සම නිරෝගී කරන රසවත් පානය පැෂන්ෆෘට්

 ඡායාරූපය:

සම නිරෝගී කරන රසවත් පානය පැෂන්ෆෘට්

අධික උණුසුමක් පවතින මේ කාලයේ පෝෂ්‍යදායී ස්වාභාවික පානවලට වැඩි දෙනෙක් නැඹුරු වී සිටිති. ඒ අතර රසින් මෙන් ගුණයෙන්ද වැඩි පලතුරක් ලෙස පැෂන්පෘට් හැඳින්විය හැකිය. පැෂන්පෘට් සම සහ හිසකෙස්වල නිරෝගී බවට උපකාරී වන පෝෂ්‍ය සංඝටක රැසකින් යුතු පලතුරකි. ඒ අතර විටමින් ඒ, විටමින් සී, තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, රයිබොෆ්ලැවින්, කැරොටිනෝයිඩ්, ෆ්ලේවනෝයිඩ් වේ. පැෂන්පෘට්වල අඩංගු බීජවල මෙම පෝෂණ සංඝටක අඩංගු වන අතර ඉන් සැලසෙන ප්‍රයෝජන රැසකි.

 

හදවත් සෞඛ්‍යයට හිතකරයි

පැෂන්පෘට් බීජවල රුධිර වාහිනී බිත්තිවල පේශි ලිහිල් කිරීමේ හැකියාව ඇති පොලිෆෙනෝල් අඩංගු වේ. ඒ තුළින් රුධිර සංසරණය විධිමත් කරයි. එය රුධිර පීඩනය හොඳ මට්ටමක පවත්වාගෙන යෑමට සහ ආඝාත හා හෘදයාබාධවලට ලක්වීමේ අවදානම අඩුකිරීමට උපකාරී වේ.

 

අස්ථි ශක්තිමත් කරයි

පැෂන් බීජවල අඩංගු මැග්නීසියම් අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරයි. මැග්නීසියම් අස්ථි ශක්තිමත් කරන අතර ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට උපකාරී වේ. දුර්වල හා බිඳුණු අස්ථි සුවකිරීමටද උදවු වේ.

 

බඩවැල් සුව කරයි

පැෂන්පෘට් බීජ ආන්ත්‍රික සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ. එම බීජවල අඩංගු කෙඳිවලට බඩවැල්වල ඇති බැක්ටීරියා සමතුලනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම බඩවැල්වල පිළිකා ඇතිවීම වැළැක්වීම සඳහාද ප්‍රයෝජනවත් වේ. සෞඛ්‍ය සම්පන්න ජීර්ණ පද්ධතියක් සඳහා බඩවැල්වල නිරෝගී බව අවශ්‍ය නිසා පැෂන්පෘට් වැඩිපුර ආහාරයට ගැනීම හිතකරය.

 

නිදන්ගත රෝගවලින් ආරක්ෂා කරයි

පැෂන්පෘට්වල අඩංගු පෝෂණ සංඝටක නිදන්ගත රෝග වැලඳීම වැළැක්වීම සඳහා උපකාරී වේ. එනම් හෘද රෝග, අධි රුධිර පීඩනය හා දියවැඩියාවෙන් ශරීරය ආරක්ෂා කිරීමට උපකාරී වන තන්තු පැෂන්පෘට්වල අඩංගු වේ. ඊට අමතරව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම, මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීම, සිරුරට අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම සහ ඇදුම රෝගය වළක්වා ගැනීමට උපකාරී වේ.

 

දිලීර ආසාදන වළක්වයි

දිලීර ආසාදනවලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව තිබෙන බැවින් සිරුරේ ඇතිවන බාහිර තුවාල ඉක්මනින් සුව කිරීමට උපකාරී වේ.

 

සම සුරකියි

පැෂන්පෘට්වල අඩංගු පෝෂ්‍ය සංඝටක සම මත කළු ලප, කුරුලෑ ඇතිවීම පාලනය කරයි. පැෂන්පෘට් බීජවල ඇති හිතකර තෙල් සමට සෞඛ්‍යය සම්පන්න තෙතමනයක් ලබාදීම ඊට හේතුවයි. එමෙන්ම එම බීජවල අඩංගු විටමින් ඒ විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමේ කුරුලෑ අඩු කිරීමට සහ කැලැල් සහ කළු ලප ඇතිවීම වැළැක්වීමට උපකාරී වේ. එමෙන්ම සම වියපත් වීමද පාලනය කරයි.

 

හිසකෙස් නිරෝගී කරයි

පැෂන්පෘට්වල අඩංගු විටමින් සී සහ කොලජන් හිසකෙස්වල තත්ත්වය සහ සෞඛ්‍යය වැඩි දියුණු කරයි. පැෂන්පෘට් බීජ වලින් ලබාගත් තෙල් ඔබගේ හිසකෙස්වල ස්වාභාවික සුන්දරත්වය ඇතිකර ගැනීමට හා හිසකෙස්වලට සිදුවන හානි වළක්වා ගැනීමට උපකාර කරයි.

අන්තර්ජාලය ඇසුරිනි

 

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා