සිල්පර දිගේ දම්වැල් දුර මනින්නෝ රෑ පානේ දුම්රිය මඟ රකින්නෝ

 ඡායාරූපය:

සිල්පර දිගේ දම්වැල් දුර මනින්නෝ රෑ පානේ දුම්රිය මඟ රකින්නෝ

නානුඔය සිට ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගයේ මාර්ග අංශයේ සේවකයින් සඳහා විශේෂයෙන් පැවරෙන රාජකාරියක් වන "කොටි පැට්‍රොල් ඩියුටිය" ගැන අනාවරණය කරනු පිණිස “රැස” පුවත්පත වෙනුවෙන් සිදුකරන ලද සංචාරයක සටහන් පෙළක තෙවැනි ලිපිය මෙයයි. මෙහි පළමු ලිපි පසුගිය සතිවල පළවිය.

"පාලමෙන් එගොඩ වුණා කියන්නේ එක මරාළයක් පැන්නා විතරයි"

පාලමට පිවිසි මොහොතේ සිට එතෙක් වේලා අපටත් හොරා ශ්වාසනාලය තුළ රැඳී තිබූ ආශ්වාස වාතය, යළි පිටවූ හඬ බැහැරටත් ඇසුණු නිසාදෝ චන්ද්‍රසේකර අයියා එසේ කියන්නට ඇත. තව තවත් දැඩි වනු මිසෙක වැස්ස  අවසන්ව නැත. ඇඟට වැටෙන වැහි පොද ඇටකටු පසාරු කර යන තරමේ සීතලකින් යුක්තය. නැවතී නොතෙමී ඉන්නට අවකාශයක් සේම නිදහසක්ද නැති නිසා නොනැවතී යන්නට සිදුවේ.

"දැන් වෙලාව හතයි. හරිනම් අපි තව දම්වැල් දෙකක් ඉස්සරහ තැනක මේ වෙද්දි ඉන්න ඕන. කතා කර කර ආව නිසා පරක්කු වුණා…"

කළ හුරුවෙන්, දැක හුරුවෙන් සහ දැන හුරුවෙන් ඔවුනට තමන්ගේ මාර්ග කොටසේ සෑම සිල්පරයක් සිල්පරයක් පාසාම මතකය නිරවුල්ය. බ්‍රිතාන්‍යය මිනුම්, මෙට්‍රික් මිනුම් හුරු ලෝකයේ ඔවුන්ගේ මිනුම් එ්කකය වන්නේ සිල්පරයි. රේල් පාරේ සිල්පර තිස් එකක දුර යනු දම්වැලක දුරකි. අද දවසේ භාවිතයේ නොමැති වුවද සුද්දා දුම්රිය මාර්ගය ඉදිකළ සමයේ මෙරට භාවිතා වූ බ්‍රිතාන්‍ය මිනුම් ක්‍රමවල හැටියට සැතැපුමකට දම්වැල් අසූවක් තිබේ. මෙට්‍රික් ක්‍රමයට විමසූ කල දම්වැළක් යනු සෙන්ටිමීටර් 2011කි. එදා තරම් කළඑළියට නැතත් සුද්දාගේ ක්‍රමය තවමත් අපේ දුම්රියට බොහෝ සේ සමීපය.

අතරමැද හමුවන සැම මීටර් සියයකදීම ගස්කඩා වැටිමක, පස් පෙරලීමක, පීළි පිපිරීමක අතීත සිද්ධි කියන්නට ඔවුනට හැකියාව ඇත. සමහර සිද්ධිවල අවශේෂ තවමත් දුම්රිය මඟ දෙපස දක්නට තිබේ. මේ රාජකාරියේ නිරත වූවන්ගේ විමසිල්ල, ඉදිරිපත්විම සහ කැපවීම මත දුම්රියේ යන මඟීන් සහ දේපල වලට අනතුරකින් තොරව සිය ගමනාගමනය සිදු කරගන්නට හැකිව තිබේ.   ඒ අවදානම නිසාම අප සමග පා ගමනේ යෙදුණද පීළි සහ සිල්පර වල ආනතිය, හැඩය, සම්බන්ධක ආදිය ගැන නිසි විමසිල්ලෙන් යාමට "සංචාරක මුරකරුවන්" දෙපලට සිදුවේ.

"මේ බලන්න. මේ ඇණ දෙක බුරුල් වෙලා…"

"පීල්ල මෙතැනින් නොඩි ගහල වගේ"

එලෙස දුම්රිය මාර්ගයේ තැනින් තැන  ඇති අඩුපාඩු දකින ඔවුහු හැකි පමණින් වරද නිවැරදි කරමින් ඉදිරියට යමින් සිටී. කිසියම් ස්ථානයක ඔවුන් සතුව ඇති සීමිත උපාංගවලින් පිළිසකර කළ නොහැකි අඩුපාඩුවක් දුම්රිය මාර්ගයේ හමුවේ නම් ඔවුන් සිය ගමන නවතා ඊළඟට පැමිණෙන්නට නියමිත දුම්රියට, ආපදා ස්ථානයට ළඟාවීමට අවස්ථාව නොදී සංඥා කළ යුතුය. ඒ වෙනුවෙන් ඔවුන් සතුව පවතින කොඩිද, පීළි වෙඩිද යොදාගනී. එවැනි අවස්ථාවක කෙතරම් ජ්‍යෙෂ්ඨ රියදුරෙකු විසින් රැගෙන එන ප්‍රධාන දුම්රියක් වුවද පෙට්රොල්මන්වරයෙකුගේ විධානයට යටත්ව නවතාගත යුතුය. යළි එම දුම්රියට ගමන් ආරම්භ කළ හැක්කේ ප්‍රධාන නියාමක වරයා සහ පෙට්රල්මන්වරයා හෝ මාර්ග ඉංජිනේරුවරයා මාර්ගය සතුටුදායක බව තීරණය කළ පසුවය. ඒ සඳහා වැයවන කාලය නිර්ණය වන්නේ ආපදාව මඟහැරවීමේ යාන්ත්‍රණය මතය.

රඹුක්කන සිට බදුල්ලට ක්‍රියාත්මක 'රාත්‍රි සංචාරක මුරකරු' රාජකාරියේ අසීරුම කාර්යභාරය සිදුකරන "කොටි පැට්‍රොල්මන්වරුන්" සඳහා මේ කැපවීමට ලැබෙන සුවිශේෂ අගය කිරීම කුමක්දැයි අපි ඔවුන්ගෙන් විමසා සිටියෙමු.

"චාජ් ෂීට් මිසෙක අගය කිරීම් අපිට උරුම නෑ මල්ලි. හරි වෙලාවට පොයින්ට් එකේ නොහිටිය එකේ ඉඳල අතොරක් නැති චෝදනා විතරයි. මගේ රාජකාරි කාලය පුරාවටම මම කෝච්චියක් වට්ටවල (අනතුරකට ලක් කරලා) නෑ. ඒත් මේ වෙනකම් එකම එක ප්‍රශංසාවක් ලැබිල නෑ. මේ ඉසව්වේ වැඩ කරනවට පඩියට අමතරව කූල් අලවන්ස් එකක් (ශීත දිමනාවක්) ලැබෙනව සියයට අටක. ඒක ස්ටේෂමේ රෑ ඩියුටි කියල නිදියන පෝටර්ටත්, කෝච්චියකට දෙකකට විනාඩි දහය ගානේ ඩියුටියට එන එස්.එම්ටත් ඒ විදියටම ලැබෙන කොට රෑ එළිවෙනකම් කට්ට කනවට ලැබෙන විශේෂ දීමනාවක් වෙන්නේ කොහොමද? "

අනතුරු මැදින්

කතාව ගමනට දිරියකි. කතා සරිත් සාගරයේ ගිලෙමින්ම අපි අංක 20 දරණ බිංගෙයද පසු කළෙමු. අංක 20 බිංගෙය යනු මෙරට දුම්රිය මාර්ගයේ සරල රේඛියව පිහිටි දිගම දුම්රිය බිංගෙයයි. බිංගේ තුළ වැහිලිහිණින් රංචු පිටින් ගැවසේ. වැහිළිහිණි කූඩු කඩා අලෙවි කිරිම මේ ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ජාවාරමකි. ඒ නිසාම මෙම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට බාහිර පුද්ගලයින්ට ඇතුළු විමට අවසර නොලැබේ.

"සමහර කාලවලට ජාවාරම්කාරයෝ කැළෙන් ඇවිත් කූඩු කඩාගෙන යනවා. අපි එනව දැක්කහම පැනල යනවා. මොකෝ අල්ලන්න කියල කැලේ පනින්නයැ. රාජකාරි නීතිය හැටියට අපි කෝච්චි පාරෙම ඉන්න ඕන. රැකගෙන ඉන්නත් බෑ. වෙලාවට පොයින්ට් එකට යන්නත් ඕන"

අපට ඉදිරියෙන් යන ආධුනික පැට්‍රොල්මන් වරයා වන රත්නායක දුම්රිය මාර්ගයේ තැනක නැවතී සිය විදුලි පන්දම එල්ල කළේ යාර විස්සක් පමණ ඔබ්බෙන් වූ ගසකටය. එහි අත්තක ඇත්තේ කළු පැහැ ගුලියකි.
වඩා හොඳින් විමසා බැලූ කල ඒ බමර වදයකි.

"මේ සෙක්ෂන් එකේ විතරක් බමර කූඩු, දෙබර කූඩු තිහකට වඩා තියෙනවා. හිටි ගමන් කෝච්චියේ සද්දෙට, එහෙමත් නැත්නම් පැණි සුවඳට උකුස්සෙක් විද්දහම ඕවා ඇවිස්සෙනවා. මොකුත් නොදැන පාර බලාගෙන යන අපිව තමයි උන්ට අහුවෙන්නේ. එතැනින් එහා ඉතින් කියන්න දෙයක් නෑනේ. හැබැයි බේරෙන්න කියල දිව්වත් දුවන්න ඕනේ රේල් පාර දිගේම තමයි. මට හතර පස් පාරක් බමර රංචු ඇටෑක් කරලා තියෙනවා….."

වැස්ස අවසන් වී තිබේ. එහෙත් වැස්සේ තෙමුණු සීතල ගතට දැනේ. වැස්සේ තෙමෙනවාටත් වඩා අසීරු වැස්සෙන් පසුව ඒ සීතල දරා සිටීමය. උණු උණුවේ තේකක්, කෝපි එකක් බොන්නට ඇත්නම් අගනේය. එහෙත් මිනිස් පුළුටක් නැති මේ ඉසව්වේ තේ බොන්නට අවකාශයක් නැත. අතරින් පතර අහස පෙනෙන තැනකදී වැහිවලාවට යටින් මතුවන පුරපස සඳ පෙනේ. එහෙත් ඒ සඳට වන ගැබ මැදින් ඇදෙන රේල්පාරට වැටී ඇති කෑලි කැපිය හැකි ගනඳුර නම් පළවා හැරිය නොහැක.  
"පොන්දුව ගැන දන්නවද? මේ තියෙන්නේ පොන්දුවක්"

රත්නායකගේ විදුලි පන්දම එල්ල වන්නේ දුම්රිය මඟ අද්දර පස් කැපුමකින් සැකසූ උස් ආවාටයකටය. උස අඩි හයක් පමණ වන මේ පස් කැපුමේ සාමාන්‍ය මිනිසෙකුට ආවරණය වී සිටිය හැකිය.

"මේක තමයි සංචාරක මුරකුරුවෙකුට හදිසි වැස්සකදි, මහන්සියකදි නැවතිලා ඉන්න හදාගන්න ඉඩකඩ. ඉස්සර හැතැප්ම බාගෙ බාගේ වගේ දුරින් මේවගේ තැනක් මාර්ග අංශේ සේවකයොම මැදහත් වෙලා හදාගන්නවා.  ළඟදි ආව ඉංජිනේරු නෝනා කෙනෙක් මේකෙ අමාරුව දැකල ඔහිය සෙක්ෂන් එකට නම් හට් ගහල දුන්නා.  අපිත් හදාගත්ත හට් එකක් මේ ළඟ තියෙනවා."

තවත් දම්වැල් කිහිපයක සිල්පරයෙන් සිල්පරයට පා තබන ගමනකින්  පසු අපි ඔවුනගේ විවේක ස්ථානයට පැමිණියෙමු. දහවල් වරුවේදී මාර්ග කම්කරුවන් එකතු කරගත් දර එහි පසෙක ගොඩ ගසා තිබේ. තේ සැකසීමට ගන්නා මුට්ටියක්, වතුර බෝතලයක් ආදී සුළු ආම්පන්න ටිකක් එහි පසෙක තිබේ.

"මේ රාජකාරියට කොෆී අලවන්ස් එකක් (තේ පානය සඳහා වන දීමනාවක්) තියෙනවා. දවසකට රුපියල් 40ක්. වෙනත් සෙක්ෂන් වලදි නම් කඩේකින් හරි තේකක් බොන්න පුළුවන් වුණත් මේ මහ කැළේ කඩ නෑනේ. පුරුදු වෙලා නිසා ගාණක් නෑ. වෙනදට නම් අපි තේ බොන්නේ නෑ. ඔයාලත් ඉන්න එකේ අද තේකක් බීලම යමු. "

පිටේ එල්ලාගෙන ගිය බෑගයෙන් තේකොළ අඩුම කුඩුමද, ඇලුමිනියම් කෝප්පද එළියට අදිමින් චන්ද්‍රසේකර අයියා අපිට තේ බොන්නට ආරාධනා කරද්දී රත්නායක ළිප අවුලා අවසන් වී තිබිණි.  

විවේකය

විනාඩි විස්සක පමණ විවේකයකදී  සීතලෙන් පීඩා විඳි ගත, ගිනිමැළයකින්  බාහිරින්ද උණු කහට කෝප්පයකින් ඇතුළතින්ද උණුසුම් කරගත් අපි, බුලත් විටකින්ද සරු වුණු ඔවුන් සමඟ යළිත් දුම්රිය මඟට පිවිසුණේ රාත්‍රී තැපැල් දුම්රිය ට පෙර අදාළ ස්ථානයන්ට යායුතුව ඇති "සංචාරක මුරකරුවන්" ගේ රාජකාරියේ වගකීම අතපසු කළ නොහැකි නිසාවෙනි.

ඊළඟට හමුවන්නේ විවෘත බිමකි. මෙතෙක් වේලා දුම්රිය මඟ දෙපසින්ම ඇවුරූ වන ගොමුව දුම්රිය පාරේ වම් පැත්තට පමණක් සීමාවී තිබේ. ඈත කඳු යායවල ඡායාවන් විදුලි බුබුළු වලින් ඒකාලෝක වී තිබේ.

"ඔය පේන්නේ වැලිමඩ බණ්ඩාරවෙල පැත්ත… ඒත් අද මීදුම නිසා පැහැදිළි නෑ... "

අපි "කොටි පෙට්‍රොල්" අත්දැකීම ලබාගනු රිසියෙන් ඔහියේ සිට පට්ටිපොළ දක්වා වන මාර්ග කොටස තෝරාගත් අතර එම සම්පූර්ණ දුර අයත් වන්නේ පැට්‍රොල්මන් කොට්ඨාස දෙකකටය. ඒ අනුව දැන් අපි පිවිස සිටින්නේ ඔහිය අන්තයේ පැට්‍රොල්මන්වරුන් වගකිව යුතු කොට්ඨාසයේ  අවසන් අර්ධයටය.

“මොන ප්‍රශ්ණ තිබ්බත් අපි මේ රස්සාවට ආදරෙයි. ඒ වෙන හොඳක් නිසා නොවෙයි. මේ ලස්සන පරිසරය නිසා…. ඒත් මාර්ග අංශෙ ඩියුටියට එන ගොඩක් දෙනා මේ රස්සාවෙ රැඳෙන්නේ නෑ. හේතුව නිදහසක් නැති කම. පට්ටිපොළ සෙක්ෂන් එකට නුවරඑළියෙන්, ඔහියට වැලිමඩෙන්  මිනිස්සු ගත්ත නම් කවදාවත් මිනිස්සු රස්සාව දාල යන්නේ නෑ. ඒත් මේ වගෙ සෙනඟ පුරවන්නේ ඇමති තුමාගේ ආසනෙන්… ෆවුසිගෙ කාලේ කොළඹින්, වෙල්ගමගේ කාලේ මතුගමින්, මද්දුමබණ්ඩාරගෙ කාලේ මොණරාගලින්. ඒ ආව අයගෙන් බාගෙට බාගයක් දැන් රස්සාවේ නෑ. දැන් පට්ටිපොල අයි පී ඩබ්ලිව් සෙක්ෂන් එකේ විතරක් පුරප්පාඩු  40කට වැඩියි. එහෙමයි කියල කෝච්චි අඩුවෙන්නේ නෑ. අපේ මහන්සිය වැඩිවෙනව විතරයි. ”

දැන් අපි පිවිස සිටින්නේ මෙරට දුම්රිය බිංගෙවල් අතුරින් දිඟින් තෙවනි තැන ගන්නා අංක 18 දරණ බිංගෙය අසළටය. "හඬන බිංගෙය" ලෙසින්ද හැඳින්වෙන මේ බිංගෙය මෙරට දුම්රිය සේවයේ මාර්ග කම්කරුවන්ට වැඩිම අභියෝගයක් වූ ස්ථානයකි.1950 දශකයේ සිට 1980 දශකය දක්වා නිරන්තරව කඩා වැටෙමින් දුම්රිය මග අවහිර කරන්නට මෙම බිංගෙයි අභ්‍යන්තර පාෂාණ තට්ටුව කුරිරු වූ අතර ඒ නිසාම මින් ඔබ්බට මාර්ගය සති ගණන් වසා දමා දුම්රිය මඟ සකසන්නට  කම්කරුවන්ට සිදුවිය.

"මේක දේශ සිමා ගානක් තියෙන තැනක් මල්ලි…. දන්නවද ඇයි කියලා…?"

ඒ කළුවරේ අපේ මුහුණුවල සටහන් වු නොදැනුවත්කමේ සලකුණු ඔහුට නොපෙනුනද, එසැනින්ම ඔහුගේ කටින්ම පිළිතුර එළිබැස්සේ අප එය නොදන්නා බව දැන දැනම වන්නට ඇත.

"මේ බිංගේ මේ පැත්ත අයිති වියළි කලාපෙට. එහා පැත්ත තෙත් කළාපේ... මේ පැත්ත අයිති ඌවට. එහා පැත්ත මධ්‍යම පළාතට... මේ පැත්ත බදුල්ල දිස්ත්‍රික්කෙට. එහා පැත්ත නුවරඑළියට... ඒ විතරක් නොවේ. මේ පැත්ත කතරගම දෙයියන්ගේ අඩවිය. එහා පැත්ත අයිති සමන් දෙවියන්ට…. "

"කොහොමද ඒක…?" එහෙම ඇසුවේ අනෙකාය…  

ඒ අපූරු සීමා මායිම් ගැන කතාව අසාගෙනම අපි දුම්රිය මාර්ගය දිගේ ගොස් බිංගෙයට ඇතුළු වුණෙමු.

(අවසාන කොටස ලබන කලාපයේ)

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ]
ඡායා    [ප්‍රදීප් ලක්ශ්‍රී / චතුර හේමාල්]

මාතෘකා