නිරෝගී සුන්දර වරලසකට

 ඡායාරූපය:

නිරෝගී සුන්දර වරලසකට

නිරෝගී දිදුළන කෙස් කලබක් හිමි කර ගැනීම සෑම කාන්තාවකගේම සිහිනයක්. කොතරම් නවීන විලාසිතාවන් අනුගමනය කරළ තමන්ට තිබෙන හිසකෙස් දිගුකාලීනව සුරැකී තිබෙනවාට බොහෝ කාන්තාවන් කැමතියි. පහත දැක්වෙන්නේ හිසකෙස්වල ගුණාත්මකභාවය සුරැකීමට කළ හැකි ස්වභාවික ප්‍රතිකාර කිහිපයකි.

යහපත් කෙස් කලබක් මනා දිදුලන බවකින්, නම්‍යශීලී බවකින් සහ ඇදෙනසුලු බවකින් යුක්ත විය යුතු අතර එය වඩාත් එල්ලා වැටෙන හෝ වඩාත් වියළි එකක් නොවිය යුතුය. එනම් එම කෙස්වල ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි සමබර ලෙස ක්‍රියාකාරී වී සිටිය යුතුය. මෙම සමබරතාව විවිධ හේතුන් නිසා නැතිව යාමෙන් ඉතා ඉක්මනින් යහපත් කෙස් කලඹක තිබිය යුතු ගුණාංග නැතිවී යයි. හිසකෙස් පිළිබඳ අවධානය අඩුවීම, අහිතකර ප්‍රතිකාර ක්‍රම ඊට ප්‍රධාන වශයෙන් හේතු වේ. කොණ්ඩයට සිදු කරනු ලබන රසායනික සත්කාර නිසා හිසකෙස්වල තිබිය යුතු ස්වභාවික බවට හානි පමුණුවනු ලබයි.

කන්ඩිෂනර් යනු හිසකෙස්වලට ශක්තිය සහ පෝෂණය ලබාදෙන ප්‍රතිකාරයකි. එය ඉහත සඳහන් කළ ආකාරයේ අහිතකර ප්‍රතිකාර නිතර සිදු කිරීම නිසා හිසකෙස්වලට සිදුවන හානිවීම්වලින් ආරක්ෂා කරනු ලබයි.

ස්වභාවික කන්ඩිෂනර් සත්කාර

භාවිතා කරන ලද තේ කොළ නැවත නැවත ප්‍රමාණවත් තරම් වු ජලය දමා රත් කර සිසිල් වීමට තබන්න. හිස ෂැම්පු කර හොඳින් සෝදා හැරීමෙන් පසු සිසිල් වූ තේ කොළ ජලයෙන් සේදිය යුතුය. එමෙන්ම ලෙමන් යුෂ වතුර කෝප්පයකට දමා පෙර පරිදිම අවසාන හිස සේදීම ලෙස භාවිතා කිරීමෙන් හිස කෙස්වල තෙල් සහිත බව ආරක්ෂා කරයි. එලෙසම මී පැණි මිශ්‍ර ජලය භාවිතා කිරීමෙන් හිස් කබලේ වියළි බව නැති වේ. තවත් මොයිස්චරයිසර් එකක් ලෙස ජලය පයින්ට් 1 කට මී පැණි බිංදු 40-50 ක් පමණ දමා සාදාගත් මිශ්‍රණය ආලේප කළ හැකි ය.

 

උපදෙස් - වෛද්‍ය කමල් සේරසිංහ

 

D.A.M.S. (Hon) S.L., M.S. (Ay) Ophth & ENT, B.H.U.-India,

Osethma Health (Pvt) Ltd. හි

සභාපති සහ පාඨමාලා අධ්‍යක්ෂ

සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා