ගුරු මවුවරුන්ට සැනසුම ගෙනා ගැබිණි මාතා නිල ඇඳුමේ කතාව

 ඡායාරූපය:

ගුරු මවුවරුන්ට සැනසුම ගෙනා ගැබිණි මාතා නිල ඇඳුමේ කතාව

කුඩා දැරියකගෙන් ඇගේ අනාගත බලාපොරොත්තුව කුමක්දැයි ඇසුවහොත් ඇය ගත් කටටම කියනු ඇත්තේ "මම ලොකු වෙලා ටීචර් කෙනෙක් වෙන්න කැමතියි" යනුවෙනි. එයට හේතු වන්නේ ලාංකීය ජන සමාජයේ කාන්තාවගේ භූමිකාවත් සමඟ ගුරු භූමිකාව එකිනෙකට පෑහීමයි. කුඩා වියේ පටන් ගුරුවරියන් වීමට හීන දකින කාන්තාවන් බහුතරයක් ගුරුවරුන් ලෙස සේවයේද ‍ෙයදී සිටිති. ගුරු වෘත්තිය යනු විශාල වගකීමක් මෙන්ම සේවයකි. වෘත්තීන් කෙතරම් පැවතියද ඒ කිසිවක් ගුරු වෘත්තියට සම කළ හැකි නොවේ. ගුරුවරුන් තරම් ගරු බුහුමන් ලබන පිරිසක්ද වෙන නැති තරම්ය.

අපේ පාසල්වල බොහෝමයක් සිටින්නේ ගුරුවරුන් නොව ගුරුවරියන්ය. කාන්තාව සතු කාරුණික බව, දයාබරත්වය, ළයාද්‍රභාවය දරුවන් සමඟ ඉතා හොඳ සබඳතාවක් ගොඩනගා ගැනීමට රුකුලක් වෙයි. ඒ හේතුව නිසා පුරුෂ පාර්ශ්වය වෙනත් වෘත්තීන්වල නියෙලෙද්දි කාන්තා පාර්ශ්වය ගුරු වෘත්තිය තෝරාගනියි.

ලංකාවේ ගුරු වෘත්තියට ඈත ඉතිහාසයක් තිබුණද රාජ්‍ය සේවයේ ගුරු වෘත්තිය ආරම්භ වන්නේ විධිමත් අධ්‍යාපනයත් සමඟය. ආරම්භයේදීම ගුරුවරියන්ගේ නිලඇඳුම වූයේ සාරිය සහ ඔසරියය. එහෙත් ගුරුවරුන්ගේ නිල ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු වී නැත.

කාන්තාවක් කුමන වෘත්තීන්වල නියැලුණද ඇයට ජීවිතයේ අනිවාර්යෙන් පසුකිරීමට සිදු වන අවධි කිහිපයකි. ගර්භණී අවධිය යනු කාන්තාවකගේ ජීවිතයේ එක්තරා තීරණාත්මක කාලවකවානුවක් ලෙස පැවසුවහොත් එය නිවැරදිය. මන්ද යත් තමන් පමණක් නොව තම කුසෙහි සිටින ජීවියාගේ වගකීමද දැරීමට කාන්තාවට සිදු වේ. එහිදී වෛද්‍ය උපදෙස් අනුව කාන්තාව තමන්ගේ ගර්භණී අවධිය පසු කරයි.

මේ අනුව ගුරුවරියන්ටද ගර්භණී අවධිය පසු කිරීමට සිදු වන කාලවකවානුවක් පැමිණේ. ලංකාවේ රාජ්‍ය සේවයේ නිරත ගුරුවරියන්ගේ නිලඇඳුම වන සාරිය හෝ ඔසරිය ගර්භණී අවධියේදීද ඔවුනට ඇඟලීමට සිදු වේ. ලංකාවේ වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන කාන්තාවන්ට ගර්භණී අවධියේදී පහසු ඕනෑම ඇඳුමක් ඇඟලීමට ඉඩහසර සැලසුවද රාජ්‍ය සේවයේ යෙදුණ ගුරුවරියන්ට ඒ අවස්ථාව නොලැබුණි. ගර්භණී අවධියේදී කාන්තාවට ඇඟලීමට නුසුදුසු සාරිය හෝ ඔසරිය ඔවුනට ඇඟලීමට සිදු විය.

ඕනෑම රටක අමාත්‍යංශ අතරින් අධ්‍යාපන අමාත්‍යංශය යනු ඉතා භාරදූර වගකීමකි. 2015 වර්ෂයේ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාට පැවරෙන්නේ ඒ භාරදූර වගකීමය. කාලාන්තරයක පටන් ජරාජීර්ණ වෙමින් පැවතුණු ලාංකීය පාසල් පද්ධතියේ හිතකර වෙනස්කම් රාශියක් කිරීමට ඔහුට හැකි විය. පාසල් නිල ඇඳුම මුවාවෙන් සිදු වන අක්‍රමිකතා වැලැක්වීමට නිලඇඳුම් වව්චරයක් හඳුන්වා දීම, දෙමාපියන්ට පාසලට පැමිණීමට අනිවාර්ය කර තිබූ සාරිය වෙනුවට සුදුසු ඕනෑම ඇඳුමකින් සැරසී පාසලට පැමිණි ඉඩප්‍රස්ථා ලබාදීම, සියලු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සුරක්ෂා රක්ෂණාවරණයක් හඳුන්වා දීම, ලෝකය තුළ ඇති නවීන අධ්‍යාපන ක්‍රමවේද පන්ති කාමරයට ගෙන ඒම ආදිය ඉන් කිහිපයකි. මින් සමහරක් ඒ තරම් කතාබහට ලක් නොවූවද ඒවා විශ්ලේෂණය කරන විට වැටහෙන්නේ ඒවා ඉතා ප්‍රශස්ත තීරණ බවය.

දැන් අකිල විරාජ් ඇමතිවරයා ගෙන ඇත්තේ ආකර්ෂණීය හා ඉතා වැදගත් පියවරකි. ඒ ගර්භණී ගුරුවරියන් සඳහා සාරිය හෝ ඔසරිය වෙනුවට පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට ඉඩප්‍රස්ථා ලබාදීමය. ගර්භණී ගුරුවරියන් සඳහා පහසු ඇඳුමක අවශ්‍යතාව වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර අමාත්‍යවරයා නව පියවර ගෙන ඇත්තේ ඒ අනුවය. එහිදී නව නිලඇඳුම නිර්මාණය භාර වී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණ අංශයටය. ඒ අනුව එම මංගල නිලඇඳුම ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයකින් දොරට වැඩිණි.

කාලයක පටන් ගර්භණී ගුරුවරියන් ඉතා අපහසුවෙන් ඇඟලාගෙන සිටි සාරිය හෝ ඔසරිය වෙනුවට ඔවුනට දැන් පහසු ඇඳුමක් ඇඟලීමට හැකිය. ඉදින් මේ අවස්ථාවේ අපි ඒ පිළිබඳව වෛද්‍යවරියකගෙන් විමසීමක් කළෙමු. ඒ වෛද්‍ය සඳුනි සුදර්ශනා ගමගේගෙනි. මේ, ඇය කී දෙයයි:

"ගර්භණී අවධියේදී කාන්තාවකගේ මානසික සෞඛ්‍යයට වගේම ශාරීරික සෞඛ්‍යයටත් අවධානය යොමු කළ යුතුයි. කළලය වැඩෙන්න වැඩෙන්න කාන්තාවගේ උදරය ඉදිරියට නෙරා ඒමක් සිදු වෙනවා. සාරිය හෝ ඔසරිය කියන්නේ ගර්භණී අවධියේදී කාන්තාවකට ඇඟලීමට අපහසු ඇඳුමක්. සාරිය හා ඔසරිය අඳින විදිහ අනුව ගර්භණී කාන්තාවන් අපහසුවෙන් ඉන්නේ. ඒ වගේම ඒක ඔවුන්ට මානසික වදයක්. අධ්‍යාපන අමාත්‍යවරයා මේ ගත් තීරණයක් ගැන අපි සතුටු වෙනවා."

ගර්භණී මව්වරුන් සමඟ වෛද්‍යවරුන්ටත් වඩා ඉතා සමීපව කටයුතු කරන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ය. ගර්භණී මව්වරුන්ගේ සෞඛ්‍යය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ඔවුහු නීරෝගී සෞඛ්‍යසම්පන්න දරු උපතක් වෙනුවෙන් කැප වෙති. චම්පා සේනානායක මහත්මිය වසර 20ක කාලයක් තිස්සේ අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස සේවය කරන්නීය. ගර්භණී ගුරුවරියන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති මේ මානුෂීය පියවර සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස මෙබඳුය:

"සාමාන්‍යයෙන් ගර්භණී සමය සති 40ක් විතර වෙනවා. දරුවා වැඩෙන්න වැඩෙන්න ගර්භණී මවගේ බර කිලෝග්‍රෑම් 12ක් විතර වැඩි වෙනවා. ගුරුවරියන් මේ කාලයේදි ඉන්නේ හරිම අපහසුවෙන්. සාරිය අඳින්නේ කටු ගහලා පටි බැඳලා රැලි තියලානේ. එතකොට බඩ හිර වෙලා දරුවාට චලනය වෙන්න අපහසුයි. දරුවා එතකොට හිරවෙලා ඉන්නේ. දරුවාගේ වර්ධනය වගේම ක්‍රියාශීලී බවත් එතකොට අඩු වෙනවා. ඒ වගේම බඩ හිර කරගෙන අම්මාට කෑම කන්නත් අපහසුයි. ඒ නිසා අම්මලා කන්නෙත් චුට්ටයි. ඒ අපහසුකම දන්නේ අම්මලා විතරයි. අනෙක ඒක දරුවාගේ වර්ධනයටත් බලපානවා. සාරිය හිර කරගෙන ඉන්න නිසා ඒ අම්මලාගේ පියයුරු වර්ධනය වෙන්නෙත් නැහැ. ගර්භාෂය වර්ධනය වෙන්නෙත් නැහැ. ඒ නිසා ගොඩක් ගුරුවරියන්ගේ දරුවන්ගේ උපත් බර අඩුයි. ග්‍රාමීය පාසල්වල ගුරුවරියො සායනයට එන්නෙ කෙටි නිවාඩු දාලා. සාරිය නිසා ඔවුන්ව පරීක්ෂා කරන්නත් අපහසුයි. අධ්‍යාපන ඇමතිතුමා මේ ගත්ත තීරණය ඉතාම හිතකර වෙන්නෙ ඒ නිසයි."

චම්පා මහත්මිය කියූ පරිදි ගර්භණී සමයේ සාරිය ඇඟලාගෙන සිටීමේ අපහසුව දන්නේ එම ගුරු මව්වරුන් පමණය. එනිසා මේ සම්බන්ධයෙන් ගුරුවරියන් කීපදෙනෙකුගෙන්ද අදහස් විමසීමක් කළෙමු. මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරියක වන වාසනා සෙනරත් එහිදී දැක්වූ අදහස මෙබඳුය.

"ගර්භනී පාසල් ගුරුවරියන්ට සැහැල්ලු ඇඳුමකට අවසර දීම මා දකින්නේ ඉතා ප්‍රායෝගික තීන්දුවක්. අනෙකුත් වෘත්තීන් හා සසඳන විට ගුරුවෘත්තිය කියන්නේ දිනකට දරුවන් තුන්හාරසීයකට පැය හයක් විතර කාලයක් අවධානය යොමු කළ යුතු භාරදුර කාර්ය‍යක්. ගර්භනී ගුරුවරියන්ට ඒ කාර්යයට මුහුණදෙන්න වගේම ඒ ගර්භනී සමයේ ඇති වන වේදනාවත් දරා ගන්න සිදු වෙනවා. ඇත්තටම ඒ කාලෙදි සාරිය ඇඳගෙන ඉන්න අමාරුයි. ඉතින් සිසු දරුවන්ට නිවැරදි අධ්‍යාපනය ලබාදීමේ පහසුව තකා ඔවුන්ගේ ඇඳුම වෙනස් වෙන්න ඕනේ කියන මතයේ මම ඉන්නවා. ඒ නිසා මේ ගත් තීරණය ඉතා වටිනවා."

කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරුවරියක වන සුලානි විනෝදනී ඒ සම්බන්ධයෙන් පැවසූයේ මෙවැන්නකි:

"ගර්භනීය සමයේදී වෘත්තියට පැමිණෙන ගුරුවරියන්ට සාරිය ඈඳීම අනිවාර්ය කාරණාවක්. තමන්ගේ කුස තුළ වැඩෙන දරුවා ඉපදෙන දිනය තෙක්ම ගුරුවරියන් පාසලට එන්න ඕන සාරිය ඇඳගෙන. ඒ නිසා ඇය පීඩාවන් රාශියකට මූණදෙනවා. ගර්භණි ගුරුවරියන් වමනේ දාන්නේත්, ක්ලාන්තය දාන්නේත්, විෂය කරුණු උගන්වන්නේත්, බෙර ගහන්නේත්, ක්‍රීඩා පිටිය මෙහෙය වන්නේත් කුස වසාගෙන සිටින සාරිය පිටින්. ඔසරිය අඳින ගුරුවරියන් පවා තමන්ගේ ගර්භණී සමයේදී සාරියක් ඇඳීමට හිතින් එකඟ වන්නේ කොයිතරම් අකමැත්තෙන්ද? ඒ වගේ කාල රාමුවක ගුරුවරියන්ට ඒ සමයේ සැහැල්ලු ඇඳුමක් යෝජනා කරපු එක ගොඩක් වටිනවා."

කලක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය හා පාසල් පද්ධතිය පැවතුණේ කෙදිනකවත් වෙනස් නොවේ යැයි සිතිය හැකි අතිශය සම්ප්‍රදායික රාමුවකය. ආණ්ඩු කීපයකම අධ්‍යාපන අමාත්‍යවරු අධ්‍යාපන පද්ධතියේ යම් යම් වෙනස්කම් කළද මෙවැනි වෙනසක් කිරීමට උත්සාහ නොගත්හ. එයට හේතුව ඒ අත්හදාබැලීම් තුළින් වන ජනතා අප්‍රසාදයයි. එහෙත් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා කල් යල් බලා ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ වෙනස්කම් සිදු කරමින් සිටී. ඒවා බොහොමයක් සාධනීය හා ප්‍රගතිශීලී වෙනස්කම්ය. කෙසේ වුවද ගර්භණී ගුරුවරුන්ට සාරිය හෝ ඔසරිය වෙනුවට සැහැල්ලු ඇඳුමක් ඇඟලීමට ඉඩප්‍රස්ථා ලබාදීමට ගත් තීරණය යහපාලන ආණ්ඩුව සමයේ ගත් එක් මහා පියවරක් ලෙස දන දන මතකයේ රැඳෙනු ඇත

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?