වැඩිපුරම කාන්තාවන් පෙළන ඔස්ටියෝ ආතරයිටිස්?

 ඡායාරූපය:

වැඩිපුරම කාන්තාවන් පෙළන ඔස්ටියෝ ආතරයිටිස්?

වාත අමාරුව, හන්දි රුදාව එහෙමත් නැතිනම් ආතරයිටිස් ලෙස හඳුන්වන්නේ දැඩි පීඩාකාරී රෝග තත්ත්වයකි. වර්තමානයේ බොහෝ දෙනකු අතර බහුල රෝග තත්ත්වයක් බවට පත්ව ඇති ආතරයිටිස් රෝගය පිළිබඳව අපි යක්කල රුවනාරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රියන්ති විජේවික්‍රම මහත්මිය සමග සාකච්ඡා කළෙමු.

ආතරයිටිස් යනුවෙන් හඳුන්වන්නේ කිනම් රෝග තත්ත්වයක්ද?

වාත අමාරුව, හන්දි රුදාව එසේත් නැත්නම් ආතරයිටීස් කියන්නේ බොහෝ දෙනකු අතර සුලබ රෝගයක්. ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහය ලෙස වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වන මෙම රෝග තත්ත්වය නිසා සන්ධිවල ඉදිමීම සහ දැඩි වේදනාවක් ඇතිවීම දැකිය හැකියි. එවැනි තත්ත්වයක් ඇතිවීමට මූලික හේතුව වන්නේ සන්ධිවල ඇති කටිලේජවලට හානි වීමයි.

ආතරයිටිස් වර්ග 200ක් පමණ මේ වන විට සොයාගෙන තිබෙන අතර එයින් බහුතරයකට ඇත්තේ ඔස්ටියෝ ආතරයිටිස් හෙවත් සන්ධි වාතයයි. ඊට අමතරව රූමටොයිඩ් ආතරයිටිස් හෙවත් ආම වාතය, සොරයිසිස් ආතරයිටිස්, ගවුට් ආතරයිටිස් ඇන්කයිලෝසිස් ස්පොන්ඩිලයිටිස් ආදී වශයෙන් ද ආතරයිටිස් වර්ග තිබෙනවා.

ඒ අතරින් බහුලව තිබෙන ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ගැන වැඩිපුර කතා කරනවා නම්?

මුලින් කී ආතරයිටිස් රෝග අතරින් බොහෝ දෙනෙකු පීඩා විඳින රෝගයක් ලෙස ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හැඳින්විය හැකියි. ආයුර්වේදයට අනුව සන්ධිගත වාතය ලෙස සහ බටහිර වෛද්‍ය ක්‍රමයේදී අස්ථි ප්‍රදාහය හෙවත් ඔස්ටියෝ ආතරයිටිස් ලෙස මෙය හඳුන්වනවා.

මෙම රෝග තත්ත්වයේදී සිදුවන්නේ සන්ධියකට අයත් අස්ථි දෙකේ අග්‍රවල ආවරණය කරන සන්ධාන කීකස හෙවත් කාටිලේජ සහ එම අස්ථි යන දෙපාර්ශ්වය පරිහානියට එහෙමත් නැතිනම් දිරායාමට ලක්වීමයි. එයින් ලසිකා පටලය ලෙස හඳුන්වන කොටස ඝන වෙන අතර අස්ථි කෙළවරේ දාරය අවට අස්ථිය තැනින් තැන වැඩීම නිසා අස්ථිමය ප්‍රසර (Osteo Phytes) හට ගන්නවා. පසුව ඒවා බුරුල් වී සන්ධි කුහරයට වැටී නොබැඳී දේහ මෙන් එහා මෙහා සෙලවීම නිසා සන්ධිය හිරවීමක් සිදුවිය හැකියි. එවිට ප්‍රවාරය ඝන වීම, සන්ධි අවකාශය පටුවීම, අස්ථි කුඩා කුහර සෑදීම ආදිය සිදුවන අතර ඒ හේතුවෙන් අස්ථිවල ඉදිමීම, ඇඩි වේදනාවක් සමඟ ඇවිදීමේ අපහසුතාවයන්ද ඇතිවිය හැකියි.

මෙම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු මොනවාද?

ඔස්ටියෝ ආතරයිටිස් බොහෝ විට මැදිවියේ සහ මහලු අයගේ සන්ධිවල ඇතිවනු දකින්නට පුළුවන්. ඒ වගේම මෙම රෝගයට කලින් සිදු වූ තුවාලයක් හෝ රුමටසියාභ ප්‍රදාහය තිබුණු හෝ ඇදයක් හේතුවිය හැකි අතර නිතර නිතර බර ඉසිලීම නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. දණහිස, වළලුකර හෝ උකුල් සන්ධිය ආදී ස්ථානවල මෙම ඔස්ටියෝ ආතරයිටිස් වැඩිපුර ඇතිවිය හැකියි. එසේම වැටීම්, තැළීම් ආදිය නිසා තෙරපුමකට ලක්වීම, ආසාදන, වයස්ගත වීම, පරිවෘත්තී විකෘතිතා, රුධිර නාල ආශ්‍රිත රෝග, හෝමෝන විකෘතිතා,මානසික ආතතිය සහ පාරම්පරික උරුමයක් ලෙස ද කෙනෙකුට මෙම රෝගය ඇතිවීමට ඉඩ තිබෙනවා.

මෙම රෝගයේ කැපී පෙනෙන රෝග ලක්ෂණ මොනවාද?

සන්ධි ස්ථාන ඉදිමීම, සන්ධිවල තද ගතිය, සන්ධි ස්ථානයේ ක්‍රියාකාරිත්වය සීමා වීම, ස්පර්ශ කරන විට වේදනාව ඇතිවීම, සන්ධි ආශ්‍රිත මාංශපේශී ක්ෂය වීම,එකම සන්ධි ස්ථානය ආශ්‍රිතව උණුසුම් බවක් දැනීම, සන්ධියෙන් කර කර ගා ශබ්දයක් ඇසීම, සන්ධියේ දියර ගතියක් දැනීම, ස්පර්ශ කරන විට ශබ්දයක් ඇසීම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ මූලික රෝග ලක්ෂණයි. ඒ වගේම රාත්‍රී කාලයේදී සහ සීතල පරිසරයේදී සන්ධියේ වේදනාව වැඩිවීම සිදුවිය හැකිය. නමුත් මෙම රෝග ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් විය හැකියි. එක්ස් - රේ කිරණ ඡායාරූපයක් මඟින් එම විකෘතිතා ඉතා හොඳින් දැකබලා ගත හැකියි. වේදනාව නිසාම සන්ධි ස්ථාන අක්‍රීයව දිගු කලක් තිබීමෙන් සන්ධිවල තද ගතිය ඇතිවෙනවා. ඒ වගේම බරපතළ තත්ත්වයන්හිදී සන්ධි ආශ්‍රිත කාටිලේජ සම්පූර්ණයෙන්ම ගෙවී යාම නිසා අස්ථි එකින් එක ඇතිල්ලීමෙන් ඉතා වේදනාකාරී තත්ත්වයක් මෙන්ම සන්ධි අක්‍රීයව සිටින විට වේදනාව මතුවීම හා චලන සීමා වීම ද සිදුවනවා.

මෙම රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද?

මෙම රෝගය පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළඳීමේ අවදානම වැඩියි. ඒ වගේම කාන්තාවන් අතරිනුත් වැඩිම අවදානම ඇත්තේ තරබාරු කාන්තාවන්ට බවත් සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ වගේම ඇතැම් කාලවලදී වේදනාවක් නොමැතිව තිබෙන අතර පසුව නැවතත් වේදනාව ඇතිවීම ද මෙම රෝගයේදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක්.

විශේෂයෙන් ශරීරයේ බර වැඩිවන විට සන්ධි ආශ්‍රිතව සිදුකරන ලද ශල්‍යකර්මවලින් පසුව මෙම රෝගය ඇතිවීමේ හැකියාව ද වැඩිවිය හැකියි. බර දරන ස්ථානවල ඇතිවන සන්ධිගත වාත රෝග තත්ත්වය නිසා කොර ගැසීම ද ඇතිවිය හැකියි. ඒ වගේම තවදුරටත් කාටිලේජ ගෙවීමක් වුවහොත් එය වඩා බරපතළ වීමටද ඉඩ තිබෙනවා. බෙල්ලේ කශේරුකා හා තුනටියේ කශේරුකා ආශ්‍රිතව ඇතිවන සන්ධිගත වාත තත්ත්වයේදී ගෙල හා තුනටිය වේදනාවට පත්වීම සිදුවෙනවා. එසේම අස්ථිවල වැරදි ලෙස කැල්සියම් තැන්පත් වීම නිසා අස්ථිමය වර්ධනය සිදුවන අතර ඒ නිසා ස්නායු පීඩනයට පත්වීමෙන් අධික වේදනා‍ව සහ එම ප්‍රදේශයේ හිරිය ඇතිවිය හැකියි. එවිට ඇඩි වේදනාවක් ඇතිවෙනවා.

මෙවැනි රෝගීන්ට හිතකර ආහාරපාන සහ පැවැත්ම කෙසේ විය යුතුද?

මෙම රෝගයට ගුණ ආහාරපාන ලෙස ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති එළවළු සහ පලතුරු, එනම් කැරට්, පිපිඤ්ඤා, ගස්ලබු, කොල්ලු, ලූනු, ඉගුරු,දෙළුම්, අලිගැටපේර, සෝයා ආදිය ආහාරයට ගැනීම ඉතා ගුණදායකය. මුංඇට, කඩල පරිප්පු, පතෝල, වැටකොළු, වට්ටක්කා, පළා වර්ග ආදිය මෙන්ම අලුත පිසූ ආහාර, කැඳ වර්ග, ධාන්‍ය වර්ග, ගිතෙල් ආදියද ගුණදායකයි. හීමොළු, උණුදිය භාවිතයට ගැනීම හිතකර වන අතර සිරුරේ බර අඩු කරගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම සන්ධි මාංශපේශි, අස්ථි ආදිය ශක්තිමත් කර ගැනීම සදහා වෛද්‍ය උපදෙස් මත අනුමත ව්‍යායාම සිදුකිරීමත් අවශ්‍ය වෙනවා. වේදනා දෙන සන්ධි ස්ථානයට විවේකය ද අත්‍යවශ්‍ය වන අතර පඩි නැගීම, කඳු නැගීම, බොහෝ දුර පයින් යාම ද නුසුදුසුයි. එසේම මෙවැනි රෝගීන් සීතල දේශගුණයට නිරාවරණය වීම, දරාගැනීමට නොහැකි අහිතකර ව්‍යායාම්වල යෙදීම, මළ, මුත්‍ර බර වැනි ස්වාභාවික වේග අසීරුවෙන් දරාගෙන සිටීම ද සුදුසු වන්නේ නැහැ. බණ්ඩක්කා, වම්බටු, මෑ කරල්, කොස්, ඇඹුල් කෙසෙල්, තක්කාලි, අච්චාරු, අන්නාසි, බල මාළු, ඉස්සෝ, දැල්ලෝ, කෙලවල්ලා වැනි අධි උෂ්ණ ආහාර ගැනීමද අහිතකරයි. සන්ධියේ ආරක්ෂාවට බන්ධනයක් පැළදීම, කොමඩ් සහිත වැසිකිළි භාවිතය, ටයිල් සහිත පොළවේ ඇවිදින විට ඉතා සැලකිලිමත්ව ඇවිදීම, නිවැරදි ඉරියව් භාවිතය, ඇවිදීමට පහසු වීමට සැරයටියක් වැනි උපකරණයක් භාවිත කිරීම, දුර ගමන් පයින් යාමෙන් වැළකී සිටීම,වාඩිවීමේදී සහ ගෙදරදොර වැඩ කිරීමේදී බිම වාඩි නොවී බංකුවක හෝ පුටුවක වාඩි වී වැඩ කිරීම, බර එසවීමෙන් වැළකී සිටීම ආදි උපදෙස් පිළිපැදීමෙන් රෝගය සුව කරගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය ප්‍රියන්ති විජේවික්‍රම

සංවාදය [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා