ගැහැනු හිත් නිවන සුවඳ

 ඡායාරූපය:

ගැහැනු හිත් නිවන සුවඳ

බිරිඳක, ගෘහණියක සහ මවක වශයෙන් කාර්යබහුල ජීවිතයක් ගෙවන කාන්තාව මානසික ආතතියට පත්වීම අරුමයක් නොවේ. අධික කාර්යබහුල බව තුළ නිසි පෝෂණයක් නොලැබීම, ප්‍රමාණවත් නින්දක් නොලැබීම ආදී තත්ත්වයන්ට ලක්වන කාන්තාව මානසික ආතතියෙන් වැළකී සිටීමට විශේෂ උත්සාහයක් දැරිය යුතු වේ.

එම නිසා කොතෙක් කාර්යබහුල වුවද පෝෂණීය ආහාර වේලක් ගැනීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම පුරුද්දක් කරගත යුතුය. ඊට අමතරව මානසික ආතතියෙන් වැළකී සිටීම සඳහා තමා කැමති විනෝදාංශයක නිරත වීමට සහ ශාරීරික සුවතාවල යෙදීමටද දවසේ සුළු වේලාවක් හෝ වෙන්කර ගත යුතුය. මානසික ආතතිය නැති කරන විවිධාකාර ක්‍රම තිබෙන අතර ඒ අතරින් සුවඳ විලවුන්වලට හිමිවන්නේද විශේෂ ස්ථානයකි. විශේෂයෙන් බටහිර රටවල කාන්තාවෝ මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වති. මානසික ආතතිය දුරු කිරීම සඳහාම ආවේණික වූ සුවඳ වර්ග ඔවුන් භාවිත කරන අතර දරු පිළිසිඳ ගැනීමේ හැකියාව හෙවත් සරු බව වැඩිකර ගැනීමටද විශේෂිත සුවඳ වර්ග භාවිත කරයි. ඔසප් දිනවල ඇතිවන මානසික පීඩනයද මෙම සුවඳ භාවිත කිරීමෙන් අඩු කර ගත හැකි බව ඔවුහු විශ්වාස කරති. මෙහි සඳහන් වන්නේ ලාංකේය කාන්තාවන්ට ගැළපෙන එවැනි සුවඳ වර්ග කිහිපයකි. මේවා තෙල් වශයෙන් භාවිත කිරීම වඩා ප්‍රතිඵලදායක බවද පැවසේ.

ඉඟුරු

ඉඟුරු කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියන්ට රුධිර සංසරණය වීම වැඩි කිරීමට උපකාරී වේ. ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වීමටත් පැලෝපීය නාලවල අවහිරතා දුරු කිරීමටත් ඉඟුරුවලට හැකියාව තිබේ. දිනකට දෙවරක් පමණ ඉඟුරු දැමූ තේ කෝප්පයක් පානය කිරීම මෙන්ම නින්දට යෑමට පෙර ඔබේ දෙපා ඉඟුරු තෙල්වලින් සම්බාහනය කිරීම මෙන්ම ඒ සුවඳ ආඝ්‍රණය කිරීමද හිතකරය.

මහදුරු

ඔසප් චක්‍රය පාලනය කිරීමට උපකාරී වන හෝර්මෝනය සමතුලිත කිරීමේ ගුණයක් මහදුරු සතුය. නෑමෙන් පසු මහදුරු තෙල් ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩුවලින් උදරයට යටින් ඇති ස්ථානයේ මෘදුව ආලේප කරන්න.

ජැස්මින්

ඉතා අපූර්වතම සුවඳකින් යුතු ජැස්මින් තරමක් මිල අධික වුවත් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාදෙයි. එමෙන්ම ශෘංගාරාත්මක සිතිවිලි අවදි කරන ජැස්මින් බිංදු කිහිපයක් භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. සිරුරේ වළලුකර, මැණික් කටුව වැනි ස්ථානවල ජැස්මින් තෙල් බිඳු කිහිපයක් තවරන්න.

ලැවෙන්ඩර්

ලැවෙන්ඩර් යනු මනසට සුවදායී බලපෑමක් කළ හැකි සුවඳ වර්ගයකි. ඔබ ස්නානය කරන ජලයට ලැවෙන්ඩර් තෙල් බිඳු කිහිපයක් දමා ස්නානය කළ හැකි නම් එයින් සිරුරට නැවුම් ප්‍රබෝධයක් ලැබෙනු ඇත.

රෝස

කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය වැඩි කිරීම සඳහා රෝස සුවඳ විශේෂයෙන් ඉවහල් වේ. එමෙන්ම රෝස සුවඳ මානසික ආතතියද අඩු කරයි. රෝස තෙල් බිඳු 10-15ක් මඳ උණුසුම් ජලයට එක්කර නෑමෙන් ගතේ මෙන්ම සිතේ විඩාවද දුරුකර ගත හැකිය. එය මානසික සතුට සහ සැහැල්ලුව ඇතිකරන අතර ලිංගික ආසාවද උත්තේජනය කරයි.

මෙම සුවඳ වර්ග මානසික ආතතිය දුරු කරන අතර ඊට අමතරව වෙනත් ඔබ සිත්ගත් සුවඳ වර්ගද මේ ආකාරයෙන් මානසික ආතතිය ඇති අවස්ථාවල භාවිත කළ හැකිය. නමුත් ඇතැම් සුවඳ වර්ග වැඩිපුර භාවිත කිරීමෙන් අතුරු ඵල ඇතිවිය හැකිය. විශේෂයෙන් දියවැඩියාවෙන් හෝ අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා නම් මෙම සුවඳ තෙල් භාවිත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳ විමසා නිසි තොරතුරු දැනගන්න.

[තුෂාරා සන්දනායක]

මාතෘකා