පිස්සු කියන්නේ මානසික රෝගයකට නමක් නෙමෙයි

 ඡායාරූපය:

පිස්සු කියන්නේ මානසික රෝගයකට නමක් නෙමෙයි

ලංකාවේ මානසික රෝග සම්බන්ධව පවතින ප්‍රධානම ගැටලුවක් වන්නේ ප්‍රතිකාර සඳහා යොමුවීමේ ප්‍රමාදයයි. මෙයට හේතු වන්නේ පවුලෙන් දිරිමත් කිරීමක් නොලැබීම හා අපකීර්තියට පත්වේයැයි පවතින බියයි. මේ හේතුව මත මානසික රෝගීන් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙක් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට යොමුවන්නේ නැහැ.

එයට බලපාන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ මානසික රෝග පිළිබඳ පවතින අඩු දැනුමයි. තමන්ගේ කායික ශරීරයට වැලඳෙන රෝගයකට ප්‍රතිකාර ගැනීමට බොහෝ දෙනෙක් මැලිවන්නේ නැහැ. තමාට යම් කායික රෝගී තත්ත්වයක් ඇතැයි හඳුනාගැනීමේ හැකියාව අප සතුව පවතිනවා. නමුත් මානසික රෝගී තත්ත්වයක් සම්බන්ධව මේ තත්ත්වය තරමක් වෙනස්. ලංකාවේ මානසික රෝග හැඳින්වීමට යොදාගන්නේ "පිස්සු "කියන වචනයයි. මානසික රෝගී තත්ත්ව සම්බන්ධව අපේ භාෂාව තුළ පවතින අප නිවැරදි කර ගත යුතුම තැනකි එය. "පිස්සු " කියන ලේබලයට තියෙන බය නිසාම බොහෝ දෙනෙක් ප්‍රතිකාරවලට යොමුවෙන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමට එක් පියවරක් වන්නේ මානසික රෝග පිළිබඳ දැනුවත්භාවය ඇතිකර ගැනීමයි.

මානසික රෝග වර්ගීකරණයට අනුව මානසික රෝග විශාල ප්‍රමාණයක් පවතිනවා. නමුත් ප්‍රධාන වශයෙන් සරල මට්ටමේ හා බරපතළ තත්ත්වයේ කියන අංශ දෙකෙන් මානසික රෝග හඳුනාගන්න පුළුවන්.

සරල මානසික රෝගී තත්ත්ව යටතේ එන සුලබ මානසික රෝගී තත්ත්වයක් වන්නේ විෂාදයයි. විෂාද රෝගියකුගේ මූලික රෝග ලක්ෂණ වන්නේ සති දෙකක කාලයකට වඩා නිරන්තරයෙන් පවතින කලකිරීම, දුක්සහගත ස්වභාවය සහ අශුභවාදී සිතිවිලි රටාවයි. විෂාද තත්ත්වය උග්‍ර වීම තුළ සියදිවි නසා ගැනීමේ අදහස් ඇතිවීමේ හැකියාවද තිබෙනවා. කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයකුට හා පිරිමින් අටදෙනෙකුගෙන් එක් අයකුට ජීවිතයේ කවර හෝ අවස්ථාවක දී විෂාද තත්ත්වයක් ඇතිවිය හැකිය.

භීතිකාව කියන මානසික රෝගී තත්ත්වයේ ආකාර තුනක් තියෙනවා. යම් අවස්ථාවකට යම් වස්තුවකට අධික බියක් දැක්වීම, නිවසින් ඈත්වන ප්‍රමාණය වැඩිවන විට බිය වැඩිවීම වගේම සමාජ භීතිකා තත්ත්වයේ දී පිරිසක් සමඟ වැඩ කිරීමට බය වගේම ඉදිරිපත් කිරීම්වලට පවතින අසාමාන්‍ය බය වගේම එවැනි අවස්ථා මඟහැරීමත් මෙම රෝගීන්ගේ ලක්ෂණයක්.

ග්‍රස්තිය කියන මානසික රෝගී තත්ත්වයත් සරල මානසික රෝගයක් විදියට තමයි හඳුනාගන්නේ. මේ රෝගී තත්ත්වයේ දී ප්‍රචණ්ඩකාරී හෝ ලිංගික හෝ කවර හෝ ආකාරයක සිතුවිල්ලක් රෝගියාගේ අවශ්‍යතාවකින් තොරව මනසට නිතර නිතර ඇතිවීම සිදුවනවා. මෙහි තවත් තත්ත්වයක් වන්නේ එකම ක්‍රියාවක් නැවත නැවත කිරීමට පෙලඹීමයි. මෙම තත්ත්වයේ දී දවසේ වැඩි කාලයක් අත සේදීමට හෝ නෑමට යෙදවීම දොර ජනෙල් වසා ඇතිදැයි නිතර නිතර පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවක් නිරන්තරව කිරීමට පෙලඹීම මෙම තත්ත්වයේ දී සිදුවනවා.

බරපතළ මට්ටමේ මානසික රෝගී තත්ත්වයක් විදියට හඳුනාගන්න පුළුවන් මානසික රෝගී තත්ත්වයක් වන්නේ හින්නෝන්මාදයයි. මෙම රෝගී තත්ත්වයේ දී නොපෙනෙන පුද්ගලයන් කතා කරනු ඇසීම, තමාට යම් බලයක් ඇතැයි සිතීම, සත්‍ය ලෙසම නොදැනෙන විවිධ සුවඳවල් සහ ස්පර්ශයන් දැනීම මෙම රෝගයේ ලක්ෂණයක්. ඒ වගේම මොවුන් තුළ සැකය අධිකව පවතින්න පුළුවන්කම තියෙනවා. මෙම රෝගය බරපතළ වීම තුළ රෝගියා සියදිවි නසා ගැනීමකට පෙලඹෙන්නත් පුළුවන්.

උන්මාදයත් මේ වගේම මානසික රෝගී තත්ත්වයක්. මොවුන් කතාවට ඉතා දක්ෂයි වගේම නිර්මාණශීලී අදහස්ද මොවුන් තුළ තියෙනවා. අධික ලිංගික ආශාවන් පැවතීමත් මෙම රෝගී තත්ත්වයේ එක් ලක්ෂණයක්. උන්මාද රෝගී තත්ත්වය හා විෂාද රෝගී තත්ත්වයේ රෝගී ලක්ෂණ දෙකම පවතින රෝගීනුත් ඉන්නවා. මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ ද්විත්ව අක්‍රමිකතාව කියල. මෙම තත්ත්ව දෙක එකම අවස්ථාවක හෝ මාරුවෙන් මාරුවට මෙම රෝගීන් තුළ දැකගන්න පුළුවන්.

තම ලිංගික සහකරු හෝ සහකාරිය සම්බන්ධව අනියම් සබඳතා පවතී යැයි ඇතිවිය හැකි අධික සැකය මානසික රෝගී තත්ත්වයක්. මේ තත්ත්වය ව්‍යාධි සැකය කියල හඳුන්වනවා. සහකරු හෝ සහකාරියගේ ඇඳුම් පැලඳුම් පරීක්ෂා කිරීම දක්වා මෙම තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්.

වැඩිහිටියන්ට වැලඳිය හැකි මානසික රෝගී තත්ත්වයක් වන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය සුව කළ නොහැකි නිසි ප්‍රතිකාරවලින් පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්. මෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ අමතක වීමයි. සමීපතමයන් සමීපතම සිදුවීම්වල සිට ක්‍රමයෙන් මෙම අමතකවීම සිදු වෙනවා.

මානසික රෝගී තත්ත්වයන් සුව කළ හැකි අතර, වැදගත් වන්නේ රෝගය නිවැරදිව හා කල් ඇතුව හඳුනාගැනීම, ප්‍රතිකාරවලට යොමුවීම සහ ප්‍රතිකාර නිසි ආකාරව ලබා ගැනීමයි.

මනෝ උපදේශිකා [ඉවෝනි දිල්කි]

මාතෘකා