දරුපල අහිමි කරවන පුරුෂ මඳසරුකම

 ඡායාරූපය:

දරුපල අහිමි කරවන පුරුෂ මඳසරුකම

මානව වර්ගයාගේ අඛණ්ඩත්වය තහවුරු වන්නේ ප්‍රජනනය එනම් නැවත නැවත ජනනය තුළිනි. මානව ප්‍රජනනය යනු ලිංගිකව එක්වීම තුළින් එසේත් නැතිනම් සංසේචනය තුළින් දරුවන් ඇති කිරීමයි. එසේත් නැතිනම් ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන ලිංගික කාර්යයක් හෙවත් සංසර්ගය තුළින් ස්ත්‍රිය ගැබ් ගැනීමයි. සාර්ථක ගැබ් ගැනීමක් සඳහා ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනාම සතුවම ප්‍රමාණවත් සරු බවක් තිබිය යුතුය. එසේත් නැතිනම් ප්‍රමාණවත් ජනන මට්ටම් සපුරා තිබිය යුතුය.

කාන්තාවන්ගේ මඳසරු බව වෙනුවෙන් විවිධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද තිබුණ ද, පුරුෂයන්ගේ මඳසරු බව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයකි. ඇතැම්හු එය සඟවති. බොහෝ දෙනෙක් ඒ බව නොදනිති. පිරිමි මඳසරු බව සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ගෙන තිබෙන මිථ්‍යා මත සහ දැනුවත්විය යුතු කරුණු සම්බන්ධයෙන් කළ වෛද්‍ය සාකච්ඡාවකි.

 පිරිමි මඳසරු බව යනු කුමන තත්ත්වයක්ද?

මඳසරු බව යනු පුද්ගලයකුට, සතෙකුට හෝ ශාකයකට හෝ ස්වභාවිකව ප්‍රජනනය කිරීමට නොහැකි වීමයි. එය සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ස්වභාවික තත්ත්වයට වඩා වෙනස්ය. මඳසරු බව යනු ගැබ් ගැනීමට හෝ සම්පූර්ණ කාලය පුරාවට ගැබ් ගැනීම පවත්වාගෙනයාමට නොහැකි වීමයි. විරුද්ධ ප්‍රජනන පද්ධති දෙකක් අතර සිදුවන සංසර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රී ඩිම්බ (බිත්තර/බීජ යන සරල අදහසින් ද දැක්විය හැක) සහ පිරිමි ශුක්‍රාණු මගින් ගැබ් ගැනීමක් සිදු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මඳසරු බව යනු ප්‍රජනන පද්ධතියේ ඇති රෝගී තත්ත්වයකි. මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් තුළ තම සහකරු සමඟ අඛණ්ඩව අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීම තුළින් සායනික ගැබ් ගැනීමට ලක්වීමට නොහැකි වීම හෝ අසමත් වීම හෝ එමඟින් අදහස් කෙරේ. ප්‍රාථමික මඳසරු බව යනු කිසිදා දරුවකු නොලද යුවළක් තුළ තිබෙන තත්ත්වයක් වන අතර, පළමු ගැබ් ගැනීමකට පසුව දෙවැනි ගැබ් ගැනීමට නොහැකි වීම ද්විතීය මඳසරු බවයි. කාන්තාව හෝ පිරිමියා තුළ තිබෙන විවිධ ආසාදන, ආසාදිත හා රෝගාබාධ නිසා මඳසරු බව ඇතිවිය හැකිය. එහෙත් ඒ සඳහා නිශ්චිත හෝ පැහැදිලි හේතුවක් නොමැත.

වසරක කාලයක් තුළ දී ගැබ් ගැනීමට නොහැකි වීම හෝ අසමත් වීම හෝ 'මැදහත් මඳසරු' (සෞම්‍ය මඳසරු බව) යනුවෙන් වෛද්‍යවරු හඳුන්වති. අපි එය අත්‍යවශයෙන්ම 'මැදහත් මඳසරු' බව යනුවෙන් කියන්නේ නැහැ. එහෙත් එවැනි යුවළක් ඒ සම්බන්ධයෙන් තිබෙන පරීක්ෂණවලට යොමු කරන අතර, යුවළගේ වයස මතද මැදහත් මඳසරු බව තීරණය කෙරෙනවා. යුවළ වයස අවුරුදු 25ට අඩු නම් තවත් වසර දෙකක් සඳහා කල් වේලා ගැනීම සම්මතයයි. එහෙත් දෙදෙනා වයස අවුරුදු 30 හෝ ඒ ආසන්නයේ නම් වසරක කාලයක් බලා හිඳීම සම්මතයි. ඔවුන් දෙදෙනා වයස අවුරුදු 35 හෝ 35ට වැඩි නම් හෝ බලා සිටින කාලය මාස 6කට අඩු වේ.

 කාන්තාවන්ගේ මඳසරු බව සම්බන්ධයෙන් මහජනතාව අතර විශාල කතාබහක් තිබුණත් එහෙත් පොදු පිරිමින්ගේ මඳසරු බව සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් සමාජය තුළ නැහැ නේද? මේ පිළිබඳ වැඩිදුරටත් දැනුවත් කිරීමක් කරනවා නම්?

සාරවත් කාන්තාවක් තුළ ගැබ් ගැනීමක් ඇති කිරීමට පිරිමියකුට ඇති නොහැකියාව පිරිම මඳසරු බව යනුවෙන් හඳුන්වනවා. සංස්කෘතික තත්ත්වය, නින්දා, අපහාස සහ ස්ත්‍රී පුරුෂ අර්ථ නිරූපණ යනාදිය නිසා බොහෝමයක් දෙනා මේ ප්‍රශ්නයේ විශාලත්වය පිළිගන්න කැමැති නැහැ. මේ වනවිට එය ලෝකය පුරා තිබෙන වෛද්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. වසර 1971 දී 'මැදහත් මඳසරු' බවින් පෙලුණේ ලෝක ජනගහනයෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එහෙත් 2012 වනවිට එය සියයට 15ක් දක්වා වැඩි වී තිබෙනවා. සමාජ, පරිසර සහ ආහාර රටා ආදී සාධක ඊට හේතු වී තිබෙන අතර, 'මැදහත් මඳසරු' බවට කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයම සමානව හෝ ආසන්න වශයෙන් සියයට 40කින් දායකත්වය සපයන බව කරන ලද විවිධ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. එයිනුත් ඉතිරි සියයට 20ක් 'විස්තර නොකළ/පැහැදිලි කළ නොහැකි' යනුවෙන් වර්ගීකරණය කර තිබෙනවා. ඉහතදී සඳහන් කළ ආකාරයට මඳසරු බව සෑම විටම ප්‍රාථමික වන්නේ නැහැ. ඇතැම් විට එය ද්විතීක, තෘතීයික නැතිනම් ඊටත් එහාට යන්න පුළුවන්. ඇතැම් විට පළමු දරු සම්පත ලැබීමෙන් පසු දෙවැනි දරු සම්පතක් නොලැබෙන්න පුළුවන්.

පුරුෂ මැදහත් මඳසරු බව විනිශ්චය කරන්නේ කෙසේද? ඒ සඳහා හේතු මොනවාද?

මැදහත් පුරුෂ මඳසරුභාවය, සරලවම කිව්වොත් පුරුෂ මඳසරු බව යනු පුරුෂයාගේ ශුක්‍රාණුවලට කාන්තාවක ගැබ් ගැන්වීමට ඇති හැකියාව සාමාන්‍ය පිරිමියකුගේ හැකියාවට වඩා අඩුවීමයි. පුරුෂ මඳසරු බවෙහි ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. පළමුවැන්න ශුක්‍රාණු ගණන අඩුවීමයි. ප්‍රමාණාත්මකව වෛද්‍යවරුන්ගේ සම්මත අනුව ගැබ් ගැන්වීමට අවශ්‍ය අවම ශුක්‍රාණු ගණන ශුක්‍ර තරල මිලිලීටර 1කට ශුක්‍රාණු මිලියන 15කි. දෙවැන්න සංචලතාව අඩුවීම, එනම්, ශුක්‍රාණුවකට ගමන් කිරීම හෙවත් පිහිනීමට හැකි දුරයි. ශුක්‍රාණුවල දුර්වල සංචලතාව යනු එයට නිසි පරිදි එහා මෙහා යෑමට නොහැකියි යන්නයි. තෙවැන්න දුර්වල ශුක්‍රාණුවල අස්වභාවික පිහිටීම, ව්‍යුහය, ශුක්‍රාණුවල හැඩය හෝ භෞතික පෙනුමයි. ඉහත කී කරුණු තුන නිසා ගැබ් ගැනීම වළක්වමින් මඳසරු බව ඇති කළ හැකිය.

පුරුෂ මැදහත් මඳසරුභාවයෙන් පෙළෙන්නන් සඳහා මෙරට තිබෙන ප්‍රතිකාර මොනවාද?

අවාසනාවකට පුරුෂ මැදහත් මඳසරුබව සඳහා නූතන විද්‍යාව තුළ වෛද්‍ය ප්‍රතිකාර නැතිම තරම්. කෙසේ නමුත් පුරාණ ආයුර්වේද ප්‍රතිකර්ම පිළිබඳ කළ පර්යේෂණ තුළින් පුරුෂ මඳසරුබව සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවා. නූතන වෛද්‍ය විද්‍යාව තුළ පුරුෂයකු මැදහත් මඳසරුභාවයෙන් පෙළෙන්නේ නම්, සහයක ප්‍රජනනය සඳහා වන තාක්ෂණික ක්‍රම භාවිත කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක සාමාන්‍ය පුරවැසියකුගේ ආදායම් සසඳා බැලීමේදී ඒ සඳහා වැයවන වියදම් ඉතා ඉහළයි. වඩාත් ප්‍රසිද්ධ 'ඉන් විට්‍රෝ ෆර්ටිලයිසේෂන්' ක්‍රමවේදය සඳහා විශාල මුදලක් වැය වෙනවා. මෙම ක්‍රමවේදයෙන් උපදින දරුවන් 'නළ දරුවන්' (ටෙස්ට් ටියුබ් බේබි) යනුවෙන්ද හඳුන්වනවා. අනෙක් අතට සරල 'ඉන්ට්රායුටරීන් ඉන්සෙමිනේෂන්' තාක්ෂණය සඳහා සැලකිය යුතු තරමේ මුදලක් වැයවනවා.

අපගේ සමාජය තුළ පුරුෂ මඳසරුභාවය පිළිබඳ ඇති දැනුවත්කම ප්‍රමාණවත්ද?

අවාසනාවකට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. කෙනෙකුගේ ප්‍රජනන පද්ධතියේ හැකියාව හීන කරන බොහෝ සාධක තිබෙන්නට පුළුවන්. දරුවකු ලැබීම සරල හා ස්වභාවික ක්‍රියාදාමයක් ලෙස අපට පෙනෙන්නට තිබුණත් ඒ සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර හා කායික ක්‍රියාවලීන් ඉතා සංකීර්ණ මෙන්ම බොහෝ බාහිර හා අභ්‍යන්තර සාධක මත රඳා පවතින්නට පුළුවන්. නිරෝගී ශුක්‍රාණු නිපදවීම, නිරෝගී ඩිම්බ නිපදවීම, පැලෝපිය නාල තුළ ඩිම්බය වෙත ශුක්‍රාණුවලට අවහිර නොවීම්, ශුක්‍රාණු මගින් ඩිම්බය සාර්ථකව සංසේචනය කිරීම, එසේ සංසේචනය වූ යුක්තාණුව සාර්ථකව ගර්භාශයේ තැම්පත් වීම හා අවසාන වශයෙන් යුක්තාණුව නිසි භ‍්‍රැණයක තත්ත්වයට පත්වීම ආදී බොහෝ සාධක ඒ සඳහා බලපානවා.

නූතන වෛද්‍ය විද්‍යාව අද බොහෝ වර්ධනයන් අත්පත් කරගත්තද ශුක්‍රාණු ප්‍රමාණාත්මකව වර්ධනය කිරීම හෝ ශුක්‍රාණුවල සංචලතාව වර්ධනය කිරීම හෝ ශුක්‍රාණුවල හැඩය හෝ භෞතික පෙනුම වර්ධනය කිරීම ආදී ක්‍රියාවලින් සඳහා සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බව මගේ හැඟීමයි. එනමුත් ආයුර්වේදය තුළින් අප සමාජයේ වඩාත් වැඩිතර පිරිසකට ශුක්‍රාණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කිරීම මෙන්ම නිරෝගී ශුක්‍රාණු නිෂ්පාදනය මගින් සමාජයේ වැඩි පිරිසකට දරු පල අත්කර දිය හැකි බව අපගේ පර්යේෂණ තුළින් හෙළි වී තිබෙනවා.

අදහස් දැක්වීම

වෛද්‍ය රෝහණ ප්‍රිය සුසන්ත රණසිංහ

(වෛද්‍ය රෝහණ ප්‍රිය සුසන්ත රණසිංහ මහතා සමඟ [email protected] මගින් සම්බන්ධ විය හැක)

මාතෘකා