රස්නෙ නසන අමෘත පානය කොමඩු

 ඡායාරූපය:

රස්නෙ නසන අමෘත පානය කොමඩු

මේ දවස්වල තියෙන අධික හිරු රශ්මිය හැම දෙනාටම වගේ ලොකු ගැටලුවක්. දැඩි උණුසුම නිසා දරාගන්න බැරි දහදිය දැමීමයි පිපාසයයි එක්ක බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. ඒ පීඩාව නැතිකරන හොඳ පලතුරක් විදිහට කොමඩු හඳුන්වන්න පුළුවන්.

ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, සීනි ,යකඩ, පොස්පරස්, කැල්සියම් ආදී පෝෂණ සංඝටකවලින් සමන්විත කොමඩුවල මදයේ දියර ස්වභාවය වැඩි නිසා උෂ්ණත්වය අධික වීම හේතුවෙන් ඇතිවන අපහසුතාවලට විශේෂයෙන් ගුණදායකයි. එම නිසාම කොමඩු කියන්නේ උණුසුම් කාලගුණයකට ඉතාම හිතකර පලතුරක්.

සම වියළීම, කොරළ මතුවීම සහ මලබද්ධය වැනි රෝග ඇතිවීමට මූලිකව බලපාන්නේ ශරීරයේ පවතින ජල සාන්ද්‍රණය අඩුවීමයි. කොමඩු කියන්නේ එවැනි තත්ත්වයන් සමනය කරන කදිම පලතුරක්. ඒ වගේම සිරුර විජලනය වී ඇති අවස්ථාවල කොමඩු ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි.

උදෑසන අවදි වූ පසු සහ දිවා ආහාරයෙන් පසුව කොමඩු යුෂ වීදුරුවක් පානය කිරීමෙන් මලබද්ධය සුවපත් කරගත හැකියි. ඒ වගේම අධික මත්පැන් පානය, දීර්ඝකාලීන ඖෂධ භාවිතය, දීර්ඝ කාලයක් දියවැඩියා රෝගයෙන් පීඩාවට පත්වීම නිසා වකුගඩු ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වූ රෝගීන්ටත් කොමඩු ගුණදායකයි. ඒ සඳහා කොමඩු යුෂ වීදුරුවක් සාදා රැයක් තිබෙන්නට හැර උදෑසන උක් හකුරු කැබැල්ලක් සමග පානය කිරීමෙන් හිතකර ප්‍රතිඵල ලබාගත හැකිය. එයින් සිරුරේ විෂ නැසෙන අතර, මුත්‍රා දැවිල්ල, වේදනාව ආදිය දුරුවන අතර මුත්‍රා පිටකිරීමද කාර්යක්ෂම වනවා.

උදෑසන හිස්බඩ කොමඩු යුෂ වීදුරුවක් පානය කිරීමෙන් කල්ගතවූ හිසරදය සුවකර ගත හැකිය. එමෙන්ම හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවන හිසේ කැක්කුම් සමනය කිරීමටත් කොමඩු යුෂ පානය කදිමයි.

කොමඩු ආහාරයට එක්කර ගැනීමේදීද සැලකිලිමත් විය යුත්තේ වෙළෙඳපොළෙන් මිලදී ගත් කොමඩු ශීතකරණයේ කල් තබා ආහාරයට ගැනීම සුදුසු නැති නිසයි. ඒ වගේම වෙළෙඳපොළෙන් කොමඩු මිලදී ගන්නා විට තද කොළ පැහැ දිදුලන පෙනුමකින් යුතු කොමඩු ගෙඩියක් තෝරාගැනීමෙන් ඔබට රසවත් කොමඩු යුෂ වීදුරුවක් සකසා ගත හැකිය.

 

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා