මරණයට සරදම් කළ පානදුරේ ඩිඩි නෝනා

 ඡායාරූපය:

මරණයට සරදම් කළ පානදුරේ ඩිඩි නෝනා

"බුදු සරණ වේවා... දම් සරණ වේවා...

සඟ සරණ වේවා... මෙතුන් සරණින් ජයම වේවා..."

මේ පැතුම මට කළ "බෙන්තර නැන්දා" යන ආදරණීය නාමයෙන් හැඳින්වූ දන්දුන්න්ගේ දෝන ඩිඩි නෝනා මාතාව මට හමු වුණේ පානදුර වාලනේදීය. ඒ ඇගේ බාල දියණියගේ නිවසයි. ඩිඩි නෝනා මාතාව උපත ලබා ඇත්තේ 1915.06.24 වැනි දිනයි. මට හමු වන විට ඇගේ වයස අවුරුදු 103යි මාස 3කි. ඇය බැහැ දැකීමට පැමිණෙන ඕනෑම අයෙකුට මුලින්ම තෙරුවන් සරණ පැතීම ඇගේ සිරිතය.

"ඉතින් පුතා කොහෙන්ද?" ඇය මගෙන් විමසුවාය. ඇයගේ දියණිය පැවසූ ලෙස ඇය මේ කතා කළේ දින කීපයකට පසුවයි. මා ඇය බැහැදැකීමට යන අවස්ථාවේදී ඇය දැඩි නින්දේ පසු වූ අතර මා එපා කියද්දී ඇගේ බාල දියණිය ලක්ෂ්මිණි බාලසූරිය මහත්මිය ඇය අවදි ක‍ළේ දැඩි වෙහෙසක් ගනිමිනි. "අම්මේ.... බලන්නකෝ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා..." ලක්ෂ්මිණි පැවසුවාය.

මම පත්තරෙන්.... ඇයගේ පැනයට මා දුන් පිළිතුරෙන් ඇය සැහීමකට පත් නොවිණි. "ලේක් හවුස් එකෙන්" මම නැවතත් කීවෙමි.‍ එවර ඇගේ මුව විවර වූ අතර, මුවට නගා ගත් සිනහවකින් මෙසේ ඇසීය. ''දිනමිණ පත්තරෙන්ද?" වයස අවුරුදු සියය ඉක්මවා තිබුණත්, ගතින් දුබල වුවත් ඇයගේ මතක ශක්තිය හා දැනුම පිළිබද තක්සේරුවක් ඉන් මට ලැබිණි.

"මාවත් පත්තරේ දානවද? හොඳයි.... හොඳයි... ලස්සනට ලියන්නකෝ.... ලස්සන පින්තුරයක් දාන්නකෝ... අපිටත් බලන්න" ඇඳේ සිටියත්, ගතේ ශක්තිය හීන වෙමින් ගියත්, ඇය මගේ කැමරාව ඉදිරියේ නිරූපන ශිල්පිනියක් මෙන් විණි. මට ඕනෑ හැටියට පින්තුර ගන්නා ලෙසද ඇය ඉල්ලා සිටියාය. විටෙක මුව විවර කර සිනාසෙන ඇය තවත් විටෙක මුව වසා සිනාසිණි. සිය මවගේ ප්‍රබෝධමත් හැසිරීම දියණියටද පුදුමයකි.

බාල විය

ඩිඩි නෝනා නොහොත් බෙන්තර නැන්දා උපත ලබා ඇත්තේ ගම්මන පන්තොටයි. තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ බෙන්තර නැන්දාට බාල සහෝදරයන් දෙදෙනෙකු සිට ඇත. පියා තෙපානිස් මහතා අවුරුදු අසූපහක් ජීවත්ව ඇති අතර මව මිසි නෝනා අවුරුදු හැත්තෑවක් ජීවත්ව ඇත.

"අපි දකුණේ..." එහි ලොකු ගැඹුරක් හා ආඩම්බරයක් තිබිණි. ඇගේ මා දුටු තවත් විශේෂත්වයක් වූයේ සෑම විටම ඇය පමණක් නොව සියලු දෙනා එකතු කර ගනිමින් කතා කිරීමයි.

"අපේ මුල්ගම පන්තොට. ඒ කියන්නේ අලුත්ගමට කිට්ටුව. මම ඉස්කෝලේ ගියේ ගල්තර ඉස්කෝලෙට. අටට ගියා. අටේදී මම ලොකු ළමයෙක් වුණා. ඊට පස්සේ තාත්තා මගේ ඉස්කෝලේ ගමන නැවැත්තුවා. ඒ දවස්වල ලොකු මතයක් තිබුණා ගැහැනු ළමයි වැඩිපුර ඉගෙන ගන්න ඕනෑ නැහැ කියලා. ඒ වගේම වැඩිවියට පත්වුණාට පස්සේ තනියම කොහෙවත් යවන්න හොඳ නැහැ කියලා. මටත් ඒක බලපෑවා. මගේ ලොකු ආශාවක් තිබුණා ගුරුවරියක් වෙන්න. මට ඒ අවස්ථාව නැති වුණේ එදා සමාජයේ ගෑනු අයට තැනක් නොතිබුණු නිසයි. ගෑනු අය කුස්සියට කොටු කළ නිසයි. නමුත් අපේ කාලයෙන් පස්සේ මේ තත්ත්වේ අඩු වුණා. මට බැරි වුණාට මගේ දූ ඉගෙනගෙන ලොකු රැකියාවක් කළා "

රැස දිගාසිරි චාරිකාවේදී ගුරුවරියන් වීමේ සිහින දුටු බොහෝ දෙනෙකු අපිට හමු විණි. එයින් බහුතරයකගේ සිහින බොඳව තිබුණත් එය ඔවුන්ගේ වැඩිහිටියන්ගේ පෞද්ගලික නරකක් නිසා සිදු වූවක් නොවේ. ඒ අතීතයේ අප පසු කරගෙන ආ එක් යුගයක හැටිය. රැස දිගාසිරි චාරිකාවෙන් හමු වන්නෝ ඒ අතීතය පිළිබඳ සාක්ෂිකරුවෝ වෙති.

විවාහය

අද මෙන් නොව එකල බහුතරයක් විවාහ වූයේ දෙමාපිය යෝජනා අනුවයි. එයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ පෙර සඳහන් කළාක් මෙන් තරුණ ගැහැනු ළමුන් තනිව එළියට නොයැවීමේ ප්‍රතිපත්තියයි.

"මම ගෙදර නැවතුණාට ඉගෙන ගැනීම නතර කළේ නැහැ. ඉගෙන ගන්න ඉස්කෝලෙම යන්න ඕන නැහැ. මම දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තා. උයන්න පිහන්න ඉගෙන ගත්තා. දෑතේ වැඩ මට හොඳට පුළුවන්. පැදුරු, මලු, වට්ටි, පෙට්ටි ඕනෑ දෙයක් මට පුළුවන්. මේ අතරේ තමයි මට විවාහ යෝජනාව ආවේ. පානදුරේ ඉඳලා පීටර් සමනක්කොඩි මහත්මයා අපේ ගම් කිට්ටුවට ඇවිල්ලා කඩයක් දාගෙන හිටියා. මේ මහත්තයා තමයි දෙමාපියන් මට යෝජනා කළේ. මම එක පයින් කැමති වුණා. කසාද බැන්දා. ඊට පහු කාලෙක තමයි අපි දෙන්නා නැවත පානදුරේට ආවේ. යුද්ධ කාලේ මගේ මහත්තයා රාජකීය හමුදාවේත් වැඩකරලා තියනවා. ඊට පස්සේ පානදුර ශ්‍රී සුමංගල ඉස්කොලේ වැඩ කරලා තියනවා."

පරපුර

ඩිඩි නෝනා දරුවන් පස්දෙනෙකුගේ මවකි. ඉන් දෙදෙනකු කුඩා කාලයේදීම මියයන අතර, සිටි එකම පිරිමි දරුවාද ඇයට අහිමි වී බොහෝ කල්ය. ඒ ප්‍රේමදාස සමනක්කොඩි මහතායි. ඔහු වයස අවුරුදු 59 දී මියගොස් ඇති අතර ඔහු සේවය කර තිබුණේ පානදුර විවිධ සේවා සමුපකාරයේය. ඔහු විවාහ වී සිටියේ නැත. මේ පවුලේ දෙවැනියා වන්නේ ලලිතා පද්මිණි සමනක්කොඩි මහත්මියයි. ඇය විවාහ වී පානදුර ප්‍රදේශයේම ජීවත් වන අතර ඇයට දියණියන් දෙදෙනකු හා පුත්‍රයකු සිටී. මේ පවුලේ බාල දියණිය වන්නේ ලක්ෂ්මිණි බාලසූරිය මහත්මියයි. ඇය මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ රහස්‍ය ලේකම්වරියක ලෙස සේවය කර ඇති අතර මහජන බැංකුවේ නියෝජ්‍ය කළමනාකරුවකු ලෙස සේවය කළ බාලසූරිය මහතා ඇගේ ස්වාමිපුරුෂයාය. මේ දෙදෙනාට එක් පුත්‍රයකු සිටී.

වේලාපත්කඩය

වේලාපත්කඩය යනු ජීවිතය ගැන යමෙකුට අනාවැකි පළකරන සාම්ප්‍රදායික ගණිත ශාස්ත්‍රයට අනුව සැකසුණු ලේඛනයකි. කේන්දරය, හදහන, ජන්ම පත්‍රය ආදී නම් වලින් හදුන්වන්නේද එයයි. පුද්ගලයෙකු උපන් වෙලාවත් උපන් ස්ථානයත් කේන්ද්‍ර කොට බලන විට ඉර හඳ ඇතුළු විශ්වයේ පිහිටි ග්‍රහ තාරකාවන් විශ්වයේ පිහිටන ආකාරය සඳහන් කොට තැනූ සිතියමක් ලෙස සඳහන් කළ හැක. බොහෝ විට මෙමඟින් ආනාගතයේ සිදු විය හැකි සිදුවීම් හා අතීතයේදී සිදු වූ තොරතුරු ද දැනගත හැකි බව පැවසෙයි. එහෙත් ඩිඩි නෝනා කේන්දරය බොරු කළ කෙනෙකි.

සාමාන්‍යයෙන් පාංශුකූලයක් දෙන්නේ මිය ගිය කෙනෙකුටය. එහෙත් ජීවත්ව සිටියදී පාංශුකූලය ලබා ගත් තැනැත්තියකි ඩිඩි නෝනා. ඒ මීට වසර අටකට ඉහතදීය. එවැනි පාංශුකූලය දීම් හැඳින්වෙන්නේ ‘ජීවදාන පාංශුකූලය‘ යනුවෙනි. ඇය එවැන්නක් ලබා ගැනීමට හේතුව වී ඇත්තේ ඇගේ හඳහන පරීක්ෂා කළ දෛවඥයකු ඇය අවුරුදු අනූ පහේදී මියයන බව පැවසීමයි. මෙදින අනිවාර්යයෙන්ම ඇය මියයන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඊට සතුටින් මුහුණ දීම සදහා ඇය සූදානම් වී තිබේ. ඒ පිළිබද මතකය අවදි කළ ලක්ෂ්මිණි මහත්මිය ප්‍රකාශ කළේ සිය මව මරණය සදහා එදින සිටම සූදානම් වූ බවයි.

"අම්මගේ හඳහන බලලා තමයි මේ ගැන කිව්වේ. ඒ දිනේ කිට්ටු වෙද්දී අම්මා කිව්වා, හාමුදුරුවෝ වඩම්මලා ජීවදාන පාංශුකූලෙ දෙන්න කියලා. අපි අම්මා කියපු විදිහටම කළා. අම්මා විතරක් නෙමෙයි අපිටත් හිතුණා එහෙම වෙයි කියලා. මේ නිසා අපි දුකෙන් හිටියේ. හැබැයි පාංශුකූලේ දුන්නට අම්මා මරුණේ නැහැ . ඒ නිසා අපි කළේ ඔක්කොම එකතු වෙලා හොඳ පාටියක් දාන එක. ඊට පස්සේ මේ අවුරුද්දේ හැරෙන්න උපන් දිනේටම හැම අවුරුද්දකම වගේ ලොකු පාටියක් දැම්මා. දයාන් විතාරණ මහත්තයත් මේකට සහභාගී වුණා. ධනංජය බණ්ඩාර මහත්තයා සමඟ තවත් කණ්ඩායමක් තමයි මේ පාටිය සංවිධානය කළේ. මේ පාටිවලට ආවම හැමෝම අම්මගෙන් අහන දෙයක් තිබුණා. ඒ කොහෙන්ද අද මේකප් එක කර ගත්තේ කියලා. ඊළඟට ඇහුවේ, කොණ්ඩේ, ඇහිබැමි සුදු නොවුණු රහස මොකද්ද කියලා. හැබැයි අපේ අම්මා කවදාවත් මේකප් එකක් කරලා නැහැ. අම්මගේ

අන්තිම ඉල්ලීම මොකද්ද දන්නවද? මැරුණම පය විසිහතරක් යන්න පෙර අවසන් කටයුතු කරන්න ඕනෑ. ඊළඟට මිනිය එම්බාම් කරන්න එපා කියන එක"

අවසානය

බුදුදහමට අනුව මෙලොව මිනිස්‌ ජීවිතය යනු නවගාමී අනිත්‍ය දුක්‌ඛ අනාත්ම වූ ජීවියකුගේ සසරෙහි තාවකාලික නවාතැන් පොළකි. අනවරාග්‍ර, එනම් කෙළවරක්‌ නැති සසරෙහි සරන්නකුගේ තවත් එක්‌ භවයකි. ඩිඩි නෝනාටද එය පොදුයි. කේන්දරය විශ්වාස කොට, මරණයට සූදානම් වී පාංශුකූලයද දුන් ඇය, මරණයට සරදම් කරමින් තවත් වසර 8ක් ඇය දිවි ගෙව්වාය. එයින් පසුව ඇගේ සමීපතමයින් වාර්ෂිකව පැවැත්වූ සාදය ඇයගේ සතුට පිණිසම විය. ජීවිතය බදා වැළඳගත යුතු දෙයක් හෝ, මරණය බිය විය යුතු දෙයක් ලෙස ඇය සැලකුවේ නැත. දින කිහිපයකට පෙර මා හා කතා කළ මේ උදාර මාතාව, ඉතා පිවිතුරු හදවතකින් යුතු කෙනෙකු බව මට අවබෝධ විය. "මාවත් පත්තරේ දානවද ?....... හොඳයි ....හොඳයි ...ලස්සනට ලියන්නකෝ ........ලස්සන පින්තුරයක් දාන්නකෝ... අපිටත් බලන්න" ඒ ඇය මගෙන් කළ අවසන් ඉල්ලීමයි. එයද මගේ කටයුත්තට සහාය වීමේ කාරුණික අදහස මිස ඊට වැඩි අපේක්ෂාවක් තිබුණු බවක් මට නොසිතේ.

මේ සටහන ලියමින් සිටියදී, ඇගේ දියණිය මගේ දුරකථනයට ඇමතුවාය. ඇය කී පණිවුඩය මා සසල කළේ නැත.

"අම්ම නිදාගෙන හිටිය මහත්තයා, ඇඳ ඇතිරිල්ලවත් පොඩිවෙලා තිබුණෙ නැහැ. අම්මගෙ කැමැත්ත හැටියටම හැම දේම සිද්ධවුණා."-

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා