ලස්සන වෙන්න පහසු ක්‍රම

 ඡායාරූපය:

ලස්සන වෙන්න පහසු ක්‍රම

ලස්සන වෙන්න කවුරුත් කැමතියි. වර්තමානයේ කාර්යබහුල ජීවිත ගතකරන බොහෝ යුවතියන්ට, කාන්තාවන්ට තමන්ගේ රූ සපුව වෙනුවෙන් වැය කරන්න විශාල කාලයක් ඉතිරි වන්නේ නැහැ. නමුත් නිවසේ ගතකරන කාලයේදී වැඩි මුදලක් වැය නොකර ඉතා පහසුවෙන් කරගත හැකි සරල රූපලාවන්‍ය සත්කාර රාශියක් තිබෙනවා. මේ, එවැනි සත්කාර කිහිපයක්.

කළු ලප ඉවත් කිරීමට

බොහෝ විට නාසය මත කළු ලප නැතිනම් 'බ්ලැක් හෙඩ්ස්' කියන්නේ බොහෝ යුවතියන්ට කරදරකාරී රූපලාවණ්‍ය ප්‍රශ්නයක්. ඒ සඳහා විකල්පයක් ලෙස දත්තාලේප භාවිත කළ හැකිය. ඒ සඳහා ටූත් බ්‍රෂ් එකකට ටූත් පේස්ට් ස්වල්පයක් ගෙන එයින් සියුම් ලෙස නාසය මැදීමෙන් ඒ මත ඇති බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගත හැකිය. නාසයේ සමට හානි නොවන ලෙස සියුම්ව මැදීමට ප්‍රවේශම් වන්න.

වියළි දෙතොලට සත්කාරයක්

වියළි කාලගුණයක් තිබෙන විට දෙතොල් වියැළීම නිතැතින්ම සිදුවනවා. වියළි දෙතොල් මුහුණට අවලස්සනක් ගෙන දෙන්නක්. එවැනි වියළි දෙතොල් සුන්දර කර ගැනීම සඳහා සිහින් කෙඳි සහිත කුඩා බුරුසුවක් ගෙන එහි ලිප් බාම් ස්වල්පයක් තවරාගෙන දෙතොල සෙමින් අතුල්ලමින් සම්බාහනය කරන්න. ඉන්පසු දෙතොල පිරිසුදු වතුරින් සෝදාගන්න. දෙතොලට නැවුම් පෙනුමක් සහ මෘදු බවක් ලබාගැනීමට මෙම සත්කාරය සතියකට වරක් පමණ සිදු කරන්න. ඒ වගේම ඇතැම් තොල් ආලේපන නිසාද දෙතොල් වියළීම සිදුවනවා. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තොල් ආලේපන භාවිත කරන සෑම විටකට ඊට පෙර ලිප් බාම් ස්වල්පයක් දෙතොල් මත තවරන්න.

සුන්දර ඇහිබැමකට

ඇහිබැම ක්‍රමානුකූලව සකස් කිරීමෙන් මුහුණේ සුන්දරත්වය වැඩි වනවා. නමුත් ඇහිබැම ගලවා ගත යුත්තේ ඉතා ප්‍රවේශමෙන්. පමණට වඩා වැඩිපුර රෝම ගැලවුණොත් එයින් ඇහිබැමේ හැඩය වෙනස් වනවා. එම නිසා ඇහි බැම ගලවා ගැනීමට පෙර සුදු පැහැති පැන්සලකින් ඇහි බැමේ හැඩය ඇඳ ගන්න. එම රේඛාවට පිටින් තිබෙන රෝම පමණක් එවිට පහසුවෙන් ගලවා ගත හැකිය. එයින් ඇහිබැම නිසි හැඩයට සුන්දරව සකසා ගත හැකිය.

අයි ෂැඩෝ

මේකප් ගල්වන විට අයි ෂැඩෝ එකකින් ලැබෙන්නේ වෙනස් පෙනුමක්. නමුත් එය පිළිවෙළට ගැල්විය යුතුයි. අයි ෂැඩෝ මුහුණේ සම මත තැවරුණොත් එයින් පෙනුම අසුන්දර වෙනවා. එය වළක්වා ගැනීමට අයි ෂැඩෝ ගැල්වීමට පෙර කුඩා ටේප් කැබැල්ලක් රැගෙන ඇහැ යටින් අලවා ගන්න. අයි ෂැඩෝ ගැල්වීමෙන් පසු එම ටේප් පටිය ගලවා දමන්න.

අඳුරු පැහැය දුරලන්න

සමහර අයගේ වැලමිට ඉතා අඳුරු පැහැයකින් යුතු අතර වැලමිට සාමන්‍ය සමට වඩා රළු ස්වභාවයක් ගන්නවා. එම තත්ත්වය දුරුකර ගැනීමට හාල් පිටි ස්වල්පයක්, යෝගට් ස්වල්පයක් සහ කහ කූඩු ස්වල්පයක් ගෙන එකට මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණය වැලමිටේ ගල්වා මෘදුව සම්බාහනය කරන්න.

අනවශ්‍ය රෝම කරදරෙන් මිදෙන්න

අනවශ්‍ය රෝම කියන්නේ කාන්තාවන්ට කරදරකාරී ප්‍රශ්නයක්. අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා තිබෙන ක්‍රමවලට ඇතැම් කාන්තාවන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එවැනි අයට මෙම සත්කාරය සුදුසුයි. දන්තාලේප ස්වල්පයකට තක්කාලි යුෂ ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය රෝම සහිත සමේ ආලේප කර විනාඩි 3- 4 අතර කාලයක් තිබෙන්නට හරින්න. ඉන් අනතුරුව ටිෂූ කැබැල්ලක් ගෙන එම මිශ්‍රණය අතුල්ලමින් ඉවත් කර ගන්න. ඒ සමඟම අනවශ්‍ය රෝමද ඉවත් වී යයි.

[ශ්‍යාමලි නිශාන්ති]

-----------------------

2018දී සමුගත් විලාසිතා

විලාසිතා කියන්නේ කාලයෙන් කාලයට වෙනස් වන කලාවක්. වසරින් වසර විලාසිතා අලුත්වනවා. 2018දී ඒ විදිහට සමුගත් විලාසිතා ගැනයි මේ සටහන. ඔබ කාලයේ තාලයට විලාසිතා කරන්න කැමති කෙනෙක් නම් මේ තොරතුරු වැදගත් වේවි.

එකවර මුදු රැසක් පැලඳීම

මුදු රැසක් පැලඳීම එක්තරා කාලයකදී ජනප්‍රිය විලාසිතාවක් වුවත් වර්තමානයේදී එක් අතක මුදු 3කට වඩා පැලඳීම සුදුසු නැහැ. ඔබ මුදු රැසක් පැලඳීමට කැමති අයකු නම්, මංගල මුදුවට අමතරව මුදු 2ක් පමණක් පළඳින්න. 2019 දී ජනප්‍රිය විලාසිතාව වන්නේ කරාබුවේ වර්ණයට ගැළපෙන කුඩා මුදුවක් පමණක් පැලඳීමයි.

පිටට පේන යට ඇඳුම්

කාලයක් වනතුරුම යට ඇඳුම් උඩට පේන ලෙස ඇඳීම විලාසිතාවක් ලෙස පැවතියත් දැන් එය වෙනස් වී තිබෙනවා. යට ඇඳුම් පිටතට නොපෙනෙන සේ ඇඳීම අලුත් ප්‍රවණතාව වී තිබෙනවා. එම නිසා සමේ පාටින්ම නැතහොත් ඇඳුමේ පාටින්ම යට ඇඳුම් තෝරා ගැනීමට උනන්දු වන්න.

ආභරණ ගොඩක්

ඇතැම් යුවතියන්, කාන්තාවන් ආභරණ ගොඩක් පැලඳීමට කැමැත්තක් දක්වනවා. නමුත් 2019 නව ප්‍රවණතාව වන්නේ ඇඳුමේ වර්ණයෙන් හෝ වෙනත් වර්ණයකින් බාහිර උපාංග තෝරා ගැනීමයි. ඔබේ සිරුරේ හැඩයට ගැළපෙන ලෙස සරල මෝස්තරවලින් ආභරණ තෝරාගැනීම වඩා සුදුසුයි.

දිගු නියපොතු

දිගු සහ උල් නියපොතු විලාසිතාව පසුගිය කාලයේ යුවතියන් අතර ජනප්‍රිය වුවත් වර්තමානයේදී එය වෙනස් වී තිබෙනවා. මේ දිනවල වැඩිපුර ජනප්‍රිය නියපොතු විලාසිතාව වන්නේ “ඕවලාකාර හැඩය” සහිත නියපොතු විලාසිතාවන්ය.-

--------------------------------

හිත හදන කෑම බීම

 

[තුෂාර සන්දනායක]

ජීවිතයට කරදර එන්නේ නොසිතූ නොපැතූ අවස්ථාවලදීයි. එහෙත් එසේ වූ පමණින් ජීවිතය හැරදා යා නොහැකිය. අභියෝග, ප්‍රශ්න, කරදර අතරින් ජීවිතය ජීවත් කරවීමට සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී මානසික ආතතියට ලක්වීම නිතැතින්ම සිදුවන්නක්. නමුත් එම ආතති තත්ත්වය හැකි ඉක්මනින් සමනය කරගැනීම කළ යුත්තේ එම තත්ත්වය දුරදිග යෑමෙන් ඇතැම් විට සියදිවි හානිකර ගැනීම දක්වා බරපතළ තත්ත්වයක් නිර්මාණය විය හැකි නිසයි. එම නිසා මානසික ආතතියට පත්වූ අවස්ථාවක සිතන පතන ආකාරය, හැසිරෙන ආකාරය පමණක් නොව ගනු ලබන ආහාරපාන පිළිබඳ පවා සැලකිලිමත් විය යුතු බව ඇසුවහොත් ඇතැම් විට ඔබ මවිතයට පත්වේවි. නමුත් ආහාරපානවලින් මානසික සුවතාවයේ හිතකර සහ අහිතකර බව තීරණය කරනු ලබන බව පර්යේෂකයන්ගේ අදහසයි.

ඇතැම් ආහාරපාන මානසික ආතතිය වැඩි කරන අතර ඇතැම් ආහාර මානසික ආතතිය අඩු කරනු ලබනවා. එම නිසා මානසික ආතතියෙන් පෙළෙන අවස්ථාවකදී ගත යුතු සහ නොගත යුතු ආහාරපාන පිළිබඳ දැනුවත් වී සිටීම ඕනෑම අයකුට වැදගත් විය හැකිය.

ධාන්‍ය වර්ග - ධාන්‍ය වර්ගවලට මානසික ආතතිය දුරු කිරීමේ හැකියාවක් පවතින අතර විශේෂයෙන්ම ඒ සඳහා උචිත වන්නේ විටමින් B අඩංගු ධාන්‍ය වර්ගයි. සැමන්- සැමන්වල අඩංගු ඔමේගා 3 මේද අම්ල ආතතිය දුරු කරවන කදිම ආහාරයක්. සතියට දෙවරක් පමණ සැමන් ආහාරයට ගත හැකි නම් එයින් ඉතා පහසුවෙන් මානසික ආතතිය දුරුකර ගත හැකිය.

නිවිති – නිවිතිවල මැග්නීසියම් බහුලව අඩංගු වන නිසා එයින් මානසික ආතතිය වැඩි කරවන කොටිසෝල් හෝර්මෝනය නිපද වීම අඩු කරන අතර, රුධිර පීඩනය පාලනය කරනවා. එම නිසා නිවිති කියන්නේ ආතතියෙන් පෙළෙන විට ආහාරයට ගත හැකි හොඳ ආහාරයක්.

ඕට්ස් –මානසික පීඩනය අඩු කිරීම සඳහා උපකාරී වන හෝර්මෝනයන් නිපදවීම සඳහා ඕට්ස් උපකාරී වෙනවා. එමෙන්ම රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීමටද ඕට්ස්වලට හැකියාව තිබෙනවා. එම නිසා ආතතියෙන් පෙළෙන අවස්ථාවලදී ඕට්ස් ආහාරයට ගැනීම සුදුසුයි.

ඩාර්ක් චොකලට් – මානසික පීඩනය ඇතිවීමට ඉවහල් වන්නේ කොටිසෝල් නමැති හෝර්මෝනයයි. දිනකට ඩාර්ක් චොකලට් අවුන්සය බැගින් සති දෙකක් පමණ ආහාරයට ගැනීමෙන් එම හෝර්මෝනය නිපදවීම පාලනය වන බව ආහාර විශේෂඥයන්ගේ අදහසයි. නමුත් මෙය වඩාත් ඵලදායී වන්නේ සීනි රහිත සහ සියයට 70කට වඩා කොකෝවා අඩංගු ඩාර්ක් චොක්ලට් වර්ගයක් වුවහොත් පමණයි.

බිත්තර – බිත්තරවල විටමින් D, ප්‍රෝටීන් සහ සිරුරට අවශ්‍ය අම්ල වර්ග කිහිපයක්ද අඩංගු වෙනවා. බිත්තරවල ඇති Tryptophan නමැති අම්ලය මානසික පීඩාවන් දුරු කිරීමට උපකාරී වන නිසා මානසික ආතතිය දුරුවනවා.

කහ – කහ කියන්නේ කුළු බඩු විශේෂයක් වුවත් කහ කිරි සමඟ මිශ්‍රකර පානය කිරීමෙන් මානසික ආතතිය දුරුවීම පහසුවෙන් සිදුවනවා.

යෝගට් – යෝගට්වල සිරුරට හිතකර Lactobacillus සහ Bifidobacteria යන බැක්ටීරියා වර්ග අඩංගු වෙනවා. මේවා මනසේ ආතතිය සහ විඩාව දුරු කර ගැනීමට උපකාර කරනවා.

මානසික ආතතිය ඇති විට නොගත යුතු ආහාර

සකස් කරන ලද ආහාර –මානසික ආතතියකින් පෙළෙන විට ස්වභාවික නොවන, කෘත්‍රිමව සැකසූ ආහාර ගැනීම සුදුසු නැහැ. ඊට හේතුව එම ආහාර සැකසීමේදී යොදන අමුද්‍රව්‍ය කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක වැඩි වශයෙන් යොදාගැනීමයි. එවැනි ආහාර ගැනීමෙන් මානසික ආතතිය වැඩි විය හැකිය. පාන් පිටිවලින් සැකසූ ආහාර - ඔබ මානසික ආතතියෙන් පෙළෙන විට පාන් පිටිවලින් සකසන ලද ආහාර වැඩිපුර ගැනීම සුදුසු වන්නේ නැහැ. ඊට හේතුව පාන් පිටි ආහාර ජීර්ණ ක්‍රියාවලිය අපහසු කිරීමට බලපෑම් කරන නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය වැඩි විය හැකිය.

මත්පැන් – මත්පැන් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහ නින්දට හානි කරන අතර සිරුරේ හෝර්මෝන නිපදවීමේ ක්‍රියාවලියද අඩපණ කර දමයි. එමෙන්ම මත්පැන් ආතතිය ඇති කරවන හෝර්මෝනයක් වන කෝටිසෝල් හෝර්මෝනය නිපදවන ප්‍රමාණයද වැඩි කරනවා. ඇතැම් අයකුට මත්පැන් පානය කිරීමෙන් පසු නින්ද නොයෑමේ තත්ත්වයක් ඇතිවන අතර එයින් මානසික ආතතිය තවත් ඉහළ යා හැකිය.

කැෆේන් – කැෆේන් පමණට වඩා භාවිතයට ගැනීමෙන් මානසික පීඩන තත්ත්වය ඉහළ යන අතර කැෆේන් අඩංගු පාන වර්ග අතර කෝපි මූලික වනවා.

සීනි – බොහෝ දෙනෙක් මානසික ආතතිය වැඩි වූ විට සීනි සහිත ආහාර ගැනීමට කැමැත්තක් දැක්වුවත් එයින් සිදු වන්නේ මානසික ආතතිය තවත් වැඩි වීමයි. මේ නිසා එවැනි අවස්ථාවලදී පලතුරු, ඩාර්ක් චොකලට් වැනි යමක් ආහාරයට ගැනීමට වඩාත් සුදුසුය.

අන්තර්ජාලය ඇසුරිනි

 

----------------------

හැම දවසක්ම ආදරේ දවසක්

ප්‍රවීණ වෘත්තිය පුහුණු උපදේශිකා

[ගංගා නානායක්කාර]

පෙබරවාරි මාසය කිව්ව ගමන් හුඟ දෙනකුට මතක් වෙන්නේ ආදරවන්තයන්ගේ දිනය හෙවත් 'වැලන්ටයින් ඩේ'. ආදරේ කියන්නේ වැලන්ටයින් දවසට විතරක් සීමාවුණු, එදාට විතරක් ඇවිත් ආපහු යන සරල හැඟීමක් විතරක්ම නම් ඒ ආදරේ කිසිම තේරුමක් නැහැ. ඔබ යුවතියක් වුණත් බිරිඳක්, මවක් වුණත් ආදරේ කියන්නේ ඔබෙ හිතට කොයිතරම් විශේෂිත හැඟීමක්ද කියලා අපි දන්නවා. ඒ නිසා ඔබට හිමි වී තිබෙන, හිමිකර ගන්නට පෙරුම් පුරන ආදරය හැමදාම ඔබේ හිත ළඟ තියාගන්න උදවු වෙන ආදරණීය කාරණා කිහිපයක් ගැනයි මෙවර අපි කතාබහ කරන්නේ.

ආදරයේ වටිනාකම හඳුනා ගන්න

ආදරය කියන්නේ හදවත්වල බැඳීමක් විතරක්ම නෙවෙයි. සමාජයීය සබඳතා මනාව පවත්වාගෙන යාමටත් උදවු වන සංවේදී හැඟීමක්. ඒ නිසා ආදරය සුළුකොට තකන්න එපා. හැම සබඳතාවකම ශක්තිමත් බව සහ ස්ථාවරත්වය සඳහා ආදරය අත්‍යවශ්‍ය බව අමතක නොකරන්න.

ආදරය පරණ කරන්න එපා

ගොඩක් අය ආදරය ලබන්න කැමතියි. ඒත් දෙන්න මසුරුයි. ඇතැම් අය විවාහයෙන් පස්සේ ආදරේ අඩු වුණා හෝ නැති වුණා කියලා මැසිවිලි කියන්නේ විවාහය හෝ පෙම් සබඳතාව පරණ වෙද්දි එකිනෙකාගේ වටිනාකම අගය කිරීමට අතපසු කරන නිසා හෝ අඩුවීම නිසයි. ඒ නිසා සබඳතාව හෝ විවාහය පරණ වුණත් ආදරයට නම් පරණ වෙන්න දෙන්න එපා.

ආදරෙයි කියන්න මැළි වෙන්න එපා

මතකද ඔබට පෙම්වතාට, සැමියාට අන්තිම වතාවට ඔබ ආදරෙයි කියලා කියපු දවස. මෙයත් ආදරේ පරණ වෙද්දි හුඟක් දෙනෙක් අතින් වෙන වැරැද්දක්. ආදරේ ප්‍රකාශ කරන එක මදිකමක් කියලා හිතන කෙනෙක්ට එයාගේ ආදරේ රැකගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා ආදරේ හිතේ හංඟගෙන ඉන්නෙ නැතුව ඔබේ ආදරණීයයාට ඔබේ ආදරේ කියන්න පසුබට වෙන්න එපා. රාත්‍රියට නිදන්නට පෙර, ආහාර ගැනීමට පෙර, උදේ ගෙදරින් යද්දී හෝ දුරකථන ඇමතුම තියද්දී හැකි හැම විටම ඔහුට ඇයට ආදරේ බව පවසන්න. ඒ වගේම දවසේ වැඩ අතරේ ඔහු ඇය සමග මානසික සම්බන්ධය තියා ගන්න තිබෙන හොඳම විදිහ තමයි ආදරණීය SMS එකක් කියන්නේ. දවසට ආදරණීය කෙටි පණිවුඩ කිහිපයක් යවා ඔහු, ඇය ගැන විමසා බලන්න අමතක කරන්න එපා.

 

අගය කිරීමත් ආදරේ කොටසක්

ආදරේ කරන කාලේ එයා තරම් අගේ ඇති කෙනෙක් ඔබට හිටියේ නැහැ නේද? ඒත් අද බිරිඳ, සැමියා ගැන අගය කිරීමක් කරන්න ඔබට මතක් වෙන්නෙම නැති තරම් නේද? එහෙනම් ඉතින් ඔහු, ඇය අගය කරන වෙනත් හිතක් ළඟ ඒ හිත නතර නොවෙයි කියලත් සහතික කරන්න අමාරුයි. ඒ හින්දා ඔහු, ඇය අගය කරන්න, දිරිමත් කරන්න අදම පටන් ගන්න. ඒ අගය කිරීම ඔබේ ආදරය අලුත් කරාවි.

ආදරේ අලුත් කරන තෑගිබෝග

ආදරේ ලබන්න අල්ලස් දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒත් ඉඳහිට හෝ ආදරණීය බිරිඳ, සැමියා වෙනුවෙන් ඔහු, ඇය කැමති පුංචි තෑග්ගක් හෝ පිරිනමන්න. තෑග්ගක වටිනාකම තියෙන්නේ මිල මත නම් නෙවෙයි. තෑග්ගක් කියන්නෙ එය ලබන පුද්ගලයා ගැන අනිත් කෙනාගේ හිතේ තියෙන මතකය ගැන නිහඬ සාක්ෂියක්.

එකිනෙකාට ඇහුම්කන් දෙන්න

ඇහුම්කන් දීම කියන්නේ ආදරණීයයන් අතර තිබිය යුතුම දෙයක්. දෙදෙනකුගේ සම්බන්ධතාවක් වැඩි දියුණු වීමට ඇහුම්කන් දීම හොඳම හේතුවක්. දරුවන් නිසා අඹුසැමි යුවළගේ සබඳතාව ගිලිහී යාමට ඉඩ දීම නොකළ යුත්තක්. දරුවන් නින්දට ගිය පසුව ජංගම දුරකථන හෝ රූපවාහිනිය නරඹමින් කාලය ගත නොකර දෙදෙනා සමඟ කතාබහ කිරීමට පැය භාගයක් හෝ වෙන්කර ගන්න. එක් අයකු පමණක් කතාකරනවා වෙනුවට දෙදෙනාම දෙදෙනාගේ දවසේ තොරතුරු බෙදාගන්න. දෙදෙනාම එකිනෙකාට සවන් දෙන්න.

ජීවිතේට වෙනස්කම් එකතු කරන්න

හැමදාම එකම විදිහට ගෙවන විඩාබර ජීවිතේට හොඳම ඔසුව ආදරේ මිසක් වෙන කිසිවක් නොවෙයි. ඔබේ ආදරණීයයා සමග මාස හයකට සැරයක් හෝ විනෝද ගමනක් යන්න. මාසයකට දවසක් පවුල එක්කම ගිහින් රාත්‍රී අවන්හලකින් කෑම ටිකක් කන්න. මුහුදු වෙරළට ගිහින් විනෝද වෙන්න. පන්සලට, පල්ලියට ගිහින් සැනසීමක් ලබන්න. එවැනි පුංචි දේවල් ඔබේ ආදරයට, බැඳීම්වලට නොහිතන තරම් අපූර්වත්වයක් එක්කරාවි.

ආදරය ඊළඟ පරපුරටත් තෑගි කරන්න

විවාහක යුවළක් අතර තිබෙන ආදරය, බැඳීම තරම් නිර්මල වටිනා දෙයක් තවත් නැහැ. ඔබ ඔබේ දරුවන්ට දෙන හොඳම තෑග්ග තමයි ඔබේ ආදරයේ ආදර්ශය. එවැනි ආදරණීය පවුලක් තුළ ඇතිදැඩි වන දරුවන් අනාගතයේදී නිරායාසයෙන්ම හොඳ පෞරුෂත්වයකින් යුතු මානව හිතවාදීන් බවට පත්වනවා. මාපියන් ලෙස ඔබ ලබන විසල්ම සතුට, සැනසීම එය නම් ඒ සැනසීම හිමිකර ගන්නට හැමදාමත් ආදරෙන් ඉන්න.

 

මාතෘකා