කාන්තා දිනය නමට පමණක්ද?

 ඡායාරූපය:

කාන්තා දිනය නමට පමණක්ද?

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය " ප්‍රෙස් ෆෝ ප්‍රොගෙස් - Press for Progress " නමින් නම් කර ඇත. ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ඇඟලුම් සේවයේ යෙදුණු කාන්තාවෝ ඔවුන්ගේ දුෂ්කර ජීවිතයට එරෙහිව වීදි බැස්සෝය. හමුදාව යොදා මර්ධනය කිරීමෙන් මෙම කාන්තාවන්ගේ ඔවුන්ගේ අරගලයට තිත තැබීමට එකල රජයට හැකි වුවද එම කාන්තාවන් ඉතිහාසයක් වෙනස් කරනු වස් කරන ලද ක්‍රියාව සිහිපත් කිරීම වෙනුවෙන් මාර්තු 08 කාන්තා දිනය ලෙස නම් කර ඇත.  

කාන්තාවට මහත්වයෙන් සලකන රටවල් අතර ලංකාවද මුල් තැනක් ගන්නා බව ප්‍රසිද්ධ මාධ්‍යයන්හි දිවා රෑ පවසන, ආලේප තවරාගත් සෝබන නිවේදිකාවෝ බොහොමයක් දෙනා, හැබෑවටම කාන්තා දිනයක් අවශ්‍ය කාන්තාවන් වෙනුවෙන් පෙනී නොසිටිති. ඔවුහු තම නාලිකා මත්තෙහි ඔසවා තබන්නේ තවත් එවැනිම සාටෝප ජීවිත ගෙවන කාන්තාවකි. නැතිනම් සමස්ත ජාතියේ කාන්තාවන්ට ජීවිතය කියා දීමේ වගකීම උරට ගත් කාන්තා සංවිධානයක සාමාජිකාවකි. එහෙත් සැබෑවටම තම ජීවිතයෙහි අනේක දුක්ඛ දෝමනස්සයන් හිරකරගත්, සැබෑ ජීවන අරගලයක නිරතවන, කාන්තා දිනය යැයි තමා වෙනුවෙන් දිනයක් වෙන්කර ඇති බවක් නොදන්නා දහසකුත් කාන්තාවෝ අප අතර සිටිති. මේ එවන් හදවත්වල ගැස්ම "රැස" සමග බෙදා ගත් අවස්ථාවකි. 

අපිට ඕවාට වෙලාවක් නෑ - ශාන්ති ගලප්පත්ති  
මම බියගම. රස්සාවට කරන්නේ පාර අතුගාන එක. හැමදාම උදේ 06ට පටන්ගන්නේ, හවස 6. 30 වෙනකම්  පාරෙ තමයි. ජීවිතේ වැඩි කාලයක් කළේ මේ රස්සාව. අපේ රස්සාව ස්ථිර නැහැ. අපිට පඩි අඩු වුණත් ඒ ඇයි කියලා දැනගන්න විදියක් නැහැ. මොකද ඉංග්‍රීසියෙන් ඒ හැමදේම තියෙන්නේ. මට දුවෙක් ඉන්නවා. දුව හැදෙන්නේ ළමා නිවාසයක. මගේ මහත්තයා නැතිවෙලා. මුළු ඇඟම රිදෙනවා හවසට. මාසෙටම දවස් දෙකයි මම නිවාඩු ගන්නේ. ඒ දවස් දෙකට පඩි නැහැ. මේ රස්සාවට මං හරිම ආදරෙයි. කාන්තා දිනයක් කියලා දෙයක් ගැන මං දන්නෙ නැහැ. අපිට ඕවට වෙලාවක් නැහැ. අපිට කවුරුවත් උදවු කරන්න ඇවිත් නැහැ.  

කාන්තා දිනයක් තියෙනවා කියලා මං දන්නේ නෑ - රයිම් නෝනා නිහාරා
මම මාලිගාවත්තේ ඉන්නේ. මගෙ වයස අවුරුදු 39යි. මම දෙමළ. කවදාවත් මම ඉස්කොලෙ ගිහින් නැහැ. අවුරුදු 15 ක් තිස්සේ මම මේ බෑග් විකුණන රස්සාව කරන්නේ. බෑග් එකක් දහයයි. මගේ මහත්තයත් මේ රස්සාව කරන්නේ. දවසට දෙදහක් වගේ හොයනවා. මගේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් වියදම් කරන්නේ ඒ ලැබෙන ගානෙන් තමයි. කාන්තා දිනය කියලා දෙයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. අපි දුප්පත් මිනිස්සුනේ. 

ඔහොම දිනයක් මටත් ඇහිලා තියෙනවා - කේ. සිරියාවතී  
මම රස්සාවට කරන්නේ කෙසෙල් විකුණන එක. තොටළඟ තට්ටු නිවාසෙ මං ඉන්නේ. රස්සාව කරන්න අරගෙන අවුරුදු 37ක් වෙනවා. ඒ වුණාට ඉස්සර මම කෙසෙල් විකුණුවේ පාරේ. ඒත් දැන් මේ හෙවනක් තියෙන තැනක් තියෙනවා. රස්සාව කරන්නෙත්, ජීවත් වෙන්නෙත් කුළියට. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. මහත්තයත් මේ රස්සාව කරන්නේ. කාන්තා දිනය කියලා දෙයක් ගැන ඇහිලා තියෙනවා කනට. ඒත් ඒ මොකක්ද කියලා මම දන්නේ නැහැ.  

කාන්තා දිනයක් ගැන මම දන්නේ නෑ - ගීතා ප්‍රියංගනී  
මට අවුරුදු 36යි. ගුණසිංහපුර පදිංචිය. මේ කොළ විකුණන රස්සාව කරන්න අරගෙන දැන් අවුරුදු 12ක් වගේ වෙනවා. කැලෑ පොළට ගිහින් මම කොළ අරගෙන එන්නේ රෑ 10ට වගේ. පිරිමි අයගෙන් මේ රස්සාව කරද්දි බලපෑම් එනවා. ඒත් අපි හොඳනම් ඕන තැනක ඉන්න පුළුවන්. මගේ මහත්තයා නැතිවෙලා. දුවෙක් ඉන්නවා මට. එයා ශිෂ්‍යත්වය පාස්. එයා කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්නේ. මම දුව නිසාම තමයි ආයේ කසාද නොබඳින්න තීරණේ කළේ. කාන්තා සමිති තියෙනවා. ඒත් ඕවට යන්න කොහෙද වෙලාවක්. කාන්තා දිනයක් ගැන මම දන්නේ නැහැ.  

ඕවායෙන් මට වැඩක් නෑ - රන්ජනී   
මම කරන්නේ තැඹිලි විකුණණ එක. මම කැලණියේ ඉන්නේ. මම එහේ ඉඳන් මෙහේ එන්නේ. මහත්තයා කුඹුරු වැඩ කරන්නේ. දරුවෝ කසාද බැඳලා. අපි මේ රස්සාව කරන්නේ බිල්ඩින් හදන්න නෙවෙයි, එදා වේල හම්බකරගන්න. කාන්තා දින කියලා දෙයක් ගැන මම දන්නෙ නැහැ. මට වැඩකුත් නැහැ.

ඔහොම දිනයක් ගැන රේඩියෝවෙන් ඇහෙනවා - එන්.පී. ලීලාවතී  
මගේ පදිංචිය උතුරු කොළඹ. වයස අවුරුදු 60යි. 1983 දී මගේ මහත්තයා අතුරුදහන් වුණා. පොලිසිත් ගියා. ඒත් මේ වෙනකම් මොකද වුණේ කියලා මම දන්නේ නැහැ. තරුණ කාලෙදිමයි මම මේක කරන්න ගත්තේ.  ලොතරැයි වෙළඳාම කරන්න අරගෙන අවුරුදු 30ක් වගේ. කලින් අතේ තියාගෙන මම මේ රස්සාව කළේ. ඒත් දැන් මට මේ ලොතරැයි කූඩුවක් තියෙනවා. දවසට ලොතරැයි පන්සීයයක් වගේ විකුණ ගන්නවා. ඊට අමතරව බුලත්විටත් විකුණනවා. අපිට කරදර නැතුවම නෙවෙයි. ඒත් මම සතුටෙන් ඉන්නේ. අපිට හීන නැහැ. එදා වේල හම්බකරගන්නවා. කාන්තා දිනයක් තියෙනවා කියලා රේඩියෝවෙන් ඇහෙනවා. ඒත් මම ඒ ගැන දන්නෙ නැහැ.

මේ කරන දේවල් විහිළුවක් - චන්දිමා  
මම මහනුවර ප්‍රදේශයේ ඉඳන් කොළඹට ආවේ රස්සාවක් කරන්න හිතාගෙන. ඒත් මං ලස්සනයි කියලා මාව නිරූපිකාවක් කරන්න කියලා පොරොන්දු වෙලා එතන සර් මං එක්ක යාළු වුණා. අන්තිමට මං එක එක මහත්තුරුන්ගේ ආශාවල් වෙනුවෙන් මගේ ආත්මය කැප කළා. හැබැයි ඒ මහත්තයා මාව නිළියක් කළා.

චිත්‍රපට කිහිපයකම රඟපෑවා. රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. ඉතින් මට නිළි ජීවිතය ගෙනියන්න අවශ්‍ය ගාන හදාගන්නේ ඒ සල්ලිවලින්. කාන්තා දිනය ගැන මම මොකද නොදන්නේ. රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙලා ඒ ගැන කියවනවා. ඒත් ඇත්ත ජීවිතේ කාන්තාවක් විදියට මගේ ජීවිගේ මේක. මට නම් කාන්තා දිනය කියලා  මේ කරන දේවල් විහිළුවක්.

[නදී මාණික්කගේ]

මාතෘකා