දත් සුදු කරන හැටි

 ඡායාරූපය:

දත් සුදු කරන හැටි

දන්ත කල්‍යාණය කියන්නේ කාන්තා රුව ඔප නංවන වැදගත්ම අංගයක්. දත් අවපැහැ වී ඇති නම් මොන තරම් රූපලාවණ්‍ය ආලේපන ගැල්වුවත් වැඩක් නැහැ. මෙම පුංචි පිළියම් අවපැහැ වූ දත් නැවත දීප්තිමත් කරගැනුමට උපකාරී වේ.

දන්තාලේපවලින් මෙතෙක් කල් කොපමණ දත් මැද්දත් දත් අවපැහැ ගැන්වී ඇත්නම් එයට හොඳම විසඳුම වනුයේ පොල් තෙල්ය. පොල් තෙල් හා බේකින් පවුඩර් ස්වල්ප වශයෙන් ගෙන පහත ආකාරයට මිශ්‍රණය සාදා ගන්න.

පියනක් සහිත කුඩා පිරිසුදු බඳුනක් ගෙන එයට පොල් තෙල් හා බේකින් සෝඩා සමාන කොටස් දෙකක් යොදන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් Peppermint වැනි රසයකින් බිංදු කිහිපයක් එක්කර ගන්න. සාදාගත් එම මිශ්‍රණය සිසිල් ස්ථානයක තබන්න. මෙම සාදාගත් මිශ්‍රණයෙන් දිනපතා දත් මැදීමෙන් ඔබට දීප්තිමත් දත් දෙපළක් ලබාගත හැකිවේවි. ඒ වගේම ඔබට දීප්තිමත් දත් දෙපළක් පහසුවෙන් ලබාගැනීමට දත් මැදීමට විනාඩි දෙක තුනකට පමණ පෙර ඔලිව් තෙල් ටිකක් ගෙන පිරිසුදු රෙදි කැබැල්ලකින් හෝ කපු පුළුන් කැබැල්ලක් මගින් දත්වල ආලේප කරන්න. දැන් සුපුරුදු පරිදි දත් මදින්න.

පහසුවෙන්ම සපයාගත හැකි කෙසෙල් ලෙලි, දොඩම් ලෙලි, පලතුරු ලෙලිවල ඇතුළු පැත්ත දත් දෙපළේ හොඳින් අතුල්ලන්න. මෙම පලතුරු ලෙලි මැග්නීසියම්, මැන්ගනීස් සහ පොටෑසියම් ආදී දත්වල එනමලය සවිමත් කිරීමට සමත් පෝෂකවලින් ඉතා සාරවත්ය. එසේ පලතුරු ලෙලි ආලේප කර විනාඩි කිහිපයකට පසු දත් සුපුරුදු පරිදි මැදගන්න. එහිදී දන්තාලේප භාවිත කිරීම අවශ්‍ය නැති අතර සතියකට දෙවරක්වත් මෙම ප්‍රතිකර්මය කරනවා නම් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

 

[යශෝදා ඉන්දීවරී] අන්තර්ජාලය ඇසුරිනි

-------------------------------

නිරෝගී වරලසකට සත්කාර

හිසකෙස් කියන්නේ කාන්තාවකට මිණි කිරුළක් කියලා අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඒ නිසාම කාන්තාවන් තම කෙස් කලඹ රැක ගැනීමට නොකරන දෙයක් නැති තරම්. නමුත් කාන්තාවන් අතින් නොදැනුවත්ව සිදුවන සුළු සුළු වරදවල්වලින් දිගු කාලයක් රැකගෙන පැමිණි කෙස් කලඹ අහිමි වී යා හැකිය.

ඔබ කොතරම් කාර්යබහුල වුවත් කෙස් කලඹෙහි සුන්දරත්වය මෙන්ම එහි නිරෝගී බව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ඔබගේ දින චර්යාවෙන් සුළු වේලාවක් ඒ සඳහා වෙන්කර ගැනීම ප්‍රමාණවත්ය. සාමාන්‍යයෙන් කෙස් ගසෙහි ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඔබ සත්කාරයට ප්‍රථම පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් ගැනීමද වැදගත් වේ. සාමාන්‍යයෙන් වියළි හිසකෙස් පීරීමේදී ගැලවී යයි. වියළි භාවය වැඩිවීමෙන් හිස්සොරි වැනි අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩද වැඩිය. තෙල් සහිත හිසකෙස් ඇති හිස්කබලට දාඩිය දැමීමේ ප්‍රමාණය ඉතා වැඩිය. මෙමඟින් බැක්ටීරියා ආසාදන ඇතිවීමේ ඉඩකඩ වැඩි වේ. නිතර උණු වතුර භාවිත කරනවා නම් එමඟින් හිසකෙස්වලට අහිතකර ප්‍රතිඑල ගෙන දේ. හිස් කබල වියළීම ඉතා වැඩි හෙයින් හිසකෙස් ගැලවී යෑම සිදුවීමට පුළුවන. ඔබ ගර්භනී තත්ත්වයේ පසුවනවා නම් එම කාලයේදී හිසකෙස් ගැලවීම තරමක් වැඩිවිය හැකිය. ඒ වගේ වායුසමීකරණ සහිත කාර්යාලවල වැඩි වේලාවක් ගතකරන අයගේද හිසකෙස් ගැලවී යෑම වැඩි වන්නට පුළුවන.

රසායනික ක්‍රියාවකින් හිසකෙස් වෙනස් කිරීමේදී (ෆර්ම්, ස්ට්‍රේට්, Colour) නිසි කාලවලදී හිසකෙස් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුය. නැතිනම් හිසකෙස් කැසීම, ගැලවීම, අග පිපිරීම නිසා කොණ්ඩය අහිමි වීමට පුළුවන.

හිසකෙස් රැකදෙන සත්කාර

ප්‍රථමයෙන් හිසකෙස්වල ස්වාභාවයට ගැළපෙන ෂැම්පෝ, කන්ඩිෂනර් යොදා හිසකෙස් පිරිසුදු කිරීම කළ යුතුය. සතියකට එක් වරක්වත් ඔලිව් තෙල් හෝ පිරිසුදු පොල් තෙල් යොදාහිස් කබල හොඳින් සම්බාහනය කළ යුතුය. එමඟින් හිසේ රුධිර සංසරණය වේගවත් වේ. තවද හිස් කබලට හොඳ රුධිර සැපයුමක් ලැබේ. ඒ නිසා හිසකෙස් ගැලවීම අඩුවේ. හිස සම්බාහනය කිරීමේදී හිසට තෙල් දමා හිස් කබල ඇඟිලි තුඩුවලින් විනාඩි 20ක් පමණ හොඳින් සම්බාහනයකළ යුතු වේ. අධික රුධිර පීඩනය ඇති අයට මෙය ඉතා යෝග්‍ය සත්කාරයකි.

උපදෙස් - හසිනි සිල්වා

(ආයුර්වේද විශේෂඥ - සැලුන් වීනස්)

NVQ level-4, International Hair

Beauty Bangkok, Thailand

[මදාරා මුදලිගේ]

 

මාතෘකා