පියයුරු පිළිකාවට වැට බඳින්න ලංකාවෙන් කළ අලුත්ම සොයාගැනීම | ඇස පාදන රැස


පියයුරු පිළිකාවට වැට බඳින්න ලංකාවෙන් කළ අලුත්ම සොයාගැනීම

 ඡායාරූපය:

පියයුරු පිළිකාවට වැට බඳින්න ලංකාවෙන් කළ අලුත්ම සොයාගැනීම

“පිළිකාවක් වැලඳී කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන්නැ”යි ඔබට කිසිවකු කීවොත් ඒකාන්තවම කිසාගෝතමියට වඩා සතුටින් ඔබ අබ සොයා යනු ඇත. එහෙත් ඔබට එන්නට වෙන්නේ හිස් අතිනි!

ඒ තරමටම හැම ගෙදරක්ම පාසා 'පිළිකා' ත්‍රස්තවාදියා කඩා වැදී කවුරුන් හෝ උදුරාගෙන ගොස් ඇත. දිනකට අඩු තරමේ 50ක් හැටක් අතර වන මිනිස් ජීවිත ප්‍රමාණයක් රැගෙන යෑමේ වගකීම කැටුව එන පිළිකා ත්‍රස්තවාදියා මොන තරම් බිහිසුණු දැයි සිතාගන්නටවත් නොහැකිය. අපේ රටේ පිළිකා රෝගය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම පැතිරී තිබේ.

ඉතින් කොහෙන්ද ඔබට 'අබ'

අපට සිහිපත් වන්නේ මංජුල වෙඩිවර්ධන 'බත්තලං ගුණ්ඩුවේ' ලියා ඇති සටහනකි.

'මා කුඩා කල කිරි උරා බිවු ළැම මඬලෙහි පිළිකා රෝග කාරක තිබූ බව දැන සිටියේ නම් නිසැකවම මම ඒ සියල්ලම මගේ කුසට ඇද ගනිමි. මට එසේ කළ හැකි වී නම් 'අම්මාට' තාමත් දෛනික නුවානයට සහභාගි වීමට ඉඩ තිබිණි."

පිළිකාව යනු අනුකම්පාවක් නැති කුරිරු ඝාතකයෙකි. නිකමටවත් තෙතමනයක් නැති වියරු මාරයෙකි.

වැරැදීමකින් හෝ ඔබ මහරගම අපේක්ෂා රෝහලට ගොස් තිබේනම් ඔබට බොහෝ දේ දැණෙනු ඇත. ලොව දැක වසර පහ හයක් නැති නොදරුවෝ දසැඟිලි ගුළි කරගෙන කෙස් වැරූ හිස් ඇතිව 'ආගන්තුකයා' එනතුරු ඇසට හසුවන මානය බලා සිටින අයුරු ඔබ දැක තිබේද? දරුවන්ට අනුපම ස්නේහයෙන් කිරි ශිරා පෙවූ 'පියොවුර' මාරයා උදුරාගත් කල හිස් දෑසින් ඈත බලා සිටින අම්මාවරුන් ඔබ දැක තිබේද?

ඉතිං කෙතරම් වේදනාවක්ද?

එහෙත් සමහර 'අන්ධකාර කෙවෙනි ඔස්සේ රිදී රේඛා' මතුවන අවස්ථා කලාතුරකින් හෝ බලාපොරොත්තු විය හැකිය.

මේ එහෙම කතාවකි.

පිළිකා රෝගීන් අතරින් බහුතරයක් පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. පොදුවේ ගත්කළ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ තත්ත්වය බහුලව දැකිය හැකිය. 2011දී ලොව පුරා කාන්තාවන් 508,000ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේදී ලංකාව තුළ පිළිකා හේතුවෙන් කාන්තාවන් 7200ක් මරණයට පත්ව ඇති අතර ඉන් 18.8%ක් පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන්ය. පියයුරු ගැටිති ඇතිවීම පියයුරු පිළිකාවල දැකිය හැකි ඉතා සුලබ ලක්ෂණයක් බව පෙන්වා දෙන ජාතික පිළිකා ආයතනය පියයුරුවල ඇතිවන ගැටිති සියල්ලක්ම පාහේ පිළිකා නොවන බවද පෙන්වා දෙයි. පියයුරු පිළිකාවක් ඇත්දැයි හඳුනාගැනීම සඳහා මැමෝග්‍රෑම් පරීක්ෂණය හා අල්ට්‍රා සවුන්ඩ් නම් පරීක්ෂණ සිදුකරනු ලබයි. පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම කණගාටුවට කරුණක් වුවත් මෙම රෝගය වැළඳී පූර්ව අවධියේදී හඳුනාගතහොත් සම්පූර්ණයෙන් සුවකළ හැකිය. කාන්තාවන් වයසට යාමත් සමඟ පියයුරු පිළිකා සෑදීමට ඇති ඉඩකඩ වැඩිය. පියයුරු පිළිකා රෝගීන්ගෙන් 80%ක් පමණ වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් වීම සුලබය. පියයුරුවක් අසල තිබෙන ගැටිතිවලින් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් තිබෙන්නේ එවැනි ගැටිතිවලින් 20%ක් පමණ වේ.

මිනිස් සිරුරෙහි කුඩාම ඒකකය සෛලයක් ලෙස හඳුන්වන අතර සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ නම්වූ ජාන කොටස්වල ඇති ඩී.එන්.ඒ. පලක 4 නම් රසායනිකය සෛල බෙදීම කෙරෙහි බලපායි. සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමත් පැරැණි සෛලවල කාලය අවසන් වීමත් සිදුවෙයි. මෙම සෛල බෙදීම ක්‍රමිකව පාලනයක් ඇතිව සිදුවේ. නමුත් පිළිකා ඇති කරන හේතු සාදක මෙම ජාන සෑදී ඇති ඩී.එන්.ඒ. පටල විකෘති කරන අතර මේ නිසා ඒවා පිළිකා ජාන බවට පත්වී පිළිකා සෛල සෑදීම ආරම්භ කරයි. මෙම පිළිකා සෛල ඒ වටා ඇති පටකවලටද ඈතින් ඇති පටකවලටද රුධිර ලසිකා ආදී මාර්ග ඔස්සේ ශරීරය පුරා පැතිරී යයි. පිළිකාවක ස්වභාවය එයය.

 

 

පියයුරු පිළිකාව හටගෙන තිබෙන ස්ථානය නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ ඖෂධය බෙදාහැරීමේ ක්‍රමවේදයක් ලංකාවේ විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබේ. පියවි පියයුරු පිළිකා සෛල පමණක් ඉලක්ක කරගනිමින් නැනෝ තාක්ෂණය හරහා පියයුරු පිළිකාව සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසකට හැකිව තිබේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ස්වභාවික ශාකයකින් වෙන්කරගත් සංයෝගයක් නැනෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් විශේෂිත වූ නැනෝ කොපුවක් තුළට ඇතුළත් කරනු ලැබීමෙන් පසු එය විශේෂ සංයෝගයකින් පියවි පියයුරු පිළිකා සෛල පටලයේ පමණක් දක්නට ලැබෙන විශේෂ ප්‍රෝටීනයක් සමඟ බැඳීමට හැකිවන පරිදි සක්‍රිය කිරීමෙන් සිදුකරන පරීක්ෂණයකි.

ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පරීක්ෂණය සිදුකෙරෙන අතර මහාචාර්ය කමනි තෙන්නකෝන්, මහාචාර්ය නේද්‍ර කරුණාරත්න, ආචාර්ය මෙරාන් එදිරිවීර, උමා රාජගෝපාලන්, අමල් හුලංගමුව යන මහත්ම මහත්මීහු මීට සහය දක්වති.

“පිළිකා නැසීමේ අරමුණින් අපි ගොඩක් පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණවලින් එකක් විදියට තමයි මේ නැනෝ තාක්ෂණය මඟින් පියයුරු වැළැක්වීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන්න පුලුවන් වෙන්නේ. පිළිකාව පැරදවීම සඳහා ලොව පුරා විවිධ අංශවල විද්‍යාඥයින් බොහෝමයක් පරීක්ෂණ සිදුකරනවා. පසුගිය වසර නවයකට ආසන්න කාලයක සිට අප සිදුකළ ස්වභාවික ශාක උපයෝගී කරගෙන සිදුකරන පිළිකාව විනාශ කළ හැකි ඖෂධ සෙවීමේ පර්යේෂණ මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. එය ඇත්තටම සතුටට කාරණාවක්. මේ පරීක්ෂණයට ඖෂධ සොයන විද්‍යාඥයින්ට මුහුණදීමට සිදුවෙන විශාලම අභියෝගය තමයි පියවි පිළිකා සෛල විනාශ කිරීම. ලංකාවේ තාක්ෂණය තාම තිබෙන්නේ ඉතාම පහළ මට්ටමක. අපි මේ පරීක්ෂණ හැම එකක්ම කරන්නේ විද්‍යාගාරය ඇතුළේ. වගාකරපු මානව සෛල අත්හදා බලලා තමයි හැම පරීක්ෂණයක්ම සිදුකරන්නේ. මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ පිළිකා සෛල හැසිරෙන ආකාරයයි විද්‍යාගාරය තුළ ප්ලාස්කුවක් ඇතුළේ පිළිකා සෛලයක් හැසිරෙන ආකාරයයි එකිනෙකට වෙනස්.” මෙසේ පවසන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාය.

“මම මේ පරීක්ෂණ සිදුකරන්න පටන් ගත්තේ 2008 දී. දැනට අවුරුදු දහයකට කිට්ටුයි. මම මේ පරීක්ෂණ ආරම්භ කරපු කාලේ කිසිම පිළිකා සෛලයක් මං ගාව තිබුණෙ නෑ. නමුත් මේ වෙද්දි අප සතුව පිළිකා සෛල වර්ග 25ක් තිබෙනවා. මේ වෙද්දි ඕනෑම පිළිකා සෛලයක හැසිරීම අධ්‍යනය කරන්න පුලුවන්. පියවි පිළිකා සෛල තමයි අපි අධ්‍යනය කරන්නේ. අපිට ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවෙන් අපිට උදවු කරන්නේ නෑ. එයාලා හිතන්නෙ නැහැ මේකෙ තිබෙන වැදගත්කම පිළිබඳව. ඇමෙරිකාව, කොරියාව වගේ තාක්ෂණය ඉතා දියුණු රටවල මෙවැනි පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් අපිට කවුරුත් එහෙම ආයෝජනයක් කරන්නේ නෑ. අපිට තව ඉදිරියට යන්න නම් මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒකට අපිට හොඳ ආයෝජනයක් අවශ්‍යයි. 2014 වසරේදී ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිළිකා පියවි සෛල විනාශ කිරීමේ හැකියාව ඇති ස්වභාවික ඖෂධ සොයා පර්යේෂණ ආරම්භ කළා. එම පරීක්ෂණවලින් ඉතා සාර්ථක ප්‍රතිඵල මේ වෙද්දි ලැබී තිබෙනවා. අප සොයාගත් සුවිශේෂී සංයෝගයක් නැනෝ තාක්ෂණය සමඟ මුසුකර පියයුරු පිළිකා පියවි සෛල පමණක් ඉලක්ක කර ප්‍රතිකාර කළ හැකියි. මෙම පර්යේෂණය නැනෝ තාක්ෂණික ක්‍රමවේද තුළින් කිරීම සඳහා ජාතික විද්‍යා පදනමේ සහයෝගය අපිට ලැබුණා. ඉදිරියේදී අපිට මූල්‍ය ප්‍රතිපාදන ලැබුණොත් මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදුකිරීමටත්, රෝගීන් සඳහා භාවිතා කළ හැකි මට්ටමකට ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා.”

පිළිකාව නැසීම උදෙසා ලෝකයම අතිමහත් වෙහෙසක් දරති. ඊට ප්‍රතිකර්ම සොයාගැනීම වනාහී ලෝක ඉතිහාසය ලද අනභිභවනීය ජයක් වෙයි.

ඒ උදෙසා ලාංකේය වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් ගනු ලබන වෙහෙසකර උත්සාහය වඩාත් ප්‍රශස්ථ මට්ටමක පවතී. ඒ අනුව ගත්විට ජෛව රසායන, අනුක ජීවඡේදය සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර රංගනාත් සමරකෝන් වැනි වියතුන් කරනුයේ අනූපමේය මෙහෙවරකි.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා