සනීපාරක්ෂක තුවා ගැන ඔබ දන්නේ මොනවාද?

 ඡායාරූපය:

සනීපාරක්ෂක තුවා ගැන ඔබ දන්නේ මොනවාද?

එක්තරා කාලයකදී සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් මිලදී ගැනීමට සිල්ලර වෙළෙඳ සැලක් සඳහා යනවා නම් ඒ සඳහා කාන්තාවන් සේවය කරන අලෙවි සැලකටම යෑමත් ඉන්පසු එම පැකැට්ටුව බ්‍රෝඩ්කාස්ට් ප්‍රමාණයේ පත්තර පිටුවක ඔතා ලබා ගැනීමත් ඉන්පසුව එය කාටත් නොහැඟෙන, නොදකින පරිදි රැගෙන යෑමත් සිදු විය. එහෙත් එක්තරා සමාජ මට්ටමකදී එම තත්ත්වය මඳකින් වෙනස් වී ඇතැයි පෙනේ. කාන්තාව පමණක් නොව, ඇයගේ සහකරුවාද ඇය වෙනුවෙන් සනීපාරක්ෂක තුවා මිලදී ගෙන යෑමට තරම් මේ වන විට සමාජය විවෘත වී තිබේ.

එහෙත් සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළට මුලින්ම හඳුන්වා දුන් සමයේ ඒවා මිලදී ගැනීමට තරම් කාන්තාවන්ට මානසික ශක්තියක් තිබුණේ නැත. බටහිර යුරෝපා රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වැනි රටවල සමාජය වෙනස් වීම සිදුවන්නේ මන්දගාමී බවකිනි. එහෙත් ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ස්ත්‍රියකගේ ආර්තවය සමාජ අසම්මතයක් හෝ ලැජ්ජාව විය යුතු කරුණක් සේ සැලකීම සිදු වන්නේ නැති තරම්ය.

යෞවනත්වයට පත් ස්ත්‍රීන් වැඩි වශයෙන් සනීපාරක්ෂක තුවා භාවිත කිරීමට නැඹුරු වීම යහ ප්‍රවණතාවක් සේ පෙනෙන්නේ අනාගතයේදී මවක් වන දැරිය සනීපාරක්ෂාවෙන් සවිමත් වන බව එයින් කියාපාන නිසාය. කාන්තාවන් ගොදුරු විය හැකි ඇතැම් රෝගවලින් ඈත් වන බවත් එසේම යම් පිරිසකගේ හෝ ක්‍රය ශක්තිය වැඩි වෙමින් පවතින බවත් එයින් මැනෙන නිසාය.

සාමාන්‍යයෙන් ස්ත්‍රියක් සිය ජීවිත කාලය තුළ වසර 30ක් පමණ ආර්තවය සමඟ ජීවත් වෙයි. ඒ කාලය තුළ වෙළඳපොළෙන් මිලදී ගත හැකි සනීපාරක්ෂක තුවා මිලදී ගනී නම් එක ආර්තවයකදී අවම වශයෙන් සනීපාරක්ෂක තුවා අසුරණ (පැකැට්) දෙකක් පමණ එනම් සනීපාරක්ෂක තුවා 20ක් භාවිත කිරීම සිදු කෙරෙන බව නිගමනය කළහොත් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක්ද තිස් වසරක් සඳහා සනීපාරක්ෂක තුවා 7,200ක් පමණද පාවිච්චි කෙරේ. ඒ අනුව මුළු රටක් සැලකූ විට කාන්තාවන් භාවිත කරන සනීපාරක්ෂක තුවා ප්‍රමාණය ටොන් මිලියන ගණනකි.

සනීපාරක්ෂක තුවාවල ඉතිහාසය ඓතිහාසික ග්‍රීසියේදී දස වන ශත වර්ෂය දක්වා දිව යන්නකි. මෙම තුවා හඳුන්වා දීමට පෙර කාන්තාවන් සිය ආර්තව කාල සීමාව තුළ තෙතමනය උරා ගැනීම සඳහා කපු, බැටළු ලොම්, හා ලොම් මෙන් විවිධ තෘණ වර්ගද භාවිත කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

භාවිත කර ඉවත දැමිය හැකි පළමු සනීපාරක්ෂක තුවාය නිෂ්පාදනය කරන ලද්දේ ප්‍රංශයේ යුද බිමේ සිටි හෙදියක් විසිනි. එය සාදන ලද්දේ දැව පල්ප බැන්ඩේජ යොදා ගනිමිනි. එය උරා ගැනීමේ පහසුව සහිත භාවිත කොට ඉවත දැමිය හැකි නිෂ්පාදනයක් විය. සනීපාරක්ෂක තුවා වාණිජ නිෂ්පාදනයක් ලෙස 'සවුත්බෝල්' නමින් වෙළෙඳපොළට පැමිණෙන්නේ 1888 වර්ෂයේදීය. ඇමරිකාවේ ජොන්සන්ස් ඇන්ඩ් ජොන්සන්ස් සමාගම විසින් තමන්ගේ ස්වාධීන නිෂ්පාදනයන් ලෙස එය දියුණු කරමින් 1896 වර්ෂයේදී පමණ 'ලිස්ටර්ස් ටවල්', 'සැනිටර් ටවල්' යන නාමයෙන් වෙළෙඳපොළට එක් කරන ලදී.

මුල් කාලීනව නිෂ්පාදිත රටවල පවා කාන්තාවන්ට වෙළෙඳපොළට ගොස් වෙනත් භාණ්ඩයක් මිලදී ගැනීම මෙන් මෙම භාණ්ඩය ඉල්ලා සිටීමට තරම් පහසුවක් දැනුණේ නැත. එය මිලදී ගැනීම කාන්තාවන්ට ලැජ්ජාවක් ගෙන දෙන්නක් විය. එබැවින් 1922 වර්ෂය වන විට එහි නිෂ්පාදනයේ නම නොකියවෙන පරිදි එහි නාමය 'නූපක්' ලෙස වෙනස් කෙරිණ. නිෂ්පාදිත භාණ්ඩය වෙළෙඳපොළේ මිල අධික වීම නිසා නව සනීපාරක්ෂක තුවා වෙනුවට පැරණි ක්‍රම දිගින් දිගට භාවිත කිරීම සිදු විය. පසුව අලවිසැලෙන් ඉල්ලා සිටීමට විචිකිච්චාවක් ඇත්නම් මුදල් ගෙවා තමන්ටම ගෙන යා හැකි පරිදි අයකැමි කවුන්ටරයේ තැබීමත් වැනි දේ සිදු කෙරිණ.

මුල් කාලයේ භාවිත කළ සනීපාරක්ෂක තුවා කපු පුළුන් හෝ අවශෝෂක ද්‍රව්‍ය වලට සමාන තන්තු ආවරණයකින් යුක්ත විය. පසුගිය වසර 20 පුරාවට සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ක්ෂේත්‍රය වේගයෙන් ඉහළ ගියේය. අද වන විට එය සැහැල්ලු, සිහින් අයුරින්, භාවිතයේ වඩාත් පහසු විවිධ මාදිලියේ නිෂ්පාදන ලෙසින් වෙළෙඳපොළට පැමිණ තිබේ. එසේම ශරීරයට ඇතුළු කළ හැකි ටැම්පොන්, පුනිල වැනි තත්ත්වයටද වැඩිදියුණු කර තිබේ.

එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් සනීපාරක්ෂක තුවා භාවිත කිරීමේ අඩුවක් තවමත් පවතී. එයට එක හේතුවක් වන්නේ නිෂ්පාදනයේ මිලයි. 2018 වර්ෂය වන විට ඉන්දියාවේ සියයට 82ක් පමණ කාන්තාවන් සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ ඇයිද හෝ කෙසේද යන්න නොදන්නා බව 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත වාර්තා කර තිබිණි. ස්ත්‍රීන්ගේ ආර්තව කාල සීමාව සම්බන්ධව ඉන්දියානු සමාජය සලකන්නේ කතා නොකළ යුතු මාතෘකාවක් වශයෙනි. එම කාල සීමාව තුළ කාන්තාව නිවැසියන්ගෙන් වෙන් වී සිටීමේ ප්‍රවණතාවක්ද ඇත. සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, නොමිලේ නිෂ්පාදන බෙදා හැරීම, කාන්තාවන් නිෂ්පාදනාගාරවලට යැවීම වැනි මාතෘකාද ඉන්දියාවේ ගැහැනු පිරිමි සියලු දෙනා කතා කිරීමට මැළි මාතෘකාය. එසේම ඉන්දියාවේ පරිසර හිතකාමී ලෙස භාවිත කළ සනීපාරක්ෂක තුවා බැහැරලීම පිළිබඳව සාකච්ඡාවක්ද නොමැති තරම්ය.

සනීපාරක්ෂක තුවායක් පැය 4ක - 6ක පමණ කාලයක් භාවිත කොට ඉවත් කළ යුතු අතර වැඩි පැය ගාණක් තිස්සේ භාවිත කිරීම බැක්ටීරියා ආසාදනවලට හේතු වේ. ඉන්දියාවේ කාන්තාවන් වැඩි වේලාවක් එනම් ඇතැම් විට පැය 12ක - 24ක කාලයක් පුරාවට භාවිත කිරීමද ගැටලුවක් බව එරට පර්යේෂණ වාර්තා කර තිබේ.

ආර්. බාල්කි විසින් තිර පිටපත් කරන ලද හා නිෂ්පාදනය කරන ලද 'PAD MAN (2018)' හින්දි චිත්‍රපටය ඉන්දියාවේ බිහිවන්නේ මෙවන් වටපිටාවක් තුළය. එම චිත්‍රපට කතාව තුළ සාම්ප්‍රදායික ඉන්දියානු කාන්තාව ආර්ද්‍රතා කාල සීමාව තුළ 'කිලි' නිසා නිවසින් ඈත්ව සිටින අයුරුත් එසේම තම පවුල්වල කාන්තාවන් මුදල් හිඟකම නිසා සනීපාරක්ෂක තුවා භාවිත කිරීම වෙනුවට රෙදි භාවිත කිරීම පිළිබඳවත් වන සමාජ ප්‍රශ්නයත් අලුතින් ගෙනා මනාලිය සමඟ දීග කන තරුණයකුට සංවේදීව දැනෙයි. ඒ මාතෘකාව පිළිබඳව කතා කිරීමත් වරදක් සේ සලකන සමාජයක තරුණයා තම බිරිඳ, නැගණියන් වෙනුවෙන් හා තමා ජීවත් වන සමාජ මට්ටම තුළ සමස්ත කාන්තාවන් වෙනුවෙන් අවම මිලකට සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රයක් නිපදවීමත්, එම නිෂ්පාදන යන්ත්‍රය ගම්වල බෙදා හරිමින් තුවා නිෂ්පාදනය වැඩි කරමින් ග්‍රාමීය කාන්තාව අතර සනීපාරක්ෂ තුවා භාවිතය වැඩි කිරීමත් එසේම කාන්තාවට රැකියා අවස්ථා ලබාදීමේ අපූරු උත්සාහය පිළිබඳවත් කතා ප්‍රවෘත්තියක් මෙහි ඇතුළත්ය. දකුණු ඉන්දියාවේ දුෂ්කර පළාත්වල ජීවත් වන කාන්තාවන්ට අඩු වියදමෙන් සනීපාරක්ෂක තුවා සාදා ගත හැකි උපකරණ ලබා දීම සඳහා සමාජ සේවා ව්‍යාපාරයක් දියත් කළ අරුනාචලම් මුරුගනාතන්ගේ ජීවිත කතාව මෙම සිනමාපටයට පාදක වී තිබේ.

ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගෙන් සියයට 82ක අති බහුතරයක් ග්‍රාමීය දිළිඳු පිරිසයි. ග්‍රාමීය සහ වතු ජනතාව මේ රටේ දිළිඳු ජනතාවගෙන් අතිබහුතරය නියෝජනය කරති. එවැනි ජීවන මට්ටමක් තුළ ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාව සම්බන්ධයෙන් මේ දක්වා ලංකාවේ කිසිදු පර්යේෂණයක් හෝ සමීක්ෂණයක් සිදු කර ඇති බවට වාර්තා වී නොමැත. එහෙත් ආර්තව දරිද්‍රතාව ලෝකයේ බොහෝ රටවල ග්‍රාමීය සංවර්ධනයට සහ ළමා සංවර්ධනයට අතිශය තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයක් සේ හඳුනාගෙන අවසන්ය.

ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටියි. ග්‍රාමීය දැරියන්ගෙන් කී දෙනකු තම ආර්තව සමය තුළ පාසලට පැමිණෙන්නේදැයි සොයා බලා තිබේද? ඒ ගැන කී දෙනෙකු නම් කතා කළේ වෙත්ද? සිතුවේ වෙත්ද? එමඟින් තම ආදරණීයයන්ට කොතරම් නම් රෝගකාරක තම ශරීරයේ වැඩි දියුණු වනවා ඇත්ද? සිතුවේ කවුරුද ඒ ගැන?

එසේම සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී ඒවාට එකතු කරන රසායන ද්‍රව්‍ය හේතුවෙන් එහි සැබෑ සනීපාරක්ෂක බවක් පවතින්නේද යන ප්‍රශ්නද කතා අඩුම තරමේ හිතා බැලීමක්වත් කර ඇත්දැයි ඇත්තේ ගැටලුවකි. සනීපාරක්ෂක තුවායේ ප්ලාස්ටික් අන්තර්ගතය ගත් විට එහි මතුපිට ස්ථරය ඉතා තුනී නොදිරන ප්ලාස්ටික් වර්ගයකින් සැදුම්ලත්ය. තුවාය අලවා තැබීම සඳහා භාවිත කරන රසායනික ගම් වර්ග, විරංජනකාරක වශයෙන් යොදා ගන්නා ක්ලෝරීන් මෙන්ම අවශෝෂණය කිරීමේ හැකියාව උපරිමයක් කිරීමට යොදා ගන්නා පොලිමර්ස් හෙවත් කෘත්‍රිම බහු අවයවික අණු, සිලිකන් ආදිය එහි සංරචක වෙයි. ලෝකයේ ඇතැම් රටවල සිදු කළ ඇතැම් පර්යේෂණවලට අනුව විරල අවස්ථාවලදී කෘමිනාශක අණු කොටස්ද වාණිජ සනීපාරක්ෂක තුවාවලින් හමු වූ බවට වාර්තා වෙයි.

නොදිරන පොලිතින් තහනම් රටක පරිසර දූෂණය පිළිබඳව කතා කරන රටක නොදිරන ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කර ඇති සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීම පිළිබඳව කිසිදු විසඳුමක් සිතා තිබේද? පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවායක් පරිසරය තුළ ඉතා සෙමෙන් දිරා යමින් සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතියෙන් ඉවත් වීම සඳහා අවම වශයෙන් වසර 400ක් ගතවේ. මේවා බැහැර කරන්නට විධිමත් ක්‍රමවේදයක් නිසි ලෙස සකසා තිබෙන්නේ කුමන රාජ්‍ය ආයතනයකද? මේ පිළිබඳව මඳක් හෝ සිතුවෝ කවරහුද? ඒවා වරින් වර පුලුස්සා දැමීමෙන් සිදු වන පරිසරය හානිය කොතරම්දැයි නිකමටවත් සිතා බලා ඇත්ද? සමාජය ඉහත කී ප්‍රශ්න පිළිබඳව බුද්ධිමත්ව සාකච්ඡා කරන්නේ කවදාද? සමාජ මාධ්‍ය ඔස්සේ සංයමයෙන් මෙම මාතෘකා පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නේ කවදාද? සමාජයෙන් සැඟවී ඇති එහෙත් විසඳුම් අත්‍යවශ්‍ය මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ කුමන නායකයන්ද? මේ එවැනි සාකච්ඡාවකට මුල පිරීමකි.

[රසිකා හේමමාලි]

මාතෘකා