පුලෛමඩු පේළි ගෙවල් මැද්දෙන් | ඇස පාදන රැස


පුලෛමඩු පේළි ගෙවල් මැද්දෙන්

 ඡායාරූපය:

පුලෛමඩු පේළි ගෙවල් මැද්දෙන්

“සුන්දරත්වයෙන් හෙබි යමකට වටිනාකමක් ලැබෙන්නේ එය වසන් වී ඇති තාක් පමණී”

මේ කතාව කොතැනක හෝ අසා ඇතත් එය සත්‍යයක් යැයි තේරුම් ගියේ ගලබොඩ වනගොමුවේදීය. ගලබොඩ වනගොමුව විනිවිද ගොස් “සොඳුරු ගලබොඩ ඇල්ල” දකින්නට පාර කියුවේ වටවල නාය ගිය තැන බලන්නට ගිය විටදී හමුවූ කොණ්ඩන් විජේකුමාර් නම් වූ සුන්දර මිනිසාය.

රට පුරා වට මහ වැස්ස තුරල් වූ සැනින් අපි ඒ සොඳුරු දිය ඇල්ල බලන්නට එන බවට ඔහුට වූ පොරොන්දුව ඉටුකරමින් පසුගිය දිනෙක ගලබොඩට ගියා. උදෑසනින් මහනුවරින් පිටවෙන බදුලු දුම්රියේ මඟීන් බවට පත්වූ අප නාවලපිටිය, ඉඟුරුඔය පසු කර ගලබොඩට එනවිට උදෑසන දහයේ කණිසමද පසුවී තිබුණා.

තේ ආර්ථිකය සමඟ බැඳී තිබූ අතීත ගලබොඩ දුම්රියපොළ කාර්යබහුල තැනක් බව පෙනෙන්නට තිබුණත් කඳුකරයේ බොහෝ දුම්රියපොළවලට උරුම හුදකලාව අද වන විට ගලබොඩටද හිමිව තිබිණි. 1970ට පෙර සමයේ ගලබොඩට එන්නට පැවැති එකම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය පමණක් වුවද අද වන විට කඳුකරය විනිවිද තේ වතු මැදින් නාවලපිටියට සහ ගිනිගත්හේනට යන්නට සාමාන්‍ය මාර්ග කැපී තිබේ. ඒ නිසා සිය අවශ්‍යතා සඳහා ගලබොඩට දුම්රිය එනතුරු බලා සිටින්නට තේ වතු පාලනාධිකාරියට හෝ ප්‍රදේශවාසී කම්කරු ජනතාවට වුවමනාවක් නැත.

අප එහි යනවිටත් අපේ මඟපෙන්වන්නා “ගලබොඩට” පැමිණ සිටියේ තම නිවසින්ම සකසාගෙන ආ ලැවරියා සහ තේ බෝතලයක්ද සමඟය. ඒ සුහදශීලී පිළිගැනීමට අපි උපරිම ගෞරවය ලබාදුන්නේ එකම එක ලැවරියාවක්වත්, තේ බිඳුවක්වත් යළි රැගෙන යන්නට ඉතිරි නොකොට හද පිරි ස්තූතිය පමණක් පිරිනැමීමෙනි.

“දන්නවද? සුද්දගේ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා බිව්වෙත් ගලබොඩ වතුර….” අපේ කතාවට කොණ්ඩන් විජේකුමාර් මුලපිරුවෙ ඒ විදියට….

නොදන්නා බව අඟවමින් හිස දෙපසට වනා රසවත් කතාවකට ඉඩ හදල දුන්නේ දෙවරක් නොසිතාම.

“කෝච්චි පාර ඉදිකරපු කාලේ ලොකු ලොකු සුද්දෝ නිතර නිතර මේ පැතිවල ගැවසුණා… ගලබොඩ වත්තත් ටිකක් සුඛෝපභෝගී පහසුකම් තිබුණු තේ වත්තක් විදියට තමයි සැලකුණේ…සුද්දන්ට සෙල්ලම් කරන්න ස්පෝර්ට්ස් ක්ලබ් එකක් පවා ගලබොඩ වත්තේ තිබිලා තියෙනවා… තේ රට යවනකොට ඒකට ගන්න වතුර ටිකේ ඉඳල (පරීක්ෂණාගාර වලට යවා) ටෙස්ට් කරනවනේ… ලංකාවේ හොඳම වතුර තියෙන්නේ මෙහේ කියල ඒ පරීක්ෂණ වලින් එළි වෙලා තියෙනවා… ඊට පස්සේ මේක ආණ්ඩුකාරවරයාට ආරංචි වෙලා උන්නැහේ තමන්ගේ පාවිච්චියට ගලබොඩින් කෝච්චියේ දාලා වතුර පීප්ප රජගෙදරට ගෙන්වගෙන තියෙනවා….”

අපගේ දෙබස් අසා සිටි ගලබොඩ දුම්රිය ස්ථානාධිපතිවරයාද මේ කතාව අනුමත කර, ඌනපූර්නයක්ද එක් කළා…

“ඒ වෙනුවෙන්ම ගලබොඩ දුම්රිය පොළටත්, මරදාන දුම්රිය පොළටත් “වතුරකරු” කියල තනතුරක් හදල සේවකයෝ දෙන්නා ගානේ අනුමත කරල තියෙනවා…අදටත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ තනතුරට පුරප්පාඩු බඳවා ගන්නවා වෙන්න පුළුවන්… ඒත් එයාල සාමාන්‍ය කම්කරු වැඩ තමයි කරන්නේ…”

“වතුර ගත්තේ ගලබොඩ දිය ඇල්ලෙන්ද?”

“නෑ...ඒකටම හදපු ළිඳක් දුම්රියපොළ පිටිපස්සේ තියෙනවා… දැන්නම් ඒක පොකුණක් වගේ හදල තියෙන්නේ…”

අපි ගලබොඩ ඇල්ල සොයා යන්නට මත්තෙන් ගියේ ඒ පොකුණ හොයාගෙන.

අඩි හත අටක් දිග, අඩි පහක් පමණ පළල ඒ පෙකුණ අද වන විට නම් නඩත්තුවෙන් තොරව තිබුණත් නැවුම් උල්පතෙන් උනන පිරිසිදු දියෙන් නම් අඩුවක් වෙලා තිබුණෙ නෑ…

ඊළඟට දුම්රියපොළ ආසන්නයේම තිබුණු වෙළඳසැළකින් දහවල් කෑමට බත් පාර්සල් ලබාගත් අපි රේල් පාර දිගේම පල්ලම් බැස්සේ ගලබොඩ වත්ත කෙළවරින් ඇල්ලට නැඟිය හැකි අඩිපාර සොයාගෙනයි. ගලබොඩ දුම්රිපොළේ ඉඳන් දිය ඇල්ලට දුර කිලෝමීටර දෙකක්.

නුවරඑළිය දිස්ත්‍රික්කේ පල්ලෙබාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයිති මේ දිය ඇල්ල උසින් අඩි සියයක්. ඒ කියන්නේ මීටර් 30ක්. පළල ගත්තොත් මීටර 6ක් විතර. ආසන්න වශයෙන් අඩි විස්සක්. වටවල කඳු පන්තියේ බටහිර බෑවුමේ උල්පත්වලින් එක්රැස් වන ජලයෙන් උපදින මේ දිය පහරට විශේෂ නමක් උරුම නෑ. ඒ නිසා වත්තේ නමින්ම “ගලබොඩ ඔය” කියල හඳුන්වනවා.. මේ කඳු පන්තිය දිය ඇළි තවානක් කිව්වොත් වැරදි නෑ… දකුණට ගලා යන උල්පත් වලින් දිඹුල ඔය දිගේ ගිහින් එකතු වෙන වතුර සෙන්ට් ක්ලෙයර්, ඩෙවෝන් ඇළි ලස්සන කරද්දි, උතුරට ගලන දිය දහරෙන් කඩියන්ලෙන ඇල්ල නිර්මාණය කරනවා… ගලබොඩ ඔය ඉඟුරු ඔයේදී හඟරන්ඔයට එකතු වෙලා අන්තිමට වැටෙන්නේ මහවැලි ගඟට.

වගතුග කතාව ගමනට හිණිමඟක් කරගෙන දුම්රිය පාර දිගේ පල්ලම් බැස්ස අපි අංක 13 බිංගෙයට ආසන්නයෙන් ඇති අඩිපාරක් දිගේ ඉහළ නඟින්න පටන් ගත්තා… සමහර තැන්වල අංශක හැත්තෑවක විතර බෑවුමක නඟින්න තිබුණත්, කන්දට පෙනෙන හාත්පස දර්ශනය අපේ මහන්සිය ක්ෂණයකින් මකල දැම්මා… ඈත ගිනිගත්හේන නඟරය දක්වා පැහැදිලිව පෙනෙන බව “මඟපෙන්වන්නා” කිව්වත්, පවතින මීදුම එක්ක ගිනිගත්හේන දෙනෙතින් බලන වාසනාව අපිට අහිමි වුණා…

ගලබොඩ වත්තේ කෙළවර නිසාදෝ ඒ ඉසව්වේ තේ ගස් තිබුණේ අතරින් පතර. නොබෝ වේලාවකට පෙර එම තේ ගස් වල දළු නෙලා තිබෙනු දැකගන්නට අපිට හැකියාව ලැබුණා…

‘උදේ හතහමාර වෙනකොට වත්තේ වැඩ පටන්ගන්නව…. දෙක තුන වෙනකොට ඉවරයි… පඩි මදි නිසා දැන් තරුණ අය පිට වැඩවලට යනවා…. මේකෙන් ගොඩ යන්න බෑනේ… මගේ නංගිත් වත්තේ දළු කඩනව… එයාගේ ළමයි ගාමන්ට් යනවා…. ’

කුරැලු කූජන අසමින්, නෙක නෙක කුරුල්ලන් දකිමින් අඩි පාර දිගේ අඩ හෝරා අඩක් පමණ ගිය තැන වතු නිවාස පේළියකි.

“පාරෙන් ආව නම් එන්නේ මෙතෙනට… ඒත් පාරෙන් එනවට වඩා අපි ආපු අඩි පාර පැත්ත ලස්සනයි.”

වතු නිවාස කෙළවරින් පල්ලේබාගේ ප්‍රදේශීය සභාව වෙනුවෙන් සංචාරකයින්ගෙන් ප්‍රවේශපත්‍ර නිකුත්කොට මුදල් අය කරන පුද්ගලයෙකි. වතු නිවාස අසළ සිට දිය ඇල්ල දක්වා කොන්ක්‍රීට් පෙත්මඟක් සකසා තිබීමත්, අතරමඟදී ගලබොඩ ඔය හරහා වැල් පාළමක් ඉදිකර තිබීමත්, දිය ඇල්ල අසළ ශාලා පහසුකමක් සහ වැසිකිළි පහසුකම් සකසා තිබීමත් ප්‍රාදේශීය සභාව විසින් සිදුකර ඇති ප්‍රවර්ධන කටයුතුය.

එහෙත් ආගන්තුක සංචාරකයින්ට සිදුවන අනතුරකදී, වෙනත් හදිසි තත්වයකදී මැදිහත්විමට හැකිවන අයුරෙන් අදාළ ප්‍රදේශය ගැන දැනුමක් ඇති මුදල් අයකැමිවරයා දියඇල්ල ආසන්නයේ ස්ථානයක රඳවා තබන්නේ නම් එය වගකීම් සහගත ක්‍රියාවක් වනු ඇත.

“දන්නවද? ලංකාවේ මුලින්ම හදපු ඩේ කෙයාර් සෙන්ටර්ස් තියෙන්නේ තේ වතුවල... “

රැකියාවට යන දෙමාපියන්ගේ දරුවන් රැක බලාගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යනු නව සංකල්පයක් යැයි සිතා සිටි අප විජේකුමාර්ගේ ඒ කතාවෙන් නම් පුදුම වුණා… සිය ජිවන ගමනේ අත්දැකීම් සතුටින් අප සමඟ බෙදාහදා ගන්නට උත්සහ දරන ඔහුගේ කථා සරිත් සාගරේ තවත් බොහෝමයක් පිටු අපි වෙනුවෙන් පෙරලෙන්නට නියමිතව තිබුණා…

“සුද්දන්ට ඉන්දියාවෙන් ගෙන්නපු දෙමළ මිනිස්සුන්ගෙන් උපරිමව වැඩ ගන්න ඕන වුණා… කොන්ද පණ තියෙනව නම් වයසක මිනිහා දක්වා වතු වල වැඩ කරන්න ඕන කියල නීති දැම්මා… අද කාලේ වගේ යන්ත්‍ර නැති නිසා ඒ කාලේ මිනිස් ශ්‍රමයත් ගොඩක් වුවමනා වුණා… එතකොට දරුවෝ බලාගන්න විදියක් නැති නිසා මුළු වත්තෙම ළමයි එක තැනක එකතු කරලා බලාගන්න ක්‍රමයක් හැදුවා. ඒවට කියන්නේ ‘පුල්ලෛමඩු” කියල. මේ ළමයි බලාගන්න වයසක ගෑනු දෙන්නෙක් දානව වත්තෙන්… කෑමත් දෙනවා… පොඩි ළමයින්ව බාල්ක වල එල්ලපු සාරි තොටිලි වල දාලා නළවනවා… හවස වැඩ ඇරිලා එනකොට අම්මලා ළමයින්ව අරගෙන යනවා…”

කතාවෙන් කතාවෙන් අපි දිය ඇල්ල අසලටම පැමිණ සිටියෙමු. එහෙත් තවමත් දිය ඇල්ල ඇත්තේ අපෙන් වසන් වී ගෙනය. ශක්තිමත්ව තැනූ වැල් පාලමකින් එගොඩ වූ අප විවෘත බිමක් හරහා තවත් මද දුරක් ගිය විට යන්තමින් පෙනෙන්නට ගත්තේ දිය ඇල්ලේ මුදුණතය. දිය ඇල්ලට මීටර් සියයකට වඩා දුරක් තිබුණද, එයින් විසිරෙන හිරිකඩ අපව තෙමාලමින් සිරුර වෙලාගන්නේ ගත කිතිකවමිනි.

දිය ඇල්ල හොඳින් දකින්නට නම් ගලා යන දොළ පහරේ මදක් පහළ ස්ථානයකට යා යුතුය. ඒ නිසා අපි ගල් අතරින් පහළට බසින්නට වුණා… සංචාරකයන් විසින් ගෙනා බියර් බඳුන්ද, විස්කෝතු ඇසුරුම් ආදියද දමා හැඩි කර තිබූ ඇළ ඉවුර දිගේ ගමන් කිරීම අපුල දනවන්නක් වූ අතර සමහරු ඒ අසල ගිනිමැළ ගසා තිබූ ආකාරයද දැකගන්නට පුළුවන් වුණා…

මා මේ ලිපිය ආරම්භයේදී සටහන් කළ වැකිය මගේ සිහියට ආවේ මේ මොහොතේයි. දේශීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරි කාර්යාලය විසින් ‘දුම්රියෙන් පැමිණ නැරඹිය හැකි දිය ඇල්ලක්” ලෙස ගලබොඩ දිය ඇල්ල මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර ඇත්තේ 1996-97 වකවානුවේදියි. එයට පෙර මෙම දිය ඇල්ල කිසිවෙකුගේ ඇසට හසු නොවෙමින් නිදහසේ ගලාගොස් තිබුණා… තවදුරටත් අද දක්වාම එය එසේ වූවා නම් මේ දිය ඇල්ල මෙලෙස අපිරිසිදු නොවනු ඇතැයි යන්න මගේ නිගමනයයි. දැන් අතීතයට බැණවැද පලක් නොවන නිසාත්, ප්‍රාදේශීය සභාව විසින් මෙය පරිපාලනය කරන නිසාත් අවශ්‍ය වන්නේ තව දුරටත් අයථා කටයුතු වලට ඉඩ නොතබා මෙම පරිසරය රැක ගැනීමයි.

අංශක අසූපහක පමණ ආනතියක් ඇති ගල්තලාවක් දිගේ ප්‍රධාන ජල ධාරාවන් දෙකක් ලෙස ගලා හැලෙන දිය ඇල්ල, පහළ කොටසේදී එකම ජල ධාරාවක් ලෙස තවත් පියවරක් පහළට කඩා හැලෙනවා… වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වයක් ඇති මෙම දිය ඇල්ල, ස්නානය සඳහා හෝ වීර ක්‍රියා සඳහා නම් යොදා නොගත යුතුයි. ඉහළ පිහිටි කුඩා විදුලි බලාගාරයකට ජලය ලබාගන්නා නිසා වැසි නොමැති විටෙක පවා එයින් මුදා හැරෙන ජලයෙන් දිය ඇල්ලේ වතුර ප්‍රමාණය වැඩි විය හැකියි. අප එහි ගත කළ පැයකට ආසන්න කාලයේදි අවස්ථා දෙකකදී එලෙස ජලය වැඩිවීම් සිදු වුණා. එසේම වටවල ප්‍රදේශයට නිරන්තරව ලැබෙන වැස්ස නිසාද දියඇල්ලේ වතුර ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.

දිය ඇල්ල ආසන්නයේම බැරි වුණත් ඊට ටිකක් පහළින් වූ ගල් කුළු සහිත ප්‍රදේශයේ නිර්මාණය වන ස්වාභාවික තටාක දිය නෑමට සුදුසුයි. දිය නෑමට අවශ්‍ය නම් එවැනි තැනක් තෝරා ගැනීම වටිනවා… අපිත් එවැනි ආරක්ෂිත ස්ථානයකින් දිය නා, අනතුරුව රැගෙන ආ දහවල් කෑම වලින් කුස පුරවා ගත්තේ මේ පුංචිදිවයිනේ තවත් එක් සොඳුරු නැවතුම්පොළක් වෙත පැමිණීමේ චිත්තප්‍රීතියකින් හිත පුරවා ගනිමින්.

මේ පින්බිමේ උරුමකරුවෙකු ලෙස ඔබටත් හෙට දවසේ මෙම සොඳුරු බිමට එන්නට හැකියාව තියෙනවා…ඒ මේ සොඳුරු බිම තවත් දවසක දකින්නට එන උරුමකරුවෙකුට දකින්නට, විඳින්නට ඉඩකඩ ඉතිරි කරමින්.

වෙලාව ගතවී යනු නොදැනුණු බැවින් අපිට ගලබොඩින් සවස දෙකට පමණ කොළඹට යන “පොඩි මැණිකේ” දුම්රිය අල්ලා ගන්නට නොහැකි වුණා. ඊළඟට දුම්රියක් තියෙන්නේ සවස හතරට. ඒ නිසා ගලබොඩ දුම්රිය ස්ථානයට ආසන්නයේ ඇති අංක 12 සහ 13 දරණ “නිවුන් බිංගේ යුගලයත්” බලාගෙන අපි ගලබොඩ දුම්රියපොළට ගියා…

[ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ] [email protected]

ඡායා[වරුණ් දේමින්ත]

මාතෘකා