නිල් එලියට ගිනිකන වැටුණු DVD නිළියන්ගේ ජීවිත | ඇස පාදන රැස


නිල් එලියට ගිනිකන වැටුණු DVD නිළියන්ගේ ජීවිත

 ඡායාරූපය:

නිල් එලියට ගිනිකන වැටුණු DVD නිළියන්ගේ ජීවිත

අධිවේගයෙන් දුවන දුම්රිය ගැන ඔබ නොදන්නවා වෙන්නට බැහැ. ඇතැම් විට මේ 'ජීවන සලාදය මැද' මිනිස්සු දුවන දිවිල්ල දුම්රියට වඩා වේගවත්.

එහෙම දුවන ජීවිත නවතින ඉසව්ව නිෂ්චිත නෑ. එහෙම අවිනිෂ්චිත බව දැන දැනම මිනිස්සු ඒ නොනවතින දිවිල්ල කරනවා. මේ කතාබහ එහෙම දිවිල්ලක් ගැන.

“පසුගිය දවස්වල මම ඩී.වී.ඩී. චිත්‍රපට දෙකක රඟපෑවා. එහෙම රඟපාන්න ලැබුණු චිත්‍රපටයකට කොටසක් එක්තරා ලිංගික ජවනිකා අඩංගු වෙබ් අඩවියක පළ වෙලා තිබ්බා. මගේ යාළුවෙක් මට ඒ ලින්ක් එක එවලා තිබුණා. ඒක බලපුවහම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා.'

පහුගිය දවස්වල මේ කතාව කියලා තිබ්බේ එක්තරා ජනප්‍රිය නිළියක්. එයා කියන්නේ එයත් නොදැන එයාව වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට යොදාගෙන කියලා.

'ඒක හරි වැඩක්නේ, එයත් නොදැන බ්ලූ ෆිල්ම් එහෙකට ගත්තේ කොමද? එයා බබෙක්ද?'

කවුරුහරි එහෙම ඇහුවොත් පොඩ්ඩක් විතර කටඋත්තර නැතිව යනවා තමයි. ඒත් ඒකේ පොඩි තර්කෙකුත් තියෙනවා.

මොනවද මේ ඩී.වී.ඩී. ෆිල්ම් කියන්නේ? මොකක්ද ඒකේ ඇතුෙළ් වෙන්නේ? මේවා ගහන්නේ කවුද? හැංගිච්ච, හංගපු කතන්දර, කුමන්ත්‍රණ, සේරම අපි එළියට අරන් කතා කරනවා.

හැම හන්දියකම ඩී වී ඩී අලෙවිසැල් තිබෙනවා. ඔබ එහෙම තැනකට ගොඩවුණාම ඔබට ඕන ඩීවීඩී එකක් බොහොම පහසුවෙන් ගන්න පුළුවන් කමත් තිබෙනවා.

'ඕක ඉතිං අපි දන්න කතාවනේ'

ඔබ එහෙම කියයි. ඉවසන්නකො. ඔය ඩී.වී.ඩී. සෙන්ටර්වල තියෙනවා අමුතු ෆිල්ම් ජාතියක්. අමුතු කීවට ඒවත් ෆිල්ම් තමයි. අපි දන්නේ හෝල් එකෙන් ඩී.වී.ඩී. එකට එන ෆිල්ම් නේ. හැබැයි ඒවා ඔබ, මම බලන හෝල්වල කවදාවත් යන ෆිල්ම් නෙවේ. මේවා, කෙලින්ම ඩී.වී.ඩී. විදිහට තමයි එන්නේ.

'ඉතිං, මොකක්ද ඕකේ තියෙන අමුතු කතාව?'

'අහගන්නකෝ... කතාව ෆිල්ම් ගැනනේ... ඇඩ්වර්ටීස්මන්ට් නැතිවම කියන්නයි ලෑස්ති.'

අපි කතාබහට සෙට් වුණේ ලංකාවේ වැඩියෙන්ම

ඩී.වී.ඩී. ෆිල්ම් කරපු, ඒ ගැන අලගිය, මුලගිය සේරම දන්න, කොඩිගහයට කප් ගහපු මෑන් කෙනෙක්ව.

ඔහු ලංකාවේ මුල්ම ඩී.වී.ඩී. ෆිල්ම් කරපු දෙතුන්ගෙනාගෙන් කෙනෙක්.

'මේක පටන් ගත්තේ අවුරුදු දහයකට විතර කලිං. ඒ දවස්වල හෝල් එකට ෆිල්ම් එකක් කරන එක සෑහෙන අමාරු වැඩක්. බජට් එක දරන්න බෑ. අනික හෝල්වල තියෙන්නේ අමුතු ඒකාදිකාරයක්. නළු නිළියන්ට ගෙවන්න වෙන ගණන් හරි ලොකුයි. හිට් කැරැක්ටර් දැම්මම ලොකු කොස්ට් එකක් යනවා. ඔය අතරේ ලංකාව පුරාම ගොඩක් අය හෝල් එකේ යන ෆිල්ම් ඩී.වී.ඩී. විදිහට බලන්න පුරුදු වුණා.'

ඉතිං, ඔය අතරේ තමයි කෙලින්ම ඩී.වී.ඩී. ෆිල්ම් ෆීල්ඩ් එකට එන්නේ.'

එහෙම බැලුවම වැඩේ පටන් ගෙන තියෙන්නේ ඔය විදිහට.

'ඩී.වී.ඩී. ෆිල්ම් එකක් කරන්න යන්නේ පොඩි කොස්ට් එකක්'

'කීයක් විතරද?'

'ලක්ෂ එකහමාරක් වගේ'

'එච්චර අඩුවට?'

'ඔව්,'

'කොහොමද එහෙම කරන්නේ?'

'පොඩි කැමරා එක. ෂූටින් දවසයි, දෙකයි. කතාව සරලයි, බජට් එක ලෝ. ගොඩක් ඒවට ජෝතිගේ එහෙම සිංදු දාලා, වැඩේ සරසනවා.

'ආදායම තියෙනවද?'

'මොනවා අහනවද, ලක්ෂ හතලිහ පනහා හොයලා තියෙනවා. මම ෆිල්ම් 40ක් විතර කළා. වැඩි ප්‍රමාණයක් හොඳ ආදායම් හොයලා තියෙනවා. ඒ දවස්වල මේක සල්ලි ඉල්ලමක්.' '

'එතකොට නළු නිළියන්ට ගෙවීම්?'

'ඒ දවස්වල අපි කිසියම් ගාණක් ගෙවුවා. දැන් නම් ගෙවන්න දෙයක් නෑ, රඟපාන්න ඕනතරම් කෙල්ලෝ එනවා.'

'නිකං රඟපාන්න එනවා?'

'මේ මොනවා අහනවද, එහෙම එන අය ඕන තරං'

ඒක එක අතකට අමුතු කතාවක්. ඒ කතා කෑල්ල පස්සේ චුට්ටක් යන්න මට හිතුණා

'ඇයි නිකං රඟපාන්න එන්නේ?'

'මේවට එන අයට තියෙන්නේ පොඩි පොඩි අරමුණු. එකක් ජනප්‍රිය වෙන එක. අනික ෆිල්ඩ් එකට එන්න තියෙන වුවමනාව. අනිත් එක තමා නිළියක් කියන ලේබල් එක හදාගෙන වෙන වෙන ඩීල් වලට යන එක'

'වෙන ඩීල්?'

'මීඩියා කරන මහත්තයා ඕක නොදැන ඉන්න බෑනේ. ඩීල් කියන්නේ ඉතිං විකිණන එක.'

'ඒ දවස්වල කොහෙටද වික්කේ?'

'මල්වත්තට. පස්සේ ඉතිං, හැමතැනම මේවා ගන්න තැන් බිහිවුණා'

කෝකත් හරියට කරන පිරිසකුත්, හරියට කරනවා වෙනුවට විනාශ කරන්න පිරිසකුත් හැදෙනවා. ඒක ස්වභාවිකයි. ඩීවීඩී ෆිල්ම් ෆීල්ඩ් එක හොල්ලනකොට හැමෝම මේක ඉල්ලමක් කරගන්න හිතනවා. ඒක ඉතින් කොතනත් හැටිනේ.

'රහස දැනගත්ත කට්ටිය පෝලිමේ ඩී.වී.ඩී. වැඩේට බැස්සා. කැමරාවක් තියෙනවා නම් මේක හොඳම තැන කියලා ගොඩක් අය හිතුවා. වැඩේ වනවෙන්න ගත්තේ අන්න එහෙම මේකට තණ්හාවෙන් ආව අය නිසයි. එයාලට වෙන වෙන අරමුණු තිබ්බා'

'ඒ මොනවද?

'ලොකුම අරමුණ සල්ලි, ඊළඟ එක කෙල්ලෝ.'

'ඒ එක්කම වැඩේ බාල වුණා'

'ඔව්, ඔව්... රුපියල් පනස්දාහට, විසිපන්දාහටත් ෆිල්ම් කරන්න පටං ගත්තා. අලුත් කෙල්ලෝ ගොඩාක් රඟපාන්න තියෙන ආසාව නිසා මේවට ආවා'

'කොහෙද වැඩියෙන් විකිනෙන්නේ?'

'ආමි එකේ කොල්ලෝ ගොඩාක් බලනවා. අනුරාධපුරේ, පොළොන්නරුව, මාතර වගේ පැතිවල සෑහෙන්න යනවා. ඉස්සර නම් 10000ක් දැම්මම උණු කැවුම් වගේ. දැන් එහෙම නෑ.'

'කොහොමද ප්‍රචාරක වැඩේ?'

'ඩී.වී.ඩී. සෙන්ටරේ ගහන පෝස්ටරේ ඇති.'

'දැන් ඉස්සරට වඩා වෙනස්ද?'

'කියලා වැඩක් නෑ. අහසට පොෙළාව වගේ වෙනස්'

'මොනවද තියෙන වෙනස?'

'කොලිටිය බිංදුවයි. ලස්සන කවර දාලා කැටයම් දාලා එළියට එන ඩී.වී.ඩී. ෆිල්ම් එකේ ඇතුළ හිස්. කතාවක් නෑ. කෙල්ල ඉන්නවා, කොල්ල ඉන්නවා, එච්චරයි'

'දැන් වැඩේ බ්ලූ ෆිල්ම්වලටම මාරු වෙලාද?

'මෙහෙමයි, බ්ලූ ෆිල්ම් කියලම නෑ. රැල්ලට ගහනවා. දැන් ළමා කතාවක් ගැහුවම පවුලම බලනවනේ. එතකොට ආදායම හොඳයි. හැබැයි ඉතිං දැන් වැඩේ බ්ලූවලටම මාරු වෙලා. මෙහේ නැතුවට අපේ රටේ ඩබල් පිටරට හොඳට යනවා.'

'ඩබල්?'

"ඔව්, මෙහෙත් ඕන තරම් තියෙනවා.'

ඉතිං කෙල්ලෝ කැමතිද ඕවට ඉන්න?'

'මේක ඇතුෙළ් නොපෙනෙන කල්ලියක් තියෙනවා. ඒ කල්ලියේ ඉන්නවා කෙල්ලෝ සප්ලයි කරන නිළියෝ වගේ අය. මම දන්න ටිකක් මැදිවයසේ කෙනෙක් ඉන්නවා, එයා ඩී.වී.ඩී. ෆිල්ම්වල ප්‍රසිද්ධ කැරැක්ටර් එකක්. එයා කරන්නේ එයාට ඕන කෙල්ලෝ ෆීල්ඩ් එකට ගේන එක.'

'එහෙම ගෙනත්?'

'එහෙම ගෙනත් එයා කෙල්ලො විකුණනවා.'

'ඒක ලේසි නෑනේ?'

'මොකෝ අමාරු, මේවට එනකොටම ඒ රිස්ක් එක පැත්තකින් තියන්න වෙනවා. තත්ත්වේ එයාට කියලා තමයි වැඩ පටන් ගන්නේ. අර නිළිය අලුත් කෙල්ලොන්ට හොඳට සලකලා, නොදැනෙන්න විකුණනවා. පටන් ගන්නේ, ප්‍රොඩියුසර්ගෙන්'

'හැමෝම එහෙමද?'

'අනේ නෑ, අතලොස්සක් ඉන්නවා, ලස්සනට මේ වැඩේ කරනවා. හැබැයි ගොඩක් අය මේක විනාස කරලා ඉවරයි.'

'ඩබල්වලට ගන්නේ කියලද?

'සමහර විට කියනවා. සමහරවිට නොකියා කියනවා'

'ඒ කොහොමද?'

'පොඩි සීන් එකක් තියෙන්නේ, ඒ නිසා අවුලක් නෑ කරන්න කියනවා. අලුත් කෙල්ලෝ බයෙන් කුලෑටිව වුණත් නියුඩ් වෙනවා. ඒක වීඩියෝ කරනවා. පස්සේ ඉතිං නිකම්ම හුරු වෙනවා'

'කෙල්ලෝ දන්නේත් නෑ සමහරවිට එයාගේ නියුඩ් වීඩියෝ වෙලා කියලා. යන්න හදනකොට ලාවට පෙන්නනවා. එක්කෝ ඒ වෙනකොට ඒවා ගානක් නෑ. සමහරවිට කරන්න දෙයක් නෑ. සමහරු කියනවා ඒවා එළියට දැම්මොත් නඩු දානවා කියලා, ඒත් ඉතිං වෙන නමකින් එළියට දානවා. කොහේ නඩු දාන්නද?'

'ඇයි බැරි? නඩු දාන්න පුළුවං?

"ඔව්, ඒත් කුණු රෙදි එළියේ දිය ගහන්න කවුද කැමති. අනික ඒ වෙනකොට ඒ කෙල්ල ප්‍රොඩියුසර්ගෙ ඉඳලා ගොඩක් අය එක්ක හැමදේම කරලා ඉවරයි. තව දෙයක් වෙනවා'

'ඒ මොකක්ද?'

'මේ කෙල්ලෝ ටිකක් ජනප්‍රිය වෙනවා. එතකොට පාරේ නිකං යන්න බෑ. ඉතිං වාහනයක් ඕන වෙනවා. ජොබ් එකක් ගන්නත් බෑ, මොකද ආයතන කැමති නෑ. ඉතිං මුලින් ඕන වෙනවා වාහනයක්. ඒක ගන්න ඉතින් හාන්සි වෙනවා'

මේ චිත්‍රපටි රැඟුම්පාලක මණ්ඩලයට අදාළ නෑ. ඉතිං වැඩේ බාධාවක් නැතිව වෙනවා.

'ඔය අතරේ ෆිල්ම් එක ෂූට් කරද්දී පිට අය එනවා.'

'ඒ කියන්නේ?'

'දත් කාරයෝ තමා'

ඔවුන් එන්නේ තමන්ට 'යහනට කෙනෙක්' අල්ලා ගන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඔහොම එන අය අතරේ ඉන්නවා මාළු මුදලාලිලාගේ සිට මැණික් මුදලාලිලා දක්වා අය. සමහරවිට පොලීකාරයාගේ ඉඳලා දේශපාලකයා දක්වා අය.

'එයාලා කෙලින්ම ඉල්ලනවා. ලොජ් වුණාම ඉතිං එයාලගේ ඇඳට අර ළමයි ගොඩ වෙනවා.'

'ඒ තරම් සිල්ලරට වැටිලද?'

‘මොනවා අහනවද. මොන කෙල්ලද කැමති නමක් හැදුනම ඒක මකා ගන්න. අනික දැන් දහයක් රඟපානකොට 50ක් එන්න පිටිපස්සෙන් ඉන්නවා. ඊට පිටිපස්සෙන් තව සීයක් ඉන්නවා. ඉතිං තරඟේ සෙල්ලම් නෑ. මේ ඉන්න අයට ඉතිං කොහෙද වැඩ තියෙන්නේ. මොකක්ද තියෙන විකල්පේ. ඒ විකල්පේ තමයි ඩීල් යන එක'

'මේවට එන නිෂ්පාදකවරු ගොඩක් ආධුනිකයි නේද?'

'ඔව්, කැමරාවක් හයර් එකට හරි අරගෙන කෙල්ලෝ කොල්ලො ටිකක් එක්කගෙන ඇවිත් ෂූට් කරනවා. ඒවා ෆිල්ම් නොවේ. සහමුලින්ම කුණුහරප. සමහරවිට කෙල්ලට බත් පැකට් එක විතරයි. ඒ බත් එක කාලා රෑ වෙලා අර අධ්‍යක්ෂක එක්ක ඉන්නත් ඕනෙ. ඒ අතරේ මේවට එන නළුවොත් කෙල්ලෝ විකුණනවා. හැබැයි හැමෝම නෙවේ.'

'සමහරු ඩී.වී.ඩී. ෆිල්ම්වලට හැමදාම චෝදනා කළා නේද?'

'ඔව්, හැබැයි හෝල්වලට ෆිල්ම් කරන ලොකු චරිත කීපයක්ම ඩී.වී.ඩී. ෆිල්ම් කරනවා, වෙන නම්වලින්. සමහර නළුවොත් එහෙමයි.'

'සමහර හොඳ නම් තියෙන බුලට්, පට්ට බ්ලූ ෆිල්ම් කරනවා. ඒ විතරක් නෙවේ තවත් ජාවාරමක් තියෙනවා'

'ඒ මොකක්ද?'

'විකිණෙන්නේ නැති ටෙලිනාට්‍ය තියෙනවනේ. ඒවා අරන් කෑලි 10ට විතර කපලා ඩී.වී.ඩී. ගහලා විකුණනවා. කතාවක්, තේරුමක් මොකුත් නෑ. කවරෙට දානවා හොඳම නළු නිළියන්ගේ ෆෝටෝ.'

'ලොජ් වෙන එකෙත් පොඩි සීන් එකක් තියෙනවා'

ඒ මොකක්ද?'

'සමහරවිට මේ ෆිල්ම්වල කෙල්ලො 5ක් 6ක් ඉන්නවා. ලොජ් වුණාම කට්ටියම ඩ්‍රින්ක්ස් ගන්නවා. එතන්දී කෙල්ලෝ විකිණෙනවා. ඒවා ඉතින් සාමාන්‍යයි. සමහර විට ෆිල්ම් එකේ කොස්ට් එක එතනින් කවර් වෙනවා'

'හැමතැනම එහෙමද?'

'නෑ නෑ, හොඳ තැන් තියෙනවා. ගොඩක් තැන් එහෙමයි.‘

‘ඔය අතරේ ෆෝටෝ ෂූට් වෙනවා. ඒව ඉතිං ගොඩාක් යන්නේ මෙහේ නොවේ පිටරට'

ඔය අතරේ ටීම් විදිහට කට්ටිය රට යනවා. ඒ යන්නේ රඟපාන්න නොවේ. ඩීල්වලට. ඒවා කරන්නේ අර ටීම් ලීඩර් වගේ ඉන්න කෙනා.

'තවත් මරු කතාවක් තියෙනවා. ඩබල්වල රඟපාන පොඩි කෙල්ලක් ඉන්නවා.'

'පොඩි කෙල්ලක්?'

'ඔව්, අවුරුදු 16 තමා ෆීල්ඩ් එකට එන්නේ. දැන් දහඅටයි.'

'බ්ලූ ෆිල්ම්වල ඉන්නවා?'

'අපෝ ඔව්, ඒවා යන්නේ පිටරට.

'ඒක අපරාධයක්නේ?'

'ඔව්, මේ ළමයා රඟපාන්න තියෙන ආසාවට මේකට එනවා. මෙයා මුලින්ම රැවටෙන්නේ කොළඹට එයාව ගෙනාව ඒ ළමයගේ මාමගේ පුතා අතින්ලු. දැන් එයාගේ වයසට වඩා පිරිමි එක්ක එයා ඉඳලා තියෙනව. මම දන්න හැමෝම වගේ කියනවා ඒ ගැන.'

අපි හැමදාම ජීවිතේ හොයාගෙන යනවා. සමහරවිට පැටලෙනවා. සමහරවිට වැටෙනවා. සමහරවිට හරියනවා. කෙනෙක් කියයි මේක වෙන්න බෑ කියලා. නමුත් මේ සිහින විකිණෙන අරුමෝසම් පුරයේ මේ දේවල් හිතාගන්න බැරි විදිහට සිද්ධ වෙනවා.

මාතෘකා