ධාතුසේන රජුගේ ධන නිධානය

 ඡායාරූපය:

ධාතුසේන රජුගේ ධන නිධානය

කලාවැව වටේ ගිය ගමනක කතාව

නිල් දියවර රැළි නඟන කලාවැවේ ඉස්මත්තට ඉර පායන්නේ අපි කලාවැවට සේන්දු වෙලා තුන් පැයකට පස්සේ… ඈත කෙළවර වැවේ ඉහත්තාව ඇසට හසු නොවන මායිමක තියෙන කලා වැව කියන්නේ සාගරයක් තරම් වැවක්…ඒ විතරක් නොවෙයි වැවක් අස්සේ තවත් වැවක් හැංගිලා තියෙන වැවක්…කලාවැවට දියවර එන්නේ මිරිස් ගෝනියා ඔයට එකතු වෙන දඹුලු ඔයෙන්… මහවැලි වතුරත් කලාවැව පුරවන්න දායක වෙනවා… කහල්ල පල්ලේකැලේ වන අඩවියෙන් එන හැවන්ඇල්ලා ඔය ත් එකතු වෙන්නේ කලා වැවට…

වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව කලා වැවේ ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂයක්. කලා වැවෙන් ප්‍රධාන සොරොව් තුනකුත්, අතුරු සොරොව් ගණනාවකුත් ඔස්සේ රජරට කෙත්වතු ලක්ෂ ගණනක් සශ්‍රීක කරනවා… කලාවැවට කලින් ධාතුසේන රජතුමා කරවූ බළලු වැවත් දැන් කලාවැවටම අයිති වෙලා…

කලාවැවේ වේල්ල කිලෝමීටර හතරක් දිගයි. මෙන්න මේ වේල්ල හදන්න අලි ඇත්තු සියගණනක් විශාල ගල් කුට්ටි ඇදගෙන ඇවිත් තියෙනවා… අඩි තිහකට වැඩිය උස වේල්ල හදල තියෙන්නේ එහෙමයි. යන්ත්‍ර සූත්‍ර නැති කාලෙක කරපු සුපිරි මට්ටමේ ඉංජිනේරු නිර්මාණයක්…

කලාවැව හදල තියෙන්නේ ධාතුසේන රජතුමාගේ කාලයේ…හැබැයි ධාතුසේන රජතුමාට කලින් ක්‍රි.ව. 50-79 විතර දේශාටන වාර්තා ලියන ප්ලීනි නම් නාවිකයෙක් රටේ රාජධානියට දකුණෙන් තියෙන විල් පද්ධතියක් ගැන සඳහන් කරලා තියෙනවා… පුරාවිදාඥයෝ විශ්වාස කරන්නේ ඒ විල්පද්ධතිය තිබුණු තැන පසුකාලීනව කලා වැව ඉදිකළ බවයි.

කලාවැවට ආව හැමෝම ඊළඟට යන්නේ අවුකනට. ඒත් කලාවැවේ ඉතිහාසයත්, ඒ වටා බැඳුණු අපූරු ස්ථානත් හොයාගෙන අපි හැරුණේ අනෙක් පැත්තට… තනියම නොවෙයි ඔබත් එක්කම. මුලින්ම අපිට හමු වුණේ කඩවර දේවාලය. කඩවර දේවාලය ඉදිකරලා තියෙන්නේ කලාවැව් බැම්මේ හරි මැදට වෙන්න.

ධාතුසේන රජුත්, කලාවැවත් එක්ක බැඳුණු කඩවර දේව කතාව හරි අපුරු එකක්. මුල්කාලීන අනුරාධපුරේ රජවරුන්ට තිබුණු පුරුද්දක් තමයි වැව් හදන එක. ඒක තරඟයක්. තමන්ගේ පූර්වගාමියාට වඩා වැව් ගණනක් දෙවැනියා හදනවා… ඊට වඩා ගණනක් ඊළඟ රජතුමා හදනවා… ඒ අනුව ගිහින් වසර 44ක් රජ කළ වසභ රජු වැව් 11ක් සහ ඇළ මාර්ග 12ක් නිර්මාණය කරනවා. වසර 27ක් රජ කළ මහසෙන් රජු වැව් 18ක් සහ ඇළ මාර්ග ගණනාවක් ඉදිකරනවා… ඊට පස්සේ රජවුණු ධාතුසේන රජුත් වැව් හදනවා… අලුත් වැවක් හදන්න තැනක් හොයාගෙන යන රජතුමාට කැලෑ වැදුණු මිනිසෙක් ගැන ආරංචියක් ලැබෙනවා… කලාවැවට පාර පෙන්වන මේ කැලෑ මිනිසා තමයි පසුකාලීනව කඩවර දෙවියන් වෙන්නේ…

කාලෙකට කලින් මේ මිනිහා ගොවියෙක්. ඒත් බිරිඳගේ කරදරකාරී හැසිරීම නිසා කළකිරෙන ඔහු කැලෑ වදිනවා… කලාඔය නිම්නයේ වන ගැබක වන සතුන් සමඟ මිතුරුව දිවි ගෙවන ඔහු නිසා දඩයක්කරුවන්ට දඩයම් වරදිනවා.. අවසානයේ රාජකිය දඩයක්කාරයා මේ ගැන රජුට පැමිණිලි කරනවා… රාජපුරුෂයින් විසින් අත්අඩංගුවට ගන්නා ඔහුගෙන් ලැබෙන තොරතුරු අනුව “කළවැලින් වටවූ ජලතටාකයක” රහස සොයා යන රජු පළමුව බළලු වැවත්, ඊට පහළින් කලාවැවත් ඉදිකරනවා… රහස කියූ මිනිසාට සෙනෙවිරත් තනතුරකුත් පිරිනමන රජු, මේ වැව් ආරක්ෂා කිරීමත් ඔහුට පවරනවා…. අවසානයේ දෙවියෙක් විදිහට අදහන කඩවර එදා ඉඳන් අද දක්වා කලාවැවත්, කලාවැවේ දියවරෙන් පිදෙන ගොවි බිම් සහ එහි වැසියනුත් ආරක්ෂා කරන බව තමයි විශ්වාස කෙරෙන්නේ….

කලාවැව බැම්මේ තියෙන්නේ කඩවර දේවාලය විතරක් නොවෙයි. අයියනායක, විෂ්ණු සහ ගණ දෙවියන් වෙනුවෙන් දේවාල තුනකුත් වැව් බැම්මේ තැනින් තැන තියෙනවා…

ඊළඟට අපි ගියේ ප්‍රධාන සොරොව්වට… ඒ සොරොව්වෙන් ජලය මුදාහරින්නේ යෝධ ඇළට… නම වගේම ඇළත් යෝධ ඇලක්… අඩි හතළහක් පළල යෝධ ඇළ පරිසර හිතකාමී ඉදිකිරීමක්… ඒ ජලය සැතැපුම් 54ක් දුර ගලාගෙන ගිහින් එකතු වෙන්නේ අනුරාධපුර තිසාවැවට… එක් පැත්තකින් විතරක් වේල්ලක් තියෙන යෝධ ඇළ ඇත්තටම කිව්වොත් වැව් දෙකක් අතර ඉදිවූ “දික් වැවක්”.

දවසම එතැන ඉන්න පුළුවන් තරමට විශ්මයක් යෝධ ඇළ ළඟ තිබුණත් කාලය හරස් වෙන නිසා අපි ආයෙමත් වැව් බැම්ම දිගේ ඉස්සරහට ගියා...විජිතපුර වින්කලේ මාමාගෙන් ඉල්ලගත්තු මවුන්ටන් දෙකකුත් පැදගෙන යන අපිට මුණගැහැන්නේ මිනිසෙක්. හැබැයි දෙවියෙක් වගේ මිනිහෙක්….

නමින් “ඇල්බට් සෝමු”. ඔව් අමුතු නමක්.. සිංහලත්, දෙමත්, තෙළිඟුත් පුළුවන් ඔහු නයි නටවා ජිවත් වෙන “තෙළිඟු ජාතිකයෙක්”. දඹුලු පන්සලට වන්දනාවේ ගිය කෙනෙකුට හුරු පුරුදු මුහුණක්. බස් එක වැරදුණු නිසා ගෙදර ඉන්න වුුණු සෝමු අපිට එකතු වුණේ දියවර ගම්මානය හන්දියෙදි.

“ඕගොල්ලො එන නිසා කඩවර දෙයියෝ අද මාව ගෙදර තිබ්බා වෙන්න ඇති” කියපු සෝමු බුලත් විඩෙන් රතුපාට වෙච්ච කටෙන් අපූරුවට හිනාවුණා…

අපි මුලින්ම ගියේ කලා වැවේ දෙවැනි ප්‍රධාන සොරොව්වට. මෙතැන සොරොව්ව ඉදිවුණේ 1978දි. ඒ පළමුව ඇරඹුණු මහවැලි ව්‍යාපාරය යටතේ… නව ජයගඟ උපදින්නේ ඒ සොරොව්වෙන්.. ඒකත් අනුරාධපුරය දක්වාම වතුර ගෙනියන තවත් ඇළ මාර්ගයක්. හැබැයි මේක පළමු යෝධ ඇළ වගේ නිස්කාංසු එකක් නොවේ. හැල්මේ යන ඇළක්… වේගයෙන් ගලායාම නිසා පරිසරයට මේ ඇෙළන් සිදුවන බලපෑම ගැන තියෙන්නේ විවාදාත්මක අදහස්… ඒත් නිදහසෙන් අවුරුදු තිහක් යනකනුත් (1978) අපේ රටේ පාලකයින්ට රජරටට සහ උතුරට වතුර ටික දෙන්න බැරි වුණා… ධාතුසේන රජුට කලාවැව හදල යෝධ ඇළ හදන්නවත් එච්චර කල් ගියේ නෑ… එහෙම එකේ කඩිනම් කරලා හරි මහවැලිය නොහැදුවා නම් අදටත් “මහවැලි ව්‍යාපාරය” ඉවර වෙන්නේ නෑ… විවේචකයෝ දැන් කරන්න ඕන කඩිනම් මහවැලියට බනින එක නොවේ… ඒකේ අඩුපාඩු හදාගන්න අවශ්‍ය යෝජනා ගේන එක. ඒ යෝජනා ක්‍රියාත්මක කරලා මහවැලිය පරිසර හිතකාමී තත්වයට ගේන එක රජයේ වැඩක්…

“මේ සොරොව්ව හදන්න හොඳම තැන මෙතැනයි කියල, පිටරට ඉංජිනේරුවෝ සැළසුම් හදල, ඉරි ගහල, කොටු ගහල පෙන්වල දුන්නම එතැන වැව් බැම්ම හාරලා සොරොව්ව ඉදිකරන්න යද්දි මතු වෙලා තියෙන්නෙ මොකද්ද දන්නවද? ” සෝමු අපෙන් ඇහුවා…

“අපි දන්නේ නෑ…”

“ඉස්සර රජකාලේ හදපු සොරොව්වක් මෙතැන තිබිලා තියෙනවා… සුද්දා 1872දී ඒ සොරොව්ව වැහෙන්න තමයි වැව් බැම්ම උස් කලේ…. 1978 දී ඒ සොරොව්ව ආයෙ හමුවුණා… අර අතන තියෙන්නේ ඒ සොරොව්ව තමයි…”

ජය ගඟේ සොරොව්ව අද්දරටම ගිය අපි වට පිට විස්තර හොඳින් දැකගෙන, පැරණි සොරොව්වත් බලන්න ගියා… අඩි දෙකක් විතර උස, ඒ හා සමානවම පළල, අඩි පහක් විතර දිග මේ ගල් කුට්ටි ලක්ෂ ගණනක් වැව් බැම්මත්, රළපනාවත්, සොරොව් සහ පිටවාන ආශ්‍රිතවත් යොදා තිබේ.

“මේ ගල් කුට්ටි ගෙනාවේ වැවේ ඉහත්තාවෙන්… අදටත් පාවිච්චියට නොගෙන ඉතිරිවුණු ගල් කුට්ටි ඒ හරියේ තියෙනව…”

“අපිට ඒවා බලන්න බැරිද?” “පුළුවන්…”

තවත් අඩ හෝරාවකින් පස්සේ අපි හිටියේ කෝමාරිකාගලයාය ගමේ… අතීතයේදී දෙමළ ගම්මානයක් වුණු මේ ගම පසුකාලීනව දියවර ගම්මානයක් වෙනවා… කලාවැව අවට හිටිය සිංහල, දෙමළ, මුස්ලිම්, තෙළිගු පවුල් දෙසීයක් විතර ඉඩම් දීලා ගමට පදිංචි කරවනවා…

“මිනිස්සුන්ට පර්චස් 20 ගානේ දීලා…. දේශපාලකයොයි, නිලධාරිනුයි අක්කර දෙක තුන විදියට ඉඩම් බෙදාගත්තා…” අපි පත්තරේකින් කියල දැනගත්තු ගමේ කෙනෙක් වැව ඉහත්තාවේ හදපු දියවර ගම්මානයට තමන්ගේ විරෝධය දැක්වුවේ එහෙම...

කාලෙකට කලින් රටේ නායකයා එක්ක ළඟින්ම හිටපු උතුරුමැද දේශපාලන නායකයෙක් වැවේ ගිල්මෙ හදපු තට්ටු හතරක ගොඩනැඟිල්ලක් අද පාලුවට ගිහින්… ඒ නායකයාගේ අවසාන කාලේ, එවක රාජ්‍ය නායකයා එක්ක ඇතිවුණු විරසකයක් නිසා වනජීවියෙන් හෝටලේ ඉදිකිරීම තහනම් කරලා… අද ඒක වවුල් තිප්පොළක්… හෝටලයක් වෙනවට වඩා වවුල් තිප්පොලක් වීම හොඳයි… ඒත් ඒ දේශපාලකයින් දෙදෙනා විරසක නොවූවා නම් අද පරිසරයට වින කරන හෝටලයක් කලාවැව තාවුල්ලෙත් තියෙනවා…

අපි ‘සෝමු’ත් එක්ක ඒ ගොඩනැඟිල්ලේ උඩටම නැංඟේ කලාවැව හොඳටම දකින්න හිතාගෙන… ඇත්ත. මුලු කලාවැවම එක යායට දකින්න පුළුවන් තැනක් ඒක… කලා වැව වේල්ලේ සීමාවන් විදියට විජිතපුර කන්දත්, දහයියාගල කන්දත් එතැනදි අපූරුවට දකින්න පුළුවන්. කඩවර දේවාලය පුංචි තිතක් වගේ රෝස පාටට පේනවා… අවුකන පිළිමය නොපෙනුණත්, එහි ඉහළින් ඉදිකළ ආවරණය පැහැදිලිව දකින්න පුළුවන්..

කෝමාරිකාගලයාය දෙමළ ගමක් වෙන්නේ සුද්දාගේ කාලේ… 1862 දී මේජර් පෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් යන නිළධාරීන් දෙදෙනා තමයි කැලෑ වැදී අඩපණ වුණු කලාවැව හොයාගන්නේ… ඊට පස්සේ රජය මේ වැව හදන්න තීරණය කරනවා…දස වසරකට පස්සේ 1872දි ප්‍රතිසංස්කරණ අවසන් කරලා වැව විවෘත කරනවා… ඒ උත්සවේට ආණ්ඩුකාරවරයා අනුරාධපුරේ ඉඳන් කලාවැවට එනවා… ඒ එන්නේ ඔරුවෙන්. ඊට පස්සේ යෝධ ඇළ දිගේ පහළට ජනාවාස හදන්නේ රටේ තැන් තැන් වලින් ගෙනාව සෙනඟ ගෙන්. වව්නියාව පැත්තේ දෙමළ මිනිස්සුත් කලාවැව කිට්ටුව පදිංචි කරවනවා… පස්සේ කාලෙක මැලේරියා වසංගතේ හැදිලා සැලසුම අසාර්ථක වෙද්දි, සිසීකඩ යන මිනිස්සුන්ගෙන් කොටසක් කෝවිල්ගල යායේ පදිංචි වෙනවා… කෝමාරිකාගලයාය ඇරුණහම, තවත් දෙමළ නම් තියෙන ගම් ගොඩක් ඒ ඉසව්වේ තියෙනවා… ඒත් දැන් ඒ ගම්වල ඉන්නේ සිංහලයෝ…

අද වෙද්දි වැවේ නැගෙනහිර පැත්තේ හේන් ගොවිතැන කෙරෙනවා… බඩඉරිඟු, මුංඇට, කව්පි වගේ දේවල් ඒ හේන් යාය වල වැවෙනවා… ඊට අමතරව කිරි නිෂ්පාදනයත්, ධීවර මත්ස්‍ය කර්මාන්තයත් මේ ගම්වල කෙරෙනවා… හැබැයි මුදල් කියන සාධකයත් එක්ක ගත්තහම, ගමේ ගොඩක් මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම තියෙන්නේ පහළින්… ගමෙන් පිටට ගිහින් රැකියාවට යන පවුලක ආදායම උසස් තැනක තියෙනවා… මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රථයක් සහ අත් ට්‍රැක්ටරයක් කියන්නේ ඒ දියුණුව හෙළිකරන බාහිර සාධක. තැන තැන ගෙවල් වල “අයිස් පැකට් විකිණිමට තිබේ” කියල ගහල තියෙන්නෙත් දියුණුවේ තරම පිටට පෙන්වන සලකුණක් විදියට… අලුයම ඉඳන් ඇවිදපු අපි උදේ ආහාරය පිණිස පුංචි තේ කඩයක නැවතුණේ ටිකක් විතර දවල්වෙලා… ඉස්සරහින් වීදුරු ෂෝකේස් දෙකක් තියල, ඒ මැද්දෙන් කඩේට පිවිසෙන්න තියෙන අඳුරු තේ කඩයකට ගොඩවුණු අපි පරාටත්, බිත්තර රොටිත් කන්න ලැහැස්ති වුණා…

හිටි පිළිමය හදන්න ගිය උස්ගලත්, වැව් බැම්මට ගල්කුට්ටි ගෙනා කෝවිල්ගල කන්දත් හොයාගෙන ගිය හැටි ලබන සතියේ….

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ]

ඡායා [චතුර හේමාල්] - [email protected]

මාතෘකා