2019 සාර්ථක කරගන්නා හැටි

 ඡායාරූපය:

2019 සාර්ථක කරගන්නා හැටි

උදාවූ 2019 නව වසර පෙර වසරවලට වඩා සෞභාග්‍යවන්ත කර ගැනීම සෑම දෙනෙකුගේම සිත්වල තිබෙන බලාපොරොත්තුවකි. ගෙවී ගිය වසරවලදී ලැබූ ජයග්‍රහණ සහ පරාජයන් පිළිබඳව අවබෝධයෙන් සිතා බලා ජීවිතය සාමයෙන් සතුටින් පිරුණු එකක් කරගැනීමට නම් ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත්ය. සතුටක් දැනුණු විට සීමාවක් නොදැන සතුටු නොවීමත්, දුකේදී අසීමිත ලෙස දුක් නොවී සිටීමත්, දුකේදීත් සතුටේදීත් මධ්‍යස්ථව කටයුතු කිරීමෙනුත් පුද්ගල ජීවිතය සොඳුරු කරගැනීමට පුළුවන. 2019 වර්ෂයේදී ධනාත්මක ලෙස ජීවිතය වෙනස් කර ගැනීමට බලපාන සාධක පිළිබඳව බටහිර මනෝ විද්‍යාඥයන් සඳහන් කර තිබෙන කරුණු කිහිපයක් මෙසේය.

ඒකායන අරමුණකින් කටයුතු කිරීම

2019 වසරේදී තමන්ට ඉෂ්ට කර ගැනීමට තිබෙන අරමුණු මොනවාද යන්න තීරණය කර එම අරමුණු සාක්ෂාත් කරගැනීමට ක්‍රියා කළ යුතු අන්දම පිළිබඳව සිතා බැලිය යුතුය. දැනුම යනු පුද්ගලයකුගේ ශක්තියයි. තමා පෙර සිටි ආකාරය සහ තමා අද ජීවත්වන ආකාරය පිළිබඳව වඩාත් සාධනීයව සිතා බලා එම කාල පරාසය තුළදී තමාගෙන් සිදුවූ අඩුපාඩුකම් විසඳා ගැනීමටත්, ඒ ආකාරයට ක්‍රියා කරමින් සමාජයට වැඩදායී පුද්ගලයකු ලෙස ජීවත් වීමට උත්සාහ දරන්නේ නම් ජීවිතය ජය ගැනීම අසීරු නැත. ඒ සඳහා තමාගේ උනන්දුව අත්‍යවශ්‍යය. උත්සාහය සහ ධෛර්යය මනසේ තැන්පත් කරගනිමින්, අනෙකාගේ අදහස්වලට ගරු කරමින් ජීවත් වනවා නම් , ජීවිතය සාර්ථකව ගත කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේ.

එපමණක් නොව, තමා යනු කවරෙක්ද යන්න පිළිබඳ තමන් තුළ පවතින අවබෝධය මෙහිදී වඩාත් වැදගත්ය. එසේම දිනෙන් දින තමා ලබන අත්දැකීම් තුළින් ජීවිතයට යමක් එක්කර ගැනීමද වඩාත්ම සුදුසුය. උදාවීමට නියමිත නව වසර තුළදී තමා ලෝකය සමඟ වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයකින් සිටීම වඩාත් වැදගත්ය.

තමන්ට විශ්වාසවන්ත වීම

මෙහිදී තමාට කළ හැකි දෑ සහ කළ නොහැකි දෑ මොනවාද යන්න පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම වඩාත් වැදගත්ය. එසේ සිදුකිරීමෙන් පුද්ගලයකුට තමන් පිළිබඳව පවතින විශ්වාසවන්තභාවය වර්ධනය කර ගැනීමට පුළුවන.

මේ සාධකයද තමාගේ මනසෙහි ශක්තිමත්භාවය රඳා පවත්වා ගැනීමටත්, පෞරුෂය වර්ධනය කර ගැනීමට හා ආත්ම ශක්තිය දියුණු කර ගැනීමට උපකාරී වේ. තමන්ට එල්ලවන අභියෝගවලට සාර්ථකව මුහුණදීම, තමන්ගේ අරමුණු සහ ඉලක්ක කරා පහසුවෙන් ගමන් කිරීමටද ස්වයං විශ්වාසවන්තභාවය අතිශයින්ම වැදගත් වන අතර එමඟින් තම මිත්‍රයන් ප්‍රමාණය වැඩිකර ගැනීමටද හැකියාව ලැබේ. තමන් තමන්ට විශ්වාසවන්ත වද්දී සමාජයද තමා විශ්වාස කරයි. ඒ හේතුවෙන් තමාට අවංකවම ස්වයං ආඩම්බරයක් උරුම කර ගැනීමට පුළුවන. මෙහිදී වඩාත් වැදගත් වන්නේ තමා කවරෙක්ද යන්න පිළිබද විශ්වාසවන්තභාවය සිත තුළ රඳවා ගැනීමටය. පසුගිය වසරවල සිදුවූ අතපසු වීම් සහ අඩුපාඩුකම් පිළිබඳව පශ්චාත්තාපයට පත් නොවී එළඹෙන වසර සාර්ථක කර ගැනීමට තමන්ගේ උපරිම ආත්ම විශ්වාසය රඳා පවත්වා ගැනීම වඩාත් යහපත් වේ.

ස්වයං අනුවේදනීයත්වය

අනාගතය සාර්ථක කර ගැනීම සඳහා පුද්ගලයකු සතුව ස්වයං අනුවේදනීයත්වය එනම්, ස්වයං ආදරය හා ආරක්ෂාව අනිවාර්යයෙන්ම තිබිය යුතු සාධක වේ. තමා තමාටම ආදරය විය යුතු අතර, තමා පිළිබඳ සංවේදීත්වයක් ඇති කර ගත යුතුය. එසේ නොමැතිකම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. ප්‍රථමයෙන්ම පුද්ගලයෙක් තමාට ආදරය දැක්විය යුතු අතර ,පසුව සමාජයටද ආදරය, රැකවරණය සහ සංවේදීත්වය දැක්විය යුතුය. තමා පිළිබඳ ඇතිකර ගන්නා අවබෝධය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුද්ගලයකු විය යුතුය. තමන්ට පැමිණෙන අභියෝග, ප්‍රශ්න දැඩි ඉවසීමකින් යුක්තව විසඳා ගැනීමට හැකි වන්නේ තම මනස ආදරයෙන් සහ සංවේදීත්වයෙන් පරිපූර්ණ වූ විටදීය. නූතනයේ පවතින ඝාතන, මිනීමැරුම් ආදී අපරාධවලට මිනිසුන් පෙලඹෙන්නේද තම දිවියේ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙනි.

මානසිකව ශක්තිමත් වීම

2019 වර්ෂයේදී සිදුකිරීමට නියමිත කාර්යභාර්යන් සාර්ථක කර ගැනීම සඳහා මානසික ශක්තිය මනා පිටිවහලක් සපයනු ලබයි. අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යෑම සඳහා මනස ශක්තිමත් කර ගැනීම පුද්ගලයකුගේ මුළු ජීවිත කාලය පුරාවටම වැදගත් වේ.

පුද්ගලයකු මනස ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කරනවා නම්, අනිවාර්යයෙන්ම එම පුද්ගලයා මානසික වශයෙන් සුවතාවක් ලබයි. එමඟින් ජීවිතයේ අභියෝග ඉතාමත් සංයමයෙන් යුතුව ජය ගැනීමට පුළුවන. දවසින් දවස අපගේ සිත තුළ ධනාත්මක සිතිවිලි ගන්නේ නම් එබඳු ආකල්ප, අභිප්‍රායන් වර්ධනය කර ගන්නේ නම්, ජීවිතය දිනෙන් දිනම ශක්තිමත් කර ගත හැකිය. පෙර කළ වැරදි අඩුපාඩු, නිවැරදි කර ගනිමින් යළිත් එම වැරැද්ද නොකර සිටීමට මනස ශක්තිමත් කර ගන්නවා නම් , ජීවිතය ජයගත හැකිය. ශත්තිමත් මනසක් ඇති පුද්ගලයා ජීවිතයට පැමිණෙන ප්‍රශ්න මඟහැර දමා නොයයි. මානසික ශක්තිය දිනෙන් දින වැඩි දියුණු කර ගැනීමෙන් වඩාත් සාර්ථක ජීවිතයක් උරුම කරගත හැකිය.

[මදාරා මුදලිගේ]

උපදෙස්- ' life hack' ඇසුරිනි

-------------------------------

ඔහුගේ විලාසිතා ගැන ඔබේ සැලකිල්ල

ජීවන සහකරු යනු ඔබේ ජීවිතයේ සුවිශේෂී පුද්ගලයාය. සැමියා හෝ පෙම්වතා ලෙස ඔබේ ජීවිතයේ සමීපතම පුද්ගලයා වන ඔහු ඔබේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇතිකළ හැකි අයෙකි. එම නිසා ඔහු ගැන ඔබ දක්වන සැලකිල්ල ඉහළ මට්ටමක තිබිය යුතුය. ඔබ දෙදෙනා අතර යහපත් සහ ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට එම සැලකිල්ලද විශේෂයෙන් බලපායි. එම නිසා ඔබ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා වෙනදාට වඩා ඔහු කෙරෙහි අවධානය යොමුකරන්න. මේ ඒ සඳහා වැදගත් වන ඉඟි කිහිපයකි.

ඔහුගේ විලාසිතා

ඔබට අවශ්‍ය ආකාරයට ඔහුව වෙනස් කිරීමට උත්සාහ කිරීමට පෙර ඔහු අඳින පලඳින ආකාරය ගැන අධ්‍යයනය කරන්න. ඔහු යම් විලාසිතාවක් කරනවාද? ඒවා ඔහුගේ සිරුරේ ස්වභාවයට ගැළපෙනවාද? ඔහු අනුගමනය කරන විලාසිතාවන්වලට ඔහු කැමැත්තක් දක්වන්නේ ඇයිද යන්න විමසා බලන්න. ඔහු දැනට කරන විලාසිතාවලට ඔබේ කැමැත්තක් නැති වුවත් එම විලාසිතා ඔහුට ගැළපෙනවා නම් ඔහු වෙනස් කිරීමට උත්සාහ නොකරන්න. විශේෂයෙන් පිරිමින් තමාට යමෙකු යම් දෙයක් කිරීමට හෝ නොකිරීමට බල කරනවාට අකමැති බව අමතක නොකරන්න. එමනිසා එවැනි දේවල් කළ යුත්තේ උපායශීලීව බවද මතක තබාගන්න. ඔහුගේ ශරීර ස්වභාවයට ගැළපෙන විලාසිතාවන් ගැන සොයා බලන්න. තරුණයන් සඳහා වෙන්වූ පුවත්පත්, සඟරා සහ අන්තර්ජාල වෙබ් අඩවිවලින් ඔබේ පෙම්වතාගේ ශරීර ස්වභාවයට ගැලපෙන විලාසිතා සහ ඔබේ පෙම්වතාගේ සමේ වර්ණයට ගැලපෙන වර්ණයන් ගැන අධ්‍යයනය කරන්න. ඒවා ඔහුටත් පෙන්වා ඔහුගේ අදහස්ද විමසමින් විලාසිතා අලුත් කිරීම ගැන ඔහුගේ අදහස්ද ලබාගන්න.

සාප්පු සවාරි

ඔබේ පෙම්වතාගේ හෝ සැමියාගේ විලාසිතා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට උපක්‍රමශීලීව ඔහුට නව විලාසිතා සහිත ඇඳුම් හුරු කරවන්න. අලුත් අවුරුද්ද, ඔහුගේ උපන්දිනය, සංවත්සරයක් වැනි අවස්ථාවක් තෝරාගෙන ඔහු සමඟ සාප්පු සවාරියක යෙදෙන්න. එහිදී ඔබේ අරමුණ ඔහුට ඇඳුම් මිලදී ගැනීම බව කලින් නොපවසන්න. එහිදී ඔහුව පුදුම කරවමින් ඔහු සඳහා ඇඳුම් තෝරන්න. එය ඔබ විසින් ඔහුට ලබා දෙන ත්‍යාගයක් බව පැවසීමෙන් ඔහු සතුටට පත්වනවා මෙන්ම ඔහු වෙනුවෙන් ඔබ කැමති ඇඳුම් මිලදී ගැනීමටත් අවස්ථාව සැලසේවි. ඔහු සාප්පු සවාරි යෑමට අකමැති අයෙක් නම් ඔහු වෙනුවෙන් ඔබම ඇඳුම් මිලදී ගන්න. වෙනත් ත්‍යාග ලබා දෙනවා වෙනුවට ඔහුට හොඳින්ම ගැළපෙන ඇඳුම්, ඔරලෝසු, ටයි පටි සහ සපත්තු ආදිය ඒ සඳහා වඩාත් සුදුසුය.

එමෙන්ම ඔහු ඔබ තිළිණ කළ ඇඳුම් අඳින විට ඔහු අගය කරන්න. එමෙන්ම ඔහු ඔහුට ගැළපෙන යම් විලාසිතාවක් කරන විටත් ඔහු අගය කරන්න. ඔහුගේ කඩවසම් බව අගය කරන්න.

උත්සව අවස්ථා

සමහර පිරිමි කැමති ඉතා සරල විදිහට නිතරම ඩෙනිම් කලිසමකින් ටීෂර්ට් එකකින් සැරසීමටයි. නමුත් උත්සව අවස්ථාවන්වලට සහභාගී වීමේදී එය සුදුසු නැහැ. විලාසිතා කිරීමට ඔහු තුළ ආසාවක් ඇතිකිරීම සඳහා පවුලේ උත්සවවලට, ඔබ දෙදෙනාගේ මිතුරන්ගේ උත්සවවලට සහභාගී වන්නට ඔහුව පොලඹවන්න. එවිට අනිවාර්යයෙන්ම ඔහු විලාසිතා කිරීමට උනන්දු වනවා වගේම හොඳ විලාසිතාවක් තෝරාගැනීමට ඔහුට ඔබේ උපකාරයද අවශ්‍ය වේවි.

අඩුපාඩු

ඔහුට ගැළපෙන ඇඳුම්වල වුවත් බොත්තම් ගැලවී තිබීම වැනි අඩුපාඩු තිබිය හැකියි. ඒවා සකසා ගැනීමට උදවු කරන්න. බොහෝ පිරිමි අය ගැලවුණු බොත්තම් සහිතවම ඇඳුම් අඳින්නේ ඒවා මසා ගැනීමට ඇති කම්මැලිකම නිසායි. ඒ වගේම ඔහුට නොගැළපෙන, යල් පැනගිය විලාසිතාවල ඇඳුම් ඉවත් කිරීමට ඔහුව එකඟ කර ගන්න. ඊට පෙර ඔබ ඔහුට අලුත් ඇඳුම් කිහිපයක්වත් ත්‍යාග කර තිබිය යුතුයි.

ඒ වගේම ඔහු ඒවාට කැමති වී තිබීමත් වැදගත්. එවිට ඔබට පුළුවන් ඔහුට නොගැළ පෙන ඇඳුම් ඉවත් කිරීමට ඔහුට යෝජනා කිරීමට. ඔහු එයට කැමැත්තෙන්ම එකඟ විය හැකියි.

 


මාතෘකා