ආදරය අලුත් කරමුද?

 ඡායාරූපය:

ආදරය අලුත් කරමුද?

ජීවිතය ජීවත් කරවන්නේ ආදරයයි. ආදරයට සීමා මායිම් නැහැ. ඔබ යුවතියක් වුණත් බිරිඳක්, මවක් වුණත් ආදරේ කියන්නේ ඔබෙ හිතට විශේෂිත හැඟීමක්. බැඳීම් පවත්වාගෙන යන්න, සබඳතා සවිමත් කරගන්න ආදරය කියන හැඟීම පමණක්ම සෑහෙන්නේ නැහැ. ඔබට හිමි වී තිබෙන ආදරය හෝ හිමිකර ගන්නට පෙරුම් පුරන ආදරය හැමදාම ඔබේ හිත ළඟ තියාගන්න උදව් වෙන ආදරණීය කාරණා කිහිපයක් ගැනයි මේ සටහන.

ආදරයේ වටිනාකම හඳුනා ගන්න

ආදරය කියන්නේ හදවත්වල බැඳීමක් විතරක්ම නෙවෙයි. සමාජයීය සබඳතා මනාව පවත්වාගෙන යාමටත් උදව් වන සංවේදී හැඟීමක්. එම නිසා ආදරය සුළුකොට තකන්න එපා. හැම සබඳතාවකම ශක්තිමත් බව සහ ස්ථාවරත්වය සඳහා ආදරය අත්‍යවශ්‍ය බව අමතක නොකරන්න.

· ආදරය පරණ කරන්න එපා

ගොඩක් අය ආදරය ලබන්න කැමතියි. එහෙත් අනෙක් පුද්ගලයාට දීමට මසුරුයි. ඇතැමුන් විවාහයෙන් පස්සේ ආදරේ අඩුවුණා හෝ නැතිවුණා කියලා මැසිවිලි නඟන්නේ විවාහය හෝ පෙම් සබඳතාව පරණ වෙද්දි එකිනෙකාගේ වටිනාකම අගය කිරීමට අතපසු කරන නිසා හෝ අඩුවීම නිසයි. එම නිසා සබඳතාවය හෝ විවාහය පරණ වුණත් ආදරයට නම් පරණ වෙන්න දෙන්න එපා.

ආදරෙයි කියන්න මැලි වෙන්න එපා

මතකද ඔබට පෙම්වතාට, සැමියාට අන්තිම වතාවට ඔබ ආදරෙයි කියලා කියපු දවස. මෙයත් ආදරේ පරණ වෙද්දි හුඟක් දෙනෙක් අතින් වෙන වරදක්. ආදරය ප්‍රකාශ කරන එක මදිකමක් කියලා හිතන කෙනෙක්ට එයාගේ ආදරේ රැකගන්න තරමක් අමාරුයි. ඒ හින්දා ආදරේ හිතේ හංඟගෙන ඉන්නෙ නැතුව ඔබේ ආදරණීයයාට ඔබේ ආදරේ හදවතින්ම කියන්න පසුබට වෙන්න එපා.

· අගය කිරීමත් ආදරේ කොටසක්

ආදරේ කරන කාලේ ඔහු තරම් අගේ ඇති කෙනෙක් ඔබට හිටියේ නැහැ නේද? එහෙත් අද සැමියා, පෙම්වතා ගැන අගය කිරීමක් කරන්න ඔබට මතක් වෙන්නෙම නැති තරම් නේද? එසේ නම් තමාව අගය කරන වෙනත් හිතක් ළඟ ඔහුගේ හිත නතර නොවෙයි කියල ඔබට සහතික කරන්නත් අමාරුයි. ඒ නිසා ඔහුව අගය කරන්න, දිරිමත් කරන්න අමතක නොකරන්න. ඒ අගය කිරීම ඔබේ ආදරය අලුත් කරාවි.

ආදරය අලුත් කරන තිළිණ

ආදරේ ලබන්න අල්ලස් දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. එහෙත් ඉඳහිට හෝ ආදරණීය බිරිඳ, සැමියා වෙනුවෙන් ඔහු, ඇය කැමති පුංචි තෑග්ගක් හෝ පිරිනමන්න. තෑග්ගක වටිනාකම තියෙන්නේ මිල මත නම් නොවෙයි. තෑග්ගක් කියන්නෙ එය ලබන පුද්ගලයා ගැන අනිත් කෙනාගේ හිතේ තියෙන මතකය ගැන නිහඬ සාක්ෂියක්.

වෙනස්කම් එකතු කරන්න

හැමදාම එකම විදිහට ගෙවන විඩාබර ජීවිතයට හොඳම ඔසුව ආදරේ මිසක් වෙන කිසිවක් නෙවෙයි. ඔබේ ආදරණීයයා සමග මාස තුනකට, හයකට සැරයක් හෝ විනෝද ගමනක් යන්න. මාසයකට දවසක් පවුල එක්කම ගිහින් රාත්‍රී අවන්හලකින් ආහාර ගන්න. මුහුදු වෙරළට ගිහින් විනෝද වෙන්න. පන්සලට, පල්ලියට ගිහින් සැනසීමක් ලබන්න. එවැනි පුංචි දේවල් ඔබේ ආදරයට, බැඳීම්වලට නොහිතන තරම් අපූර්වත්වයක් එක්කරාවි.

ආදරය ඊළඟ පරපුරටත් තෑගි කරන්න.

විවාහක යුවළක් අතර තිබෙන ආදරය, බැඳීම තරම් නිර්මල වටිනා දෙයක් තවත් නැහැ. ඔබ ඔබේ දරුවන්ට දෙන හොඳම තෑග්ග වන්නේ ඔබේ ආදරයේ ආදර්ශය. ඔබේ ආදරණීය පවුල ඇතුලේ ඇතිදැඩි වන දරුවන් අනාගතයේදී නිරායාසයෙන්ම හොඳ පෞරුෂත්වයකින් යුතු මානව හිතවාදීන් බවට පත්වනවා. මාපියන් ලෙස ඔබ ලබන විසල්ම සතුට, සැනසීම එය නම් එම සැනසීම හිමිකරගන්නට හැමදාමත් ආදරෙන් ඉන්න.

සංස්කරණය [සුරේකා නිල්මිණී 

ප්‍රවීණ වෘත්තිය පුහුණු උපදේශිකා
 ගංගා නානායක්කාර

මාතෘකා