කොණ්ඩය යනවාට කුස්සියෙන්

 ඡායාරූපය:

කොණ්ඩය යනවාට කුස්සියෙන්

වරලස කියන්නේ කාන්තාවට අමතර ආභරණයක්. කාන්තාවන්ගේ හිත කණස්සල්ලට පත්කරන අනේකවිධ රූපලාවන්‍ය ගැටලු අතරින් වැඩිපුරම ප්‍රශ්න තියෙන්නෙ හිසකෙස් සම්බන්ධව කිවහොත් නිවැරදියි. හිසකෙස් සම්බන්ධ ගැටලුවලට ප්‍රතිකාර කරද්දි ඉවසීම අත්‍යවශ්‍ය වන්නේ අපි හිතන තරම් වේගයෙන් හිසකෙස් වර්ධනය සිදුනොවන නිසයි. අමතර මුදලක් වැය නොකර ගෙදර කුස්සියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක් අරගෙන හිසකෙස්වලට සත්කාරයක් කරගන්න පුළුවන් නම් කාන්තාවන් ඊට කැමති වනවා නිසැකයි. ලූනු කියන්නේ ඉක්මනින් හිසකෙස් වර්ධනයට උපකාර වන උත්තේජකයක්. පුරාණයේ සිට ලූනු යුෂ හිසකෙස් පැසීම, වැටීම සදහා ප්‍රතිකාරයක් ලෙස භාවිත කර තිබෙන බවත් දිදුලන නිරෝගී වරලසක් සදහා උපකාරී වන බවත් සඳහන් වනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු ලූනු හිස්කබල ආසාදනවලින් තොරව පවත්වාගෙන යාමට උපකාරී වන අතර හිස්කබල උත්තේජනය කරමින් රුධිර සංසරණය ඉහළ නංවා පෝෂණය කරන නිසා හිසකෙස්වල නිරෝගී බව සහ පෝෂණය ඇතිකරනවා. එතරම් ගුණදායක ලූනුවලට පහසුවෙන් සපයාගත හැකි තවත් අමුද්‍රව්‍ය දෙකක් පමණයි මෙම සත්කාරය සදහා අවශ්‍ය වන්නේ.

මෙම ලූනු සත්කාරය සදහා ලූනු ගෙඩි කිහිපයක්, කෝමාරිකා යුෂ ස්වල්පයක්, ඔලිව් තෙල් ස්වල්පයක් අවශ්‍ය වනවා. පළමුව ලූනු ගෙඩි කුඩා කැබලිවලට කපා වතුර ස්වල්පයක් මිශ්‍රකර යුෂ ලබාගන්න. එසේ සකස් කර ගත් ලූනු යුෂවලට කෝමාරිකා යුෂ සහ ඔලිව් තෙල් එක්කර හොදින් මිශ්‍රකර ගන්න. දැන් මෙම මිශ්‍රණය පිරිසිදු කපු පුළුන් ගුලියක් ආධාරයෙන් හිස්කබල මත හොදින් ආලේප කරන්න. හිසකෙස් මත ද හොඳින් තවරා ගන්න. ඉන්පසු විනාඩි කිහිපයක් ඇඟිලි තුඩුවලින් හිස්කබල හොඳින් සම්බාහනය කරගන්න. විනාඩි 15කට පමණ පසු පිරිසිදු ජලයෙන් හිසකෙස් සෝදන්න. මෙම සත්කාරයෙන් පසු හිසකෙස් සේදීමේදී සැර සබන් සහ ෂැම්පු වර්ග භාවිත කිරීමෙන් වළකින්න. මෘදු ෂැම්පු වර්ගයක් පමණක් හිසකෙස් සේදීම කරන්න. සතියකට දෙතුන් වරක් මෙම සත්කාරය සිදුකිරීමෙන් නිරෝගී දිදුලන වරලසක් ලබාගත හැකි අතර අකලට හිසකෙස් පැසීම සහ වැටීම පාලනය වනවා.

සංස්කරණය - [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා