සැහැල්ලුවෙන් සියවෙනි කණුව පසු කළ ‘ඩිංගිරිහාමි’ අම්මා

 ඡායාරූපය:

සැහැල්ලුවෙන් සියවෙනි කණුව පසු කළ ‘ඩිංගිරිහාමි’ අම්මා

මාපා හාමිල්ලාගේ ඩිංගිරි හාමි මාතාව, දසක ගණනාවකට එපිට අතීතයක මතක අවදි කරමින් පැවසුවාය. කුරුණෑගල, අලව්ව, නුංගමුවේ ජීවත් වන ඩිංගිරි හාමි මාතාව මේ වන විට එකසිය හතරවන වියට පා තබා සිටී. 1915 වර්ෂයේ වෙසක් මස 27 වන දින උපත ලබා ඇති ඇය ගමේ කා අතරත් ප්‍රසිද්ධ ‘පොඩි අම්මා’ යන නමිනි.

ඩිංගිරි හාමිට හොඳ පරපුරක් සිටී. පත්තරෙන් ආ ආරංචිය කණ වැකුණු වහා ඇගේ ගෙදරට හය හත්දෙනෙකු පැමිණීම ඊට සාක්ෂියකි. ඒ අතර ඇගේ බාල නැගණියද විණි. මාපා හාමිල්ලාගේ බාල එතනා නම් ඇය විශ්‍රාමික ගුරුවරියකි. සිය අක්කණ්ඩිය වූ ඩිංගිරිඅහාමි පිළිබදව සුන්දර මතක සටහන් රැසක් ඇය සතු විය. “ඒ දවස්වල ගමෙන්ම ලස්සන කෙනා අක්කාලු. ඉතින් තාත්තා අක්කව පරිස්සම් කරලා තියෙන්නේ මලක් වගේ. අක්කත් අක්කගේ ලස්සන ගැන ගොඩක් ආඩම්බරයෙන් හිටියේ. දැනට අවුරුදු හත අටකට කලිනුත් මට මතකයි අක්කා ඔසරිය ඇඳලා, හීල්ස් සපත්තු දාලා කන්නාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලනවා. අක්කගේ හීල්ස් සපත්තු දෙක තාමත් ඇති...”

කුඩා අවධිය

‘රංහාමි’ ඩිංගිරි හාමිගේ පියාය. ගොවිතැන ප්‍රධාන අදායම් මාර්ගය කරගත් රංහාමිට විවාහ දෙකකි. පළමු විවාහයේ දරුවන් දෙදෙනෙකු වන අතර දෙවන විවාහයේ දරුවන් හය දෙනෙකි. ඉන් වැඩිමලා වන්නේ ඩිංගිරිහාමිය. අද වගේ නොව ඩිංගිරිහාමිලා කුඩා සන්ධියේ අධ්‍යාපනය ලැබීමේ හෝ අවසන් කිරීමේදී වයස් සීමාව තදබල ලෙස බලපා නොමැත. දරුවෙකුට වයස අවුරුදු හය සම්පුර්ණ වන විට අද පාසලකට ඇතුළත් කළත්, එදා එය එතරම්ම තදින් සැලකුණේ නැත. ගැහැනු දරුවන් පාසල් නොයැවීමේ හෝ, යැවූවද එතරම් ඉහළට නූගැන්වීමේ පිළිවෙතක් තිබිණි. මේ තත්වය ඩිංගිරිහාමිටද බලපෑ නමුත් මවගේ පෙරැත්තය මත අවුරුදු නවයේදී අධ්‍යාපනය ලැබීමේ වරම ඇයට හිමිව තිබේ. ඒ අනුව වාදාකඩ විදුහලට ඇතුළත්ව අකුරු කළ ඩිංගිරිහාමි එකල උසස් අධ්‍යාපන මට්ටමක් ලෙස පිළිගැනුණු අටේ පන්තිය සමත් වූවාය. ඉන් එහාට අධ්‍යාපනයක් ලැබීමේ වරම ඇයට අහිමිව ඇත්තේ සිය පියාගේ අකමැත්ත හේතුවෙනි. එපමණක් නොව අවස්ථා දෙකකදී ගුරුපත්වීමක් සදහා පුහුණුවට තෝරා ගෙන ඇතත් ඒ අවස්ථාවන්ද සිය පියාගේ බලවත් අකමැත්ත මත මග ඇරී තිබේ. සිය ලස්සන දියණියගේ පරිස්සම ගැන රංහාමි වැඩිපුර සිතුවා වන්නට ඇත.

විවාහය

“සේනානායක ඉස්කෝල මහත්තයා තමයි අටේ පන්තියේදී අක්කට උගන්වලා තියෙන්නේ.” බාල එතනා සිය අක්කණ්ඩියගේ ප්‍රේම පුරාණය දිගහරිමින් පැවසුවාය. “තාත්තගේ පළවෙනි කසාදෙ අක්කල දෙන්නෙක් හිටියා. ඒ එක්කෙනෙක් කසාද බැන්දෙත් වාදාකඩ ඉස්කෝලේ උගන්නපු ඉස්කෝල මහත්තයෙක්. ඒ ඉස්කෝල මහත්තයයි, සේනානායක ඉස්කෝල මහත්තයයි දෙන්න හොඳ යාළුවෝ. කොහොම හරි අක්කා ඉස්කෝලේ යද්දී පොඩි පටලැවිල්ලක් ඇති කරගන තියනවා. මේකට උදව්වක් වුණා අපේ ලොකුම අක්කා ගේ මහත්තයා. පස්සේ අක්කා ඉස්කෝලේ යාම නැවැත්තුවත් සේනානායක ඉස්කොලේ මහත්තයා අමතක කරලා නැහැ. පස්සේ සියලු දෙනාගේ කැමැත්තෙන් වයස අවුරුදු 19දි අක්කා සේනානායක ඉස්කෝලෙ මහත්තය එක්ක විවාහ වුණා. අක්කා විවාහයෙන් පස්සේ අයියත් එක්ක රට වටේම ගියා. මොකද අයියා මාරු වෙලා යන යන ඉස්කෝලෙට අක්කත් යන්න ඕනනේ.”

දරු සුරතල්

ඩිංගිරිහාමිට හා සේනානායක ඉස්කෝලේ මහත්මයාට දරුවන් හයදෙනෙකි. ඉන් පළමු දරුවා උපත ලබන්නේ 1936 වර්ෂයේදීය. පද්මචන්ද්‍ර සේනානායක නම් ඔහු, මේ වන විට ජීවතුන් අතර නොමැති අතර තෙවැනි දරුවා වන හේමලතා සේනානායක හා හය වෙනි දරුවා වන නිහාල් සේනානයකද මේ වන විට මෙලොව හැර ගොසිනි.

1943 වර්ෂයේ උපත ලබන අමරසේන සේනානායක ගම්පහ උසාවියේ රෙජිස්ටාර් ලෙස සේවය කර මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටී. 1948 උපත ලැබූ හේමචන්ද්‍ර සේනානායක සමුපකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කර විශ්‍රාමලබා සිටී. 1952 උපත ලබන කුසුමලාතා සේනානායක රැකියාවක් කර නොමැති අතර මේ වන විට සිය මවගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් රැකබලාගන්නී ඇයයි. ඩිංගිරි හාමි ජීවත් වන නුංගමුවේ පිහිටි මහගෙදර සිය බාල පුත්‍රයා වන නිහාල් සේනානායකගේ පුත්‍රයෙකුට ලියා තිබේ. මෙහි සිටින වයස අවුරුදු තුනහමාරක් වන ධීරනාත් සේනානායක ඩිංගිරි හාමිගේ කුඩාම මුනුපුරායි.

සවාරි

‘‘මගේ තාත්තගේ ගම කෑගල්ල දෙවාලේගම. අම්මව කසාද බැන්දට පස්සේ තාත්තා ආයේ කෑගල්ලට ගිහින් නැහැ. අද වගේ නෙමෙයි ඒ දවස්වල වැඩිම වුණොත් අවුරුදු පහක්ලු එක ඉස්කොලෙක වැඩ කරන්න පුළුවන්. තාත්තගේ සේවා කාලේදී තාත්තා වන්නියේත් වැඩ කරලා තියනවා. ඒ යනකොට පවුල පිටින්ම ගිහින් ගුරු නිවාසේ පදිංචි වෙනවලු. ඒ වගේම අවුරුද්දට ගමන් තුනක් කෝච්චියේ යන්න අපිට අවස්ථාව හම්බ වෙලා තියනවා. මොන වැඩ තිබුණත් අනිවාර්යයෙන්ම මේ ගමන් තුන යන්නම ඕනලු. අපේ අම්මා විනෝද ගමන් යන්න රුසියා. ගමනක් යනවා කිව්වොත් අම්මා තමයි ඉස්සරලම සුදානම් වෙන්නේ. අම්මට ඇඳ පැළද ගන්නත් පැයක් විතර යනවා. මේ මම කියන්න යන සවාරියේදී මම ඉදලා නැහැ. ලොකු අයියයි තව දෙන්නෙකුයි තමයි ඉඳලා තියෙන්නේ. අපිට පොඩි කාර් එකක් තිබිලා තියනවා. කට්ටියම මේකේ නැගල යාපනේ ගිහින්. කොහොම හරි යාපනේ දවස් දෙකක් විතර ඉඳල ඇවිල්ල තියනවා. යාපනේ ඉදලා කිලෝමීටර් ගණනාවක් ඇවිල්ලා තමයි ලොකු අයියා නැති වග දැනගෙන තියෙන්නේ. අම්මා හිතල තියෙන්නේ ඉස්සරහා කියලා, තාත්තා හිතලා තියෙන්නේ පිටිපස්සේ කියලා. අන්තිමට ආයේ යාපනේ ගිහින් හොයල හොයල බැරි තැන පොලිසියට ගිහින් තියනවා. අම්මලා පොලිසියට යද්දී අයියා පොලිසියේ ඉඳලා. අම්මටයි තාත්තටයි අවවාද කරලා අයියව දීලා.” ඩිංගිරිහාමි මාතාවගේ බාල දියණිය වන කුසුමලතා සේනානායක මහත්මිය සිය මවගේ හා පවුලේ සවාරි ගැන අපූරු සිදුවීමක් හෙළි කළාය.

වැඩිම ආයුෂ

“අක්කට මෙච්චර ආයුෂ ලැබුණේ අක්කා හැම දෙයක් ගැනම සැහැල්ලුවෙන් හිතපු නිසා කියලයි මට හිතෙන්නේ.” බාල එතනා සිය අක්කණ්ඩියගේ විනෝදකාමී ජීවිතය පිළිබඳවද සඳහන් කරමින් පැවසුවාය. “ඒ දවස්වල මට මතකයි ෆොටෝ සාප්පුවක් මෙහෙ තිබුණේ නැහැ. අක්කා තකහනියක් නුවර යනවා ෆොටෝ ගහන්න. ඒ වගේම තමයි, මෙහෙ අහල පහළින් අක්කා බඩු මුට්ටුවක් වත් ගත්තේ නැහැ. යන්නේ නුවරම තමයි. ඒ වගේම මොන ප්‍රශ්න ගැටලු ආවත් ඒ කිසි දෙයක් ගැන ඕනවට වඩා හිතුවෙත් නැහැ. බුදු දහම ගැන නිතරම කතා කළා. ඒ වගේම තමයි නිතරම පන්සල් ගියා. අදත් කිව්වා හෙට හාමුදුරුවෝ තුන් නමක් වඩම්මලා පිරිත් කියන්න කියලා. අපේ තාත්තත් ගොඩක් පිං දහම් කළා. නුංගමුවේ ඉස්කෝලේ හදන්න ඉඩම් දුන්නෙත් තාත්තා.මං හිතන්නේ ඒ පිනුත් අක්කට ලැබෙන්න ඇති. කොහොමත් අපේ පවුලේ අයගේ ආයුෂ වැඩයි. නමුත් අපේ පරම්පරාවේ වැඩිම ආයුෂ ලබපු කෙනා තමයි පොඩි අක්කා.”

විශ්‍රාම වැටුප

ඩිංගිරිහාමිගේ ස්වාමියා වන යූ. වී. සේනානායක ඉස්කෝල මහතා මියගොස් මේ වන විට වසර හතළිස් පහක් ගතව ගොස් තිබේ. එදා සිට අද දක්වා ඔහුට හිමි විශ්‍රාම වැටුප බිරිඳ වන ඩිංගිරිහාමිට ලැබේ. විශ්‍රාම වැටුප නොලැබුණත් ඩිංගිරිහාමිට සැලකීමට ඕනෑ තරම් දරු මුණුපුරන් සිටී.

ජීවිතය යනු මල් යහනාවක් නොවන බවත් බාධක ගල් පර මැදින් ගලා යන ගංගාවක් වැනි එකක් බවත්, නිතර කියැවෙන, කව්වරුත් දන්නා කියමනකි. එහෙත් උපතේ සිට සිය අවසාන කාලය දක්වාම උසස් තත්ත්වයකින්, නිදහසේ ගලා ගිය ඩිංගිරිහාමි මාතාවගේ ජීවිතය ඒ කියමනට අභියෝග කරන්නකි.

[ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?