නිවස විදුලි අනතුරුවලින් ආරක්ෂා කරගන්නා හැටි

 ඡායාරූපය:

නිවස විදුලි අනතුරුවලින් ආරක්ෂා කරගන්නා හැටි

සමාජයේ කුඩාම ඒකකය වන පවුලේ සුරක්‍ෂිතතාව නැතිනම් ආරක්‍ෂාව පවතින්නේ නිවස කේන්‍ද්‍ර කරගනිමිනි. නමුත් අද වන විට බොහෝ අනතුරුවලට ලක්වන පරිසරයක් බවට නිවසද පත්ව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ බාහිර පරිසරය සම්බන්ධයෙන් කෙතරම් විශ්වාසයක් තැබිය හැකිද?

මෙරට සිදුවන අනතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලිසැර වැදීම හේතුවෙන් සිදුවන අනතුරුය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දත්ත අනුව ගතවන සෑම දින දෙකක් පාසාම එක් අයෙක් විදුලිසැර වැදීමෙන් මිය යන තත්ත්වයක් උද්ගතවී තිබේ. බටහිර ඔස්ට්‍රේලියාවේ වාර්තාවන්ට අනුව 2012 වර්ෂය තුළදී විදුලි සැර වැදීමෙන් සිදුවූ වාර්ෂික මරණ අනුපාතය මිලියනයක ජනගහනයට 0.8ක් වන අතර එය ජාත්‍යන්තර නිර්දේශිත අගය වේ. නමුත් ඒ හා සැසඳීමේදී අපේ රටේ තත්ත්වය එකොළොස් ගුණයකින් පමණ ඉහළ අගයක පවතී.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව නීති විරෝධී ආකාරයෙන් විදුලිය ලබාගැනීම, ගෘහ විදුලි පරිපථය සඳහා ප්‍රමිතියෙන් තොර වයර්, ස්විච්, පේනු (Plugs) සහ කෙවෙනි (Sockets) භාවිත කිරීම, ට්‍රිප් ස්විච් නොයෙදීම හෝ එය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම සහ විශේෂඥ විදුලි කාර්මිකයකුගේ සේවය යටතේ නිවසේ විද්‍යුත් පරිපථය සකසා නොතිබීම විදුලිය ආශ‍්‍රීත අනතුරු වැඩිවී තිබේ. එබැවින් විදුලි අනතුරුවලින් තොර ආරක්‍ෂිත ගෘහ පරිසරයක් නිර්මාණය කර ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ගුණාත්මක බවින් තොර විවිධ වර්ගයන්ගේ පේනු (Plugs), කෙවෙනි (Sockets), විදුලි දිගු (Extension Cord) සහ ට්‍රිප් ස්විච් ආදීය භාවිත කිරීම මෙන්ම රවුම් හැඩයේ පේනු (Plugs) සහ කෙවෙනි (Sockets) සහිත නිෂ්පාදනයන් භාවිතයද අනතුරුදායක තත්ත්වය වර්ධනය කිරීමට හේතු වී තිබේ. විශේෂයෙන් රවුම් හැඩයේ පේනු (Plugs) සහ කෙවෙනි (Sockets) තදින් සවි නොවීම හේතුවෙන් විදුලිය කාන්දු වීමක් සිදුවීමට වැඩි අවකාශයක් පවතී. එමෙන්ම එම අවකාශය තුළ දූවිලි මෙන්ම විවිධ සත්ත්ව අපද්‍රව්‍ය රැඳීමේ වැඩි අවකාශයක් ඇති බැවින් ඉතා ඉක්මනින් විදුලි කාන්දුවීමක් ඇතිවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව බොහෝ විදුලි අනතුරුවල පසු නිරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

නිවෙස්වලදී බොහෝ විට කුඩා දරුවන් විදුලි අනතුරුවලට ලක් වන්නේ විදුලි පේනු වෙත යම් යම් ද්‍රව්‍ය දැමීමට හෝ ඇඟිල්ල ඇතුළු කිරීමට උත්සාහ කිරීම නිසාය. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ අතට හසුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින්නේ රවුම් හැඩයේ දිගටි වස්තූන්ය. රවුම් හැඩයේ කෙවෙනි (Sockets) තුළට එවැනි හැඩයේ ද්‍රව්‍ය පහසුවෙන් ඇතුළු වීමේ වැඩි හැකියාවක් තිබීමද මෙවැනි අනතුරු සිදුවීමට හේතුවක් වී තිබේ.

මෙම තත්ත්වයට එක් පිළියමක් ලෙස රජය විසින් ගෙන ඇති මූලික ප්‍රතිපත්තියක් වන්නේ මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට බොහෝ විදුලිය ආශ්‍රිත අනතුරු සඳහා බලපාන රවුම් හැඩයේ පේනු (Plugs), කෙවෙනි (Sockets), සහ ප්‍රමිතියෙන් තොර විදුලි දිගු (Extension Cord) ආනයනය, නිෂ්පාදනය මෙන්ම අලෙවි කිරීමද තහනම් කිරීමයි. එමෙන්ම සමස්ත විදුලි පද්ධතියම ජාතික ප්‍රමිතියක් මත පිහිටුවා ක්‍රියාත්මක කිරීමටත් එහිදී භාවිත කරනු ලබන සියලුම භාණ්ඩ, නිෂ්පාදන සහ සේවාවන් ආදිය ප්‍රමිතිකරණයකට ලක් කිරීමෙන් එහි ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමටත් යෝජනා කර තිබේ.

ඒ අනුව මූලික වශයෙන් රවුම් හැඩයේ පේනු (Plugs) සහ කෙවෙනි (Sockets) වෙනුවට හතරැස් කූරු සහිත 13A පේනුව (Plugs) සහ එහි කෙ‍ෙවනිය (Sockets) ජාතික ප්‍රමිතියක් ලෙස හඳුන්වා දී තිබේ. ඕනෑම ක්ෂේත්‍රයක වර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් පැවතීම ඉතා වැදගත් කරුණකි. එහිදී විදුලි බලය හා සම්බන්ධව මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ජාතික ප්‍රමිතීන් හඳුන්වාදීම පවතින ගැටලුකාරී තත්ත්වයන් වැඩි ප්‍රමාණයකින් අවම කරගැනීමට හේතුවක් වනු නිසැකය. නමුත් එවැනි ගැටලු සම්පූර්ණයෙන් නැතිකර ගැනීම මෙවැනි නීතිමය ක‍්‍රමවේදයන් මඟින් පමණක් සිදු කළ නොහැකිය. විදුලිය පරිභෝජනය කරන ජනතාව මෙන්ම පොදුවේ සමස්ත ලාංකිකයන් මේ සම්බන්ධයෙන් මූලික දැනුවත් බවක් හෝ ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන් විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී අවම ආරක්‍ෂක ක‍්‍රම අනුගමනය කිරීම, ජනතාව ගැවසෙන පරිසර තුළ අනාරක්‍ෂිත ආකාරයෙන් සැරසිලි ආදිය සඳහා විදුලි රැහැන් යෙදීම, බහුතරයක් නිවෙස්වල ට්‍රිප් ස්විචයක් පවා නොතිබීම සහ ඇතැම් අවස්ථාවල එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම සහ මේ සම්බන්ධයෙන් ජනතාව සතු අවබෝධය සහ ඒ කෙරෙහි දක්වන අවධානයේ ප්‍රමාණය අඩුවීම විදුලි අනතුරු ඉහළ යාමට හේතු වී තිබේ.

එබැවින් ප්‍රමිතියෙන් යුතු විදුලි උපාංග භාවිත කිරීම, ඔබගේ නිවසේ විදුලි පරිපථයේ නිර්දෝෂී බව විශේෂඥ විදුලි කාර්මිකයකු මඟින් තහවුරු කරගැනීම තුළින් සුරක්‍ෂිත පරිසරයක් නිවස තුළ නිර්මාණය කර ගැනීමෙන් ඔබටද මෙම ජාතික කාර්ය සාර්ථක කර ගැනීම සඳහා දායක විය හැකිය.

එබැවින් පෑන් ආවරණ භාවිතයෙන් අනාරක්‍ෂිත ආකාරයෙන් විදුලිය භාවිත කිරීමෙන් සහ මේ වන විට අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති කූරු දෙකේ හෝ ඕනෑම වර්ගයක රවුම් හැඩයේ පේනු (Plugs) සහ කෙවෙනි (Sockets) සහ බහුවිධ කෙවෙනි(multi-sockets) භාවිත කිරීමෙන් වැළකීම සුදුසුය. ඒ වෙනුවට SLS සහතික ලත් අනුවර්තක (adaptors) පමණක් භාවිත කිරීමට වගබලා ගන්න.

USB පහසුකම සහිත ඇම්පියර් 13 කෙවෙනි (Sockets) භාවිතය නීත්‍යනුකූල වන අතර ඇම්පියර් 5, රවුම් හැඩයේ පැරණි පේනු (Plugs) සඳහා SLS ප්‍රමිතිගත අනුවර්තක (Adaptor) භාවිත කළ හැකිය. බාල තත්ත්වයේ බහුවිධ කෙවෙනි (Multi-sockets) භාවිතය තවදුරටත් යෝග්‍ය නොවන බවද මතක තබාගන්න.

 

[පාලිත අබේලාල්]

----------------

අමාරු දවස් සතුටින් ගෙවන්න

[ශ්‍යාමලි නිශාන්ති]

මාසයකට වරක් එළැඹෙන ඒ දින කිහිපය යුවතියක, කාන්තාවක ලෙස ඔබට පීඩාකාරී බව රහසක් නොවෙයි. මාසික ඔසප් වීම යනු අසනීප තත්ත්වයක් නොවේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ සහ ගර්භාශයේ ඇතිවන වෙනස්කම් සිදුවන ස්වාභාවික චක්‍රයක් වන ඔසප් වීම මාතෘත්වයට හිමිකම් කීම සඳහා සෑම කාන්තාවකටම ස්වාභාවයෙන්ම ලැබුණු තිළිණයක් වැනිය. ඔසප් දිනවලදී බඩේ කැක්කුම, කොන්දේ වේදනාව, මස්පිඬුවල වේදනාව, ක්ලාන්තය, කැරකිල්ල, අප්‍රාණික බව ආදී ශාරීරික අපහසුතාවන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන් එම දින කිහිපයේදී ඇතිවන බඩේ කැක්කුමට හේතුව ගර්භාශයේ බිත්තිවල සංකෝචනයයි. එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කළ හැකිය.

උණුසුම් වතුර බෝතලයක්

මේ දිනවල ඇතිවන අධික බඩේ කැක්කුම සමනය කර ගැනීම සඳහා උණුසුම් වතුර බෝතලයක් රෙදිකඩකින් හොඳින් ආවරණය කර එයින් යටි බඩ ප්‍රදේශය තවන්න. එයින් මාංසපේශී ලිහිල් වීම නිසා වේදනාව අඩුකර ගත හැකිය.

සම්බාහනය

උදර ප්‍රදේශය විනාඩි 15ක් පමණ සියුම්ව සම්බාහනය කිරීමෙන් වේදනා ගෙනදෙන බඩේ කැක්කුම සමනය කරගත හැකිය. එසේ සම්බාහනය කිරීම සඳහා තෙල් වර්ගයක් හෝ බාම් වර්ගයක් සුදුසුය. එවැනි සම්බාහනයක් මනසටද සුවදායකය.

ආහාරපාන

බඩේ කැක්කුම වැඩි කිරීමට ඉවහල් වන කාබනික බීම, කැෆේන්, මේද අධික ආහාර, ලුණු අධික ආහාර සහ මධ්‍යසාර සහිත ආහාරපාන මෙම දිනවලදී ආහාරයට ගැනීම සුදුසු නොවේ. එම ආහාරපාන ඔබගේ රුධිරයේ සීනි මට්ටම වෙනස් කරන අතර මානසික ආතතිය ඇතිකිරීමටද ඉවහල් වේ.

නමුත් මෙම දිනවලදී ඔබේ ආහාර වේලට විශේෂයෙන් ඇතුළත් විය යුතු පෝෂණ සංඝටක කිහිපයක් තිබේ. ඒවා නම් ෆයිබර්, විටමින්, යකඩ හා ඔමේගා-3 මේද අම්ලය. එම පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරපාන ගන්න. එමෙන්ම කජු, ආමන්ඩ්, වට්ටක්කා ආදී ඇට වර්ග, නිවුඩු සහිත සහල්, ඔලිව් තෙල්, අලුත් මාළු, කුකුළු මස් සහ නැවුම් පලතුරුද ආහාරයට ගැනීම හිතකරය. ඊට අමතරව සැහැල්ලු නිර්මාංශ ආහාරද සුදුසුය.

ව්‍යායාම

"අපහසුවෙන් සිටියදී මොන ව්‍යායාමද?" යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එම අපහසු දිනවලදී පවා ඔබේ සිරුරට ගැළපෙන ව්‍යායාමයක යෙදීමෙන් මාංසපේශීන් ශක්තිමත් වේ. එයින් ගර්භාශයේ පේශීන්ගේ සංකෝචනය දරාගත හැකි ආකාරයට පේශීන් ශක්තිමත් වේ.

----------

නැති ලෙඩ ඇති කරන වැරදි ආහාර පුරුදු

 

නිරෝගී බව තරම් වටින සම්පතක් අපි කාටත් නැහැ. නමුත් ඇතැම් වැරදි ආහාර පුරුදු නිසා අපි විසින්ම අපේ නිරෝගී බවට හානි කරගන්නවා. එවැනි වැරදි පුරුදු කාලයක් තිස්සේ සිදුවන විට ජීවිතයේ තව පියවරක් ඉදිරියට යන්නට තිබෙන ඉඩකඩ අහුරා දමා නිරායාසයෙන්ම මරුවා වෙත සමීප වන්නට සිදුවනවා. මේ ඔබ අතින් නොදැනුවත්වම සිදුවන එවැනි වැරදි කිහිපයක්.

වැඩිපුර ප්‍රෝටීන් ගැනීම

ඇතැම් අය ප්‍රෝටීන අතිරේක ලබාගැනීමට හුරු වී සිටිනවා. නමුත් ඇතැම් ප්‍රෝටීන් නිෂ්පාදන කෘත්‍රිම සීනි, බැර ලෝහ සහ ජානමය වශයෙන් වෙනස් කළ ද්‍රව්‍ය අඩංගු කොට නිෂ්පාදනය කරනු ලබනවා. එවැනි ද්‍රව්‍ය හෝර්මෝන පද්ධතිය තුළ අසමතුලිතතාවයන් ඇතිකළ හැකිය. ඇතැම් විට එය වකුගඩු අක්‍රිය වීමක් දක්වා සංකීර්ණ විය හැකිය.

අහිතකර මේදය

මේදය පිළිබඳ ඇතැම් අලෙවි සමාගම් නිතරම පවසන්නේ සත්‍යයම නොවේ. එම නිසා ආහාර පිසීමේදී සිරුරට අහිතකර නොවන නිවැරදි මේද වර්ගයක් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. වඩාත් ගුණදායක වන්නේ පිරිසුදු පොල්තෙල් බවත් ගිතෙල්, අලිගැටපේර, ආමන්ඩ් ආදී මේදය සිරුරට අහිතකර නොවන බවත් පෝෂණවේදීන්ගේ අදහසයි.

ජලය පානය කිරීම

දිනකට වතුර ලීටර් 3-4ක් පානය කිරීම සිරුරට හිතකර බව දැන සිටියත් එම ප්‍රමාණය පානය කිරීම කරන්නේ ස්වල්ප දෙනෙක් පමණි. බොහෝ දෙනකු පීඩා විඳින හේතු රහිත හිසරදය ඇතුළු තවත් රෝගාබාධ රැසකට හේතුව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම බව මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. එම නිසා ප්‍රමාණවත් තරම් පිරිසුදු පානීය ජලය පානය කිරීම මඟ නොහරින්න.

හිරු එළිය මඟ හැරීම

හිරු රශ්මිය පීඩාකාරී බව කවුරුත් අත්විඳින්නක්. නමුත් හිරු එළිය වැටීම වළක්වා ගැනීමට කෘත්‍රිම ආලේප ගැල්වීම සෞඛ්‍යයට එතරම්ම හිතකර වන්නේ නැහැ. හිරු කිරණ තුළ අපේ සිරුරට අවශ්‍ය විටමින් ඩී සෑහෙන තරම් ප්‍රමාණයක් අඩංගු වන අතර හිරු කිරණ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමෙන් එම ප්‍රමාණයේ අඩුවීමක් සිදුවෙනවා. දිනපතා විනාඩි 15ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් සිරුරට අවශ්‍ය විටමින් ඩී ප්‍රමාණය ලබාගත හැකි බවද පැවසෙනවා.

ශීතකළ සහ සැකසූ ආහාරපාන

අවිවේකී ජීවන රටාව තුළ සකස් කළ ආහාර සහ ශීතකළ ආහාර ගැනීම ඉතා පහසු බව ඔබට හැඟෙනවා විය හැකිය. එහෙත් එකී පුරුද්ද දීර්ඝකාලීන එකක් වූ විට එය කිසිසේත් ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. ශීතකළ ආහාරවල සෝඩියම් වැඩි ප්‍රමාණයක් අඩංගු වනවා. එය ඔබේ රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවමින් හදවතේ නිරෝගී බවටද තර්ජනයක් එල්ල කරයි.

වැඩි සහ අඩු නින්ද

දිනක් දෙකක් නිදිවැරීමෙන් පසු ඊළඟ සති අන්තයේ දවස් දෙකම නිදාගැනීමෙන් ඊට පෙර දිනවලදී අහිමි වූ නින්ද ලබාගත හැකියැයි ඔබත් සිතනවාද? එසේනම් එය වැරදි අදහසක්. ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් කායික මානසික වියවුල් බවක් ඇතිවනවා මෙන්ම දිනපතා අවම වශයෙන් පැය 6ක පමණ නින්දක් ලැබීම අවශ්‍යයි.

ඊට අමතරව දිනපතා නිසි සමබල ආහාර වේලක් ලබාගැනීම සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු සමඟ නිවැරදි චර්යාවන් අනුගමනය කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍යයි. හානිකර වැරදි මතවලින් මුළා නොවී සැකයක් ඇති කාරණාවලදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ හෝ පෝෂණවේදියකුගේ උපදෙස් ලබාගැනීමට සැලකිලිමත් වන්න.

[තුෂාරා සන්දනායක]

මාතෘකා