කප් කේක්වලින් ලෝකය ජයගත් ගිගී බට්ලර්

 ඡායාරූපය:

කප් කේක්වලින් ලෝකය ජයගත් ගිගී බට්ලර්

සංස්කරණය [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

අතීතයේ විඳි දුක් පසුකාලයේදී සතුටක් බවට පත් කර ගත හැකි ය. ඒ සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ උත්සාහය සහ කැපවීම ය. තවද අසාර්ථකත්වය තුළින් ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය පන්නරය ලෙහෙසියෙන්ම ලබාගත හැකිය. එලෙස ලබා ගන්නා පන්නරය මුළු ජීවිතයටම ආලෝකයකි. “මට ආයෝජකයින් හිටියේ නෑ. මට ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් තිබුණෙත් නැහැ. ඒ හින්දා මම බලාපොරොත්තු වුණේ නැහැ මම සාර්ථක වෙයි කියලා." වරක් එලෙස ප්‍රකාශ කළ ගිගී බට්ලර් දුප්පත්කමට වෛර නොකර වර්තමානයේ දී තමන්ට උරුම වු දෙයින් උපරිම ප්‍රයෝජනය ගෙන මුළු ලෝකයේ ම අවධානය දිනා ගෙන තිබෙන කේක් නිෂ්පාදන ව්‍යාපාරයක හිමිකාරිණියක වී ඇත.

ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ගොවිපළක උපත ලද ඇයට ළමා කාලයේ දී සැපවත් ජීවිතයක් උරුම නොවිණි. ඒ ඇයගේ පවුල සතුව තිබු ආර්ථික අපහසුතාවයන් හේතුවෙනි. තමන්ගේ මව සහ මවගේ මෑණියන් සූප ශ්‍රාස්ත්‍ර කලාවට පෑ ඇලුම්කමට ඇයගේ අවධානය යොමු වුයේ ළමා කාලයේ සිටමය. එහෙත් ඇය වඩාත් කැමැත්තක් දැක්වුයේ සංගීතය කෙරෙහිය. කවදා හෝ දිනක තමන් රටේ ජනප්‍රිය ගායිකාවක් බවට පත් වීම ඇගේ අනාගත ලබාපොරොත්තුව විය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ආර්ථික අපහසුතාව හේතුවෙන් ඇයට සංගීත කලාවට නැඹුරු වීමට නොහැකි වූයේ තම පවුලේ අඟහිඟතාවන් දැඩි ලෙස දැනෙන්නට පටන් ගත් නිසාවෙනි. අවුරුදු හතේ දී ගායිකාවක් බවට පත් වීමට තිබු සිහිනය වියපත් වී ගිය ද ඇය කිසි විටකවත් අධෛර්යවන්ත නොවුවා ය.තමන්ගේ අනාගත බලාපොරොත්තුව සඵල කිරීම අමතක කළ ගිගී අවුරුදු පහළව වන විට දී ස්වකීය මහන්සියෙන් මුදල් උපයා ගන්නට වෙහෙස මහන්සි වූවාය. ඒ හේතුවෙන් ඇය ගෙයින් ගෙට ගොස් නිවෙස් සුද්ද පවිත්‍ර කිරීමේ කාර්යයෙහි නිරත වූවාය. අවුරුදු කිහිපයක් ඒ කාර්යයෙහි නිමග්න වු ඇය දිනපතා සැළකිය යුතු මුදලක් උපයන්නියක වුයේ තම පවුලට ද ශක්තියක් වෙමිනි.

“මිනිස්සු හිතුවේ මට පිස්සු කියලා,සමහර අය මට හිනා වුණා.ඒ කොහොම වුණත් මම මේ දෙය අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන හැගීම මා සතුව තිබුණා.“ ආර්ථික මට්ටමින් යම් තරමකින් හෝ ස්ථාවරයට පත් වු ගිගී වෙනස් වු ආකාරයෙන් සිතා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතුවේ සමාජයෙන් පැමිණෙන නින්දාවන් සහ ප්‍රසංසාවන් හොඳින් අවබෝධ කර ගෙන ය. සමාජයේ මිනිසුන් කුමක් කීවත් තමන්ට කළ හැකි උපරිමය තමන්ට සතුව පවතින භෞතික වස්තූන් සහ මානව සම්බන්ධතා සමඟින් සිදු කිරීමට ඇය සිතා ගත්තේ කැපවීම සහ උත්සාහය පෙරදැරි කරගෙන ය.

2008 වර්ෂයේ පෙබරවාරි 21 වන දින ඇමරිකාවේ නෙස්වීල්හි, ටෙනසි ප්‍රදේශයේ ගිගී තම ප්‍රථම කප් කේක් වෙළෙඳසැළ විවෘත කළාය. එදා ඇය සේවකයින් දෙදෙනෙකු බඳවා ගත්තේ තමන්ට දැරිය හැකි පිරිවැය පිළිබඳව හොදින් අවබෝධ කරගෙනය. තම නගරයේ විශාල වෙළෙඳසැල් ආරම්භ කරෙද්දී ගිගී තමන්ගේ වත්කම්වලට අනුරූපව ආරම්භ කළ කප් කේක් අලෙවිසැළ දින කිහිපයක් යද්දී නෙස්වීල්හි ප්‍රචලිත අ‍ෙලවිසැළක් විය.

'මගේ අත්තම්මා සහ මව සුප ශාස්ත්‍ර කලාවෙහි දක්ෂතා දැක්වුයේ අපුරු ආකාරයෙනුයි. මම හිතන්නේ මට ඒ ගොල්ලන්ගේ ජාන උරුමවෙලා තියෙනවා කියලයි.මම මුල දී කප් කේක් නිෂ්පාදනය පිළිබඳව කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.මගේ අම්මා මට කප් කේක් වට්ටෝරු සෑදීමට උදව් කළා. මගේ තාත්තා ඇසුරුම්කරණය පිළිබඳව මට කියා දුන්නා. මට මුලින් තිබුණේ ඩොලර් තිස් තුනක් පමණයි. මම හිතුවේ නැහැ මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. "යනුවෙන් ගිගී ප්‍රකාශ කළේ ඇගේ පවුලෙන් ඇයට ලැබුණු සහයෝගයයි. ළමා කාලයේ දී පවුලේ ආර්ථිකයට ශක්තියක් වු ගිගීට ජීවිතය ජය ගන්නට පන්නරය වුයේ ද තම පවුලේ ආර්ථික තත්ත්වයයි. බොහෝ දෑ තිබිය දී නිකරුණේ කාලය නාස්ති කරන මිනිසුන්ට ගිගීගේ ජීවිත කථාවෙන් ගත හැකි ආදර්ශ බොහෝමයකි.

වර්තමානයේ දී කප් කේක් පමණක් නොව කුකීස්, මෆින්ස්, කේක් කැබලි යනාදී කේක් ආශ්‍රිත නිෂ්පාදන ඇයගේ වෙළෙඳසල්වල අළෙවි කරනු ලබයි. තව ද ගිගීගේ අනුදැනුම මත මේ වන විට රටවල් 23 ක වෙළෙඳසැල් 92 ක් පිහිටවා ඇත. කේක් කලාවට එහා ගිය යමක් තම පාරිභෝගිකයාගේ හිතට කාවැද්දීම සඳහා ගිගීගේ කප් කේක් වෙළෙඳසැල් සියල්ලම දරන්නේ දැඩි පරිශ්‍රමයකි.“ මගේ ජීවිතයේ මෙතෙක් සිදු වු සෑම දෙයක් පිළිබඳවම මට ගොඩක් සතුටුයි. මම කවදාවත්ම හිතුවේ නෑ මගේ සාර්ථකත්වය කේක්වලින් ඉවතට නොයයි කියලා “ යනුවෙන් ඇය ප්‍රකාශ කළේ අතීතයේ දී කේක් කලාවෙන් දක්ෂතා දක්වමින් මුළු ලෝකයේම විශ්වාසය දිනාගත් ව්‍යාපාරිකාවක් වන්නට ඇයට වුවමනාවක් නොතිබු බව ය. ගගීගේ කප් කේක් නිෂ්පාදන අළෙවිසැල්වලින් සෑම වර්ෂයකම අවම වශයෙන් ඩොලර් මිලියන තිස්පහක පමණ ලාභයක් බලාපොරොත්තු වෙයි. සුළු පිරිවැයක් යොදා පටන් ගත් කප් කේක් අලෙවිසැළ අද වන විට මුළු ලෝකයක් හඳුනන කේක් නිෂ්පාදන ආයතනයක් වී ඇත. ගිගීගේ අනාගත බලාපොරොත්තුව වන්නේ 2019 වර්ෂය වන විට ලෝකයේ විවිධ රටවල වෙළෙඳ සැල් 250 ක් ආරම්භ කිරීම ය. ගිගී බට්ලර් ජාත්‍යන්තරය ජයගත් ව්‍යවසාහිකාවක් ලෙස මුළු ලෝකයේ ම සිටිනා කාන්තාවන්ට දුක මඟින් ජීවිතය සොඳුරු කර ගන්නා ආකාරය ඇය කියාදීමට කිසි විටක පැකිලෙන්නේ නැත.

අන්තර්ජාලය ඇසුරිනි.

[මදාරා මුදලිගේ]


නිය ආලේපන ගැල්වීමේ හරි විදිහ

[යශෝදා ඉන්දීවරී]

විවිධ වර්ණවලින් තමන්ගේ නිය පෙළ අලංකාරව තබා ගැනීමට කවුද අකමැති? වර්ණය කොතරම් කැපී පෙනුණත් නියපොවල අලංකාරය වැඩි වන්නේ එය ගල්වන ආකාරය අනුවයි. වඩාත් නිවැරදිව මනා නිමාවකින් යුතුව නිය ආලේපන ගැල්වීම පිළිබඳ මෙ කරුණු ඔබට වැදගත් වේවි.

 ආලේප ගැල්වීමට පෙර නියපොතු මනාව පිරිසුදු කරන්න. පෙර පැවති සායම් ඉවත් කර, දෙහි ලෙල්ලක් දමා හොඳින් පිරිමදින්න. පිරිසුදු වතුරෙන් හොඳින් සෝදා ගෙන තෙත මාත්තු කරගන්න.

 අවශ්‍ය හැඩයට හා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.

 නියපෙළ මත කඩතොළු ඉවත් කරගන්න. ඒ සඳහා නේල් ෆයිල් එකක් භාවිතා කරන්න. නියපොතු කුඩු හොඳින් සෝදා හරින්න.

 බේස් එකක් ආලේප කරන්න. ඒ මගින් අමතර අලංකාරයක් එකතු වනවා සේම නියපොත්තද ආරක්ෂා වේ.

 ප්‍රමිතියෙන් හොඳ නේල් පොලිෂ් නිරතුරුවම තෝරා ගන්න. ඉරි තුනකින් නියමිත ආලේප කරන්න. එක මත එක තට්ටු නොගල්වන්න. වටේ තැවරී තිබෙන අනවශ්‍ය කොටස් පිස දමන්න.

 නියපොතු හොඳින් වේලුණු පසු ටොප් කෝට් එකක් ආලේප කරන්න. එමඟින් හොඳ නිමාවක් නියපොතු සඳහා ලැබෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි


රුව වැඩිකරන පොල්තෙල් සත්කාර

පොල්තෙල් කියූ පමණින් අපට මතකයට නැගෙන්නේ රසවත්ව ආහාර පිළියෙළ කරගැනීමට උදව් කරන තෙල් වර්ගයක් නේද? එහෙත් පොල්තෙල් යනු සුන්දර රුවක් ලබාගැනීමට උපකාරී වන ස්වාභාවික අමුද්‍රව්‍යයක් බව බොහෝදෙනෙක් නොදනිති. තෙතමනය ආරක්ෂා කිරීමඅප සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ආලේපනයන් භාවිත කරනවා. එහෙත් පොල්තෙල් මඟින් මේ කාර්යය ඉටු කරගත හැකි බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. සමේ රැළි අවම කිරීමවෙළඳපොළේ ඇති මිල අධික ඒ වගේම රසායන ද්‍රව්‍යන්ගෙන් පිරුණු ආලේපන වෙනුවට ස්වභාවික පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරිපුන් පොල්තෙල් ඔබට තරුණ පෙනුමක් ගෙන දෙනවා. පොල්තෙල් ආලේප කර මෘදුව පිරිමැදීමෙන් සමට ඉතා ඉක්මනින් පොල්තෙල් අවශෝෂණය වනවා පමණක් නොවෙයි ඇතැම් ක්‍රීම් වර්ග මෙන් ඇලෙන සුළු ගතියක් දැනෙන්නේද නැහැ. ක්ලෙන්සර් එකක් ලෙසසමෙහි ගැඹුරටම ගමන්කර කුණු දුහුවිලි ඉවත් කිරීමට පොල්තෙල් සමත් වෙනවා.

වියළි සමට පොල් තෙල් මිශ්‍ර පැක් එකක් අවශ්‍ය ද්‍රව්‍ය

• පොල්තෙල්

• කිරි

• ආමන්ඩ් පිටි මේස හැඳි 2·

ඉහත සියල්ල හොඳින් මිශ්‍ර කරගෙන මඳ වෙලාවක් තිබෙන්නට හැර එම මිශ්‍රණය ඒකාකාරිව මුහුණේ තවරා සියුම්ව රවුමකට පිරිමදින්න. විනාඩි 10-15කට පමණ පසු උණු දියෙන් පොඟවා ගත් තුවායකින් මුහුණ ආවරණය කරගන්න.· අනතුරුව මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ගන්න.· අයිස් වතුර ටිකක් මුහුණට ඉසින්න.· වාතයෙන් වියළා ගන්න. පිරිසුදු පොල්තෙල් බිංදු කිහිපයක් මුහුණට ආලේප කරගන්න.ඉතින් ඔබත් අධික වියදමකින් තොර මේ ස්වභාවික පෝෂණයෙන් පිරිපුන් ආලේපය ගල්වා රූ සපුව ඔප්නංවා ගන්න. ජීව ගුණයෙන් පිරිපුන් වන්න. ඒ වගේම මතක තියාගන්න. නිවසේ හිඳ ගත් අතිශයින් සුපිරිසුදු පොල්තෙල් මේ සඳහා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බවද අමතක නොකරන්න.


මුළුතැන්ගෙය පිළිවෙළට තියාගන්න හැටි

පිළිවෙළ සහ පිරිසිදු බව කාන්තාවකට උරුම කර ගත හැකි අගනා දෑය. විශේෂයෙන් ගෘහයක් පාලනය කරන කාන්තාවකට මුළුතැන්ගෙය පිළිවෙළට පිරිසිදුව තබාගැනීම ඉතා වැදගත් වේ. එමඟින් කාර්යක්ෂමතාව ඉහළ නංවාගත හැකිවාක් මෙන්ම මුළුතැන්ගෙය තුළදී සිදුවන අනතුරුදායක සිදුවීම්ද අවම කරගත හැකිය.

පිළිවෙළ

සෑම භාණ්ඩයක්ම නියමිත ස්ථානයක තැබිය යුතුය. වැඩ කිරීමේදී අවශ්‍ය භාණ්ඩ පමණක් ළංකර ගැනීම කළ යුතු ය. ගබඩා කිරීමේ කබඩ්, රාක්ක ආදිය නිකරුණේ හැර නොතැබිය යුතු යුතුය. කඩිසරව එහෙත්, ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් වැඩ කළ යුතු ය. වැඩ කිරීමේදී ද්‍රව සහ අපද්‍රව්‍ය බිම වැටීම වළක්වාගෙන කසළ නිසි පරිදි බැහැර කළ යුතුය. පිසීමේදී උතුරායාම වැළැක්වීමට අවශ්‍ය පමණ ලොකු භාජන ගැනීමට මතක තබා ගත යුතු ය. කලවම් කිරීමේදී ඉවතට නොයන ලෙස කලවම් කළ යුතු ය. භාජනවල පියන් හැර තැබීමේදී උඩුකුරුව හෝ වෙනත් බඳුනක් මත තැබිය යුතුය.

කලවම් කරන ලද හැන්ද තැබීමට ළිප අසල බඳුනක් තබා ගත යුතුය. ළිප තැබූ දේ ගැන නිතර සැලකිලිමත් විය යුතුය. උතුරා ගියහොත් එවලේම ළිප පිස දැමිය යුතුය. වැඩ කරන අතරතුර පිරිසිදු කිරීම් කළ යුතුය. පිරිසිදු කිරීම් කරනවාට වඩා අපිරිසිදු නොකර වැඩ කිරීම වැදගත් බව සිතට ගත යුතුය. කුණු බඳුන තුළට බෑගයක් දමා එයට කුණු දැමිය යුතුය. කුණු බඳුන දිනපතා කුණු ඉවත් කර පිරිසිදු කළ යුතුය. ආහාර පිළියෙළ කරන අතර අතු ගෑම නොකළ යුතු අතර එසේ කිරීමෙන් ආහාර ද්‍රව්‍ය දූෂණය විය හැකිය.

ආරක්ෂාව

පිහි වැනි ආයුද මිටෙන් පමණක් අල්ලා නිසි‍ ලෙස කැපීම කළ යුතුය. පිහිය පිස දැමීමේදී මිටෙන් අල්ලා මුවහත් පැත්ත තමාගෙන් ඉවතට සිටින සේ පිසදැමීම කළ යුතුය. තැන්පත් කිරීමේදී පිහි වෙන ම කොටසක, රාක්කයක හෝ කොපුවක රැඳවීම කළ යුතුය. ටින් හෝ බෝතල් ඇරීමේදී අදාළ උපකරණ භාවිතා කළ යුතු ය. යමක් ඉහිරුණු විගසම බිම පිසදා දැමිය යුතුය. ඉහළින් ඇති යමක් ගැනීමේදී ස්ථිර ශක්තිමත් උසකට නැග එය ගැනීම කළ යුතුය. උණුසුම් ද්‍රව එහා මෙහා ගෙන යාමේදී ආවරණයක් සහිතව ගෙන යාම කළ යුතුය. විදුලි රැහැන් යන එන මාර්ගයේ නොතැබිය යුතුය. භාජන ලිප තැබීමේදී අඬුව උඳුනෙන් පිටට නොසිටින සේ උඳුනේ ඇතුල් පැත්තට සිටින සේ යෙදීම කළ යුතුය. ළිප ඇති බඳුනක පියන විවෘත කිරීමේදී ඈතින් ඇති පැත්ත පළමුව එසවන සේ විවෘත කිරීම සිදු කළ යුතුය. අඬු බුරුල් වී ඇති ඒවා වහාම ඇණ කරකවා තද කර ගැනීම කළ යුතුය. උණු තෙලට ද්‍රව්‍ය එක් කිරීමේදී එය උඳුනෙන් ඉවතට ගෙන එක් කිරීමේන් ගිනි ගැනීම වළක්වා ගත හැක. තෙල් බඳුන ගිනි ගත්විට බේකින් පවුඩර්, බේකින් සෝඩා , පිටි හෝ ලුණු ටිකක් ඉසීම කළ යුතුය.

නිවසේ විවිධ කොටස් සැලසුම් කිරීමේදී ඒ ඒ කාමර භාවිත කරන අවශ්‍යතා අනුව අවශ්‍ය අංග එක් කිරීමට අවශ්‍ය ස්ථානයන්ට විදුලි පේනු සහ කෙවෙනි (ප්ලග්ස්) සවි කිරීමට මතක තබාගන්න. ‍

[මදාරා මුදලිගේ]

 

මාතෘකා