තරුණ වන සීගිරිය

 ඡායාරූපය:

තරුණ වන සීගිරිය

සීගිරි පුරාවෘත්තය පිළිබඳ පැරණිතම සාධක සහිත සටහන් හමුවන්නේ කාශ්‍යප රජු සමයේදීය. ක්‍රිස්තු වර්ෂ 477 දී පමණ කාශ්‍යප රජු මේ අසමසම නිර්මාණය කෙසේ නම් ගොඩනගා ඇත්දැයි අප විමතියට පත්වන්නේ, සීගිරි ගල දෙස බැලීමෙන් නොවේ. සීගිරි ගලෙහි බිතු සිතුවම් නැරඹීමෙනි, කුරුටු ගී කියැවීමෙනි, එසේත් නැතිනම් ගලක් මත්තෙහි කටාරම් ඉදිකර එය ආරක්ෂාවන පරිදි සකස් කර ඇති අතීත ලාංකේය තාක්ෂණය පිළිබඳ කියැවීමෙනි. වත්මනෙහි එම විස්මය දෙගුණ තෙගුණ වන්නේ එහි පිළිසකර කිරීම් සඳහා මෙතරම් වෙහෙසක් වේ නම්, එය නිර්මාණයට අතීත මුතුන් මිත්තන් කෙතරම් පරිශ්‍රමයක් ගෙන ඇති දැයි සිතීමෙනි. මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීගිරි ගලෙහි කළ පරීක්ෂණ කටයුතුවලින් අනාවරණය කරගෙන ඇති පරිදි මේ වනවිට සීගිරි ගලෙහි ගල් කුට්ටි ගැලවීයාමේ තර්ජනයකට මුහුණ පා තිබේ. පාෂාණ තුන හතරක එකතුවකින් සීගිරි ගල නිර්මාණය වී ඇති අතර එම සමහර පාෂාණ වේගයෙන් ඛාදනයට ලක් වේ. මෙයට හේතුව සීගිරිය සුළං මුහුණතක පිහිටා තිබීමයි. මේ හේතුවෙන් සීගිරි ගලෙහි සමහර ගල් කුට්ටි වට ප්‍රමාණය අඩි තිහ හතළිහක් පමණ වන පදාසයන් ලෙස මව් ගලෙන් ගිලිහී යාමේ අවදානමට ලක් වී පවතී. එම ගල් කුට්ටි නැවත නැවත සීගිරි ගලට තබා සවිකිරීම මේ දිනවල සිදුවන අතර එම ව්‍යාපෘතිය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය යටතේ පවතී. දැනට වසර විස්සක කාලයක සිට මෙම කටයුතු සඳහා ඔවුහු දායකත්වය දක්වති. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මේ සියල්ල සිදුකරනු ලබන්නේ තම ජීවිත පවා අවදානමක තබාගෙන වීමය. මෙම කර්තව්‍යයට මුල්වුණු ක්‍රියාකාරිකයන් සය දෙනෙකි. ඒ මෙම ව්‍යාපෘතිය භාර නිලධාරිවරයා වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) උදය සිල්වා, ව්‍යාපෘතියේ ජේෂ්ඨ තාක්ෂණික නිළධාරී රංජිත් මංචනායක, කාර්මික නිළධාරී ජී. සී. සී. ආරියවංශ, තාක්ෂණ ශිල්පීන් වන නිහාල් ප්‍රේමතිලක, නිමල් දයාරත්න, ධර්මරත්න සහ සමන්ත කුමුදු කුමාර යන අයයි.

" මව් ගල සහ ගැලවී යන ගල් කොටස් එකට පෑස්සීම අපේ ව්‍යාපෘතියේ මූලික කාර්යයක්. ගැලවෙන්න තියෙන ගලෙහි සහ මව් ගලෙහි හිල් විදලා සුදු යකඩවලින් අමුණනවා. ඒක ස්ටෙප්ලර් කරනවා වගේ වැඩක්. බෝල්ට් ඇණ දාලා හිර කරලා බුරුල් වුණු ගල ප්‍රධාන ගලට හාවෙන විදියට සවිකරන එකට තමයි ගල මහනවා කියලා කියන්නේ. අපි මේකට සුදු යකඩ දාන්න හේතුව තමයි ගල පවතින තුරු සුදු යකඩ පැවතීම. ඇඟේ මැහුම් දානවා වගේ දිගින් දිගටම ගලකට මැහුම් දාන්න බැහැ" මංචනායක මහතා එසේ අප සමග අදහස් දැක්වුවේය.

මෙය ඉතා භයානක කාර්යයක් වන අතර අඩි සිය ගණනක් උස සීගිරි පර්වතයේ යට සිට උඩට පලංචි සවිකිරීම අපහසු දෙයකි. එමෙන්ම ගලෙහි කුමන ප්‍රදේශයක ගල් කොටස් ගැලවී යනවාදැයි යන්න නිශ්චිතව කිව නොහැකි බැවින් එම පලංචි සවිකිරීම කාර්යය කිසිදු ලෙසකින් ප්‍රායෝගික නොවේ. එලෙස පලංචි සවිකරන්නේ නම්, අනෙකුත් සියලුම ප්‍රතිසංස්කරණයන්ටද වඩා මුදලක් පලංචිවලට වැයවනු නිසැකය. එබැවින් මිනිස්සු කඹ යොදා, එල්ලී, ජීවිත පරදුවට තබා කරනු ලබන මෙම කාර්යය සුලුවෙන් තැකිය හැකි නොවේ.

" අපි මේ වැඩවල නිරතවෙන්නේ උදේ වරුව විතරයි. කඹවල එල්ලිලා ඉඳන් දවල් වරුවේ ගලේ රැඳෙන එක බොහොම අපහසු දෙයක්. කඹ දිගේ ගලේ බෑවුමට බැහැලා ඒ කඹය එහාට මෙහාට පැද්දෙද්දි ශරීරය සමබරව තියාගෙන ඉන්න එක පහසු කාර්යයක් නෙවෙයි. අනික සමහර අවස්ථාවල එන සුළං නිසා කඹයේ එල්ලී සිටීමට නොහැකියි. අධික හිරු රශ්මිය එද්දිත් සීරුමාරුවට කරන්න ඕන දේවල් වෙන්නේ නැහැ. ඒත් සමහර කාර්යයන් ඉක්මනින් අවසන් කළ යුතු නිසා අපහසුතා ගැන නොසිතා මුළු දවසම වැඩ කරනවා. ඒක ජීවිත අවදානමේ දාලා කරන දෙයක්" යැයි රංජිත් මංචනායක මහතා වැඩිදුරටත් පැවසුවේය. කලක් දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතලේ පතල් කපිතාන්වරයකු ලෙස ක්‍රියාකළ මංචනායක මහතා සීගිරිය මැසීමේ මෙම ක්‍රියාවලියට අවශ්‍ය තාක්ෂණික හුරුව ලබාගෙන ඇත්තේ එම අත්දැකීම් ඇසුරුකරගෙනය.

" පොළොව යට දෝනා කපමින්, හිල් විදිමින් කරපු කාර්යයට සමාන කාර්යයක් පොළොව උඩට මතුවුණු ගල් පර්වතවල පැවති අස්ථායිතාව ස්ථායිකර ගන්න අපි යොදාගත්තා. මේ කාර්යයට පතලේ වැඩ කරපු එක ලොකු ශක්තියක් වුණා. මම වගේම නිහාල් ප්‍රේමතිලක මහත්මයත් පතල්වල වැඩකරලා අත්දැකීම් බහුල කෙනෙක් වුණා" කාශ්‍යප රජ දවසේ පටන් ගලේ ඛාදනය වළක්වා ගැනීම සඳහා අධික සුළඟ හා අව්, වැසිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා මැටි වර්ග, දහයියා සහ ගම්වර්ග යොදාගනිමින් මුළු ගල් පර්වතයම ආවරණය වන පරිදි ප්ලාස්ටරයක් වැනි ස්ථරයක් යොදා ඇති බව පුරාවිද්‍යා පර්යේෂණවලින් මේ වනවිට සොයා ගෙන ඇත. වසර එක්දහස් පන්සියයක් පමණ කාලයක් පුරා සීගිරිය ආරක්ෂා වීමට හේතුව වී ඇත්තේද එම ආරක්ෂිත ස්ථරය යි. එහෙත් සුළං කපොල්ලක ගල පිහිටා තිබීම හේතුවෙන් දිගින් දිගටම ගල ඛාදනය වීම සිදු වී තිබේ. 1998 වර්ෂයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට භාර දී තිබේ.

සීගිරි ගල මැසීමේ කාර්යයට අමතරව සීගිරි ගලට නැගීමට ඇති සුදු යකඩ පඩිපෙළ සීගිරියේ බිතු සිතුවම් ඇති ස්ථානයේ ඉඩ වැඩි කරමින් වේදිකාවක් අලුතින් ඉදිකිරීමත් ඔවුන්ගේ කාරයභාරයන් අතර පවතී. ඒ පිළිබඳ අදහස් දැක්වූයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතාය. “සුප්‍රකට සීගිරි ලලනා රූ රැගත් බිතු සිතුවම් ගුහාවට ප්‍රවේශ වන මාර්ගය සහ නැරඹුම් ස්ථානයේ මේ වේදිකාව ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව අපිට පෙනී ගියා. මේ නිසා එහි ඉඩ වැඩි කොට විශාල පිරිසකට එකවර රැස්විය හැකි අන්දමට සහ ඉංජිනේරු උපදෙස් මත ටොන් විස්සක පමණ උපරිම බරක් දැරීමට හැකිවන ලෙස අපි මෙම බිතු සිතුවම් ගුහාවේ වේදිකාව සුදු යකඩින් නිර්මාණය කළා. එය පිටතින් බැලූ විට වෙනසක් නොපෙනෙන පරිදි ආවරණය කර වර්ණාලේප කර තිබෙනවා. මේකත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ඉංජිනේරු, විද්‍යාඥ හා තාක්ෂණික ශිල්පී සුසංයෝගයෙන් බිහි වූ වටිනා නිර්මාණයක්.”

සීගිරි ගලෙහි රෝපණය වී ඇති ගස් දුර්වල පාෂාණ අතරින් වැවෙන අතර එය ගලෙහි ස්ථායිතාවට ගැටලුවක් වන බැවින් එම ගස් කපා ඉවත්කිරීමද මෙම ව්‍යාපෘතියෙහි එක් කාර්යභාරයකි. එමෙන්ම කටාරම් එකට සම්බන්ධ කරමින් ජලය පහළට ගලා ඒම නැවතීම සඳහා සුදු යකඩ පීල්ලක් සකස් කිරීමද තමන් සිදුකරන බව උදයද සිල්වා මහතා අප සමග පැවසුවේය.

“චිත්‍ර හා කැටපත් පවුරට වැසි ජලය කාන්දු වීමෙන් අනතුරු සිදුවන පසුබිමක් තිබුණා. ඒ නිසා අපි විශාල පස් සහ ශාක කොටසක් ඉවත් කර මෙම පුරාණ කටාරම් කාණු පද්ධතිය මතු කර ගන්නට උත්සාහ කළා. එහිදී පුරාවිද්‍යා නිලධාරීන් හඳුනාගත්තා එම කණුවේ කොටසක් කැඩී ඉවත් වී ඇති බව. මේ නිසා අපේ තාක්ෂණික නිලධාරීන් ඝන සුදු යකඩ තහඩු සහ සම්බන්ධක යොදාගෙන ඒ කාණුවේ අඩු කොටස සම්පූර්ණ කරන්නට කටයුතු කළා. අඩි 1x1 පමණ වූ මේ කාණුව සුදු යකඩින් නැවත සැකසීම නිසා දැන් රජ කාලයේ තිබූ පරිදිම මේ කටාරම් කාණු පද්ධතිය මඟින් සීරුවට ජලය ගලා බසිනවා. මේක අපේ තාක්ෂණික නිලධාරීන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්.” මීට අමතරව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් ප්‍රතිසංස්කරණවල සඳහා ඉහළ සිට පහළට ගෙන යාම සඳහා සීගිරියේ බටහිර දෙසින් සෝපානයක් නිර්මාණය කර තිබේ.

" ඉස්සර ගල උඩ ඉදිකිරීම්වලට අවශ්‍ය ගඩොල්, කළුගල්, වැලි, සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය උඩට ගෙනියන්න විශාල වෙහෙසක් දරන්න වුණා. නරඹන්න එන පිරිස ගල්, ගඩොල් ආදිය උඩට ගෙනැවිත් දුන්නා. ශ්‍රමාදාන මගින් අතින් අතට යැව්වා. අපි මේ සඳහා විදුලිය මගින් ක්‍රියාකරන දොඹකරයක් හැදුවා. ඒ නිසා විශාල මිනිස් ශ්‍රමයක් වැයවෙන්නේ නැහැ. මේ දොඹකරයෙන් ගඩොල් දහසක් පමණ එකවර උඩට ගෙන යා හැකියි. ඒ වගේම කාලයක් තිස්සේ ගල මුදුනේ ඉදිකිරීම් කරද්දි නරඹන්නන්ට ගල් කැබලි වගේ දේවල් වැටෙන්න තියන අවදානම වැඩියි. අපි ගලේ උතුරු මුහුණතේ ඉඳලා නැගෙනහිර මුහුණත දක්වා ගල විදලා ආරක්ෂිත දැලක් සවිකළා. දැන් ගල් කෑලි වැටෙන්නේ ඒ දැලට. ඒ නිසා නරඹන්නන් ආරක්ෂිතයි." මෙම කර්තව්‍යයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් කරනු ලබන සේවාව පිළිබඳ අප විශේෂ සටහනක් තැබිය යුතුමය. ඔවුන් එය රාජකාරියකට වඩා සිදුකරන්නේ තම ජීවිත අවදානම පවා නොතකමින්ය. “බොහෝ දෙනා අපේ ආයතනය ගැන දැන සිටියේ වැලි, ගල් හා පතල් කැපීමට අවසර දෙන ආයතනයක් ලෙස පමණයි. නමුත් මෙවැනි විශාල සේවාවන් ප්‍රමාණයක් අපේ නිලධාරීන්ගෙන් ඉටුවෙනවා. මේ ලෝක උරුමය රැකගන්න අපේ දායකත්වය සුවිශාල බව ආඩම්බරයෙන් කිව හැකියි.” භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසුවේය.

වසර දහස් ගණනක ඉපැරණි ඉතිහාසය නැවත 'තරුණ වෙන්නට'පටන් ගෙන තිබීම සතුටට කරුණකි.චිරාත් කාලයක් මුළුල්ලේ 'ආලකමන්දාව'දැක අමන්දානන්දයට පත් අතීත මිනිසා එහි අසිරිය 'කුරුටු ගී බවට' පත් කළහ. තුරුණු සීගිරිය දකින නූතන මිනිසා එය ඩිජිටල් යුගයේ ආශ්චර්යයක් බවට පත් කරනවාට සැක නැත.

[නදී මාණික්කගේ]

මාතෘකා