙන්නෙක්…..”

කිසියම් ගොදුරකට ඉව අල්ලමින් විල් ජලතලය මායිමෙන් ඉදිරියට ඇදෙන හිවල් ජෝඩුවක් අපේ ඇස ගැටුණේ සගයෙකුගේ විමසිලිමත් දෑස්වලට වහං වෙන්න උන්ට බැරි වුණ නිසා…

සාමාන්‍ය භාෂාවෙන් නරියා කිව්වට සත්ව විද්‍යාත්මක හැඳින්විම් අනුව ලංකාවේ ඉන්නේ නරි නොවෙයි, හිවල්ලු. ආසියානු golden jackal කියන හිවලාගේ උප විශේෂයක් විදියට තමයි ලාංකීය හිවලා සත්ව විද්‍යාත්මකව නාමකරණය වෙන්නේ… ඒ නිසාම නරියා කියන සිංහල නමත් විද්‍යාත්මක නමට ඇතුළු වෙලා තියෙනවා… Canis aureus naria විදියට.

ටිකදුරක් අපි දිහාට හෙමි හෙමින් ඇවිදගෙන ආව හිවල් ජෝඩුව යාර තිහ හතළිහක් දුරදි නතර වුණේ කණ්ඩායමේ කැමරා ශිල්පීන්ට ඡායාරූප සඳහා අවශ්‍ය අවකාශය ඇති තරම් ලබා දෙමින්.

ඊළඟට වාහන වලට නැඟුණු අපි තම්බපණ්ණිය හොයාගෙන උද්‍යානයේ බටහිර අන්තයට විහිදුණු පාර දිගේ ගමන් ආරම්භ කළා. සෘජුව තම්බපණ්ණිය දක්වා යන හදිසි ගමනක් නොවුණ නිසා අතරමග හමුවුණු විල් ගණනාවක නතර කර සතුන් නිරීක්ෂණය කරමින් ගිය ඒ ගමනබොහොම සුන්දර එකක්… මේ විල්වලට තියෙන්නෙත් බොහොම අපූරු නම්. මයිල විල්ලුව, කොක්කර විල, සින්න පතැස්ස, මහ පතැස්ස, දෙමට විල, බොරුපන්විල, විළඳවල වගේ නම්. රියැදුරු අජිත්ගේ කටින් මේ නම් ඇහෙන විට මේ විල් වලට නම් වැටුණු විදිහ ගැන අහන්නේ නැතිව ඉන්නේ කොහොමද?

“විල්පත්තුව කියන්නේ ලංකාවේ පරණ වනෝදානයක්… විල් සියයකට වඩා තියෙනවා… සුද්දා මේක මනින්න එනකොට මේ විල් අවට කුඹුරු කරන මිනිස්සු පදිංචි වෙලා හිටියා. සිංහලෙන් තියෙන විල්වල නම් එයාල දාපු ඒවා තමයි …”

“එතකොට දෙමළ නම්…. දෙමළ අයත් මේ අවට පදිංචිවෙලා හිටියද? “

“නෑ.. දෙමළ අය ඉඳල තියෙන්නේ මල්වතු ඔයට උතුරෙන්…. මේවා මනින්න ආවේ දෙමළ ඉංජිනේරුවෝ කොළඹින්- යාපනෙන්…. කම්කරුවොත් ගොඩක්ම දෙමළ අය… සිංහල අය සුද්දා ළඟ වැඩ කරන්න එච්චර කැමැත්තක් තිබුණේ නෑ… ඒ අය තමන් නැවතිලා වාඩි ගහගෙන හිටපු තැන්වල තිබ්බ විල්වලට දාපු නම් තමයි දෙමළ නම් විදියට තියෙන්නේ….”

“මේකේ තියෙනවා කුරුටුපාන්ඩි” කියල විලක්… ඔයවිලට නම දාලා තියෙන්නේ ඒ විල ගාවට ආව අන්ධ වල් ඌරෙක්” නිසා… දෙමළෙන් පාන්රි කියන්නේ ඌරාට. ඔන්න ඔය විදියට ඒ අවට තියෙන කිසියම් දෙයක් සිහිවෙන්න තමයි දෙමළ මිනිස්සු නම් දාලා තියෙන්නෙ.”

ටික ටික දවල් වෙද්දි ලොකු සත්තු බලන්න ලැබෙන අවස්ථාව අඩුයි… හැබැයි කුරුල්ලො නම් හැම තැනම… තැනින් තැන නවත්වමින් කුරුල්ලන්, රිලවුන්,වඳුරන්, දඬු ලේනන්, මුවන් ඡායාරූප ගත කරන ගමන් අජිත් සමඟ සිදුවන රසවත් සංවාදයත් හෙමිහිට ගලාගෙන ගියා… කිලෝමීටර් තිහක දුරක් කියන්නේ බරසාර කථාවකට ලැබෙන හොඳ අවකාශයක්…

බදියුර්දින්ගේ ඉඩම් ඇල්ලිල්ලේ කොළඹට හෙළි නොවන අභ්‍යන්තර කථා, යුද්දෙන් පස්සේ දකුණේ දේශපාලන ප්‍රබලයින් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් විල්පත්තුවේ ඉඩම් කට්ටි කරන්න හදපු හැටිත් ඒ කතන්දර අස්සේ තිබ්බට රසවත් සංචාරක ලිපියක් ඒ කතාවලින් කැත නොකර ඉන්න මම තීරණය කළා… ඒත් අද දවසේ බදුර්දීන්ගේ ඉඩම් ඇල්ලීමට විරුද්ධව සටන්පාඨ කියන, වොයිස් කට් දෙන බොහෝ දෙනා පිටිපස්සේ ඉන්නේ එදා ඉඩම් අල්ලගන්න ගිහින් බැරි වුණ අය කියල අජිත්ගේ කතාවෙන් එළිවුණා…

“කැබිනට් අනුමැතිය අරන් ගැසට් එකකින් නිදහස් කරපු ඉඩම් ආයෙ පවරගන්නේ නෑ මහත්තයා….ඕවා නිකම් සංදර්ශන විතරයි….” කොළඹ ඉන්න බොහෝ දෙනෙකුට නොතේරෙන ඇත්ත නොච්චියාගම අජිත් කිව්වේ එකම එක වාක්‍යයකින්.

“ගිය හකුරට නාඬන්නේ - තියෙන හකුර රැකගන්නේ කියල, දැන් හරි මේ කැලේ මායිම් ටික හරියට රකින එක කළා නම් ඒත් ඇති…”

පැය දෙකක විතර ගමනකින් පස්සේ අපි ආවේ මයිල විල්ලුවට. කැලේ මැද නාවික හමුදා කඳවුරක් එහෙමත් ස්ථාපිත කරල තියෙන මයිලවිල්ලුව කියන්නේ මංසන්ධියක්. පුත්තලම, එළුවන්කුළම, මුල්ලිකුළම හරහා මන්නාරමට යන අතීත ප්‍රධාන මාර්ගය අපිට හමුවු‍ෙණ් මයිල විල්ලුවෙදි. දැනට නම් කාපට් කරල නැති තත්වයෙන් තිබෙන මේ පාරේ දවසටම බස් එකක් දෙකක් වැඩ කරන බව තමයි කියැවෙන්නේ…

විජය රජතුමා ගොඩ බැහැපු තැන, තම්බපණ්ණිය කියල කව්වට එතැනට කියන ඇත්ත නම වෙන්නේ “අශ්ව කන්ද”. දැනට භාවිත හැටියට නම් “කුදිරමලේ….” කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවට අනුව ක්‍රි.පූ. 543 දී විජය ඇතුළු පිරිවර ගොඩබසින්නේ කුදිර මලේ තඩුව ආසන්න ප්‍රදේශයට. මෙම කන්ද පෝක් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බෙහි යාත්‍රාකළ නැවියන්ට හොඳින් දර්ශනය වූ කන්දක් බවයි කියැවෙන්නේ…

අපි ඊළඟ මොහොතේ නැවතුනේ කුදිර මලේ කන්ද උඩ. විශාල වපසරියක් නොතබුණු කන්ද මුදුනේ පැරණි බංකර කිහිපයක නටබුන් හදුනාගන්න පුළුවන්කම තිබුණා. පොළවේ වැල්ල ඉතාමත් සියුම්. තද තැඹිලි පැහැයෙන් යුක්තයි. නමුත් තවත් මීටර දෙසීයක් ගොඩබිම දෙසට වන්නට එසේ තැඹිලි පාට වැල්ලක් දැකගන්නට අපහසුයි. අපිත් තඹවන් වැලි අහුරක් දෝතට අරන් බලන්න අමතක ක‍ෙළ් නෑ…

දකුණු දෙසට වන්නට බත්තලංගුණ්ඩුව දූපත් සමූහය මුහුදේ ඇඳි ඉරක් ලෙස පේනවා… ඒ වගේම උතුරු දිග කෙලවරෙන් මන්නාරම දක්වාම වෙරළ තිරය පැහැදිලිව බලාගන්න පුළුවන්.

කන්දෙන් පහළට බැස්සත් මුහුද තිබෙන්නේ අඩි හැටක පමණ ප්‍රපාතයක. හුඹස් වැනි ස්වාභාවික පාෂාණ පද්ධතියක් සහිත අශ්ව කන්ද බිම තද දුඹුරු පැහැයකින් යුක්තයි. මෙම බිමේ පස ලියලන ස්වභාවයක් දැකගන්නට පුළුවන් බව තමයි, අජිත් ගේ අදහස. අක්කර හත අටක් පුරා පැතිරුණු ඒ බිමේ තරමක් ඇවිද ගිය අපි ඇති තරම් ඡායාරූප සටහන් එකතු කර ගත්තා….

ඊළඟට ඒ බිමේදි අපි අපේ දහවල් ආහාරයත් ලබාගත්තා…. මුහුදු සුළඟ වැදෙන උස්බිමක, වූ කුඩා වනරොදකට පිවිසුණු අපි එහි වූ ගස් සෙවණක වාඩිවි ලබාගත් දිවා ආහාරයේ අත්දැකීම, කෑම පාර්සලයේ රසයටත් වඩා හිතට දැනුණා.

කුදිරමලේ ඉඳන් කාල විල්ලුවට කෙළින් දුර ගත්තොත් කිලෝමීටර් අටක් දහයක් විතර. විජය කුමාරයා ලංකාවට ගොඩ බහින කොට ‘කුවේණිය” හිටියේ කාල විල්ලුවේ… ඊළඟට අපිට යන්න තියෙන්නේ කුවේණියගේ මාළිගය හොයාගෙන කාලවිල්ලුවට. විජය කුමාරයට කාලවිල්ලුවට මඟ කියන්න බැල්ලක් හිටියට, අපිට මඟකියන්න අජිත් අයියා හිටියා… ආපහු මයිල විල්ලුවට ඇවිත් තවත් විල් කිහිපයක් පහුකරගෙන තවත් අඩ හෝරාවකින් විතර කාල විල්ලුවට යන්න පුළුවන් කම අපිට ලැබුණා….

විජය කුමරා වගේම ඔහුගේ සත්සියයක් ආගන්තුක පරිවර සිරකර තබාගන්නට සමත් වුණු ඇගේ ප්‍රාදේශීය රාජධානියේ මූලස්ථානය තිබිල තියෙන්නේ කාල විල්ලුවේ.. අද නම් එතැන දකින්න තියෙන්නේ විශාල ගල් කණු කිහිපයක් සහ ගල්පතුරු කිහිපයක් පමණයි. ඉංග්‍රීසියෙන් ලිබූ නාම පුවරුවක් ඒ අසළ සවිකර තිබෙන්නේ සංචාරකයින්ගේ හඳුනාගැනීමේ පහසුව සඳහා. ඒත් විල්පත්තුව වනබිම තුළ පිහිටි නිසා එතැන නම් බහින්න අවසරයක් නෑ…

වාහනේ ඉඳන්ම, අපි එතැන ඡායාරූප කිහිපයක් අරගෙන ආපහු එන්න පිටත් වුණේ සවස් වරුවේ ආහාර සහ ජලය පිණිස සැරිසරන විශාල සතුන් දැකගැනීමේ වුවමනාවෙන්…

මුලින්ම මැණික්විල ආසන්නයේදී කිඹුලෙක් දකින්නට හැකියාව අපිට ලැබුණා… ආයෙමත් තනි හිවලෙක්… මුව රංචුවක්… ඔය විදිහට විඩෙන් විඩේ සත්තු බල බල ආවට අලියෙක්වත්, වලසෙක්වත් දවස පුරාම හමු නොවුණ එක ගැන නම් තිබුණේ කණගාටුවක්.

‘අලියෙක් කෙසේ වෙතත් මරදන්මඩුවෙදි වළහෙක් දෙන්නෙක් බලන්න බැරි වෙන්නේ නෑ…”

අජිත් එහෙම විශ්වාසයෙන් කිව්වත් කුඹුක් විල පහු කරලා මරදන්මඩුවට එනකම්ම ලොකු සතෙක් දකින්න ලැබුෙණ් නෑ… හවස්වරුවේ උද්‍යානයෙන් පිට වෙන්නට යන වාහන පෝලිමට ඉඩ දීලා අයිනකට කරල වාහනේ නවත්තගෙන හිටපු අජිත්, විනාඩි කිහිපයකට පස්සේ හෙමින් ගමන ඇරඹුවේ, දෙපස ඇති පළුගස් මණ්ඩියට නෙත් යොමමින්….

ටික දුරක් ආවට පස්සේ පළු ගහක අතු හෙළවෙන හැටි ඈතදිම පෙන්වපු අජිත් “එතන වළහා ඉන්නවා” කියල විශ්වාසයෙන් කිව්වා….

ඒත් එතැනට යන්න කලින්, වංගුව ගන්න කොටම පාර දිගේ පහළට යොමාගත් හිස සොළවමින් අපේ දිහාට එන වළහෙක් දැකගන්න අපිට පුළුවන්වුණා…

මැණික් විලෙන් අලි දැක්මට ගිය ගමන ලබන සතියේ…...

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත් පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව අලිමංකඩ, වෙල්ලමුල්ලිවයික්කාල් හරහා මුලතිව් වලට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17

දුලිප් 0777 043 804 / 0703 207 207

සටහන [ ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ [email protected]]

ඡායා [Eternal Traveller වෙනුවෙන් ප්‍රදීප් ලක්සිරි සමඟ නවෝදා සජීවනී ]

මාතෘකා