හිත ලෙඩ නොවී තියාගන්න හැටි

 ඡායාරූපය:

හිත ලෙඩ නොවී තියාගන්න හැටි

නිරෝගී පුද්ගලයෙක් කියන්නේ කායික සහ මානසික සුවතාව දෙකම තිබෙන කෙනෙකුටයි. ගතේ ලෙඩවලට බෙහෙත් තිබුණත් හිතේ ලෙඩවලට බෙහෙත් නැහැ කියලා කියන්නේ මානසික සුවතාවට

ඒ තරම් වටිනාකමක් තිබෙන නිසයි. වැඩ කටයුතු දහසක් අතර වුණත් හිත ලෙඩ නොවී සතුටින් සුවයෙන් සිටිය හැකි නම් එය ඔබ ඔබේ නිරෝගී බව වෙනුවෙන් කරන වටිනා ආයෝජනයක්. හිතේ සතුට රැකගන්න මේ පුංචි කාරණා ඔබට වඩාත් වැදගත් වන්නේ ඒ නිසාමයි.

ව්‍යායාම

ගොඩක් අය හිතන්නේ ව්‍යායාම අවශ්‍ය ශරීරයට විතරයි කියලයි. නමුත් මානසික සමබරතාව ඇතිකරගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් ලෙස ශාරීරික සමබරතාව හැඳින්විය හැකිය. එම නිසා අඩුම තරමින් දවසකට පැය බාගයක්වත් ව්‍යායාම කිරීම සඳහා වෙන්කර ගැනීමට උනන්දු වන්න.

රාජකාරි වැඩ

රාජකාරිය දේවකාරියටත් වඩා ඉහළ බව ඇත්ත. රැකියාවක නියුතු අපි කවුරුත් තම තමන්ට පැවරී ඇති වගකීම් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. නමුත් සේවා ස්ථානයේ සිට නිවසට ආ පසුවත් තමන්ගේ පවුලේ ගැන සහ නිවසේ වගකීම් ගැන කිසිම අවධානයක් යොමු නොකර රාජකාරී කටයුතුවලට ඇලී ගැලී සිටීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. එයින් ඔබ මානසික පීඩාවට ලක්වනවා වගේම ඔබේ සමීපතමයින්ද පීඩාවට පත්වනවා. එම නිසා හැකිතරම් රාජකාරී වැඩ සේවා ස්ථානයේදීම අවසන් කර නිවසට පැමිණෙන්න. හදිසි කටයුත්තක් සඳහා හැරෙන්නට නිවසේ සිටින කාලය තුළදී රාජකාරී කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කිරීම පුරුද්දක් කර නොගන්න.

සිත් තැවුල් ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට ගලාගෙන යන දෙයක් නම් නෙවෙයි. සතුට, සිනහව වගේම දුක් දොම්නස්වලින්ද ජීවිතයට අඩුවක් නැහැ. ඒ වගේම සබඳතා ඇතිවීම් වගේම නැතිවීම්, දුරස්වීම්වලින්ද අඩුවක් නැහැ. නමුත් එවැනි සිත් තැවුල් මතම ජීවිතය ගෙවන්නට ගියොත් හිත සතුටින් තියාගැනීම ප්‍රශ්නයක් වනවා. සිත් තැවුල් මතම ඇලී ගැලී සිටීම වෙනුවට එයින් මිදෙන මඟක් තෝරාගත යුතුයි. මෙය දිනකින් දෙකකින් කළ හැකි දෙයක් නොවූවත් යහපත් මානසිකත්වයකින් ඉන්න කෙනෙකුට කළ නොහැකි දෙයක් නෙවෙයි.

කාර්යබහුල වීම

සිත් තැවුල් අමතක කිරීම ගැන අපි කතාකළානේ. ඒ සඳහා හොඳම ඔසුවක් තමයි කාර්ය බහුල වීම එහෙමත් නැත්තම් වැඩ අධික කෙනෙක් වීම. ඒ වගේම එක දෙයකට පමණක් සීමා නොවී ඔබ විවිධ දක්ෂතා සහ හැකියාවන් ඇති අයෙකු බවට පත්වීම. නමුත් මෙහිදී ඔබ කල්පනාකාරී විය යුත්තේ වැඩ පටවලා ගැනීමෙන් ජීවිතය වියවුලකට පත්කර නොගැනීමටයි. ඔබ කරන සෑම කාර්යයකදීම නිසි කළමනාකරණයක් තිබිය යුතුයි. විනෝදාංශ

බොහෝ දෙනෙක් එතරම් නොසිතුවත් හිතේ සතුට ගෙනදෙන විනෝදාංශ බොහොමයක් තිබෙනවා. හොඳ පොතක් කියවීම, හොඳ ගීතයකට සවන් දීම, හොඳ චිත්‍රපටයක් නැරඹීම වැනි විනෝදාංශයකින් හිතේ සතුට ලබාගන්න පුළුවන්. තම තමන්ගේ රුචිකත්වය අනුව එවැනි විනෝදාංශයක් තෝරාගත හැකියි. වැඩිහිටියකුට වුවත් කාටුන් චිත්‍රපටයක් නැරඹීමෙන් විනෝදය සහ සතුට ලබාගත හැකි නම් එවැන්නක් නැරඹීමේ කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍ය වන්නේ ඔබේ සිතට සතුට ලබාගැනීම පමණයි.

ඒ වගේම මනසට ව්‍යායාමයක් ලබාදෙන චෙස්, දාදු, ප්‍රහේළිකා ක්‍රීඩා වැනි ක්‍රීඩාවක යෙදීමත් හිතට සතුට ලබාගත හැකි ක්‍රමයක්. එවැනි ක්‍රීඩා තුළින් බුද්ධිමය හැකියාව දියුණුවනවා පමණක් නොව ඉවසීම, සිත එකඟ කරගැනීම වැනි ගුණාංග දියුණු කර ගැනීමටද හැකියාව ලැබෙනවා. මෙවැනි ක්‍රීඩා බොහෝ විට විවේකය ගතකිරීමටත් සුදුසු වනවා. වර්තමානයේදී බොහෝ ස්මාට් දුරකතන තුළට පහසුවෙන් එවැනි ක්‍රීඩා ඇප් ඇතුළත් කරගත හැකි නිසා එවැනි ක්‍රීඩාවල යෙදීමත් පහසු වී තිබෙනවා. සුහද කතාබහ

මිනිසුන් වශයෙන් අපට සමාජ සමාජ සම්බන්ධතා අත්‍යවශ්‍යයි. ඒ අතර මිතුරන්ට හිමිවන්නේ විශේෂ තැනක්. සිත් තැවුලකින් සිටින විට හොඳ මිතුරු සමාගමකින් ලැබෙන්නේ විශාල අස්වැසිල්ලක්. ඒ වගේම බුද්ධිමය සංවාදවල යෙදිය හැකි හිත මිතුරන් කිහිප දෙනෙකු හෝ ඔබ සමඟ සිටීමත් ඉතා වැදගත් වනවා. මෙම දෙවර්ගයේම සංවාද සඳහා බුද්ධිමත් සහ යහපත් මිතුරන් තෝරාගැනීමට විශේෂ අවධානය යොමුකළ යුතුයි. එයට හේතුව ඇසුරු කරන සියලුදෙනා හොඳ මිතුරන් නොවන නිසාය. එම නිසා මිතුරු ඇසුරේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. නැතිනම් සිදුවන්නේ එක් සිත් තැවුලක් නැතිකර ගැනීමට ගොස් තවත් තැවුල් දහසක් ඇතිකර ගන්නටය. ඇවිදීම

සිත් තැවුලකින් සිටින විට දුර පළාතක ඇවිදින්නට යාම ඒ තැවුල අමතක කර දැමීමට උපකාරයක් වනවාට සැකයක් නැත. එය ප්‍රශ්නයෙන් පළායාමක් නොව ප්‍රශ්නයට මුහුණ දීමට හොඳම තීරණය ගැනීමට ඔබට අවකාශ සලසන විරාමයක් ලෙස සලකන්න. සිත රිදවන පරිසරයෙන් තාවකාලිකව ඈත්වී ඔබේ සිත කැමති පරිසරයක් සහිත ප්‍රදේශයක් වෙත ගොස් නිදහසේ සිටින්න. ඒ අතරතුර ප්‍රශ්නය නියම පිළිතුර සොයාගැනීමට ඔබට මාර්ගයක් ලැබෙනු ඇත.

[චාන්දනී කුමාරි]

මාතෘකා