අයිසින් සීනි නැතුව කේක්වලට මල් හදන අනූෂා

 ඡායාරූපය:

අයිසින් සීනි නැතුව කේක්වලට මල් හදන අනූෂා

කේක් යනු අපි සැවොම ප්‍රියකරන ආහාරයකි. චොක්ලට් කේක්, අයිසින් කේක්, රිබන් කේක්, මංගල කේක් ආදී වශයෙන් කේක් වර්ග රාශියක් තිබේ. මේ සෑම කේක් වර්ගයකම මතුපිට අලංකරණය ඉතා වැදගත්ය. ඊට හේතුව කේක් කැබැල්ලක රස බැලීමට පෙර එහි සුන්දරත්වය දෑසින් රස විඳීම අපි කාගේත් පුරුද්ද වන නිසාය. කේක් අලංකරණය සඳහා යොදාගන්නා විවිධ ක්‍රම අතර අයිසින් මල්වලට විශේෂත්වයක් හිමිවන්නේ ඒ නිසාය.

නමුත් අයිසින් උපයෝගී කර නොගෙන කේක් මල් නිර්මාණය කිරීමට සමත් කේක් නිර්මාණ ශිල්පිනියක් අපට හමුවිය. ඇය නමින් අනුෂා ගුණසේකරය.

කේක් නිර්මාණ කිරීම සඳහා සුවිශේෂ දස්කම් දක්වන ඇය 2013 වසරේදී අයිසින් නැතිව මල් නිර්මාණය කිරීම සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමටද සමත් විය. 2016 වසරේදී ජනාධිපති සම්මානය හිමි කර ගැනීම සහ 2018 වසරේදී දකුණු කොරියාවේ පැවැත්වූ කේක් නිර්මාණ තරගයකදී රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වීමද ඇගේ දක්ෂතාව සනාථ කරන්නකි. ඊට අමතරව 2016 වසරේදී ස්විට්සර්ලන්තයේදී 44 වැනි වරට පැවැත්වූ ලෝක නව නිපැයුම්කරුවන්ගේ තරගයේදී ලංකාවට රිදී පදක්කමක්ද දිනා දීමට ඇයට හැකි විය.

අනුෂා ගුණසේකර විසින් නිර්මාණය කරන කේක් අලංකරණ අනෙක් ඒවාට වඩා වෙනස්ය. ලොව ප්‍රථම වතාවට අයිසින් සීනි භාවිත නොකර අලංකරණයන් සඳහා සකසන කේක් මල් ආහාරයට ගත හැකි අමුද්‍රව්‍යවලින්ම නිර්මාණය කිරීම ඇය තුළ ඇති විශේෂත්වයයි. කේක් නිර්මාණ සඳහා භාවිත වන මෙම මල් සාමාන්‍ය උෂ්ණත්වය යටතේ දීර්ඝ කාලයක් තබා ගැනීමට හැකිවන පරිදි සකස් කිරීම එම ක්‍රමයේ තිබෙන සුවිශේෂ බවයි.

ඇය අප සමඟ පිළිසඳරට එක්වූයේ ඒ අපූර්වතම නිර්මාණ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමිනි.

ඔබේ නව නිර්මාණ ක්‍රමය ගැන කියනවා නම් ?

කේක් අලංකරණ සඳහා බොහෝ කේක් නිර්මාණ ශිල්පීන් අයිසින් මල් හෝ නැවුම් මල් යොදා ගන්නවා. නමුත් අයිසින් මල් වැඩි කාලයක් තබාගැනීමේ අපහසුතාවක් තිබෙනවා. ඊට අමතරව සේදුවාම දියවීමක් වෙනවා. වැහි කාලයේදී කිසිම විදිහකට මේ මල් තියා ගැනීම අපහසුයි. එක්කෝ උෂ්ණත්වය රඳවා තබන පෙට්ටියක හෝ ශීතකරණයේ තබා ගන්න ඕනෑ. නමුත් මගේ නව නිර්මාණය තුළින් මල් සාමාන්‍ය උෂ්ණත්වයේ කැමති කාලයක් තබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා නැවත නැවත භාවිත කරන්නත් පුළුවන්. මෙහි මූලික අමුද්‍රව්‍ය වන්නේ කෝන් පිටි සහ ජෙලටින්. කිසිම රසායනික අමුද්‍රව්‍යක් පාවිච්චි කරන්නේ නැහැ.

අයිසින් මල් පහසුවෙන් භාවිතයට ගැනීමට හැකියාව තිබියදී මෙවැනි මල් නිර්මාණය කිරීමට ඔබ සිතුවේ ඇයි ?

මමත් බොහෝ කාලයක සිට කේක් නිර්මාණ කරනවා. කේක් නිර්මාණ සඳහා මල් සාදා ගැනීමේදී මල් දියවීම, කෘමි සතුන්ගෙන් හානි සිදුවීම වගේ ගැටලුවලට මමත් මුහුණ දුන්නා. ඒ නිසා මට හිතුණා මේකට මොකක්හරි විකල්පයක් හොයාගන්න ඕනෑ කියලා. ඒ අනුව විවිධාකාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් අත්හදා බැලීම් කළා. විශේෂ විද්‍යාත්මක ක්‍රමයක් උපයෝගී කරගෙන තමයි මේ මල් හදලා තියෙන්නේ. කෑමට සුදුසු විදියටයි මේ නිර්මාණ මම කරන්නේ. මගේ fb page එකක් තියෙනවා shoba cakes කියලා. එයින් මල් නිර්මාණ දැකබලා ගන්නත් ඇණවුම් ලබාදෙන්නත් ඕනෑම කෙනකුට අවස්ථාව තිබෙනවා.

[තියේෂා ද සිල්වා]

මාතෘකා