“කියන්න දෙයක් නැති රටක” : මව්වරුන්ගේ දිනය වෙනුවෙනි

 ඡායාරූපය:

“කියන්න දෙයක් නැති රටක” : මව්වරුන්ගේ දිනය වෙනුවෙනි

සල්ලාල වීදියේ උඩින් උඩින් දෙපා තබා, මඩෙන් මිදී එන ‘ඇය’ ගාවට කිට්ටු කරන රෝද තුනේ ඉලන්දාරියා ‘හෙට්ටු’කිරීම පටන් ගනී. කුස ගින්නට වැළපෙන ඇගේ හිස් කුසට වඩා ගෙදර නොදරු ජීවිත දෙකක

සා ගින්න ඇයට වේදනාව ගෙනේ.

‘වරෙන් ඉක්මනට. හැබැයි දාහයි, තුන් දෙනයි’

තුන් දෙනෙක්.. දාහකට..?’

ඇස් ලොකු කරගත් ඇය විමතියෙන් අසයි.

‘නැගපන් ඉක්මනට, ආටා එකට. බැරිනං කියපන්, මම යන්නං නන්දාගේ ‍පොට් එකට’

ඉලන්දාරියා අන්තිම තුරුම්පුව වීසි කරයි.

‘අම්මේ හෙට පන්ති ගාස්තු ඕනා.’

‘සපත්තු දෙකම කැඩිලා අම්මා’

‘ට්‍රිප් එක යන්නම ඕනා කියලා ටීච කීවා අම්මා’

‘ඊයේ අසනීප වුණා අම්මා. මේ මාසෙට අරවා ඉවරයි.’

වැඩිමල් දියණියගේ හඬ ඇයගේ පපුව බර කරයි.

‘අම්මේ එනකොට බෝනික්කෙක් ගේන්න’

දෙහැවිරිදි දියණියගේ හැඬුම්බර ඉල්ලීම ඇගේ හද පාරවයි.

මිරිස් තුනපහ තබා සීනි ටිකත් අහවරව ඇති දුර්භික්ෂයට හසුවූ කුස්සි කෑල්ලේ අඳෝනාව ඇයගේ ආත්මය සසල කරයි.

දියණියගේ වයසේ ඉලන්දාරි තිදෙනෙකුගේ රුපියල් දහස වෙනුවෙන් ඒ ගමන නොයා සිටිය නොහැකි තැනට ඇය අසරණ වෙයි. සුසුම් අහුරක් පපුවේ ගාල් කරගෙන ඇය රෝද තුනට ගොඩවෙයි. ඒ පිටකොටුවෙන් ඇහුනු සංවාදයකි.

අම්මගේ සුවඳ ඒ ළැමෙන් විහිදෙයි. ඒ ඇයත් අම්මෙක් නිසාය. එහෙත් ඒ ළැමට පෙරේතකම් පාන පිරිසක් ඇය දෙස බලා සිටිති.

‘දරු පැටව් ටිකට වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න වෙන කරන්න දෙයක් නෑ මහත්තයෝ’ කියමින් නෙක පිරිමි අද්දර ආත්මය විකුණන අම්මලා කොතෙකුත් සිටිති. රූපවාහිනියේ දකින ඇඩ්වටයිසින් ලෝකයේ අරුමෝසම් අම්මලා සේම මහමඟ දකින නන්නත්තාර වීදියේ ජීවිතය හොයන අම්මලාත් අපමණ සිටිති.

අපි කොළඹට නුදුරු වැඩිහිටි නිවාසයකට ගියෙමු. එහි ගෙවූ හෝරා කිහිපය අනන්ත වේදනාවන්ගෙන් හදවත් අවුලුවා දමන්නට සමත් වුණි. ‘දරුවන් ඇති’ අම්මලා මෙන්ම ‘දරුවන් ඇති’ තාත්තලා සිය ගාණක් දරු සුවඳින් මිදී, ඒ බිත්ති අස්සෙ හුස්ම ගනිමින් සිටි අතර ඒ හැම පපුවක් අස්සෙම ගාල් වුණු වේදනාබර කතාවක් තිබුණි. නොකා නොබී අප්‍රමාණ දුක් විඳ උස් මහත් කළ දරුවන් ජීවිතය දිනූදා තමන් ෆ්ලොරසන්ට් එළිය වැටුණු ‘අන්දකාර’ නිවහනට ගෙනත් දමතැයි ඒ අම්මලා හීනෙකින්වත් නොහිතන්නට අැත.

ලෝකය ජීවය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරිවලින් බව රුසියානු සාහිත්‍යයයේ පෝෂණය උදෙසා මහගු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කිගේ ශ්‍රේෂ්ඨ නවකතාවක් වූ “අම්මා” කෘතියේ සඳහන්ය. එය සැබෑවක්මය. ලෝකයේ ජීවය සඳහා හිරු එළිය අවශ්‍ය මෙන් සත්ත්වයින්ගේ ජීවිතයේ පැවැත්ම සඳහා මව් කෙනෙකු අවශ්‍යය. ඒ හේතුව නිසාම අතීතයේ සිට දෙවැනි බුදුන් ලෙස අම්මා නම් ලදි. මව් සෙනෙහස මෙතෙකැයි කියා කිව නොහැකිය.

ලෝකයේ සෑම දිනයක්ම යම්කිසි හේතුවක් නිසා සුවිශේෂී ලෙස නම් කර තිබේ. ඒ අතර සියලු සත්ත්වයින්ගේ පැවැත්ම වෙනුවෙන් කැපවුණ අම්මා වෙනුවෙන්ද එක් දිනයක් නම්කර තිබේ. එම දිනය නම් කිරීම සිදු වූයේ 20 වෙනි සියවස තුළ වුවත් එහි මුල් කාලීන ඉතිහාසය ග්‍රීක සහ රෝම යුගය දක්වා දිවයයි. ග්‍රීක හා රෝම ජාතිකයන්ගේ මාතෘත්වයේ සහ අම්මාගේ සංකේතය වූ රේහා සහ සිබෙල් දෙවඟනන්ට පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් දිනය මවුවරුන්ගේ දිනය බවට පසුව පත්වූ බව ඉතිහාසයේ සඳහන්ය. නමුත් මෙහි මෑත කාලීන ඉතිහාසය 20 වෙනි සියවසේ දෙවැනි දශකය දක්වා දිවයයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ සේවිකාවක වූ ඇනා මරී ඊවිස් ඇමරිකානුවන් වෙතින් ගිලිහී යමින් තිබූ මව් ගුණ ඇගැයීම යළි සමාජගත කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ කාන්තාවකි. ඇය 1905 වර්ෂයේදී මිය ගිය අතර ඇගේ දියණිය ඇනා ජාවිස්, සිය මවගේ මෙහෙවර ඉදිරියට ගෙන යන්නට කැපවිණි. ඇය විසින් අරඹන ලද සටනෙහි ප්‍රතිඵලයක් ලෙස 1911 වර්ෂයේ දී ඇමරිකාවේ හිටපු ජනාධිපති වූඩ්රෝ විල්සන් මහතා විසින් සෑම වසරකම මැයි මාසයේ දෙවැනි ඉරුදින“මවුවරුන්ගේ දිනය” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 2018 වර්ෂයේ මැයි මස දෙවැනි ඉරිදින උදා වී තිබේ. ඊයේ ලෝකවාසී සියලු ජනතාව තමන් උස්මහත් කළ මව්වරුන් සිහි කරනු වස් මව් දිනය සැමරිණි. එහෙත් මව්වරුන් සඳහා දිනයක් වෙන් කළද එම දිනය ගැනවත් නොදැන සිටින පිරිසක් අප ජීවත්වන සමාජයේ ජිවත් වෙති. මේ “රැස” අපි කොළඹ නගරයේ සිදුකළ සංචාරයකින් පසු හමුවූ පිරිසකි.

මගේ දුවට බරක් වෙන්න බැහැ

ඒකයි බුලත් විට විකුණන්නේ

“මම බුලත්විට විකුණලා තමයි ජීවත් වෙන්නේ. හැම අඟහරුවාදාම කෑගල්ලෙ ඉඳන් කොළඹ ඇවිත් බුලත්විට විකුණනවා. රෑට කොටුවේ ස්ටේෂන් එකේ ටිකට් කවුන්ටරය ළඟ නිදා ගන්නවා. උදේට ආයෙත් මූණ හෝදගෙන ඇවිත් ටිකට් විකුණනවා. මගේ ඇහැට බේත් ගන්න තමයි බුලත් විකුණන්නේ. මට බැඳපු නැති දුවෙක් ඉන්නවා. එයා පොඩි ජොබ් එකක් කළත් එයාගේ අනාගතයට උදව් වෙන්න තමයි මම මේ බුලත් විට විකුණන්නේ. සමහර විට මගේ දුව දන්නෙවත් නැතුව ඇති අද අම්මාවරුන්ගේ දිනය කියලා. එයත් මහන්සි වෙනවා මගේ ඇහැ වෙනුවෙන්. මේ අපි ලබා උපන් හැටි තමයි.”

ඒ අනුලාවතී අම්මාගේ වේදනාබරිත හඬය. ඇය තමන්ගේ දියණියට බරක් නොවීමට කොටුවේ ගිණියම් වූ අව් රශ්මිය යට බුලත්විට විකුණයි. ඇගෙන් සමුගෙන අපි ඉදිරියට යන අතරමඟ කෙළින් වීදියේදී කම්කරු වෘත්තියේ නියැලෙන තවත් අම්මා කෙනෙක් හමුවිය. ඇය 50 හැවිරිදි වියේ පසුවන පුෂ්පකාන්තිය. තිස්සමහාරාමයේ සිට කොළඹ ඇවිත් කුණු අස්කරන ඇය, අම්මෙක් සිටින අම්මා කෙනෙක් බව අපට වැටහුණි.

මට ළමයි සැලකුවේ නැති වුණාට

මම මගේ අම්මට තාම සලකනවා

“මට ළමයි තුන් දෙනෙක් හිටියා. ලොකු පුතා නම් මැරිලා. තව දූලා දෙන්නෙක් ඉන්නවා. ඒ අය බැඳලා දැන් ළමයිනුත් ඉන්නවා. ළමයින්ට මං ආවම කරදර නිසා මං යන්නේ නැහැ. අවුරුද්දට නම් ගිහින් බලලා ආවා. මම හම්බකරන සල්ලි මගේ අම්මට දෙනවා බේත් ගන්න. මම තමයි මගේ අම්මා බලා ගන්නේ. හැමදාම මාසේ අන්තිමට තිස්සමහාරාමයේ ගිහින් අම්මට සල්ලිත් දීලා, බේත් අරගෙන දීලා එනවා. මොනව වුණත්, මගේ අම්මා. ”

“අද දවසේ විශේෂත්වය නම් මම දන්නේ නැහැ. වෙනදා වගේම උදේ පාන්දරම ඇවිත් වැඩ කරනවා”

ඒ අම්මාවරුන්ගේ දිනයේ අපිට හමු වූ අම්මා කෙනෙකි.

දැඩි අව් රශ්මිය මැද්දේ කොළඹ නගරය පුරා ඇවිද යමින් අම්මවරුන්ගේ දිනයේ අරුත සොයා යන අපට කොළඹ පදික වේදිකාව නිවහන කරගත් තවත් අම්මා කෙනෙක් හමුවිය. ඇය නමින් පී. ශාන්ති මහත්මියයි. වෘත්තියක් ලෙස තම සැමියා සමඟ සෙල්ලම්බඩු වෙළෙදාමේ නිරත වන ඇය සිටි පදික වේදිකාව මත වාඩි වී අපි ඇයත් සමඟ අම්මාවරුන්ගේ දිනය ගැන කතා කළාය.

ළමයින්ට ලැජ්ජා නිසා එයාලා ගාවට යන්නේ නැහැ

“අද අම්මවරුන්ගේ දිනය කියල දන්නේ ඔය මහත්තයා කිව්වට පස්සේ. අපිට ඕවා ගාණක් නැහැ. දැන් මට හැටට ළඟයි. බැරි බැරි ගාතේ හරි සෙල්ලම් බඩු විකුණන්නේ පුතාට උගන්වන්න ඕන නිසා. මට හතර දෙනෙක් ඉන්නවා. බාල එක්කෙනා තාම ඉන්නේ එකොළහේ පන්තියේ. අනික් අය ඉගෙන ගෙන ඉවරයි. අපිට ගෙයක් නැති නිසා මගේ දුවලා ඉන්නේ අනාථ නිවාසෙක. ඒ අය සිස්ටර්ලා වෙන්න ඉගෙන ගන්නවා. ඒ අයට ලැජ්ජ නිසා මමයි, මගේ මහත්තයයි බලන්න යන්නේ නැහැ.”

තම දරුවන්ගේ සතුට වෙනුවෙන් තම සතුට කැපකළ ඇය තවමත් එක් දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් කැපවෙති. සමාජ ක්‍රමය සමඟ තරඟ කරති. ඒ අතර මේ සමාජය, සමාජ මාධ්‍ය හරහා අම්මාවරුන්ගේ දිනය ජයටම සමරණ බව සරසවි සිසුවියක් සමඟ සිදුකළ සංවාදයේදී අපට අවබෝධ විය.

අම්මාවරුන්ගේ දිනය ගැන දන්නේ සෝෂල් මීඩියා එකෙන් - මල්ෂි පවිත්‍රා

“ලෝක අම්මවරුන්ගේ දිනය ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙලා නැහැ. අපි දන්නෙත් සමාජ මාධ්‍ය හරහා සහ විද්‍ය ුත් මාධ්‍ය හරහා විතරයි. ඇත්තටම ඒ ගැන අපි දුක් වෙන්න ඕන. අද වෙනකොට අම්මවරුන්ට නිසි තැන ලැබෙනවාද කියලා සැකයි. අද ලංකාවේ මෑත කාලේ වාර්තා වුණ සිදුවීම් ගැන බලද්දි ඉතාම ඛේදනීය සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මම දකින ආකාරයට ලෝක අම්මාවරුන්ගේ දිනයක් අවශ්‍ය නැහැ. ඒක එක දවසකට සීමා කළ යුතු දෙයක් නෙමෙයි.”

අම්මාවරුන්ගේ දිනය එක් දිනකම පමණක් සීමා නොකළ යුතුය. එය වසර පුරාම පැවතිය යුතු දෙයකි. එහෙත් මෙය දිනයක් ලෙස සැමරීම හරහා වාසි ලබාගන්න උත්සාහ කරන්නේ ව්‍යාපාරිකයන්ය. වර්තමානයේ මවුවරුන්ගේ දිනයත්, අම්මාගේ ආදරයත් අලෙවි කළ හැකිය. එය ආදර සංකල්පය මූලික කරගත් වෙළෙඳ සැල් කිහිපයක් තුළ ජයටම අලෙවි වන බව කොළඹ නගරය තුළ කළ සංචාරයේදී අවබෝධ විය. ඒ අතර මව්වරුන්ගේ දිනය සඳහා ජනතා අදහස් ලබාගැනීමට කෙතෙකුත් උත්සාහ කළද බහුතරයක් අප මඟහැර ගියේ “කියන්න දෙයක් නැහැ” කියමිනි. එසේ කියන්න දෙයක් නැති තරුණ තරුණයින් සමාජ මාධ්‍ය හරහා අම්මාවරුන්ගේ දිනය ජයටම සමරති.

ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ “ලස්සනම අහස හා මතක සිතුවිලි” පොතෙහි අවසාන පිටුවෙහි ඇති අවසාන කවිය සිහියට නැගේ. එහි නම “ලස්සනම අහස” ලෙස නම් කොට ඇත.

පොසොන් මාසයේ

ශුක්ල පක්ෂයේ

තුදුස්වක් සඳේ මුහුණින්

තුරුපත් අගින් බේරී ගලන්නේ

අම්මාගේ ආදරයයි

මේ ලොව සුන්දරම

අහස ඇත්තේ ගමට ඉහළිනි

අම්මා නිදන තැන

ඇගේ සොහොනට උඩිනි

එය සැබෑවකි. ලොව ලස්සනම අහස ඇත්තේ අම්මා ළඟය. එබැවින් අම්මාවරුන්ගේ දිනය මැයි මස 13 වැනි දිනට පමණක් සීමා නොවිය යුතුය. සෑම දිනක්ම අම්මාවරුන්ගේ දිනයක් විය යුතුය.

සටහන [දිනුක මලින්ද හේරත්]

ඡායා [මාලන් කරුණාරත්න]

[කංචන කුමාර ආරියදාස]

මාතෘකා