ගුණ දැනගෙන බටු කන්න

 ඡායාරූපය:

ගුණ දැනගෙන බටු කන්න

නටුවෙහි මෙන්ම බටු ගෙඩිය පුරාම පෝෂ්‍ය ගුණ රැසක් පවතින බව ඔබ දන්නවද? වම්බටු, තළනබටු, තිබ්බටු ආදී සියලුම බටු වර්ගවලට මෙම කාරණය පොදු බවයි පෝෂණවේදීන් පවසන්නේ.

පෝෂණ ගුණ

වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව විටමින්, ඛනිජලවණ පවතිනවා. එමෙන්ම ඉතාමත් වැදගත් ප්‍රති ඔක්සිකාරක ද (එනම්, ශරීරගත වෙන විෂ විනාශ කරන ද්‍රව්‍ය) අඩංගු වෙනවා. එමෙන්ම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, වම්බටු ගෙඩියේ පොත්තේ ඇති පෝෂණ ගුණය මොළයේ පටල, හානිකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කරන බවයි.

හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන වම්බටු, හෘදයේ නිරෝගි බව ඇතිකරවයි. පර්යේෂකයින් සඳහන් කරන්නේ, වම්බටු යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන බවයි. ඒ වගේම රුධිර සංසරණය ක්‍ර‍්‍රමවත් කිරීමේ ගුණයක්ද වම්බටුවල පවතිනවා.

වම්බටු වැඩි යකඩ අඩු කරයි. යකඩ සිරුරට නැතිවම බැරි පෝෂකයක් වුවද යකඩ වැඩිවීමද හොඳ දෙයක් නොවෙයි. වැඩිපුර යකඩ සිරුරේ තිබීම නිසා හදවත් රෝග, පිළිකා සෑදීමේ අවදානම වැඩිවනවා.

ඔසප් වීම මාසිකව සිදුවන කාන්තාවන්ට යකඩ වැඩිවීමේ අවදානමක් නැතත්, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ යකඩ වැඩි වීමේ අවදානමක් පවතිනවා. පිරිමින්ටද යකඩ වැඩිවීමට ඉඩක් පවතිනවා. සන්ධිවලට හානි කරන විෂ ද අඩු කරන නිසා ආතරයිටීස් වැනි රෝග වැළඳීමේ ඉඩ අඩු කිරීමේ හැකියාවද වම්බටුවල තිබෙනවා.

තෝරා ගැනීම

වම්බටු මිලදී ගැනීමේදී ගෙඩියේ ප්‍රමාණයට බර වම්බටු තෝරා ගන්න. ගෙඩියේ පොත්ත මෘදු හා දිළිසෙන ස්වභාවයකින් යුක්ත විය යුතුයි. කැලැල් වුණු, තැලුණු ගෙඩි මිලදී ගන්න එපා. වම්බටු උෂ්ණත්වයටත්, සිසිලටත් සංවේදී එළවලුවක් ෆැරන්හයිට් අංශක 50 (සෙල්සියස් අංශක 10 ක) උෂ්ණත්වයක ගබඩා කළ යුතුයි.

පිසින ආකාරය

වම්බටු උයන විට එහි රස වැඩි කිරීමට, වම්බටුවල ඇති සියුම් තිත්ත රසය ලුණු මගින් අඩු කරන්නට පුළුවන්. කැපූ වම්බටුවලට ලුණු ස්වල්පයක් ඉස මිනිත්තු 30ක් තබන්න. මෙමගින් වම්බටු බැදීමේදී වම්බටුවලට තෙල් උරා ගැනීමද අඩු කරනවා. රසවත් මෝජුවක් වශයෙන්, බැදුමක් වශයෙන් වගේම රසවත් ව්‍යංජනයක් වශයෙන්ද වම්බටු ආහාර වේලට එකතු කරත හැකියි.

කෙතරම් රසවත් වුවත් ඇතැම් රෝගවලට වම්බටු හානිදායකයි. සිරුරේ ගල් ඇති කරන ආහාර අත‍‍ළොස්සෙන් වම්බටු එක් වර්ගයක්. මේ නිසා ප්‍රතිකාර නොගන්නා වකුගඩු හෝ පිත්තාශ රෝගීන්ට මෙවැනි ආහාර එතරම් සුදුසු නැහැ.

වම්බටුවල ඇති එම ගුණය කැල්සියම් උරා ගැනීම අඩු කිරීමටද හේතු වනවා. මේ නිසා නිතර වම්බටුවල රස බැලීම එවැනි සංකූලතා සහිත පුද්ගලයන්ට නම් සුදුසු වන්නේ නැති බවත් මතක තබාගත යුතුයි.

උපදෙස්- ආහාර හා පෝෂණ විශේෂ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු  සටහන [යශෝදා ඉන්දීවරී]

මාතෘකා