වකුගඩු රෝගවලින් වැළකෙන්නේ කෙසේද?

 ඡායාරූපය:

වකුගඩු රෝගවලින් වැළකෙන්නේ කෙසේද?

වකුගඩු රෝග මෙරට සුලබ රෝගයක් බවට පත්වෙමින් තිබේ. එහෙත් බොහෝ දෙනෙක් වකුගඩු පිළිබඳ දන්නා කරුණුවලට වඩා නොදත් කරුණු බෙහෝය. වකුගඩුවල පිහිටා ඇත්තේ 12 වැනි උරස් කශේරුකාව හා 3 වන කටී කශේරුකා අතර මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුරේ පිටුපස බිත්තියට ආසන්නව කශේරුකාව දෙපස සමමිතිකවය. දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා තරමක් පහතින් පිහිටා ඇත. මෙහි ක්‍රියාකාරී ඒකකය වනුයේ වෘක්කානුව වන අතර එක් වකුගඩුවක වෘක්කානු මිලියනයක් පමණ අන්තර්ගත වේ.

වකුගඩු මගින් ශරීරයේ අත්‍යවශ්‍ය කාර්යයන් බොහොමයක් සිදු කරන අතර ඉන් ප්‍රධාන කිහිපයක් වනුයේ ඇමෝනියා හා යුරියා වැනි අපද්‍රව්‍ය බහිස්‍රාවය කිරීම, සෝඩියම් හා පොටෑසියම් වැනි ලවණ වර්ග හා අම්ල භෂ්ම යාමන, රතු රුධිරානු නිෂ්පාදනය සඳහා උත්තේජකයක් වන එරිත්රොපොයිටින් (Erythropoietin) නිෂ්පාදනය කිරීම, ක්‍රියාකාරී විටමින් ඩී නිෂ්පාදනය කිරීම සහ රුධිර පීඩනය පාලනය කිරීමයි.

වකුගඩු රෝග සඳහා බලපාන හේතු අතර රසායනික තෙල් වර්ග පොහොර වර්ග අධිකව යෙදූ ආහාර පාන භාවිතය, කෘත්‍රිම ක්ෂණික ආහාර වර්ග අධික භාවිතය, ආහාර රසවත් කිරීමට යොදන රසකාරක අධිකව භාවිතය, බිස්කට් වර්ග අධිකව භාවිතය, දියවැඩියා රෝගයෙන් පූර්ණ කාලීනව පෙළීම, අධි රුධිර පීඩනයෙන් දීර්ඝ කාලීනව පෙළීම, දීර්ඝ කාලීන ඖෂධ භාවිතය සහ සර්ප දෂ්ඨය‍ මූලික වේ. මෙම හේතු තිබෙන අයකුට වකුගඩු රෝගය වැළඳීමේ අවදානම වැඩිය.

නමුත් නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ඉහත සඳහන් කළ හේතු කිසිවක් නොවන අතර, මේ වනතෙක්ම නිශ්චිත හේතුවක් හඳුනාගැනීමට නොහැකිවීම නිසා එම තත්ත්වය, හඳුනා නොගත් අවිනිශ්චිත නිදන්ගත වකුගඩු රෝගය ‘Chronic kidney disease of uncertain etiology’ ලෙස හඳුන්වයි.

වකුගඩු රෝගවල ලක්ෂණ ලෙස අත් පා හා මුහුණ ප්‍රදේශය ඉදිමීම, මුත්‍රා වැඩි වාර ගණනක් අඩුවෙන් පිටවීම, මුත්‍රා සමග රුධිරය, ඇල්බියුමින් වැනි සංඝටක පිටවීම, සමේ අසාත්මිකතා, පලු, කැසීම් ආදිය ඇතිවීම, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය, ඔක්කාරය, අරුචිය හා ආහාර නීරස යැයි හැඟීම, නිදිමත, විඩාබර බව, ප්‍රබෝධමත් ප්‍රසන්න බව නැතිවීම, අත් පා වේදනාව, තුනටිය වේදනාව, තද පිපාසය, අසාමාන්‍ය ලෙස රුධිර පීඩනය වැඩිවීම දැක්විය හැකිය. මෙම ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

වකුගඩු රෝගවලින් ආරක්ෂා වීමට උණුකර නිවාගත් පිරිසිදු ජලය හෝ ෆිල්ටර් ජලය භාවිතය (දිනකට වීදුරු 10-12 පමණ - ලීටර් 3ක්), විෂ සහිත හෝ කෘත්‍රිම ආහාර හෝ රසකාරක යෙදූ ආහාර නොගැනීම, මධුමේහ රෝගය ඇත්නම් නොකඩවා පාලනය කර ගැනීම, අධික රුධිර පීඩනයෙන් පාලනය වීම, පළා, එළවළු සහ පලතුරු වර්ග (විෂ වර්ග නොයෙදූ) වැඩිපුර භාවිතයට ගැනීම, මත්පැන් දුම් පානයෙන් ඉවත් වීම, ආහාර පිසීම සඳහා මැටි බඳුන් පමණක් පාවිච්චි කිරීම සහ ඇලුමිනියම් භාජන භාවිතයෙන් වැළකීම සුදුසුය.

වකුගඩු සඳහා හිතකර ආහාර ලෙස කැකිරි, පිපිඤ්ඤ, කොමඩු, පුහුල්, ලබු, සීනි කැකිරි වැනි වැල්වල සෑදෙන ඵල, කටු අනෝදා, දෙළුම් සහ දේශීය සහල්, වට්ටක්කා, රාබු, සාරණ, කරවිල සහ මුරුංගා හැඳින්විය හැකිය.

නුසුදුසු ආහාර ලෙස තක්කාලි, බලමාළු, කෙළවල්ලා, අන්නාසි, අච්චාරු, ජාඩි, සෝස්, චට්නි, ඉස්සෝ, වර්ණකාරක හා රසකාරක යෙදූ කෘත්‍රිම ක්ෂණික ආහාර දැක්විය හැක.

දේශීය රසකාරකයක් වන තුනපහ (සූදුරු, මාදුරු, කොත්තමල්ලි, කහ, මිරිස්, අබ, ගම්මිරිස්) වකුගඩු රෝගීන්ට හිතකරය. ආහාරයට ගත හැකි කොළ වර්ග (මැල්ලුම්) ලෙස අබ කොල, ඇඹරැල්ලා දළු, අත්තික්කා කොළ, අස්මෝදගම් දළු, අගුණ කොළ, ඇහැල කොළ, අනෝදා කොළ, උඳුපියලිය, කරපිංචා, කතුරුමුරුංගා, කංකුන්, කුප්පමේනියා, කොහිල දළු, කෝප්ප කොළ දැක්විය හැකිය. දේශීය සූප ශාස්ත්‍රයේ සුවඳකාරක නැත.

වකුගඩු රෝගවලින් වැළකීම සඳහා සාම්ප්‍රදායික ආහාර රටාවකට හුරුවී, ප්‍රමාණවත් පිරිසිදු ජලය පානය කර සිත සන්සුන්ව සිටීම විශේෂයෙන් වැදගත් වේ.

ස්තූතිය- වකුගඩු රෝග නිවාරණ විශේෂ ව්‍යාපෘතිය

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය - මිනුවන්ගොඩ

[යශෝදා ඉන්දීවරී]

මාතෘකා