මයික්‍රොවේව් උදුන පාවිච්චි කරන හරි විදිහ

 ඡායාරූපය:

මයික්‍රොවේව් උදුන පාවිච්චි කරන හරි විදිහ

නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු ගෘහ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී, කථිකාචාර්ය රාණි එදිරිසිංහ මහත්මියගේ “ ප්‍රායෝගික ගෘහ කළමනාකරණය“ කෘතිය ඇසුරිනි.

වර්තමානයේදී සෑම නිවසකම ගෘහිණියක් උත්සාහ දරන්නේ තම ආහාරපාන හැකි ඉක්මනින් පිස ගැනීමටය. ඒ සඳහා ඔවුහු නවීන පන්නයේ උපකරණ භාවිත කරනු ලබති. ඒ අතරින් බොහෝ දෙනෙක් අද වන විට මයික්‍රොවේව් උදුන් භාවිත කරමින් ආහාර පිසීමට පෙලඹී ඇත. පහත දැක්වෙන්නේ මයික්‍රොවේව් උදුන(ක්ෂුද්‍ර තරංග උදුන) නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳවය.

නව තාක්ෂණයේ දියුණුවත් සමඟ ආහාර පිසීමේ උපකරණ අතරට එක්වූ උදුනක් ලෙස ක්ෂුද්‍ර තරංග උදුන ‍හැඳින්වීමට පුළුවන. ඉතා ඉක්මනින් පිසීම කරගත හැකි මෙය මෝස්තර 3කින් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. එනම්, එහා මෙහා ගෙනයා හැකි(පෝටබල්) උදුන්, ද්විත්ව (පෝරණුව සහිත) උදුන් සහ සංවහන හා ක්ෂුද්‍ර තරංග සංයුක්ත උදුන් ලෙසටය.

ක්‍රියාකාරීත්වය

මෙය ක්‍රියාකාරී වනුයේ ගුවන් විදුලි තරංග බඳු තරංග විශේෂයක් උදුන තුළ ක්‍රියාකාරී වීමෙනි. මෙම තරංග නිපදවනුයේ මැග්නට්‍රෝනය නම් වූ විශේෂ තලයක් මඟිනි. මෙම මැග්නට්‍රෝනය තුළ නිපදවන ක්ෂුද්‍ර තරංග ලෝහමය නළයක් ඔස්සේ උදුන තුළට ගලා එයි. මෙම තරංග නිසි පරිදි පරාවර්තනය කිරීමට ලෝහමය තලද යොදා ඇත. මේ තල කරකැවෙන අතර ඒ මඟින් තරංග පිසින ආහාරයේ සෑම අංශුවක් කරාම යොමුවේ. ආහාර අංශුවලට කෙළින්ම තාපය ගමන් කිරීම නිසා බඳුන රත්නොවී ආහාර පිසීම සිදු වේ. උදුන ක්‍රියාකාරීව තිබියදී දොර ඇරීම හානිකර නිසා ඒ සඳහා වෙනම ලොක් එකක් සවි කර ඇත. එකවරම තරංග ආහාර මතට ගමන් නොකළොත් උදුනේ ඇති ලෝහමය බිත්ති මත වැදී යළිත් ආහාර වෙතටම පරාවර්තනය වේ. මැග්නට්‍රෝනයෙන් නික්ම උදුන තුළට එන තරංග තප්පරයක් තුළදී චක්‍ර කෝටි ගණනක් චලනය වේ. මෙම චලනය නිසා තරංගවල ගැබ්ව තිබූ විද්‍යුත් චුම්බක ශක්තිය ආහාර තුළදී තාප ශක්තිය බවට පත්වේ. ඕනෑම ආහාරයක් පිසගත හැකිය. ලෝහ බඳුන් හා පිඟාන වීදුරු, මැටි හා ඇතැම් ප්ලාස්ටික් භාජනද මෙම උදුනේ භාවිත කළ හැකිය‍.

වාසි

ශීතකරණයෙන් ඉවතට ගත් ආහාර කාමර උෂ්ණත්වයට එනතෙක් නොසිට ක්ෂණිකයකින් පිසගත හැකි වීම.

කෑම පැකැට්ටු හා පාර්සල් ඒ ආකරයටම තබා උණුසුම් කරගත හැකිවීම.

බඳුන් පිලිස්සීමක් නොවීම.

කාලය, ශ්‍රමය, ඉන්ධන හා පෝෂක රැකීම.

අවාසි

මූලික වියදම් වැඩි වීම.

විදුලිය නොමැති විට භාවිත කළ නොහැකි වීම.

නඩත්තුව හා පිරිසුදු කිරීම.

ආරක්ෂාව සහ නඩත්තුව සඳහා

ජලය සහිත බඳුන් ඇතුළත නොතැබිය යුතුය.

ගලවා ඉවතට ගත හැකි කොටස් (තට්ටු) ඉවතට ගෙන පිසදා නැවත තැන්පත් කළ යුතුය.

 

සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා