කැකුණ තලන වල් උෟරන් හබන් කුකුළන් අතරින් එඩින්බරෝ බංගලාවට

 ඡායාරූපය:

කැකුණ තලන වල් උෟරන් හබන් කුකුළන් අතරින් එඩින්බරෝ බංගලාවට

විල්පත්තු ගමනේ සමාප්ති සටහන

අලුත් උදෑසනක්….

ළහිරු කිරණ පතිත වන්නට පෙර යළිත් “විල්පත්තු පිවිසුමට” ගිය අපි දෙවැනි වරටත් ප්‍රවේශපත්‍ර ලබාගෙන වනෝද්‍යානයට ඇතුළු වුණා…

“අද අපි කොහෙද යන්නේ….” මම අජිත් ගෙන් ඇහුවා….

“අද ගොඩක් ඈත නොයා සත්තු ටිකක් වැඩිපුර බලාගන්න උත්සාහ ගනිමු..”

“ඒකහොඳයි... “

“කුඹුක්විල, මහපතැස්ස, මැණික්විල කිට්ටුව ඇවිද්දහම සත්තු ගොඩක් බලාගන්න පුළුවන්.”

වන බිම තුළ සෆාරි වාහනයකට හිතු හිතූ වේගයෙන් යන්නට අවසර නෑ… උපරිම වේගය පැයට කිලෝමීටර 20ක්. ඒත් වන බිමේ අහුමුළු වල සිටින සතුන් බලන්න නම් වාහනයේ වේගය ඊටත් වඩා අඩු විය යුුතුයි. අජිත් අපේ වාහනය පැයට කිලෝමීටර දහසයක පමණ වේගයක් පවත්වාගනිමින් ඉදිරියට ගියේ හැකි තරම් සතුන් සහ ඔවුන්ගේ ක්‍රියාකරකම් දකින්නට අවස්ථාව සලසනු රිසියෙන්.

මුලින්ම අපිට හමුවුණේ වල් ඌරන් රංචුවක්. දහ දොළොස් දෙනෙක්ගෙන් සමන්විත ඒ වල් ඌරන් රංචුව හිටියේ හුඹස් පිරුණු තණ බිමක. Sus scrofa විදිහට විද්‍යාත්මකව හඳුන්වන වල් උෟරා මහද්විපික වශයෙන් උප විශේෂ ගණනාවකට අයත්. ලංකාවේ සිටින වල්ඌරා ඉන්දියානු වල්ඌරාගෙන් තවදුරටත් විශේෂණය වූ උප විශේෂයක්. 1851 දී Blyth නම් විද්‍යාඥයෙකු විසින් මෙම වල් ඌරා ලංකාවට පමණක් ආවේණික උප විශේෂයක් බව හඳුනාගෙන ලේඛන ගතකර තිබෙනවා. ඒ අනුව ලංකාවට අයත් උප විශේෂය Sus scrofa zeylonensis ලෙස හදුන්වනවා…

තනිව මිනිසෙකු හමුවූ විට ආක්‍රමණශීලි ගතියක් පෙන්වන වල් ඌරන් මිනිස් කණ්ඩායමක් ඉදිරියේ දී ඉක්මනින්ම පළායන සුළුයි. ඒ නිසාම අපේ වාහනය දකින විටම ඔවුන් කැලෑ වැදුනේ හොඳ ඡායාරූපයකට ඉඩ අපිට නොතබමින්.

ඉද්ද ගැහුවා වගේ පලු ගස් අතරින් පෙනෙන පාර දිගේ තරමක් ඉදිරියෙන් සෆාරි වාහන ගොන්නක්… වාහන වල සංචාරකයෝ පොදි ගැහිලා කැලේ දිහා බලාගෙන….

“සතෙක් ඉන්නව වගේ…” වන බිමේ යායුතු වේගය නොඉක්මවමින් වේගය වැඩි කළ අපේ ජිප් රථයත් ගොනු ගැහුණු වාහන රොත්තට එකතු වුණා….

“පරාක්‍රම… පලු ගහෙන් බැහැලා ගියා….” අජිත්ගේ විමසුමට වෙනත් වාහනයකින් පිළිතුරු ලැබුණේ එහෙම….

ගෘහාහ්‍රිතව ඇතිකරන බල්ලන්, පූසන් වැනි සතුන්ට නම් පට බැඳිම ගැන අත්දැකීම්ද, විහාරස්ථාන, සත්වෝද්‍යාන ආශ්‍රිත අලි ඇතුන් ඇතුළු සතුන්ට නම් පටබැඳීම ගැන අදහසක්ද ඇතත් වනයේ නිදහසේ සරණ සතුන්ට නමින් ඇමැතීම අපට නුහුරු අත්දැකීමක් විය. ඒ නිසාම ‘පරාක්‍රම’ යනු කවරෙක්දැයි අසා දැනගැනීමට සාධාරණ අවශ්‍යතාවයක් අප සතුව විය.

“පරාක්‍රම කියන්නේ දිවියෙක්….”

“නමක් දාන්න තරම් හිතවත්ද?”

“ඔව්…අපි මාසෙකට දවස් විස්සක් විතර කැලේට එනවා… මේ හැමතැනැක්ම දැන් ගෙදර වගේ හුරුයි…. ඒ වගේමයි සත්තුත්…. එක වගේ පෙණුනට, හැම සතාම අනෙකගෙන් වෙනස් වෙනහැටි අපි දන්නවා….”

දිවියාගේ පළායාමෙන් අපේක්ෂා භංගත්වයට පත් වාහන ගොන්න ටික ටික ලිහිල් වෙද්දි, අපේ වාහනයට අවශ්‍ය ඉඩකඩ ලැබෙන තුරු අජිත්ගේ ත්, විල්පත්තු වන සතුන්ගේත් ඇති ලෙන්ගතුකම් එළියට ගන්න අවකාශය විවර කර ගත්තා…. ඒ මෙහෙම.

“තලවිල බංගලා වගාව ඉන්නවා ඌරෙක්… ඌට කියන්නේ “ජෝන්”. කතා කරාම එනවා… දෙන කෑමක් කනවා….. . “අයිවන්” කියන්නේ දිවියෙකුට. එක ඇහැක් පේනනේ නැති නිසා තමා ඌට එහෙම කියන්නේ…. ඌ ඉන්නේ තලවිල, පනික්කවිල හරියේ…. “නැට්ටා” කියන්නෙත් දිවියෙකුට. පොඩි කාලේ ඌරෙක් ගහල නැට්ට කැඩිලා. ඌ ඉන්නේ කාල විල්ලුව පැත්තේ…. දැන් ඔය මෙතැන හිටියේ “පරාක්‍රම”. අපි කෑම කන්න නවත්වන කුඹුක්විල හරියේ තමයි ඌ ඉන්නේ… මේ හරියටත් එනවා… ගෑණු සතෙක් ඉන්නවා… ඌට කියන්නේ “ක්ලියෝපැට්රා”. ඉන්නේ බොරු පන්විල හරියේ…. තව දිවියෙක් ඉන්නවා... ඌට කියන්නේ ඩබ්ලිව් කියලා…. නලලේ ඉංග්‍රීසි w අකුරේ හැඩේට තිත් තියෙනවා….”

මේ සත්තුන්ට නම් දාලා තියෙන්නේ සෆාරි ජීප් වල රියදුරන්...මොකද ඔවුන්ට තමයි නිතරම මේ සතුන්ව හමුවන්නේ… තමන්ගේ ජීප් රථ රියදුරන් අතර සන්නිවේදනයේදි දවසේ හමුවුන සතුන් ගැන කියන විට මේ නම් වැදගත් වන බව තමයි, අජිත් අපිට කිව්වේ….

අපි ඊළඟට ගියේ කුඹූක් විල ලඟට… උදේට කෑම එහෙම කාලා… කඹුක් විල ඉවුරේ ටික වේලාවක් විවේකයෙන් ගත කළා…. කළින් දවසෙදි දැකපු කුරුළු සේනාව අදත් ඒ විදියටම විල අවට පරිසරය සොඳුරු බවින් පුරවනවා….

ටික ටික හිරු රැස් පායගෙන එද්දි අපි කිට්ටු කලේ “මහ පතැස්ස”ට. මහ පතැස්ස කියන්නේ විශාල ප්‍රමාණයක විලක්. සුදු වැලි පිරුණූ කරත්ත පාරවල් දිගේ මහ පතැස්ස”ට යන අතරමඟ කලබල වුණු වඳුරු රංචුවක්…

“සමහර විට ඔය කිට්ටුව දිවියා ඇති…. වඳුරන්ව කලබල කරලා, තනිවෙන වඳුරෙක්ව ගොදුරු කරගන්න එක දිවියට සිම්පල් වැඩක්.”

වඳුරු රංචුවට වගේ කැලේ පුරාවට රිසි සේ සැරිසරන්න අපට වරම් නොමැති නිසා, සැඟවී සිටින දිවියාව නොදැක තවත් ඉදිරියට යන්න අපිට සිද්ධ වුණා…

හෙමි හෙමින් තුරු ගොමු අතරින් අඳුරු වන පෙතට ඔබ්බෙන් නිල් පැහැති ජලාශය මතුවෙනවා…. ගස් සෙවණක සිටි හබන් කුකුළන් දෙදෙනෙක් අපිව දැකලා වන වදිනවා…. ඉවුරේ කෙළවර අව්ව තපින ඉදිබුවන් වාහනයේ සද්දයට වතුරට පනිනවා… ඒ අතරේ කිඹුලෙකුත්… ඈතින් විල් දියට බැස පතුලේ වැවුණු තෘණ උලා කන අලියෙක්…. විල් දියේ ඉහළට නැඟුණු ගසෙක රාජාලියෙක්…. වළාකුළු රහිත අහසේ සරණ බමුණු පිය උකුස්සන් කිහිප දෙනෙක්… විල් තළය ඉවුරෙන් පේළියට ඇදී යන තාරාවන් වැනි දුඹුරු පැහැ පක්ෂීන් රංචුවක්… සිත්තම් පටයක් මෙන් දෑස් අග මතුව මැකී යන සොඳුරු දසුන් පෙළක්…. අපේ නඩයේ කැමරාවලට කාර්යබහුල නිමේෂයක්…..

මහපතැස්සෙන් පස්සේ අපි ගියේ මැණික් විල පැත්තට…. තැනින් තැන නවත්වමින් හමුවන සතුන්ගේ ක්‍රියාකාරකම් නරඹමින් යන ඒ ගමනට ගතවුණු වේලාව නම් බොහොම වැඩියි… ඒත් විල්පත්තුවට ආව අපේ අරමුණ වුණේ වැඩි වැඩියෙන් සතුන් බැලීම නිසා, ඉවසීමෙන් යන ගමනක් තමයි අවශ්‍යතාවය වුණේ…..

‘සමහර රියදුරන්ගේ වුවමනාව වැඩිදුරක් එක්කගෙන යන එක මිසක් සත්තු බලන එක නොවෙයි… ඔයාලට වුවමනා සත්තු බලන්න නම්, අපි හොදම රියදුරෙක් දෙන්නම්….” අපේ සංචාරයේ පහසුකම් සලසන්නා වුණු Eternal Traveller ආයතනයේ උපදේශකයන් පොරොන්දු වූ විදියටම අපිට ලැබුණේ හොඳ ඉවසිලිවන්ත රියැදුරෙක්… ඒ නිසාම දෙදවසකදි සත්ව විශේෂ සියයක් ඉක්මවා දැකගන්නට අපේ පිරිවරට ඉඩකඩ ලැබුණා.

මැණික්විල බංගලාව මෙම වනෝද්‍යානයේ තියෙන සුඛෝපභෝගී, ගාම්භිර බංගලාවක්. එක්තරා කාලයක ආණ්ඩුකාරවරයෙක් හෝ බ්‍රිතාන්‍ය රාජකීයයෙක් මෙම බංගලාවේ නැවැතී සිට ඇති බවයි අජිත් ගේ අදහස. ඒ නිසා එයට එඩින්බරෝ බංගලාව යැයි කියන බව තමයි ඔහු කීවේ.

කොහෙන්දෝ ආව වැහි වළාකුලක් “පොසොන් වැස්ස” අරන් විල්පත්තුව තෙමන්න පටන් අරගෙන… ඒ වැස්සට යටින් ආපහු හැරුණු අපි ගමනේ අවසානය සොයාගෙන පිටවිම් දොරටුව දිහාට එන්න පටන් ගත්තා…

දෙදවසක ගමනක සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දැක්වූ අජිත්, දිනේෂ් ප්‍රමුඛ Eternal Traveller ආයතනයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පිරිනමපු අපි, සෆාරි රථයෙන්ම තඹුත්තේගම දුම්රිය පොළට ආවේ සංචාරයේ අවසානය සනිටුහන් කරමින්… ඒත් ආ සැනින් එසැණින් තඹුත්තේගමින් සමුගන්නට අපිට අවකාශ නැති බව තමයි දුම්රිය පොළේ යකඩ කටින් කියැවුණේ…. “කොළඹ කොටුව සහ ගල්කිස්ස බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය නියමිත වේලාවට වඩා විනාඩි හතළිස් පහක් පමණ ප්‍රමාද වේ”.

පමාවී ආ දුම්රියේ නැඟුණු අපි ආයෙත් දවසක සංචාරයක මතකයන් එක්ක හමුවෙන තුරු සමුගෙන විසිර ගියා… ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් Megaa Hike කණ්ඩායම සමග අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතුවන්න… අපේ මීළඟ චාරිකාව අලිමංකඩ, වෙල්ලමුල්ලිවයික්කාල් හරහා මුලතිව්වලට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 0703 17 44 17
දුලිප් 0777 043 804 / 0703 207 207
ඡායාරූප - Eternal Traveller වෙනුවෙන්
ප්‍රදීප් ලක්සිරි සමඟ චතුර හේමාල්

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් ]

මාතෘකා