පිරිමි ආකර්ෂණය වන ගැහැණු

 ඡායාරූපය:

පිරිමි ආකර්ෂණය වන ගැහැණු

රුව ගුණ

සෑම යුවතියකටම, කාන්තාවකටම විශේෂ වූ අනන්‍යතාවක් තිබේ. ආකර්ෂණය යනු බාහිර සුන්දරත්වය පමණක් යැයි සිතීම සත්‍යයක් නොවේ. එක් එක් පිරිමියා ආකර්ෂණය වන ගැහැණු සතු ලක්ෂණ විවිධාකාර වේ. කෙනෙක් බාහිර සුන්දරත්වයට ආකර්ෂණය වන විට තවත් පිරිමියකු ආකර්ෂණය වන්නේ ගැහැණියක සතු ගතිගුණවලටය. ඊට අමතරව සමස්තයක් ලෙස ගත් විට පිරිමින්ගේ ආකර්ෂණය වන පොදු ලක්ෂණ කිහිපයක් තිබේ. එසේ ආකර්ෂණය වන කරුණු අතර බාහිර ලක්ෂණ මෙන්ම චරිත ලක්ෂණද වේ. මෙහි සඳහන් වන්නේ එවැනි කරුණු කිහිපයකි.

විශ්වාසවන්ත බව

විශ්වාසය යනු බොහෝ පිරිමි ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන දෙයකි. විශේෂයෙන් ආදර සබඳතාවකදී මෙන්ම ලිංගික සබඳතාවකදී විශ්වාසනීය බව රැකීම ඉතා වැදගත් කාරණාවක් ලෙස පිරිමි සිතති. එම නිසාම විශ්වාසනීය ගැහැණුන්ට පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවේ.

නිහතමානී බව

නිහතමානී බව ගැහැණියකට තිබිය යුතු වැදගත් ලක්ෂණයක් ලෙස පිරිමි සලකති. විශේෂයෙන් තමන්ගේ තත්ත්වය, තරාතිරම ගැන අධි තක්සේරුවෙන් සිතන, ක්‍රියාකරන ගැහැණුන්ට බොහෝ පිරිමි තුළ ඇතිවන්නේ නොපහන් බවකි. එමෙන්ම පුහු අහංකාරයෙන් යුතු කාන්තාවන්ද පිරිමින්ගේ සිත් නොගනී.

අඥාන බව

මින් අදහස් කරන්නේ අධ්‍යාපන මට්ටම අතින් අඩු බව නොවේ. සාමාන්‍ය ජීවිතයේදී මෝඩකම ප්‍රදර්ශනය කරන කාන්තාවන් පිරිමින් විසින් සලකනු ලබන්නේ 'හිස් සිලින්ඩර' ලෙසටය. එසේ නොමැතිව ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් තාර්කිව සිතන කාන්තාවන්ට පිරිමි වැඩිපුර ආකර්ෂණය වෙති.

ආකල්ප

නිතරම අසුබවාදීව සිතන ඍණාත්මක ආකල්ප සහිත කාන්තාවන් හා ඇසුරට බොහෝ පිරිමි ප්‍රිය නොකරති. මැසිවිලි නඟමින් කනස්සල්ලෙන් සිටින පෙම්වතියන් හා බිරින්දෑවරු සමඟ සිටින පෙම්වතුන් සහ සැමියන් ඉක්මනින් කලකිරීමට පත්වන අතර ඒ නිසාම සබඳතා බිඳීයාමද සිදුවේ. පිරිමි වැඩිපුර ආකර්ෂණය වන්නේ ධනාත්මක සිතුම් පැතුම්වලින් යුතු කාන්තාවන්ටය

දිගු පාද

බාහිර සුන්දරත්වය ගැන සැලකීමේදී දිගු කකුල් සහිත කාන්තාවන්ට පිරිමින්ගේ වැඩි කැමැත්තක් තිබෙන බව හෙළිවී තිබේ.

දෑස්

කාන්තාවන්ගේ දෑස් ගැන කතා කිරීමේදී දීප්තිමත් දෑස්වලට පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවේ. විශේෂයෙන් දිගු සිහින් දෑස් හිමි කාන්තාවන්ටත්, කතාකරන දෑස් හිමි කාන්තාවන්ටත් පිරිමින් වැඩිපුර ආකර්ෂණය වේ.

වරලස

නිරෝගී දිගු වරලසක් යනු පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්නා මූලික බාහිර ලක්ෂණයකි. නමුත් බොහෝ පිරිමි පිළිවෙලකට හිසකෙස් සකසාගෙන නොසිටින කාන්තාවන්ට ආකර්ෂණය නොවෙති. බොහෝ පිරිමි නිතරම පිරිසුදු සහ පිළිවෙළට තම වරලස සකසාගෙන සිටින කාන්තාවන්ට ප්‍රිය කරති.

නවීන ගැහැණු

නවීන ලෝකයත් සමඟ නවීන වූ 'ස්මාර්ට් ' ගැහැණුන්ට ඇතැම් පිරිමි වැඩිපුර ආකර්ෂණය වෙති. ඒ අනුව අව් කන්නාඩි පලඳින, නවීන විලාසිතාවන්ට හිසකෙස් සැකසූ ගැහැණුන්ට ඔවුන්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවේ.

ඇඳුම් පැලඳුම්

ගැහැණුන් නවීන විලාසිතාවලට වැඩි කැමැත්තක් දැක්වූවත් පිරිමි වැඩිපුර ආකර්ෂණය වන්නේ නවීන පන්නයේ ඇඳුම් පැලඳුම්වලින් සැරසුණු කාන්තාවන්ට නොවේ. තමාගේ සිරුරට සහ අවස්ථාවට ගැළපෙන ලෙස චාම්ව සහ සුන්දරව අඳින පලඳින කාන්තාවන්ට පිරිමි වැඩිපුර ආකර්ෂණය ෙවති. එසේ නොමැතිව තොරොම්බල් කරත්ත ලෙස අඳින පලඳින කාන්තාවන් පිරිමින්ගේ විවේචනයට සහ සිනහවට ලක්වේ.

-------------------

අනවශ්‍ය රෝම ප්‍රශ්නයක්ද?

[ශ්‍යාමලි නිශාන්ති]

මුහුණේ රෝම අධික වීම බොහෝ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටලුවකි. විශේෂයෙන් උඩු තොලේ, නිකට, නළල සහ කම්මුල්වල එසේ අනවශ්‍ය රෝම අධික වීමට හේතු කිහිපයක් බලපායි. මානසික ආතතිය, ආර්තවහරණය සහ ස්ථුලතාව ඊට හේතු විය හැකිය. මුල් අවධියේදී මෙම රෝම ඉතා සිහින් සහ ළා පැහැයක් ගන්නා නමුත් පසුව ඒවා ඉතා ඝනට මෙන්ම තද කළු පැහැයෙන් වර්ධනය වනු දැකිය හැකිය. මෙම තත්ත්වය සමනය කරගැනීම සඳහා මෙම කරුණු වැදගත් වේ.

නිරන්තරයෙන් මනස සැහැල්ලුවෙන් තබා ගන්න. මානසික ආතතියෙන් මිදී සිටීමට හැකිතාක් උත්සාහ කරන්න. රෝම වර්ධනයට හේතුවන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය වැඩිපුර ශ්‍රාවය වීම සිදුවන අතර ඔබ මානසික ආතතියට ගොදුරු නොවී සැහැල්ලු මනසින් සිටියහොත් ඔබට මෙම අනවශ්‍ය රෝම වැවීම නවතා ගත හැකිය.

හැකි සෑම අවස්ථාවකම නැවුම් එළවළු, පලතුරු, ධාන්‍ය සහ මාංශ ඇතුළු පෝෂ්‍යදායී සමබල ආහාර ගැනීමට උත්සාහ කරන්න. පෝෂ්‍යදායී ආහාර ගනිමින් සිරුරේ බර පාලනය කිරීම තුළින් සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරන අතර මුහුණේ රෝම වැඩීමට හේතුවන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය නිපදවීම මර්දනය කරයි. පෝෂ්‍යදායී ආහාර ගන්නා අතර ව්‍යායාම්වල නිරත වීම තුළින් ඔබගේ සිරුරේ හෝර්මෝන මට්ටම යථා තත්ත්වයට පත් කර අනවශ්‍ය රෝම ඇතිවීම නවතාලයි. අනවශ්‍ය රෝම ඉවත් කිරීමට වැක්ස් වර්ගයක් ලෙස මෙම මිශ්‍රණය භාවිත කළ හැකිය. සීනි කෝප්ප 4ක්, දෙහි යුෂ කෝප්ප 2ක් සහ මී පැණි කෝප්පයක් ගෙන එය හොඳින් මිශ්‍රකර මඳ රස්නයෙන් උණු කර ගන්න. ඉන්පසු එය නිවෙන්නට ඉඩ හැර රෝම මත ආලේප කරන්න. දැන් පිරිසුදු කපු රෙදි කැබැල්ලක් ගෙන එම එම ආලේපය ගැල්වූ ස්ථානය ආවරණය කරන්න. එම මිශ්‍රණය තරමක් වියලුණු පසු රෙදි කැබැල්ලේ එක කෙළවරක් ගෙන රෝම වැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට එකවර අදින්න. එවිට රෝම ඉවත් වී යයි. මෙම පියවර නිසි පරිදි අනුගමනය කිරීමෙන් අනවශ්‍ය රෝම ඉවකර ගැනීම මෙන්ම ඒවා නැවත වර්ධනය වීමද පාලනය කරගත හැකිය.

-------------------

බෙල්ලේ අවපැහැය දුරලන සත්කාර

චලනි අයේෂා - අන්තර්ජාලය ඇසුරිනි

මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුවා නම් තමයි හොඳ. අද අපි කතා කරන්නේ බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විසඳුමක්. බොහෝ දෙනෙක් මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නැහැ. බෙල්ල අමතක කරලාම දානවා. ඔබ ස්නානය කරන කොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් අමතක කරන්න එපා. ඒ සඳහා මෙම ස්වාභාවික ප්‍රතිකර්ම අනුගමනය කර බලන්න.

නැවුම් එළකිරිවලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහන කරගන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමගින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එළකිරි කියන්නේ සම පැහැපත් කිරීමට විශාල හැකියාවක් තිබෙන ද්‍රව්‍යයකි.

ඔලිව් තෙල් සහ සීනි එකට මිශ්‍රකර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදු කොට වෙනස දැකගත හැකිය. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් එක්කර තලපයක් වනතුරු මිශ්‍ර කරන්න. එම තලපය බෙල්ලේ ගල්වා විනාඩි 15කට පසුව සෝදා හරින්න. ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍රකොට බෙල්ල සම්බාහනය කරන්න. රැයක් පුරා එය තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් හොදා හරින්න. එහෙමත් නැත්තම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.

බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි එක බැගින් ගෙන තලපයක් වනතුරු හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න. මී පැණි සහ තක්කාලි මඟින්ද බෙල්ලේ ඇති අවපැහැ බව අවම කරගත හැකිය. ඒ සඳහා තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සදා ගන්න. විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. එසේත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකර විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. අර්තාපල් යුෂවලින්ද බෙල්ලේ කළු පැහැ වීම් අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු පැහැ වී ඇති ස්ථාන මත එම අල පෙති තබා හොඳින් පිරිමදින්න.

දොඩම් ලෙලි ගෙන ඒවා වියළා කුඩු කරගන්න. එයටම නැවුම් එළකිරි හැන්දක් පමණ දමා මිශ්‍රකර ගන්න. එය ඔබේ බෙල්ලේ ගල්වා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න. දොඩම්වල ඇති විටමින් C වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ඔබේ බෙල්ල අවපැහැ ගතිය කෙමෙන් ඉවත්වනවා.

හාල් කැඳ මඟින්ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කර විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

 

-----------------

දරුවාගේ පෞරුෂය නැති කරන අම්මලාගේ වැරදි

දරුවකුගේ පෞරුෂත්වය ගොඩනැඟෙන්නේ කුඩා වියේදී සිටමය. ඒ සඳහා මවුපියන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙන පිටුවහල සහ ආභාසය ඉතා වැදගත් වේ. විශේෂයෙන් දරුවන්ට වැඩි සෙනෙහසක් දක්වන මවුවරුන් විසින් කරනු ලබන ඇතැම් දේවල් නිසා දරුවාගේ පෞරුෂත්වයට නොදැනීම හානි සිදුවේ. මේ, දරුවාගේ පෞරුෂත්වයට හානිකර එවැනි වැරදි ක්‍රියා කිහිපයකි.

කතා කරන්නට ඉඩ නොදීම

එදිනෙදා ජීවිතයේදී දරුවාට කතාකළ යුතු අවස්ථා පැමිණෙනවා. දරුවාට හඬක් නඟන්නට නොදී දෙමව්පියන් ඔවුන් වෙනුවට හඬ අවදි කරනවා නම් එය දරුවාගේ ස්වාධීනත්වය අහිමි කිරීමක්. උදාහරණ ලෙස කවුරුන් හෝ දරුවාගේ නම, වයස අසන විට දරුවාට පිළිතුරු ලබා දෙන්නට ඉඩදෙන්න. වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ගිය විට දරුවාගේ රෝගී තත්ත්වය ගැන පවසන්නට දරුවාටම ඉඩ දෙන්න. දරුවා කතා කිරීමෙන් අනතුරුව, දරුවා පැවසු දෙයෙහි අඩුවක් තිබෙනවා නම් මවට හෝ පියාට එම අඩුපාඩුව සම්පූර්ණ කළ හැකිය.

මිතුරු ඇසුර සීමා කිරීම

ඇතැම් මවුපියන් දරුවාට මිතුරන් ඇසුරු කරන්නට ඉඩනොදී ඔවුන් දරුවාගේ ළඟම මිතුරා වීමට උත්සාහ දරනවා. එහෙත් එය දරුවාට කරන හානියක්. දරුවාට සම වයසේ මිතුරන් ඇසුරු කරන්නට නිදහස දිය යුතුය. ඇතැම් මවුපියන් දරුවා යන විනෝද චාරිකා, උත්සව අවස්ථාවන් ආදී සෑම දෙයටම සහභාගි වෙමින් දරුවා අසීමිත ලෙස ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා. නමුත් එය බොහෝ විට දරුවාට කරදරයක් වෙනවා. එමෙන්ම දරුවා මිතුරන් අතරේ කොන් වීමටත් එය හේතුවක් වනවා. ඒ නිසා දරුවාට සුදුසු මිතුරන් ඇසුරු කිරීමට ඉඩ දිය යුතු අතර, ඔවුන්ට නොදැනෙන සේ ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වඩා නුවණැතියි.

ස්වාධීන වීමට ඉඩ නොදීම

දරුවා නිසි වයසට පැමිණි පසු තනිව ඇඳුම් ඇඳීමට, ඒවා සේදීමට, කාමරය පිරිසිදු කර ගැනීමට, තනිව ආහාර ලබා ගැනීමට, තමන්ගේ කෝප්පය සහ පිඟාන සේදීමට ඉඩදිය යුතුය. මව ලෙස ඔබ දරුවාට දක්වන අසීමිත ආදරය නිසා ඒ දේවල් කරදීමට ඉදිරිපත් වුවද ඔබ එසේ ඒ සියලු දේ ඉටුකර දීමෙන් සිදු වන්නේ අයහපතකි. එයින් දරුවා වැඩිවියට පත්වුවද තමාගේ දේවල් තනිව කරගැනීමට පුරුදු නොවන අතර, දිගටම අනුන්ගෙන් යැපෙන්නකු බවට පත්වීමට ඉඩ තිබෙනවා. එය දරුවාගේ ස්වාධීනත්වයට දැඩිව බලපෑ හැකි කාරණයක්.

ස්ව කැමැත්ත

බොහෝ විට මවුපියන්ට අමතක වන කරුණක් වන්නේ දරුවා යනු වෙනම පුද්ගලයෙකු බවයි. දරුවාගේ කැමැත්ත සහ මවුපියන්ගේ කැමැත්ත එකිනෙකට වෙනස් වන අතර, දරුවා කැමති දේවල්, දරුවා කළ යුතු විනෝදාංශ මවුපියන් විසින් තීරණය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. දරුවන් ප්‍රිය කරන දේවල් අපහාසයට ලක් කරමින් තමාගේ කැමැත්ත බලහත්කාරයෙන් දරුවා ලවා ඉටුකර ගැනීම මවුපියන් විසින් නොකළ යුතු දෙයක්. එය දරුවන්ගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතියට කරන බරපතළ හානියක්.

එමෙන්ම දරුවාට ලබාදෙන ත්‍යාග මවුපියන්ගේ කැමැත්තට රැගෙන දෙනවාට වඩා දරුවාගේ කැමැත්තට ගැලපෙන්නට අරගෙන දීම වැදගත් වනවා. ත්‍යාගයක් ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ දරුවා සතුටු කිරීම බැගින් දරුවා අකමැති ත්‍යාගයක් රැගෙන දීමේ අර්ථයක් නැහැ. එම නිසා ත්‍යාගයක් දීමේදී දරුවාගේ කැමැත්ත විමසා ඔහු කැමති ත්‍යාගයක් ලබාදීමෙන් දරුවාට මෙන්ම මවුපියන්ටද එය සතුටක් විය හැකිය.

මාතෘකා