ඔබ ලස්සනම කාන්තාවද?

 ඡායාරූපය:

ඔබ ලස්සනම කාන්තාවද?

"අනේ... අනේ අම්මා දැන් වෙලාව කීයද බලන්නකෝ. පහමාරත් වෙලා නේද? අපි අද උදේ හතේ ඉඳලා මෙතන. ඔයා මෙච්චර වෙලා කොහෙද උන්නේ?"

සැර කිරීමකුත් නොවන, ආදරණීය තරවටුවක් බණ මඩුවට එළියෙන් මට ඇහෙනවා. අපි හිටියේ කාන්තා දිනය සමරමින් සිදුකළ වැඩසටහන් මාලාවක අවසාන අදියරේ කිරිවෙහෙර භූමියේ ජංගම සායනයේ. මම හැරිලා බලනවා. චූටි මුහුණක් බැස යන හිරුගේ රත්තරන් එළිය වැටිලා දිලිසෙන මගේ සාරියේ රෝස මල් එක්ක හිනාවෙනවා.

"නෝනා උඹ අපේ අම්මාව බලාපන්"

ඒ නාස්පුඩු දෙකෙන්ම හොටු බේරෙනවා. ඊට වඩා පොඩ්ඩක් ලොකු අක්කා ඒ ගලන හොටු ටික ඇඟිල්ලෙන් පිහින්න නිරර්ථක උත්සාහයක යෙදෙනවා. වයස 14ක පමණ තවත් දුවෙක් මවට පිටුපසින් සිටගෙන.

"සෝමලතා, මොකද ඔය අම්මා?"

"අනේ මන්දා මැඩම්, හරියට ලෙඩේ කියන්නෙත් නෑ. දැන් ඉතිං ඇඳවලුත් පටවලා"

සුව උදාන සායනයේ අවසානයටම පුටුවෙන් නැඟිටින මා රියැදුරු මහතුන්ගේ ආදරණීය තර්ජනවලට ගොදුරු වන වේලාව මෙයයි. මම ආපහු හැරෙනවා. අම්මයි දූවරු තුන් කට්ටුවයි මගේ පස්සෙන් එක පෙළට බණ මඩුවට ගොඩවෙනවා. එක එක දරුවා පෙන්වමින් අම්මා දරුවන්ගේ නොයකුත් ලෙඩ කියමින් මා ලවා දරුවන් බලවා ගන්නවා.

"සෝමලතා, බෙහෙත් මහත්තුරුන්ට මේ තුණ්ඩු දීලා ලොරියෙන්ම බෙහෙත් ටික අරන් එනවද?"

"නෝනෝ, දෙවැනිට පැණියකුත් ඕනෑ."

"හරි අම්මා මම පැණියකුත් ලිව්වා"

මගේ කාරිය අවසානයි. ඒත් අම්මා මා වටා දැවටෙනවා.

"ඒ පාර ඇයි?"

"මටත් මේ... මේ... පොඩි ගෙඩියක් තියෙනවා"

"හා හා එහෙනම් ඒකත් ඉක්මනට බලාගමුකෝ"

"වයස?"

"තිස් පහයි"

ඉරිතැලුණු විලුඹින් පටන්ගෙන දියවූ චීත්තය දිගේ මම ඉහළට බැල්මක් හෙළමින් පොඩි ගෙඩිය සැඟවුණු කකුල සොයනවා. ඒ අතරේ පුංචි කුමාරයාව අක්කා අතට දීලා හරියට දෙපොට පූට්ටු නොවුණු හැට්ටයේ මහා කටුව කමලාවතී ගලවනවා. ඊළඟ නිමේෂය ලෝකෙ කොහේ හිටියත් අමතක කරන්න බැරි සංවේදනාවක් මට දැනෙනවා. කොහේදෝ නැති වතුර තිබහක්, ඉඳගෙන උන්නත් වැටෙන්නට යන ගතියක් එක්කම මහා දුකක් බෝම්බයක් වෙලා මගේ හිතේ පුපුරා යනවා. ඒත් උත්පලාගෙ කම්පනය කමලාවතීට දැනගන්න දෙන්න බෑ. හිපොක්‍රටීස් එහෙම කියලා නෑ.

"අම්මා, කොච්චර කාලයක්ද මේ ගෙඩිය මේ විදිහට ඇවිල්ලා පැලිලා හැරව ගලන්න පටන් අරන්?"

"මුලින්ම දැකලා මාස දෙකහමාරක් තුනක් වගේ"

"ඉතින් ඇයි අම්මා ඉස්පිරිතාලෙකට නොපෙන්නුවේ?"

"මේ ගෙඩිය ඉතින් කාටවත් පෙන්නන්න ඇහැකි ‍තැනකයැ තියෙන්නේ?"

එක පියයුරක හටගත් ගෙඩිය සම දක්වාම පැතිරී තුවාලය පිටතටද විවෘත වෙලා. දහම් පාසලේ එක ළඟ දැමූ කුඩා මේස දෙකක් මත නිදි කරවා අනෙක් පියයුරද පරීක්ෂා කර සටහන් තබා කිහිලි, බෙල්ල පරීක්ෂා කර ඉදිමී ඇති වසා ගැටිති කුඩා රූප සටහනක කතිරවලින් සටහන් කොට ඇගේ මූලික ශාරීරික පරීක්ෂණ නිමකරන්නට මට ගතවුණේ ඇසිපිය හෙලන නිමේෂයක්.

"මේ කෙළී අද හෙට ගෙට වෙන්න ළඟයි. පොඩි එකී තාම කිරි උරනෝ. මහමිනිහා බීගෙන... සතේක විශ්වාස නෑ. මනමාලකම ඉහවහා ගිහින්. හපෝ ඉතින් මම ඉස්පිරිතාලෙ යන්නෙ කොහොමෙයි. නවත්තා ගත්තොත් ළමයින්ට යන කල දසාව මොකක්ද නෝනේ? මං දවල් වරුවේ අත්වැඩ දෙනවා නෝනෝ පාලම හදන තැන"...

කියවන්නේ ඇය. වැළපෙන්නේ මගෙ හිත. වෙලාව හයයි කාලයි. දැන් කමලාවතීට වඩා අසරණ වෙලා ඉන්නෙ මම.

පොත්වල ඉගෙනගත්තු පියයුරු පිළිකාවක් පරීක්ෂා කිරීමේ පියවර. පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම සඳහා කළයුතු ස්වයං පියයුරු පරීක්ෂණ, මැමෝග්‍රෑම් පර්යේෂණ, හඳුනාගත් පසු ඉක්මනින් ක්‍රියාත්මක වීම, ශල්‍යකර්ම හා එක්වූ සංයුක්ත ප්‍රතිකාර විධි සඳහා යොමු වීම. මේ සියල්ලෙන් කරන්නට ඉතිරි වී ඇත්තේ කුමක්ද? ඒ සඳහා යෑමට ඇය කැමති වෙයිද? ඒ ගියත් මේ රෝගය කෙතරම් දුරට ඇයගේ ශරීරයේ දැන් පැතිරී ඇත්ද? ජංගම සායනයට සහාභාගි වූ ගමේ පවුල් සෞඛ්‍ය නෝනාද දහසකුත් එකක් කටයුතු අවසාන කොට පිටත්ව ගොස් අවසන්.

"අම්මා දැන්නම් ගෙදර ගිහිල්ලා බැහැ. අපි යමු හම්බන්තොට. නැත්තන් කොළඹ යන ගමන් කරාපිටියේ අම්මා නවත්තන්නම්."

අම්මගෙ මුහුණ මළ ගෙයක් වැනිය.

"නෝනා, ළමයි ටික?"

"අපි යන ගමන්ම මිඩ්වයිෆ් නෝනගේ ගෙදර ගිහින් මොනවහරි කතා කරගම්මු."

මීටත් වඩා බැරෑරුම් ප්‍රශ්නවලට ගමේ නෝනලා අපට පිළිතුරු සොයා දී ඇති බවත් ඇගේ සමාජ සක්‍රිය සම්බන්ධතා ජාලය කිරි අම්මලාගේ සිට තරුණ ස්වේච්ඡා බලමුළුවකින්ද ශක්තිමත් බව මේ රටේ දේශපාලනඥයෝවත් නොදනිති. ලොකු දරුවන් දෙදෙනා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇතුළු කණ්ඩායමට බාර දී කමලාවතී සහ කුඩා දරුවාද සමඟ අපි කරාපිටියට ළඟාවුණා.

ගෙවී ගිය කාන්තා දිනයේද "ඔබ සුන්දරතම කාන්තාව" යැයි කියමින් inbox පුරාවට පණිවුඩ හුවමාරු වන්නට ඇති. දුඹුරු පැහැ ගැන්වුණු හැට්ටයට යට වී කියාගත නොහැකි වේදනාවෙන් මිරිකුණු පියයුරු පිළිකා පැලඳගත් කමලාවතීලා මෙන්ම ඔබගේ මවද අද දවසේ පියයුරු පිළිකාවක මූලික අවධිය සඟවාගෙන තමන්ගේ එදිනෙදා කටයුතුවල කිමිද දුක් විඳිමින් තම සෞඛ්‍ය අතපසු කරගනිමින් සිටිනවා විය හැකිය.

කාන්තාවකව ඉපදීම නිසාම ඇය පියයුරු පිළිකාව ගැබ්ගෙල පිළිකාව, ගර්භාශ පිළිකාව, තයිරොයිඩ් පිළිකාව මෙන්ම ඩිම්බකෝෂ පිළිකා වැනි යම් යම් ආවේණික පිළිකා සෑදීමේ අවදානමට ලක්වන අතර මේ බොහෝ පිළිකා කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ පවතින අතර ඒ සඳහා දිනයක් වෙන්කර ගැනීමේ හොඳම දිනය අද විය හැකිය. හෙටට කල් නොදමන්න. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කර ගන්නා "පැප්" පරීක්ෂණය සඳහාද සුවනාරි සායන සඳහා දිනයක් වෙන්කර ගන්න. ස්වයං පියයුරු පරීක්ෂාව ගැන ඔබත් දැනුවත් වී අන් අයත් දැනුවත් කරන්න. පවුලේ අයකුට පියයුරු පිළිකා සෑදී තිබීම වැනි අවදානම් තත්ත්ව ඇති අයත් පියයුරු පිළිකා කලින් හඳුනා ගන්නා මැමෝග්‍රෑම් පරීක්ෂණයකට යොමු වීම පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් වැඩි විස්තර දැනගැනීම හුඟාක් වැදගත් වේවි.

සමහර කාන්තාවන් තමාට පිළිකාවක් තිබේයැයි සිතීමට පවා බිය වන අතර එය හඳුනාගත් පසු පවුලට, දරුවන්ට දුක් කරදර විඳීමට සිදුවන නිසාවෙන් තමා ගැන අමතක කර ඔවුන්ට සුඛ විහරණය සදමින් ජීවත් වෙනවා.

"ඉස්පිරිතාලේ නොගියේ ඇයි?" එය ඔබට සහ මට වචන කිහිපයක් පමණි. ඇයට රෝහල්ගත වීම යනු මුළු ජීවිතයම උඩු යටිකුරු කරන ගැටලුවක් විය හැකිය.

ඔබ වටහාගත යුතු සත්‍යය නම් බොහෝ පිළිකා කලින් හඳුනාගතහොත් ලෝකයේ ප්‍රතිකාර විධි දියුණු මේ යුගයේ කිසිදු විඳවීමකින් තොරව නිට්ටාවටම සුවය ලබාගත හැකි බවය. එම නිසා තව බොහෝ කලක් තමන්ගේ ආදරණීයයන් අතර සැහැල්ලුවෙන් දිවි ගෙවීමට ඔබට ජීවිතය ඉතිරි කරගත හැකි බවය.

මා ලස්සන නැත. මට මල් එවන්නට එපාය.

ඔබ පමණක් සුන්දරතම කාන්තාවක් වීම සෑහේද? ඔබ පමණක් ශක්තිවන්ත පිරිමියකු වීම සෑහේද? අවුරුද්ද පුරාම කාන්තාව සමරමින් ඔබගේ මව, සහෝදරිය පෙම්වතිය, බිරිඳ කාන්තාවක වීම නිසාවෙන්ම ගොදුරුවන රෝගවලින් මුදා ගැනීමට එක මොහොතක් හෝ වැය කිරීම අනන්ත සුන්දරත්වය අත්විඳීම නොවේද?

ප්‍රජා විශේෂඥ වෛද්‍ය [උත්පලා අමරසිංහ]

MBBS.MSc.MD

මාතෘකා