බබාගේ පෝෂණය ගැන මේ දේවල් දන්නවාද?

 ඡායාරූපය:

බබාගේ පෝෂණය ගැන මේ දේවල් දන්නවාද?

සෑම මවකගේම ප්‍රාර්ථනාව නිරෝගී දරුවකු ‍ෙමලොවට ජනිත කිරීමය. මවක වීමට අපේක්ෂා කරන සෑම යුවතියක්ම තම යෞවන වියේ සිටම නිරෝගී බවකින් මෙන්ම යහපත් මානසිකත්වයෙන් යුතුව සිටීමට උනන්දු වීම අත්‍යවශ්‍ය වේ. මවකට තම අලුත උපන් බිලිඳාගේ පෝෂණය තම ජීවිතය තරමටම වටින්නේ,බිලිඳු අවධියේදී නිසි පෝෂණයක් නොලබන දරුවා අනාගතයේදී බෝ නොවන රෝගවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන නිසාය. විශේෂයෙන්ම මාස 06 දක්වා බිලිඳාට ලබාදිය යුත්තේ මවුකිරි පමණි. රැකියා නියුක්ත මවුවරුන් රැකියාවට පිටත්ව යාමට පෙර පිරිසුදු සුදුසු බඳුනක කිරි ගබඩා කර තබා දරුවාට පසුව දිය හැක. ඒ සම්බන්ධ නිසි උපදෙස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබාගැනීම වඩාත් සුදුසු වේ .

පහත දැක්වෙන්නේ බිලිඳු දරුවකුගේ පෝෂණය පිළිබඳව මවක් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයකි.

වයස මාස 08 සිට

ආරම්භයේදී බිත්තර කහමද සුළු ප්‍රමාණයක් දීම සුදුසුය. ටිකෙන් ටික එම ප්‍රමාණය වැඩි කළ යුතුය. පසුව තම්බන ලද බිත්තර සුදු මදයද දිය යුතුය. ආරම්භයේදී දවසක් හැර දවසක් ලෙස බිත්තර දිය යුතු අතර, තෝරාගත් පරිදි සතියකට දෙවරක් මස්, කුකුළු මස්, පීකුදු යන වර්ගවලින් එකක් එළවළු සුප් සමඟ දීමට හුරු කළ යුතුය. සතියකට තුන් වතාවක් රාත්‍රී ආහාරය සඳහා අර්තාපල් පොඩිකර දීම සුදුසු වේ. බිලිඳාට මාස 08 වන විට අතින් අල්ලාගෙන කෑමට පහසු ආකාරයේ ආහාර වර්ග හුරු කළ යුතුය. ළදරු සායන සඳහා බිලිඳා රැගෙන යාම අනිවාර්යයෙන් කළ යුතු අතර, දරුවාගේ බ‍ෙරහි අඩුවීමක් තිබේ නම්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.

වයස මාස 10 සිට

උදෑසන ආහාරය ලෙස පොඩිකරගත් බත් හෝ පාන්, බටර්, කිරි බත්, මුං ඇට, කඩල ලබාදීම සුදුසුය. දහවල් ආහාර ලෙස ගම්මිරිස් හා මිරිස් කුඩු නොදමන ලද වෑංජන හුරු කළ හැක. පොල් කිරි , කහ කුඩු , තුනපහ කුඩුද ස්වල්ප වශයෙන් දරුවාගේ කෑමවේලට එක්කළ හැක. නමුත් දිනපතා සාමාන්‍ය බත් තලපය හෝ සුප් එක දීමට අමතක නොකළ යුතුය. දරුවා කෑම කන ආකාරය අනුව මේ සියලු ආහාර වර්ග දිය හැකිය. නමුත් ගැළපෙන අයුරින් එම ආහාරද වෙනස් කිරීමට උත්සාහ කළ යුතු වේ. එමඟින් දරුවා වැඩෙන විට ආහාර දත්වලින් සැපීමට පුරුදු වේ. ඉඳිආප්ප සහ අර්තාපල් හොදි, තෝසේ, ඉට්ලි පොඩිකරගත් අර්තාපල් සමඟ ලබාදීම කළ හැකිය.

වයස අවුරුදු 1-3 දක්වා

මෙම අවධියේදී දරුවා ආහාර පිළිබඳ අකැමැත්තක් පෙන්වීම ස්වාභාවිකය. කෙසේ වෙතත් දරුවා අවශ්‍ය නිසි පෝෂණය ලබන බව තහවුරු කරගත යුතුය. මෙම කාල සීමාවේදී දරුවාට වැඩිහිටි ආහාර වේල හුරු කිරීම ආරම්භ කළ හැකිය. ඒ සඳහා මඳක් උණුසුම් හා රසවත් කෑම දිය හැකිය. කිරි අවුන්ස 6-7 ක් ලබා දීම සුදුසු ය. දරුවාගේ දෛනික කිරි ආහාරයද ලබා දීමට අමතක නොකළ යුතුය. දරුවන් සඳහා විශේෂිත වූ කිරි සහිත ධාන්‍යමය ආහාරද මේ කාලයේදී දරුවාගේ දෛනික ආහාරවේල සඳහා එකතු කළ හැකිය. මාස 18ක් වන විට දරුවා සායනයට රැගෙන ගොස් වර්ධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබාගැනීම සුදුසුය.

උපදෙස් - ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව සැකසූ "සෞඛ්‍ය වෘත්තිකයන් හරහා මවුවරුන්ට" නමැති උපදෙස් පත්‍රිකාවක් ඇසුරිනි.

සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා