දම්මි සුගත්ට වෙරළු දුන් ගහ තියෙන්නෙ, ජයලත්ගෙ ගෙදර මිදුලේ

 ඡායාරූපය:

දම්මි සුගත්ට වෙරළු දුන් ගහ තියෙන්නෙ, ජයලත්ගෙ ගෙදර මිදුලේ

ආදරෙයි මම ආදරෙයි  
දම්මි තවමත් ආදරෙයි... 

කරුණාසේන ජයලත් සූරීන් ගොළු හදවත නවකතාව පාදක කරගෙන රචනා කළ ඒ ගීය වරක් හෝ නෑසූ කෙනෙක් නැතිව ඇති. දසක ගණනක් තිස්සෙ පාඨක හදවත් හැඟුම්බර කළ, දම්මි-සුගත්ගේ ඒ ආදර කතාව ලියවුණු රසවතා නිරන්තරයෙන් ගැවසුණු හන්දියක් ගැන තමයි අපි අද කියන්න යන්නේ.   

ඒ තමයි හොරණ සිට කොළඹ දෙසට 120 බස් මාර්ගයේ කිලෝ මීටර් 03 ක් ගිය තැනදී හමුවන පොකුණුවිට. අතීතයේ කුඩා පාරවල් තුනක් එක් වී හැදුණු මේ තුම්මං හන්දිය අද වන විට කොළඹ හොරණ සහ හොරණ පානදුර මාර්ගයේ ප්‍රධාන නැවතුම්පළක් ලෙස හඳුන්වන්න පුළුවන්. රයිගම් කෝරළයේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නාගරික බලප්‍රදේශයට අයත් වන මේ හන්දිය පිළිබඳ හරි අපූරු ජනප්‍රවාද රාශියක් පවතිනවා.  

නම හැදුණු හැටි

මේ හන්දියට පොකුණුවිට කියන නම ලැබී තිබෙන්නේ අතීතයේ මෙම ප්‍රදේශය වටා පොකුණු රාශියක් පැවතීම නිසා බවයි කියැවෙන්නේ. අදටත් ඉන් පොකුණු කිහිපයක් මේ හන්දිය ආසන්නයේ සහ කිත්සිරිමෙවන් රජමහා විහාරය ආසන්නයේ දකින්න පුළුවන්. ‘පොකුණුවලින් වට වූ’ යන අදහස පසු කාලෙක ‘පොකුණුවිට’ වූ බව හිතන්න පුළුවන්.  

මේ ගැන තවත් අපූරු කතාවක් පොකුණුවිට හන්දියේ තිබෙන ආයුර්වේද බෙහෙත් ශාලාවේ ඩී. සී. පුෂ්පකුමාර වෙදමහත්තයා කිව්වා.  

“මගේ පියාගේ කාලයේ ඉඳන් මම මේ කතාව කීප වතාවක්ම අහලා තියෙනවා. පොකුණුවිට හන්දියේ තියෙන පන්සල හදල තියෙන්නේ කිත්සිරිමෙවන් රජතුමා. ඒ රජතුමා දවසක් දුර ගමනක් යද්දී මේ පන්සලට උඩින් තියෙන කළුගලේ නිර්මාණය වුණ පොකුණ ළඟ නැවතිලා, බුලත්විට කමින් විඩා නිව්වාලු. ඒ නිසා පොකුණුවිට වුණා කියලයි කියන්නේ.”   

පොකුණුවිට හන්දිය අසල පන්සල් දෙකක් තියෙනවා. එකක් තමයි කලින් මම සඳහන් කළ පොකුණුවිට රජමහා විහාරය. අනෙක් පන්සල බුරුම පන්සල  කිත්සිරිමෙවන් රජමහා විහාරය තරම් පැරණි නොවූවත් වසර 100කට වැඩි ඉතිහාසයක් සහිත තවත් විහාරයක් පොකුණුවිට හන්දිය ආසන්නයේ තිබෙනවා. ඒ තමයි ප්‍රදේශවාසීන් ‘බුරුම පන්සල’ ලෙස හඳුන්වන විනයාලංකාරාමය. එය ආරම්භ කර තිබෙන්නේ බුරුමයේ සිට පැමිණි භාවනායෝගී භික්ෂුවක්. විශිෂ්ට ධර්ම කථිකයෙකු හා ධර්ම ග්‍රන්ථ රාශියක කතුවරයකු වූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන්ද මේ පන්සලේ වැඩ වාසය කර තිබෙනවා.  

හන්දියේ දේශපාලනය

මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස ගීතය මුල් වරට භාවිත කළේ පොකුණුවිට හන්දියේදි බවයි කියැවෙන්නේ. ඒ, හන්දිය ආසන්නයේ ජීවත් වන හොරණ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් 1965 වසරේදී පැවති රැස්වීමකදී. මේ සඳහා ගීත සහ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ විශාරද සරණගුප්ත අමරසිංහ කලාකරුවා. මේ සංගීත ප්‍රසංගය සහිත රැස්වීම පැවැත්තුවේ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට අයත් පොකුණුවිට හන්දියේ පැරණි කඩපේළිය ඉදිරිපිට. එහිදී ගායනා කළ එක් බයිලා ගීතයක් මේ:  

ඩඩ්ලි අගමැති වෙනකොට - සිරිමාවෝ මඟ ඇතී  
 ඔහේලා අලියා ලකුණට ඡන්දෙ දෙන්න - ඒක මට ඇති  

එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් හොරණ දේශපාලනයේ ප්‍රධාන මර්මස්ථානයක් වුණේ පොකුණුවිට හන්දිය. 1977 මැයි 01 වෙනිදා රත්නසිරි වික්‍රමනායක මහතාගේ ආධාරකරුවන් රැගත් රථ පෙළපාලියක්, කොළඹ මැයි රැළියට යන අතරමඟ, පොකුණුවිට හන්දියේ කඩවලට මුවා වී පිරිසක් එල්ල කළ ගල් මුල් ප්‍රහාරය, හන්දියේ දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක්.  
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මෑණියන්ගේ ගමත් පොකුණුවිට. ඇය සිහිවීමට ‘මව් ගම’ නමින් ඉදි කළ උදාගම පිහිටා තිබෙන්නේ, පොකුණුවිටට ආසන්න කළුපහන ප්‍රදේශයේ.  

අතීත මතකය

88/89 භීෂණ සමයේදී පොකුණුවිට මොනවද වුණේ? ඝාතනයට ලක්වූ එක් භික්ෂුවකගේ සිරුරක් පොකුණුවිට හන්දියේ පිළිස්සෙමින් තිබූ බව හොරණ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී අර්නි යශතිලක කිතුලගොඩ මහතා අප සමඟ කිව්වා.  
“භීෂණ කාලෙ නම් අපිට ලොකුවට කරදරයක් වුණේ නෑ. මට මතක විදිහට පොකුණුවිට හන්දියේ ඉඳල හොරණ පැත්තට යද්දී තියෙන පාලම ගාව කොල්ලෝ තුන් දෙනෙක් වෙඩි තියලා මැරුවා. ඒ වෙලාවේ එතන හිටිය හිඟන්නෙකුත් මැරුවා කියලා කටකතා ගියා. හැබැයි ඊට පස්සෙ නම් ඒ වගේ සිද්ධි වුණේ නෑ. මොකද කියනවා නම් මේ හන්දියේ එක පැත්තක රත්නසිරි මහත්තයා හිටියා. අනික් පැත්තේ හිටියේ ඉන්ද්‍රදාස මහත්තයා. දෙන්නම පක්ෂ විපක්ෂ ප්‍රබලයින් දෙන්නෙක් නිසා මේ පැත්තට වැඩි පොලිස් ආරක්ෂාවක් දුන්නා”  

ඉඳ හිට දේශපාලන මත ගැටුම් තිබුණත් තවමත් පොකුණුවිට හන්දියේ දෙමළ, මුස්ලිම්, සිංහල කියල ජාතිභේද නැහැ. පොකුණුවිට හන්දියේ අවුරුදු 72ක මතකයන් ගොන්නක් ඇති සොමිරත්න පෙරේරා මහත්තයා ඒ අතීතය මේ අයුරින් සිහිපත් කළා.  

“අපි පොඩිකාලේ මේ හන්දිය වටේ තියෙන පොකුණුවල නාන්න යනවා. එක පොකුණක් තිබ්බේ හන්දියේමයි. ඉස්සර වෙඩින්වල ෆොටෝ ගහන්නෙ මේ හන්දියේ. දැන් වගේ නෙමෙයි. වෙඩින් එකට ආව හැමෝම හන්දියේ ඩෙස් තියලා වාඩි කරවලා වාහන එනවද බලලා තමයි ෆොටෝ ගන්නේ. මට මතක හැටියට මට අවුරුදු හයේදී වගේ ඒ වගේ ෆොටෝ එකක් ගත්තා. මාත් හිටියො ඒකේ. ඔලුවෙ ඉදන් කළු රෙද්දක් පොරෝගත්ත කැමරාවකින් තමයි ගත්තේ.  

ඒ වගේම තමයි අපි පොඩි කාලේ ඉඳන් මේ හන්දියේ සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු කිසි අවුලක් නැතුව ජීවත් වුණා. හර්තාල ආවත්, කළුජූලි ආවත් අපි අතර අවුලක් තිබ්බේ නෑ. ඉස්සර අපි කොණ්ඩෙ කපන්න යන්නේ දෙමළ සැලුන් එකට. හරි හොඳ මනුස්සයෙක් එයා. ඒ වගේ තමයි කාසි සෙට්ටි මුදලාලි. මුදලාලිගේ අම්ම අප්ප ඉඳන් අපි දන්නවා. මුදලාලිත් එහෙමයි. ඒ කාලේ පොකුණුවිට හන්දියේ තිබ්බ ලොකු රෙදි කඩෙයි, හාඩ්වෙයාර් එකයි තිබ්බේ කාසි සෙට්ටි මුදලාලිට. හැබැයි කාලයක් යද්දී ඒ මිනිස්සු මෙහෙන් ගියා කොළඹට. දැන් ඒ පවුල්වල කවුරු ඉන්වද දන්නේ නෑ.”  

පොකුණුවිට සාහිත්‍යය

මෙරට නවකතා ඉතිහාසයේ නොමැකෙන ස්ථානයක් අත්කර ගත් කරුණාසේන ජයලත් ලේඛකයා ජීවත් වූ නිවස තියෙන්නේ පොකුණුවිට හන්දියට ආසන්නයේ. පොකුණුවිටදී විඳි අත්දැකීම්, පොත් තුළින් ඔහු ලෝකයට වෙත ගෙන ගියා. ඔහුගේ හැම පොතකම ලිපිනය හැටියට සඳහන් වෙන්නෙ, අමරජය-පොකුණුවිට යනුවෙන්. අද ඒ නිවසේ ජීවත් වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුත් කණිෂ්ක ජයලත්.    ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ගොළු හදවත රිදී තිරයට ගෙන ආ අවස්ථාවේ දම්මි සුගත්ට දෙන වෙරළු ලබාගෙන ඇත්තේ ජයලත් සූරීන්ගේ නිවසේ මිදුලේ පිහිටි වෙරළු ගස් දෙකෙන් බව එතුමාගේ වැඩිමහල් පුතා අප සමඟ පැවසුවා.   කොළඹ යුගයේ ප්‍රමුඛ කවියෙකු වූ මීමන ප්‍රේමතිලක කවියාගේද උපන් ග්‍රාමය වන්නේ පොකුණුවිට හන්දියට ආසන්නයේ තියෙන මීමන ගම්මානයයි.    කලාකරුවන්, දේශපාලඥයන් රැසකගේ නිරන්තර පහස ලැබූ බිමක් වූ පොකුණුවිට හන්දිය ගමක් නොව නගරයක්. ඒත් අතීත මතකවල නටබුන් අදටත් තැන් තැන්වල ඉතිරි වී තිබෙනවා.

මාතෘකා