දුම්රිය මඟ රකින කුහුඹු මිනිසුන්ගේ අසීරු රාජකාරිය “කොටි පැට්රෝල්”

 ඡායාරූපය:

දුම්රිය මඟ රකින කුහුඹු මිනිසුන්ගේ අසීරු රාජකාරිය “කොටි පැට්රෝල්”

කොළඹ සිට කිලෝමීටර 231.64කින් ප්‍රධාන මාර්ගයේ පිහිටි ඔහිය දුම්රියපොළ පට්ටිපොළ සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1791ක් උසින් පිහිටා ඇති ඔහිය දුම්රිය පොළ මෙරට උසින්ම පිහිටි දුම්රිය ස්ථාන අතරින් තෙවැන්නයි. හෝටර්න්තැන්න වන බිමේ කෙළවරක පිහිටි මේ දුම්රිය පොළ අපි එහි අතරමං වන විට ඝන මිහිදුමෙන් වැසී තිබුණි. දුම්රියෙන් බට අප තිදෙනාත්, දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේ ස්ථානාධිපතිවරයා සහ එක් සේවකයෙකුත් හැර වෙනත් කිසිවෙකු ඒ මොහොතෙහි එහි නොසිටියේය. අපේ සම්බන්ධීකාරකවරයා එන්නට තවත් කල් වේලා පැවැති බැවින් ඝන සීතලෙන් මිදී ගත සිත උණුසුම් කරනු පිණිස අපි දුම්රිය ස්ථානය ඉදිරිපස පිහිටි ‘ගාමිණි අයියාගේ’ කඩයට ගොඩ වැදුණෙමු.

උඩරට දුම්රිය මර්ගයේ පවතින අපූර්වත්වය නිසාම බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ ගමනාන්තයට වැය වන කාලය ගැන නොසිතා සිය ගමන් අවශ්‍යතා සඳහා දුම්රිය තෝරාගන්නට රුචි වෙති. ගැමි සහ වතුකර පරිසර මැදින් දර්ශනීය කඳුවැටි, දිය දහරා අද්දරින් ඇදෙන දුම්රිය මඟ වඩාත් ලස්සන වන්නේ තැනින් තැන හමුවන බිංගෙවල්, වංගු සහ පාලම් නිසාය. එහෙත් ඒ අලංකාරය තුළ පවතින අභියෝගය හඳුනන්නේ දුම්රිය රියදුරන් සහ මාර්ග අංශයේ සේවකයින් පමණක් වන අතර එය හාත්පස සුන්දරත්වය සොයා යන මඟියෙකුට ඇති කරන්නේ සොඳුරු වින්දනයක් පමණි. පාණ්ඩුකම්බල ශෛලාසනය මත හිදින සක් දෙවිඳුන් සේ විරාජමානව උඩඟු හැඟුමෙන් දුම්රිය මෙහෙයවන රියදුරන් සතුව මේ අභියෝගය, වගකීමක් ලෙස රාජකාරිය සමග එකමුතු කොට තිබුණද, එම අභියෝගය සමනය කොට මඟීන්ට වඩා සුවපහසු ගමනක් ලබාදිම වෙනුවෙන් උපරිමව දුක්විඳිනුයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ සේවකයින්ය. එයිනිදු රාත්‍රී සේවා මුර රාජකාරිය දහවල් සේවා මුර රාජකාරියට වඩා අභියෝගාත්මකය.   

මාර්ග අංශයේ දුම්රිය සේවකයින් අතරින් කටුකම රාත්‍රී සේවා මුරය ක්‍රියාත්මක වන්නේ හෝටර්න්තැන්න වනෝද්‍යානය ආසන්නයේ පිහිටි දුම්රිය ස්ථාන අතරය. එනම් නානුඔය සිට ඉදල්ගස්හින්න අතරය. මෙම අභියෝගාත්මක මුර සංචාර සේවය හඳුන්වන්නේද ‘කොටි පැට්‍රොල්’ යන අපූරු නාමයකිනි. ඒ අපූරු සහ අභියෝගාත්මක රාත්‍රි දුම්රිය මාර්ග මුර සංචාරය පිළිබඳ සජීවී අත්දැකීම ලබමින් එය අත්විඳීන්නට සැලසුම් කළ ගමනක ආරම්භයේ මමත්, ලක්ශ්‍රීත්, චතුරත් පදමට මිරිස් මුසු කළ ලුණුමිරිසක් සමඟ ඊස්ට් රොටියක් කා කෝපි බොමින් පේ වෙමින් සිටින්නේ නිල අවසරයේ වාචික පණිවිඩය අදාළ සේවකයින් වෙත ලැබෙන තුරුය.
සීතලත්, පින්නත් සමග ගෙවි ගිය තවත් අඩ හෝරාවක් තුළ හරියටම සවස 5.30ට අවැසි පණිවිඩයත් රැගෙන ඔවුහු දුම්රියපොළට ළඟා වූහ.   

“අයි.පි.ඩබ්ලිව් මහත්තයා පණිවිඩේ කිව්වා….. එහෙම නම් යමු…”  

“හරි අපි ලෑස්තියි”  

අපි එහෙම කිව් සැණින්, දෙදෙනාගෙන් එක් අයෙක් තමන්ගේ හඬ යළිත් අවදි කළේ මෙසේය.  

“හැබැයි ලේසියට හිතන්න එපා මහත්තයෝ මේක අමාරු ගමනක්… පොඩ්ඩක් පය ලිස්සුවොත් පෙට්ටියෙන් තමා යන්න වෙන්නේ… අපි හැමදාම ගියාට, මහත්තයලට මේ ගමන විනෝදයක් වෙන එකක් නෑ…. දෙයියන් බුදුන් සිහි කරගෙන යන්න ඕන ගමනක්… හැබැයි ඔයාලගේ වගකීම ඔයාල අතේ…. අපිට වගකියන්න තියන්න එපා…..තියෙන වගකීම් ටික හොඳටෝම ඇති”   

කොන්දේසි සහ නීතිරීති සමඟ ගෙවෙන රාජකාරි ජීවිතයකට හුරු ඔවුනගේ විධානයන්ට අවනතව අපි ඔවුන් අනුගමනය කරමින් දුම්රිය මගට පිළිපන්නෙමු. රාජකාරිය දේවකාරියක් වන නිසාම හෝ ආවරණය විය යුතු යමක් අනාවරණය වේ යැයි සිතන නිසාම ඔවුන්ගේ හඬ තවමත් අප හා ළබැඳි නොවේ. එහෙත් මේ බැරෑරුම් රාජකාරිය ගැන අහුමුළු හාරා අවුස්සන්නට දඟලන අපේ මුව පොපියන්නේ, හුරුපුරුදු කරගත් උපායයන් සමඟින් නිසාම ඔවුන් සමඟ ළෙන්ගතු කම් ඇති කර ගැනීම අරුමයක් නම් නොවේ. ඒ උත්සාහය සිත්හි දරාගනිමින්ම අපි ඔවුන් පසුපසින් සිල්පරෙන් සිල්පරට අඩිය තබා පට්ටිපොළ දෙසට ගමන් කළෙමු.   

පෙට්රල්මන් යනුවෙන් භාවිතයේදී හැඳින්වුවද එය දුම්රිය දෙපාර්තමේන්තු ලේඛනවල සටහන් වන්නේ “සංචාරක මුරකරු” යන රාජකාරි නාමයෙනි. මාර්ග කම්කරු තනතුරට වඩා ඉහළින් පිහිටි එම තනතුර වගකියනුයේ අදාළ කොට්ඨාශයේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමණාකරු වෙතය. රඹුක්කන සිට මාතලේ සහ බදුල්ල දක්වා වන මාර්ග කොටසේ පමණක් ක්‍රියාත්මක සංචාරක මුරකරු රාජකාරිය, පෙර සඳහන් කළ පරිදිම සුවිශේෂ වන්නේ හෝටර්න් තැන්න වනෝද්‍යාන අඩවියට සම්බන්ධ මාර්ග කොටසේදීය. පොදුවේ සැලකූ කල දල වශයෙන් සැතැපුම් තුනක පමණ දුරකට එක් සංචාරක මුරකරුවෙකු බැඟින් සිටිය යුතු අතර දිවා මුරය සහ රාත්‍රී මුරය සඳහා පත්වීම් දෙකක් ලබාදේ. නමුත් පෙර සඳහන් කළ සුවිශේෂී මාර්ග කොටසේදී රාත්‍රී මුරය සඳහා පමණක් පත්වීම් දෙකක් අවමව පැවැතිය යුතුය.   

අපට ඉදිරියෙන් සිල්පර මත අඩි තබමින් සිය රාජකාරිය වෙනුවෙන් දුම්රිය මඟ දිගේ පාගමනින් යන්නේ පට්ටිපොළ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමණාකරු කොට්ඨාශයේ අංක 06 කොටසේ රාත්‍රී සංචාරක මුරකරුවන් දෙදෙනාය. ඉන් එක් අයෙකු මෙම කොට්ඨාසයේ ස්ථිර පත්විමක් ලද සංචාරක මුරකරු වන අතර අනෙකා ආවරණ රාජකාරියෙහි නිරත ආදේශකයෙකි. වසර විසි අටක සේවා පළපුරුද්ද සහිත පළමුවැන්නා කෑගල්ලේ ආර්. ආර්. චන්ද්‍රසේකරය. දෙවන්නා පස් වසරක පළපුරුද්ද සහිත වැල්ලවායේ ආර්. එම්. එස්. රත්නායකය.   

‘කොටි පෙට්රෝල්’ කියන්නේ ස්පෙෂල් එකක්. අනෙක් පැතිවල රෑට පෙට්රල් ඩියුටි යන්නෙ එක්කෙනෙක් විතරයි... ඒත් මේ සාවියේ දිවියා ඉන්නවා... රාත්‍රියට තනියම රේල් පාර දිගේ යන එක භයානකයි… ඒ නිසා පැට්රෝල්මන් ඩියුටියට දෙන්නා දෙන්නා යනවා… මේ විශේෂත්වය නිසා ඩියුටියට ‘කොටි පෙට්‍රොල්’ කියල කියනවා….”

“ඉතින් ඇත්තටම දිවියා හමු වෙනවද?”   

“මොනව අහනවද? සතියකට දෙතුන් වතාවක් අනිවාර්යයෙන් හමුවෙනවා. එහෙමයි කියල මුණට මූණ හම්බුවෙන්නේ නෑ… අපි බයෙන් ගල් ගැහෙනවා…. ඌ බයෙන් මාරුවෙනවා…. දෙන්නම දොගොල්ලන්ටම බය නෑ වගේ තමන්ගේ ගමන යනවා…. ඔය ඊයේ පෙරේදත් තේ වත්තකදී දිවියෙක් ගහල පස් හය දෙනෙක් තුවාල වුණේ…. තනියම මුණට මුණ හමුවුණොත් ඇටෑක් කරනවාම තමයි…..”

“දිවියා විතරද?”  

“ නෑ…. ගෝනා, වැලිමුවා, තිත්මුවා, වඳුරා, වල් ඌරා, හාවා වගේ සත්තු නිතරම මුණගැහෙනවා…. ඊට අමතරව මේ හැතැප්ම 3-4ට බඹර දෙබර කූඩු තිහකට වඩා තියෙනවා…. ඒ මදිද?”   
ඇරඹුමේදී අප සිතුවාට වඩා අභියෝගය ප්‍රබල බව පමණක් ඒ වදන් වලින් දැනේ. එහෙත් දැන් ආපසු හැරී යා නොහැක. දෛනිකව මේ අභියෝගවලට මුහුණ දෙන යෝධ ජවයක් සහිත මේ කුහුඹු මිනිසුන් ඉදිරියේ කුරා කුහුඹුවන් වීමට අපට බැරිය.   

“අපිට ඩියුටිය පටන් ගන්න තියෙන්නේ හයට. පැය තුනකදී හැතැප්ම තුනක දුරක් පට්ටිපොළ පැත්තට ගිහින් ආපහු එද්දි රෑ දොළහයි. රැට කන්නේ ඒ වෙලාවට…. ඒනිසා ක්වාටස් එකට ගිහින් තේ බීලා එහෙම තමයි පිටත් වෙන්න ඕන… මහත්තයලත් අපිත් එක්ක යමු….තේකක් බීලම වැඩේ පටන්ගමු.”   

“කොටි පැට්රොල් ගිය හැටි” ඊළග ලිපියෙන්….

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ]  ඡායා [ප්‍රදීප් ලක්ශ්‍රී / චතුර හේමාල්]

මාතෘකා