කෑලි කපන ගනඳුර මැද වැස්සෙ තෙමෙන 'පෙට්රෝල්මන්වරු'

 ඡායාරූපය:

කෑලි කපන ගනඳුර මැද වැස්සෙ තෙමෙන 'පෙට්රෝල්මන්වරු'

මෙහි කෑලි කපන ගන අඳුරේ වැස්සට තෙමෙන පෙට්රෝල්මන්වරු මුල් ලිපිය පසුගිය සතියේ පළවිය.

දුම්රිය මාර්ග අංශයේ සේවාව” දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අත්‍යාවශ්‍ය සේවාවන්ගෙන් එකකි. ඒ නිසා මාර්ග අංශයේ සැම සේවකයෙකුම දවසේ පැය විසිහතර තුළ ඕනැම මොහොතක, කැඳවූ සැනින් රාජකාරියට වාර්තා කිරිමට සූදානමින් සිටිය යුතුය. පස්කඳු කඩාවැටීමක දී, පීලි පැනීමක දී, ගස් කඩාවැටීමක දී හෝ වෙනත් එවැනි හේතුවක දී වේලාව, අවේලාව, වැසි පිණි නොබලා සේවයට වාර්තා කිරීමට ඔවුහු බැඳී සිටිති. එබැවින් බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටම මාර්ග අංශයේ සේවකයින් සඳහා නිලනිවාස පහසුකම් සපයා දී තිබේ. නමුත් අද දවස වන විට ඒවා බොහොමයක් නිසි නඩත්තුවකින් තොරව වල් බිහිව ජරාවාසව පවති. දුම්රියෙන් යනෙන මඟීන්, අතරමඟ දකින එවැනි නිවාස පේළි අතහැර දැමූ ඒවායැයි වරදවා වටහා ගත්තද, සැබැවින්ම ඒ බොහෝ නිවාස පේළිවල අදාල මාර්ග කොටසේ මාර්ග සේවකයෝ පදිංචිව සිටිති. සහසක් මඟීන්ගේ හිත සුව පිණිස අතළොස්සක් වූ දුම්රිය මාර්ග කම්කරුවන් පිරිසක් කටුක අත්දැකීම් ලබමින් කරන කැපවීම සැබැවින්ම පැසසිය යුතුමය. ඒ අත්දැකීම සජීවීව විඳිමින් “රැස” පාඨකයින් හා බෙදාහදා ගන්නට ගිය ගමනක අතරමඟ, අප දැන් සිටින්නේ ඔහිය දුම්රියපොළ ආසන්නයේ පිහිටි මාර්ග සේවක නිවාස පෙළකය.  

සත්කාරය  

දිරාගිය වහළයේ එල්ලෙන මළානික විදුලි බල්බයකට යටින් ප්ලාස්ටික් පුටු දෙකක්, මේසයක්, ඇඳක් සහ ඇඳුම් අල්මාරියක් සහිත තනිකඩ නිවස්නයක ඉරි තැළුණු සිමෙන්ති පොළොවකට ගොඩ වූ අපි ඊළඟ මොහොතේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරයට බඳුන් වූවෙමු.   

“එන්න… තේකක් බොමු”  

සීනි අහුරක් කමින් උණු උණු කහට කෝප්පයක් තොල ගෑ අපි, රාජකාරිය සඳහා වන ඔවුන්ගේ සූදානම ගැන විපරමින් පසු වූවෙමු. දෙදෙනා වෙනුවෙන් වෙන වෙනම සැකසෙන කර මළු දෙකකි. තවත් අංගෝපාංග කිහිපයකි.   

“මේ බෑග් එකේ ටෝච් පහ ගානේ තියෙනවා. බුලත් විට දෙක තුනක්, ගිනිපෙට්ටියක්, පිහියක්, සිද්ධාලේප එකක්, පැනඩෝල් පෙත්තක් වගේ දේවලුත් තියෙනවා…. ආයේ හෙට උදේ හය වෙනකම් මිනිස් පුළුටක් නැති වනන්තරේක තනිවෙන අපිට නොමැරී ජීවත්වෙන්න ඕන දේවල් මෙතැන තියෙනවා….වෙන සෙක්ෂන් එකක නම් අතරමඟ ගෙයක් දොරක් හමුවෙනවා… පට්ටිපොල- ඉදල්ගස්හින්න කොටසේ මිනිස් පුළුටක්වත් හමුවෙන්නේ නෑ... ”   

දෙදෙනාගෙන් එක් අයෙකුගේ කරේ එල්ලාගෙන යන්නට සූදානමින් තිබෙන්නේ දෙපසින් ආවරණය කළ අඟල් තුනක පමණ විශ්කම්භයැති අඩි දෙකක් පමණ දිග ප්ලාස්ටික් බටයකි.   

“මේක ඇතු‍ෙළ් තමයි පෙට්රල්මන් කෙනෙක්ට අයිති නිල උපාංග ටික තියෙන්නේ…. පීළි වෙඩි අටක්, රතු කොඩි දෙකක්, කොළ කොඩි දෙකක්, නිල සටහන් පොත වගේ දේවල්…. මේ බටේ නම් අපි හදාගත්තු එකක්… දෙපාර්තමේන්තුවෙන් දෙන යකඩ බටේ එල්ලගෙන ගියොත් පිටගැස්ම හැදිලා තමයි නවතින්නේ… අවුරුදු සියයකට මෙහා ගෙන්වලා නෑ අලුත් ඒවා…”   

ඉන් අනතුරුව සීත කබායක් හැඳ,  රෙදි තොප්පියක්ද හිස ලා ගත් ඔවුහු කුඩයද ඉහළාගෙන ගමනට සුදානම් වූහ.   

ආරම්භය  

“දැන් හවස 6යි…. අපි ඩියුටිය පටන් ගන්න ඕන වෙලාව…. මේ පුවරුව තමයි අපේ සිමාවේ ආරම්භය සටහන් කරපු තැන. මෙතැනින් එහාට ඔහිය කොට්ඨාසෙට අයිති….. ඒ අයත් දැන් මෙතැනට ඇවිත් ඩියුටිය පටන්ගන්න ඕන… “  

නාගරික අපට නම් සවස හය යනු තවත් එක් කාර්ය බහුල හෝරාවක් වුවද, සීතල ඔහියට සවස හය යනු නිදිමත දැනෙන යාමයය. දවසේ අවසාන දුම්රිය පල්ලම් බැසගොස් ඇති අතර වැළිමඩ සිට පැමිණෙන අවසාන බසයද ඔහියට ළඟාවී ඇති නිසා තවත් කාර්යබහුල වන්නට තරම් වුවමනාවක් ඔහිය කඩමණ්ඩියට නැත. සංචාරකයෙක් පැමිණ නවාතැන් ගත් විටෙක මිසෙක “ගාමිණී අයියාටද” තේ කහට එකක්, බුලත් විඩක් විකුණන්නට සවස හයෙන් පසු ලැබෙන්නේ එහෙමත් වෙලාවකය. රාත්‍රි නවයට ඔහියට ළඟාවිය යුතු රාත්‍රී තැපැල් දුම්රිය නියමිත වේලාවටම ළඟාවීම සැක සහිත මුත් එයින් ඔහියෙන් බැස ගන්නා මඟියෙකු වේ නම් ඒ කලාතුරකිනි. එසේ වේලාසනින්ම නින්දට යන ඔහිය යළි අවදිවන්නේ දවසේ මුල්ම දුම්රිය ලෙස ඔහිය දුම්රිය පොළට පැමිණෙන බදුලු තැපැල් දුම්රියේ නළා හඬටය.   

“ඔයාලගේ ඩියුටිය උදේ හය වෙනකම් කෙරෙන විදිහ කොහොමද?”  

“අපිට මෙතැන ඉඳල අංක 18 බිංගේ කෙළවරට වෙනකම් හැතැප්ම තුනක දුරක් විහිදෙන මාර්ග කොටස තමයි අයිති.  පැය තුනක වෙලාවක් අරගෙන රෑ නවය වෙනකොට එතනට යන්න ඕන… මේ වෙලාවටම අඹේවෙලින් පටන්ගන්න පැට්රොල්මන්ල දෙන්නා ඒ වෙද්දි එතැනට එනව… එයාළටත් හතැප්ම තුනක් තියෙනව… අපි එතැනදි මුණගැහිල අවදානමක් නෑ කියන එක තහවුරු කරගෙන ආයෙ රෑ දොළහ වෙද්දි මෙතැනට එනවා….. ඒ වෙනකොට අපිත් එක්කම මෙතැනින් හවස හයට පටන් අරගෙන ඔහිය සෙක්ෂන් එක බලන දෙන්නා හැතැප්ම තුනක් බදුල්ල පැත්තට ගිහින් හැරිලා අපහු මෙතැනටම එනවා...ඔය විදිහට දෙපාරක් වෙනකොට උදේ හයයි.”   

ඒ විස්තරය අතරතුර අපේ කථා නායකයින් දෙපළ සේම, වැසි කබාවලින් සැරසුණු, ආම්පන්න සහ අසුරන එල්ලා ගත් දෙදෙනෙක් ඔහිය දුම්රියපොළ දෙස සිට එම ස්ථානයට ළගාවූහ. දෙපිරිසේ සාකච්ඡාවකින් පසු ඔවුහු එකිනෙකාට සුබපතා ගනිමින් ඔහිය දෙසටත්, අපේ පිරිස පට්ටිපොළ දෙසටත් වෙන්වූහ. අපි සිල්පරෙන් සිල්පරේට අඩිය තියමින් අද්භූත මහ වනය දෙබෑ කරමින් සර්පයකු සේ විහිදෙන රේල් පාර දිගේ පට්ටිපොළ දෙසට යන දෙදෙනා පසුපස පියමැන්නෙමු.   

සැතැපුම් තුනක් පැය තුනකදී ඇවිද යාම සාමාන්‍ය මාර්ගයකදී නම් එතරම් අභියෝගයක් නොවේ. නමුත් දෙපසින්ම අහස වසා පැතිරෙන උස් පයිනස් ගස් මැදින් කෑලි කැපිය හැකි තරම් ගන අඳුරක ගිලෙමින්, වැසි පින්නට තෙමෙමින්, බඩු පොදි කරෙහි දරා ගනිමින්, සෑම රේල් පීලි මුට්ටුවක්ම පිරික්සමින්, සිල්පර වල ඇණ සහ සම්බන්ධිත තැටි ගැන විමසමින්, සුළු අතපසුවීමකින් සිදුවිය හැකි කෝටි ගණනක මූල්‍යමය අලාභයක්ද, ජීවිත ගණනාවක ඉරණමද වගකීමද  ගෙන සිල්පරෙන් සිල්පරේට පැන පැන ඇවිද යාම නම් විස්තර කළ නොහැකි අභියෝගයකි.   

“අපි ඩියුටිය භාර ගත්තහම ඉවර වෙනකම් රේල් පාරෙම ඉන්න ඕන…. බඩ සැහැල්ලු කරගන්න කියල බැද්දට රිංගපු වෙලවක හරි අයි.පි.ඩබ්ලිව් ඉන්ස්පෙක්ෂන් ආවොත් ගස් තමා….. යන හැම කෝච්චියකටම අපි පාරේ ඉඳල සංඥාවක් දෙන්න ඕන… ගාඩ් මහත්තයාගේ ජර්නල් එකේ අපි හිටිය තැන ගැන සටහනක් දාන්න තියෙනවා… මේ රෑ අපි වැඩ කළාද කියල බලන්න කවුරුවත් නැති වුණත් ඔහියෙන් ගත්තු මේ ඩියුටි ෂීට් එක හෙට උදේ හය වෙද්දි සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට මාරුවෙලා නානුඔයට යන්නේ අපේ කට්ටි හයේම පිරිස හරියට ඩියුටිය කළහම තමා…. එක තැනක හරි වැරැද්දක්, අනතුරක් අතපසු වීමක් වුණොත් ඒ ඩියුටි ෂීට් එක නානුඔයට යන්නේ නෑ..“   

අවදානම 

ඔහිය අයත් වන්නේ කඳුකර වියළි කලාපයටය. නමුත් කඳුකර තෙත් කලාපයේ කාලගුණ විපර්යාසයන්ද ඔහියට තදින් දැනේ…. ඒ නිසාම ඊසානදිග සිට හමන සුළඟින්ද, නිරිතදිග සිට හමන සුළඟින්ද ලැබෙන වර්ෂාවෙන් මෙම කලාපය වසරේ වැඩි කාලයක් තෙත බරිතව පවති. හෝටර්න් තැන්න පිස එන චණ්ඩ සුළඟ කොත්මලේ නිම්නයට පල්ලම් බහින්නේ ඔහිය හරහාය. නුවරඑළියේ සීතල තව තවත් වැඩියෙන් මිසෙක අඩුවෙන් නම් ඔහියට දැනෙන්නේ නැත. මේ සියලු පාරිසරික සාධක වල අනිසි බලපෑම රිදවන්නේ ඔහිය හරහා ඇදී යන දුම්රිය මාර්ගයටය. ඇසිපිය හෙලන ඇසිල්ලකින් අඩි පණහක් හැටක් උස ගසක් දුම්රිය මාර්ගය හරහා පෙරළිය හැකිය. නැතහොත් අඩි විස්සක් තිහක් උස පස් කණ්ඩියක් දුම්රිය මාර්ගය අවහිර කරමින් කඩාවැටිය හැකිය. ක්ෂණිකව ඇතිවන මහ වැස්සකින් ඉවුරු කැඩී දුම්රිය මාර්ගය සේදී යා හැකිය. කෂණිකව වෙනස්වන පාරිසරික උෂ්ණත්වය නිසා රේලි පීළි පපුරා යන අවස්ථාද පවතී. වියළි සමයට ලැව් ගිනි නිසාද ගස් කඩා වැටේ. මේ හැම අලකලංචියකදීම දුම්රිය මාර්ගය නිරවුල්ව පවත්වාගෙන බාධාවකින් තොරව දුම්රිය ගමනට අවකාශ සැපයීම “පෙට්රල්මන්” ගේ වගකීමයි.   

“කෝච්චියේ යන ගොඩක් දෙනා මේ අනතුරුදායක බව ගැන දන්නේ නෑ… පහුගිය දාක අංක 20 බිංගේ ගාවින් උදේ බදුලු කෝච්චිය යනකොටම ගහක් කඩා වැටුණා…. කෝච්චිය පහුවෙලා නිසා ගාඩ් දැක්කෙත් නෑ… මම දවල් පැට්රොල් රාජකාරියේ හිටියේ… තනියම… අතේ ආයුදේකුත් නෑ…. හොඳ වෙලාවට ෆෝන් වැඩකළා…. පස්සේ අයි.පී.ඩබ්ලිව් මහත්තයාට කියල පට්ටිපොලින් කට්ටිය ගෙන්වගෙන, ඊළඟ කෝච්චියට කළින් ගහ කපල අයින්කරල පාර ක්ලියර් කළා…..”  

සිල්පරයෙන් සිල්පරයට අඩිය තබා යන අපට දැන් එකිනෙකා පෙනෙන්නේ ඡායාවන් ලෙසය. කෑලි කැපිය හැකි අඳුර මකන්නට අපේ විදුලි පන්දම් එළිය සෑහෙන්නේ නැත. ඔවුන් සතුව ඇති විදුලි පන්දම්වල ආලෝකය අපේ විදුලි පන්දම්වලට වඩා දීප්තිමත්ය… පසුව කළ කතාබහේදි හෙළි වූ පරිදි ඒවා ඔවුන් විසින් පුද්ගලිකව සකසා ගත් ඒවා මිසෙක, දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ඒවා නොවේ. දෙපාර්තමේන්තුවෙන් දෙන්නේ යකඩෙන් තැනූ කේතලයක් වැනි හැඩයක් ඇති ලන්තෑරුමකි. එහි ඇතුළු සිලින්ඩරයක් කැරකවීමෙන් කොළ සහ රතු වර්ණ අවස්ථානුකූලව පෙනෙන පරිදි සකසා ගත හැක. නමුත් ප්‍රදේශයට පවතින අධික සැර සුළඟත්, මිදුමත් හමුවේ එම ලන්තෑරුම් භාවිතා කිරිමෙන් රාත්‍රි දුම්රියන්ට සංඥා ලබාදීම කළ නොහැක.   

අප ඊළඟට පිවිසියේ අංක 21 දරණ බිංගෙය අසලටය… ඒ වන විට හොඳටම අඳුර වැටී ඇත. එසේම පැවැති පින්න වැස්සක් බවට පරිවර්තනය වී තිබේ…අපි බිංගෙය තුළදි වැහිකබා පළඳ ගතිමු. කෙටි බිංගෙයක් වූ එයින් ඔබ්බෙහි ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනකි.  

“මෙතැන තියෙන්නේ පාලමක්… තොටුපොළ කන්ද පැත්තෙන් එන දියපාරක්…. වැටෙන්නේ බදුලු ඔයට… අත්වැටේ යකඩ බට දිරලා කැඩිලා තියෙන්නේ….රෑ නිසාම හොඳයි… නැත්නම් අඩි සියයකට කිට්ටු ප්‍රපාතෙ දැක දැක යනව කියන්නෙ අමාරු වැඩක්….”   

හොඳින් මැදුණු යකඩ පට්ටම් වැසි වතුරෙන් සේදී ඇති විට බණ්ඩක්කා වලටත් වඩා හොදට ළිස්සා යන නිසා, පාලමේ ගමන බෙහෙවින් භයානකය. එක් අතකින් විදුලි පන්දමය. ගෙලට හිරවුණු කුඩයද ඉහලාගෙන, එක් අතෙකින් අත්වැට අල්ලාගෙන ඉදිරියට ගියද, පාලමෙන් අඩක්ම පමණ ඉදිරියට ගිය විට අත්වැටක් නැත. මුලින්ම මමත් , ලක්ශ්‍රීත් පාලමෙන් එගොඩ වුණෙමු. ඊළඟට චතුරත්, ඔහු පසු පසින් පැට්රොල්මන් දෙපලත් පැමිණියහ. ඇතා තමන්ගේ තරම නොදන්නා බවට පවතින කතාවට සමගාමීව අපිත් මේ පාලම පහළින් ඇති අවදානම නොදැක, වුවමනාවෙන්ම විමසා නොබලමින් ඉෂ්ට දේවතානුස්මරණයේ යෙදෙමින් පාලමෙන් එගොඩ වූවෙමු. නමුත් හාත්පස දෙව්ලොව දකිමින් බදුලු - කොළඹ දුම්රියේ නැඟී යන සුවහසක් මගීන්ගේ ගමන සුරක්ෂිත කරනු වස් මේ දුෂ්කර මාර්ග කොටස ආවරණය කරන ඔවුන් නම් දෛනිකව කිහිප වතාවක් මේ මර උගුල පසුකරමින් රාජකාරියේ නියුක්ත විය යුතුව තිබේ.  

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] ඡායා [ප්‍රදීප් ලක්ශ්‍රී | චතුර හේමාල්]

මාතෘකා