කාන්තාවන්ට වැඩිපුර ගැළපෙන ආහාරපාන

 ඡායාරූපය:

කාන්තාවන්ට වැඩිපුර ගැළපෙන ආහාරපාන

කාන්තාවකගේ භූමිකාව ගොඩාක් සංකීර්ණයි. දුවක්, සොයුරියක්, බිරිඳක්, මවක් සහ ගෘහණියක් විදිහට වගේම වෘත්තිය ජීවිතය තුළත් ඔබ ගෙවන්නේ වගකීම් රාශියක් පිරුණු කාර්යබහුල ජීවිතයක්. ඒ වගකීම් සියල්ල නිසියාකාරව ඉටුකරන්න කාන්තාවට අත්‍යවශ්‍යම වන දෙයක් තමයි නිරෝගී සෞඛ්‍යය කියන්නේ. නමුත් අපේ බොහෝ කාන්තාවන් පවුලේ අය වෙනුවෙන් කොයිතරම් වගකීම්, යුතුකම් සම්භාරයක් ඉටුකළත් තමා වෙනුවෙන් නම් යොදවන්නේ බොහොම අඩු අවධානයක්. එය කිසිසේත්ම හිතකර වන්නේ නැහැ. ඔබ දුර්වල වුවහොත්, රෝගී වුවහොත් එයින් පවුලේ දියුණුවට විශාල බාධාවක් සිදුවන බව නිතරම මතක තබාගත යුතුය. විශේෂයෙන් කාලයක් තිස්සේ එක දිගට කායිකව මානසිකව වෙහෙස වන කාන්තාවන්ට ජීවිතයේ තුන් වැනි දශකය පසුකරන විට විවිධාකාර රෝගාබාධ ඇතිවීමේ වැඩි ඉඩක් තිබෙනවා. හදවත් රෝග, දියවැඩියාව, ඔස්ටියෝපොරෝසීස්, ආතරයිටීස්, කොන්දේ ආබාධ, ප්‍රසව රෝග සහ ඇතැම් විට විෂාදය වැනි තත්ත්වයන්ට පවා ලක්විය හැකියි. එමෙන්ම පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා වැනි අවාසනාවන්ත රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද තිබෙනවා.

 

එම නිසා විශේෂයෙන් වයස අවුරුදු 30 පසුකළ කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ නිබඳ අවධානයෙන් සිටීම වැදගත් වන්නේ වයස අවුරුදු 30න් පසුව කාන්තාවන්ට වැඩිපුර පෝෂණයක් අවශ්‍ය වන නිසයි. අධික ලෙස කාර්යබහුල වීම නිසා අස්ථි දුර්වලතා ආදිය ඇතිවිය හැකි බැවින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා උපකාරී වන පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාරපාන දෛනික ආහාරවේලට ඇතුළත් වීම අවශ්‍යයි. ඒ වගේම වයස අවුරුදු 35න් පසු සුවනාරී සායනයට සහභාගි වී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමත් ඉතා වැදගත්.

ඒ වගේම කාන්තා ඔබට විශේෂයෙන් වැදගත් වන පෝෂණ සංඝටක පිළිබඳව දැනුවත්ව සිටීමද වැදගත් වනවා. ඔමේගා 3 මේද අම්ලය හදවතේ නිරෝගී බවට කදිමයි. සිරුර වඩවන, මතක ශක්තිය වඩවන ගුණයක් ද ඔමේගා 3 මේද අම්ලවල අඩංගුයි. ඒ වගේම විටමින්, තන්තු, යකඩ ලේ වඩවන අතර සිරුරට ශක්තිය ලබාදෙනවා. ප්‍රෝටීන් ආඝාතය හා පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන අතර අස්ථි ශක්තිමත් වීම සඳහා කැල්සියම්, විටමින් බී සහ ඛනිඡ ලවණ අත්‍යවශ්‍ය වන අතර ඒවා හිසකෙස්, නිය සහ දත්වල වැඩීමට ද හිතකරයි. ඒ වගේම මස්,මාළු ආහාරයට නොගන්නා කාන්තාවන්ගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට සෝයා ප්‍රෝටීන් සපිරි කිරි කදිමයි. ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාවක්ද සෝයා සතු වන නිසා සෝයා ආශ්‍රිත ආහාර හදවතටද හිතකරයි. විටමින් සී සපිරි සියඹලා මෝජුව, ප්‍රෝටීන් සපිරි පරිප්පු වෑංජනය සහ මෝර මාළු මැල්ලුමත් කාන්තා ඔබට විශේෂයෙන් ගුණදායකයි. බෝංචි විටමින් බහුල එළවළුවක්. අර්තාපල් ප්‍රෝටීන් සහිත නිසා ශරීරය වඩවනවා. හාල් පිටිවලින් සාදාගත් මනි පිට්ටු කදිම උදෑසන ආහාරයක්. මෙවැනි පෝෂ්‍යදායී ආහාර වැඩි වශයෙන් ආහාරයට ගෙන ඔබත් ඔබේ ජීවිතය නිරෝගී කරගන්න.

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා