ලස්සන කරන දේවල් ගන්නකොට මේ ගැනත් හිතන්න

 ඡායාරූපය:

ලස්සන කරන දේවල් ගන්නකොට මේ ගැනත් හිතන්න

රූපලාවන්‍ය ආලේපන, උපකරණ හා කාන්තාවන් අතර තියෙන්නේ නොබිඳෙන සම්බන්ධයක්. එහෙත් මේ දේවල් මිලදී ගන්නා විට අනිවාර්යෙන්ම සැලකිලිමත්විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳ අවදානය යොමු නොකළොත් එය සෞඛ්‍යයට අහිතකර විය හැකියි. ඒ වගේම ලස්සන වැඩිකර ගැනීම කෙසේ වෙතත් තිබෙන ලස්සනත් නැති විය හැකිය. එම නිසා රූපලාවන්‍ය නිෂ්පාදන සහ උපකරණ මිලදී ගන්නා විට පහත කරුණු පිළිබඳවත් සැලකිලිමත් වීම නුවණට හුරුය.

කල් ඉකුත් වන දිනය

ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලට ගැනීමේදී එහි කල් ඉකුත් වන දිනය බලන්න. එය අනිවාර්ය පුරුද්දක් කරගන්න. කල් ඉකුත් වූ නිෂ්පාදනයක් භාවිත කිරීමෙන් අදාළ නිෂ්පාදනයෙන් ඔබ අපේක්ෂා කරන නියමිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැත. එපමණක් නොව එහි අහිතකර සංයෝග මගින් සමට විශාල හානියක් වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඕනෑම නිෂ්පාදනයක් එහි නිෂ්පාදිත දිනය ආසන්නයේම පාවිච්චි කිරීම සුදුසුයි. කල් ඉකුත් වන දිනය ආසන්න වන විට එහි ගුණාත්මක බව අඩුවනවා.

නිෂ්පාදිත අමු ද්‍රව්‍ය

ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලට ගනිද්දී එහි නිෂ්පාදන සංඝටක කියවා බැලිය යුතුයි. අහිතකර විෂ නිෂ්පාදන ද්‍රව්‍ය ඇත්නම් ඒවා මිලට ගන්න එපා. එම අමුද්‍රව්‍ය ශරීරයේ අභ්‍යන්තරයට පවා හානි කරනවා. හැකි තරම් සුඳු හඳුන්, කස්තුරි කහ, කෝමාරිකා, ඔලිව් තෙල්, වෙනිවැල්ගැට ආදී ශාකමය අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත නිෂ්පාදන තෝරාගන්න.

ලංකාවේ දේශගුණයට ගැලපෙන නිෂ්පාදන

රූපලාවන්‍ය නිෂ්පාදනයක් ගනිද්දී අපේ රටේ දැඩි උණුසුම් දේශගුණයට ගැලපෙනවාදැයි බලන්න. ඇතැම් ක්‍රීම් වර්ග අලේප කර විනාඩි 10ක් පමණ ගතවද්දී දහදිය දමා ආලේපන දියවී මුළු මුහුණම අමුතු ස්වරූපයක් ගනු අප දැක තිබෙනවා. ඒ වගේම ඇතැම් නිෂ්පාදන නිසා කුරුලෑ හටගන්නවා. දහදිය බිබිලි දානවා. මෙවැනි දුෂ්කරතාවලින් මිදීමට නම් නිෂ්පාදන පිළිබද මනාව දැනුවත් වන්න.

සමේ ස්වාභාවය

සම මූලික වර්ග කීපයකට වෙන් කළ හැකියි. ඒ තෙල් සහිත සම, සාමාන්‍ය සම සහ වියළි සම ලෙසයි. මෙම කාණ්ඩ තුනට එකම වර්ගයේ රූපලාවන්‍ය සත්කාර හෝ ආලේපන ගැලපෙන්නේ නැහැ. තෙල් සහිත සමක් ඇති ඔබ තෙල් සහිත සමට විශේෂ නිෂ්පාදන මිලට ගත යුතුයි. ඒ වගේම වියළි සමක් ඇති ඔබ ඒ සඳහා සුදුසු නිෂ්පාදන මිලට ගත යුතුයි.

සමට සත්කාර

ඇතැම් යුවතියන් සිතන්නේ මේකප් මඟින් සම ආරක්ෂා වන බවයි. එහෙත් එහි සත්‍යයක් නැහැ. මේකප් කිරීමට පෙරද සුදුසු ෆේෂ් වෝෂ් වර්ගයකින් මුහුණ පිරිසිදු කර ඉන්පසු මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කළ යුතුය. එසේ නොමැතිව සම මත කෙළින්ම මේකප් එකක් දැමීමෙන් සිදුවන්නේ ඔබේ සම වයසට යාම ඉක්මන් වීමයි.

පාවිච්චි කරන හරි ක්‍රමය

එක එක වර්ගයේ නිෂ්පාදන භාවිතා කරන ක්‍රම විවිධාකාරයි. එම නිසා ඒ ක්‍රම ගැනත් දැනුවත් විය යුතුය. උදාහරණයක් ලෙස, පෑන් කේක් නමැති ෆවුන්ඩේෂන් ආලේප කරන්නේ වතුරේ පොඟවාගත් ස්පොන්ජ් එකකිනි. ඒ ආකාරයට එක් එක් නිෂ්පාදනය භාවිතා කරන ක්‍රමය ගැන හොඳින් දැනුවත් වීම වැදගත්ය.

[යශෝදා ඉන්දීවරී]

මාතෘකා