හොර කුරුල්ලන් ඇහිදින්නට අඩි පාරෙන් ඇතුළු වෙමු

 ඡායාරූපය:

හොර කුරුල්ලන් ඇහිදින්නට අඩි පාරෙන් ඇතුළු වෙමු

හොරගොල්ල කියන නමත් එක්ක කාගෙ කාගෙත් හිතේ ඇඳෙන්නේ රටේ දේශපාලනයට සම්බන්ධ නිල් පාට චිත්‍රයක්. එහෙටත් නැති මෙහෙටත් නැති මැද මාවතේ ගමනක්. ඒත් අද අපේ චාරිකා සටහනේ ලියැවෙන්නේ හොරගොල්ලට සම්බන්ධ කොළම කොළ පාට චිත්‍රයක් ගැන කතාවක්… මේ කතාවට අමුණන්න ඕන අකුරු හොයාගෙන අපි මැද මාවතෙන් අතුරු පාරට හැරුණේ නිට්ටඹුව හතරමං හන්දියෙන්.

උදේ ඉඳන් හවස් වෙනකම් ඉස්පාසුවක් නොලැබෙන නිට්ටඹුව හන්දියෙන් හැතැප්මක් ඇතුළට ගිහාම නිස්කාංසු වන අරණක්.. පරිපාලන නම් කිරීම්වලට අනුව “එගොඩ නිට්ටඹුව” වුණාට ඒ හරියත් නිට්ටඹුවම තමයි… අක්කර විසිතුනක් කියන්නේ ලොකු ඉඩක් නොවුණත් නිට්ටඹුවෙන් එවැනි ඉඩක් නොඉඳුල් වන බිමක් සඳහා වෙන්වීමම සැබෑ වටිනාකමක්…

මෙම බිම බණ්ඩාරනායක පරම්පරාවේ ඉඩම් යායෙන් කාලයක් පුරා භාවිතයට නොගත් කොටසක්. ඒ නිසාම ප්‍රදේශවාසීන් විසින් මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ “හොර කැලේ” නමින්. 1973 ඔක්තෝම්බර් මාසෙ 5 දා “හොර කැලේ” හොරගොල්ල රක්ෂිතය අභය භූමිය විදියට භෞතිස්ම වෙන්නේ කෙමෙන් නාගරීකරණයට ලක්වෙන ප්‍රදේශයක පිහිටි පාරිසරික වටිනාකම්වලින් හෙබි භූමියක් ලෙස හඳුනාගන්න නිසා… පසුව 2004 දි මේ වනාන්තර කොටස ජාතික වනෝද්‍යානයක් බවට පත්වෙනවා…

හොරගොල්ලේ නමට ගැළපෙන අයුරින්ම මෙම බිමි ප්‍රදේශයේ වැඩි හරියක් තියෙන්නේම හොර ගස්. Dipterocarpus zeylanicus කියන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ලංකාවට ආවේණික ශාකයක් වෙන “හොර ගස” මේ වන විට දැඩි ලෙස වඳවීමේ තර්ජනයක් ඇති ශාකයක් බවට හඳුනාගෙනයි තියෙන්නේ… සාමාන්‍යයෙන් 35mසිට 45m දක්වා උසකට හරි කෙළින් වැඩෙන මෙම ගසේ කොළ අඟල් 8-9ක් පමණ විශාලයි. හොර ගසේ බීජ ප්‍රචාරණයේ උපක්‍රමය නිසා හැදෙන “හොර කුරුල්ලන්” අපේ පුංචි කාලයේදී අපුරු කෙළි මෙවලම් වූ හැටි ආයෙ ආයෙත් මතක් වුණේ හොරගොල්ලෙදි.

වෙනත් ජාතික වනෝද්‍යානවලට ඇතුළු වෙන්න හොඳ පිවිසුම් මාර්ගයක් තිබුණත් හොරගොල්ල වනෝද්‍යානයට ඇතුළු වෙන්න සිද්ධ වෙන්නේ අඩි පාරකින්. ඒකත් මේ වන ගොමුවේ තිබෙන විශේෂත්වයක්. උදේ 7 සිට සවස 6 දක්වා විවෘතව පවතින මේ වනබිම අභ්‍යන්තරයේ ඇවිද යා හැකි පෙත් මං ජාලයකින් සමන්විතයි. ඉරිදා දිනයක හිමිදිරි උදයේම මුල්ම සාමාජිකයින් විදියට හොරගොල්ලට ඇතුළු වුණු අපි එහි සොඳුරු සිරි දකින්නට ඒකාත්මික වුණා.

උද්‍යානයට පිවිසෙන විටම හමුවෙන්නේ කුඩා වැවක්… කුරුල්ලෝ බලන්න කියාපු තැනක්… විවිධ වර්ගයේ පිළිහුඬුවන්, දියකාවුන්, හංසයින් සහ සේරුන් රංචු පිටින් සරන මේ වැව පැයක් දෙකක් වුණත් රැඳිලා ඉන්න කදිම තැනක්. නිට්ටඹුව අවට කුඹුරුවලට ජලය බෙදන මේ වැව හොරගොල්ල වන බිමේ ගස් මුල් අතරින් පෙරි එන ජලයෙන් නිර්මාණය වූ එකක්.

දවසම ඉන්න පුළුවන් කම තිබුණත් උද්‍යානය පුරා ඇවිද යන්න ඕන නිසාම අපි එතැනින් නික්මිලා ආයෙමත් පෙත්මඟට පිවිසුණා. පෙත්මඟ ඇරඹෙන තැනම පසෙක තියෙන්නේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක්.

“මේ පැත්තේ නගරබද ගෙවතුවලින් අල්ල ගන්න සර්පයෝ අරගෙන එන්නේ මෙතැනට. ඊට පස්සේ මෙතැන රඳවලා තියලා, වනබිමට මුදා හරින එක හෝ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදෙන එක සිදු වෙනවා… ඊළඟට බල්ලන් වගේ විලෝපිකයින්ට ගොදුරු වී තුවාල වුණු සර්පයින් සහ කුඩා වන සතුන් මෙතැනට අරන් ඇවිත් ප්‍රතිකාර කරනවා... ඉන් පස්සේ එයාලවත් නිසි පරිදි පරිසරයට මුදා හරිනවා…”

හොර ගස් මණ්ඩිය මැද්දෙන් වැටුණු කුඩා පෙත්මඟ අඳුරුයි. මොකද අඩි හැත්තෑවක් විතර සෘජුව වැඩෙන හොර ගස්වලින් සැකසුණු අඩවියන එතරම්ම ඝණයි. උදා ළහිරු කිරණට පෙරී එන්නට අවකාශ නොදෙමින් ළඟ ළග ඝණව වැඩුණු යටි වගාව සහිත වනය නිසා කෙතරම් පැහැදිළි දිනයක වුවත් මෙම වනගොමුවට නම් හිරුරැස් පතිත වීමක් නෑ..

ඒ නිසාම වන බිම තුළ වියන් මත සරන කඩිසර සියොතුන් සුලබව දකින්න අමාරුයි. නමුත් රන් නළල් කොට්ටෝරුවන්, කෑඳැත්තන්, ගිරවුන්, බටු ගිරවුන්, කෑරළන්ගේ ශබ්ද නම් ඇති තරම් හඳුනාගන්න අවස්ථාව අපිට ලැබුණ. ඒ නොදන්නා තවත් සියොතුන් ගණනාවකගේ හඬ අතරින්.

“මෙන්න සර්පයෙක්…”

අපට ඉදිරියෙන් ගමන් කළ නවෝදාගේ කෑගැසිම නිසා තවත් හොරගොල්ල වන බිම නිවෙස කරගත් තවත් ජීවි විශේෂයක් හඳුනාගන්නට හැකියාව අපිට ලැබුණා. ඒ කුණකටුවෙක්.

“පොළොං තෙලිස්සා හෙවත් කුණකටුවා නිශාචර භෞමික වාසී සර්ප විශේෂයක්. සිලින්ඩරාකාර ශරීරයක් දරන මේ සර්පයාගේ ගෙල පැහැදිලිව ගෙලෙන් වෙන් වී පවතී. ත්‍රිකෝණාකාර මහත හිසක් ඇත. පෘෂ්ඨයක් මතුපිට සිටින විට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටී. කුඩා නාස් පුඩු දරන මේ සර්පයාට මදක් ඉදිරියට නෙරූ දුඹුරු පාට ඇස් පිහිටා ඇත. ශරීරයේ කළු පාට පැල්ලම් දැකිය හැක. 35 cm පමණ දිගකට වැඩෙන කුණකටුවා කුඩා සර්ප බිත්තර, කුඩා ක්ෂීරපායින්, සිකනලුන්, ගෙම්බන් ආහාරයට ගනී. වැඩණු ගැහැණු සතුන් මාර්තු ජුලි අතර කාලයේ පැටව් දැමීම සිදු කරයි. වරකට පැටවුන් 7ත් 14ත් අතර සංඛ්‍යාවක් උපත ලබන අතර උපතේදී මේ සර්පයින් 15 cm දිගකින් යුක්ත වේ.”

විකිපීඩියාව කුණකටුවන් ගැන හැඳින් විම සිදුකරන්නේ ඒ විදියට. වල් ඌරන් වගේ විලෝපිකයින් සුලභව නොමැති නිසාත්, වටපිටාවේ ප්‍රදේශවාසීන් තම ඉඩම් තුළ හමුවන සර්පයින් මෙම වනබිමට මුදා හරින නිසාත් සාමාන්‍ය ඝණත්වයට වඩා වැඩි ඝණත්වයකින් මේ බිමේ දී සර්පයින් හඳුනාගන්න පුළුවන්… ඒ නිසා ඇවිද යන්න ඕන දෙගුණයක් පරෙස්සමෙන්.

ඊළඟට අපිට හමුවුණේ කුඩා කටුස්සෙක්… සිරිපා අවාරේ වුණත් රංචු ගැසී යන සමනළ රෑන් කිහිපයක් දැක බලාගන්නත් අපිට පුළුවන් වුණා...අපූරු සලබයෙක්… විචිත්‍ර මකුළුවන්, විවිධ වර්ගයේ කුඩා බෙල්ලන්… පත්තෑයින් වැනි කුඩා සතුන්… කුරුමිණියන් වගේ සතුන් ගණනාවක් මේ බිමේ දී සුලබව දකින්න ලැබුණා… වෙනත් ජාතික වනෝදානවල නොලැබෙන විශේෂ අවස්ථාවක් වන පාගමනින් ඇවිද යාමේ අවස්ථාව මේ බිමේදි ලැබෙන නිසා මෙවැනි කුඩා සතුන් රිසි සේ දක්නට ලැබෙනවා කියන එක තමයි අපිට අවබෝධ වුණේ.

ඉතාම කුඩා ඇල පාරවල් කිහිපයක් වන බිම හරහා ගලා ගියත්, අප එහි යනවිට වැස්ස ඇරඹි නොතිබූ නිසා වියලි ගිය ස්වභාවයක් තමයි දැකගන්නට ලැබුණේ..

ඒ නිසාම මායිමේ ඇති කුඩා වැවට මේ වනබිමේ වෙසෙන සියලු සතුන් ජල අවශ්‍යතා සඳහා ඇ දී යා යුතුයි.

තවත් ඉදිරියට පෙත්මඟ දිගේ ඇ දී ගිය අපිට දකින්නට ලැබුණේ කුඩා තණබිමක්.දැල් වැටක් ගසා වෙන් කළ එහි ඉදිබුවන් ගණනාවක් සහ වැලි මුවන් සහ ඕලු මුවන් රඳවා සිටින ආකාරය දකින්න පුළුවන් වුණා… පසුව කළ විමසිමකදී අසන්නට ලැබුණේ ආසන්න ගොවිබිම්වලදී තුවාල ලද සතුන් යළි පරිසරයට හුරුකිරීම මෙම කොටසේදි සිදුවන බවයි…

කෙමෙන් කෙමෙන් ඉදිරියට යද්දි කුඩා කඳුගැටයකට නැඟගන්නට හැකියාව අපිට ලැබුණා… එහි ඉදිරියට ඇ දී ගියවිට වනබිමේ එක් සීමාවකට අප ළඟාවූ බව පැහැදිළි වුණා… විමසිල්ලෙන් ඉදිරිය බැලූ විට ඒ කවුරුත් දන්නා “හොරගොල්ල සමාධිය” ආසන්න ස්ථානයක්.

ආපසු හැරුණු අපි තවත් මඟකින් ඉදිරියට ගියා… අප ආසන්නයෙන්ම හඳුනාගත හැකි වුණේ නිල් පැහැති කුරුල්ලෙක්. Tickel's Blue Flycatcher හෙවත් අඳුරු නිල් මැසි මාරා යැයි අනුමාන කළත් එක තැනෙක නොරැඳෙමින් කඩිනමින් තැන වෙනස් කරන ඌව සොයන එක නම් ඇස්වලට වෙහෙස ගෙනෙන වැඩක්… ඒත් අමාරුවෙන් ලුහුබැඳ ගිහින් තෙවැනි ඇසෙන් සුසර කොට ගෙන දකින්නට නම් අපට හැකියාව ලැබුණා. ඒ අසලම වුන් තවත් දුරු පැහැ පුංචි කුරුල්ලෙකුත් දැකගන්න පුළුවන් වුණා… ඒ සමහර විටෙක ගැහැණු සතා වෙන්නට පුළුවන්.

නොදැනීම කාලය ගත වුණත් ටික ටික වැඩිවෙන බඩගින්න, කාලය ගැන අපේ අවධානය යොමු කරන්න උත්සහ කළා... උද්‍යානය තුළ හෝ ආසන්නයේ ආහාර සහ පානීය ජලය මිලදී ගත හැකි තැනක් නෑ.. ඒ නිසා සියලු දේ නගරයෙන්ම රැගෙන ආ යුතුයි. විවේකීව ආහාර ගන්නට ස්ථාන දෙකක් උද්‍යානය තුළ තිබුණත් තැනින් තැන සවිකර තිබූ උද්‍යාන පුටු නම් බලධාරීන් විසින් ඉවත් කර තියෙනවා. ඒවා ඉවත් කළේ වරින් වර පැමිණෙන හුදකළා පෙම්වතුන් ඒ පුටු සයනයන් බවට පත් කරගන්නට උත්සහ දරන නිසා බවයි කියැවුණේ.

ආයෙත් මංසන්ධි කිහිපයකින් පහළට ආව අපි ඊළඟට නැවැතුණේ වැවේ ඉහළ කොටසේ ස්ථානයක. බොහොම අලංකාරයට පිපි තිබුණු ඕලු මල් යායක් මැදින් පිහිනා යන කුඩා මසුන් රෑනක් අපිට ඒ අසල පිහිටි නැරඹුම් මධ්‍යස්ථානයේ සිට දැකගන්න පුළුවන්කම ලැබුණා.

වැව අයිනේ තිබෙන ගස්වල ගිරා, මයින, මලති බෙන සහ කූඩු හඳුනාගන්න පුළුවන්… ඉගිලී යන කුඩා කූරන්, පිහිනා යන කිරි ඉදිබුවන්, උඩ පැන පිහිනන පෙතියන් වැනි මසුන් වැව අයිනේ සිට දකින්න අවස්ථාව ලැබුණා…

ඒ සිරි අසිරි විඳිමින් සිටි අප ඉවසා ගත නොහැකි බඩගින්නට පැරදී කලබල මහමඟට යළි පිවිසුණේ දහවල් දොළහත් පසුවූ නිමේෂයක. කොළඹින් බොහෝ දුරක නොවන හොරගොල්ලට යන්නට අවස්ථාව ඔබටත් හිමියි. හරිත පැහැ වන වියනක් යට හෝරා කිහිපයක් ගෙවා දමමින් පරිසරය විඳින්නට යන ඔබව පිළිගන්නට “හොර කුරුල්ලන්” සැදි පැහැදි සිටින බව නම් සහතිකයි.

මාතෘකා