අළු මතින් නැගී සිටින පානම ගැහැනු

 ඡායාරූපය:

අළු මතින් නැගී සිටින පානම ගැහැනු

පානම ගැහැනු සියල්ල අහිමි කොට පලවා හැරීමෙන් පසුව, පස් වසරක් තිස්සේ ඔවුහු යුක්තිය උදෙසා අරගල කළහ. ඔවුන්ට යක්තිය ඉටු වූ නමුත් එය තවමත් කඩදාසිවලය. එහෙත් ඔවුහු මහ පොළොවට බැස, එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට වෙර දරති. 'ස්වභාවික යුක්තිය' ඔවුන්ගේ පැත්තේ බව අමුතුවෙන් කිව යුතුද?

යුක්තිය ඉෂ්ට කර ගන්න අපි අප්‍රමාණ දුක් වින්දා, සටන් කළා. තව බලා ඉන්න බැරි තැන අපි අපේ ඉඩම්වලට බලෙන් ඇතුළු වුණා. දැන් අපි වගා කරනවා. හරි විදිහට අපිට අපේ ඉඩම් ලැබෙනකම් අපි මේ විදියට ජීවිතේට මුහුණ දෙනවා.” එසේ කියන්නේ පානම හෙවත් පානම්පත්තුවේ ගැහැනුන්ය.

යුද්ධයෙන් පසුව, 2012 වසරේ ජූලි මාසයේදී අනීතික නියෝගයක් මත ආරක්ෂක හමුදා විසින් ඔවුන්ගේ ඉඩම් එක රැයින් අත්පත් කර ගැනිණි. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ මෑතකාලීන බලවත්ම නිදර්ශනයයි. මෙසේ පැහැර ගැනුණේ, යුද සමයේ අප්‍රමාණ දුෂ්කරතා මැද දිවි ගෙවූ සිංහල ජනතාවගේ පාරම්පරික නිජබිම්ය.

රාගම්වෙල සුමනාවතී, තිලකාවතී, කුසුමාවතී හා යසවතී ඒ බිහිසුණු මොහොත මෙසේ සිහි කරති.

“යුද්දේ කාලේදි කොටින්ගෙන්වත් (එල්.ටී.ටී.ඊ. සංවිධානය) අපිට මේ වගේ අසාධාරණයක් සිද්ධවුණේ නැහැ. අපේම සිංහල ආණ්ඩුවෙන් තමයි අපිට ගහල, වෙඩි තියෙලා, අපේ ගෙවල් දොරවල් ඔක්කෝම ගිනිබත් කරලා, අපි හිටෝපුවා ඔක්කෝම ගලෝලා විසිකරලා, ගිනි තියලා මුළු ගමම විනාශ කරලා අපිව ගමෙන් පැන්නුවේ.”

ඒ බලහත්කාරය, ඔවුන්ට උන්හිටි තැන් මෙන්ම වගා කළ භූමිය, කළපුව, වැව් සහ මුහුදද අහිමි කළේය. එහෙත් ඔවුන්ගේ අධිෂ්ඨානයද අප්‍රතිහත ධෛර්යයද අහිමි කිරීමට කිසිවකුට හැකි වූයේ නැත. පැහැරගත් ඉඩම් ආපසු ලැබෙන තෙක්, භෝග වගාව මෙන්ම පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය තුළින් අනාගතය ජය ගන්නට ඔවුන් පියමං තබා ඇත.   

භෝග වගාව යළි ඇරඹීම

“එදා වවපු භෝගවලින් බාගයයි අද අපි වවලා තියෙන්නේ. අපේ ගම ආපහු ලැබුණහම එදා වගේ ම සරුවට වගාව කරනවා.” යැයි කුසුමාවති අධිෂ්ඨානශීලිව කීවේ වසර 05ක් පුරා තමන්ට මෙන්ම තම ගම්මුන්ට අහිමිවී තිබු භුමිය නිත්‍යානුකූලව යළි හිමිවිම  කඩිනම් විය යුතුය යන්න අවධාරණය කරමිනි.

එවකට, රාජ්‍ය බලපෑම් මත පහරදී පලවා හැරීමට පෙර, රාගම්වෙල ගමේ තමන් ජීවත් වූ පවුල් 36ක්, සිය ඉඩමේ සීමාව මෙතෙකැයි තක්සේරු කර ලණු වැටවල් වලින් සීමාවන් මායිම් කරගෙන  තාවකාලික නිවෙස් තනාගෙන ජීවත් වෙති. එක යායට පෙනෙන සුදෝ සුදු වැලි පොළොව මත තැන තැන කොල පාටට හිස එසවූ නොයෙක් නොයෙක් භෝග වර්ගයන්ගේ අංකුර මෙන්ම ළදරු වියේ පවතින ළා දළු පැළ දකින්නට ලැබීම පානම කාන්තාවන්ගේ ශක්තියට මැනවින් අලංකාරයක් එකතු කරන්නේය. එමෙන්ම එය සුබ දසුනක්ද වෙයි.

සිරුරු දවාලන්නට තරම් වු මහත් රස්නයකින් යුතුව දිවා කල මහ පොළොවට පතිත වන දැඩි හිරු රශ්මියද, රාත්‍රී කාලයේදී දැනෙන අධික ශීතලද, නිතර නිතර රාත්‍රී කාලයේදී සැරිසරන වල් අලින්ගෙන් එල්ලවන තර්ජනද සිය වගාවන් නිසි ලෙසට කරගන්නට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැතිකමද තාවකාලිකව පොල්අතු පැලවල් තනාගෙන ජීවත්වන පානම රාගම්වෙල මිනිසුන් මුහුණ දෙන දැඩි අභියෝග වෙයි.

අවශ්‍ය පමණට වැසි ජලය හෝ නළ ජලයත්, අලින්ගෙන් එල්ලවන තර්ජනය මගහැරවා ගැනීමට සක්‍රීය විදුලි වැටකුත්, සියලුම පවුල්වලට නොමැති වුවද පොදුවේ භාවිත කරන්නට හැකි වැසිකිළි කිහිපයක් රාගම්වෙල ගමේ තාවකාලික නිවස්නවල ජීවත්වන ගම්මුන්ගේ අවශ්‍යතාවන්ය.

කුමන බාධාවන් අපහසුතාවන් තිබුණද, තමන්ගේ ශක්තිය ඒ කිසිවකින් සිඳලිය නොහැකි බව විවියන් කුලනායක (58), එස්. ගුණවතී (65) මෙන්ම එස්. කුසුමාවතී (60) ප්‍රකාශ කරති. මොවුන්ගේ බිමවල රට කජු , කව්පි, මුං ඇට, බඩඉරිඟු මෙන්ම වෙනත් එළවළු වර්ග සහ මිරිස් වගාවන්ද සුළු වශයෙන් සිටුවා ඇත.

“පහුගිය වසරේදී මේ වගාවන් කරලා අදායමකුත් ලැබුණා.” යැයි අහිංසක සතුටු සිනහාවක් පාමින් 53 වියැති ඊ. තිලකාවතී පැවසුවාය. 61 වියැති සුදුනිලමේ පෙරේසන් කුමාරිද 55 වියැති සුදුබණ්ඩා යසවතීද ඊට තවත් ටිකක් එකතු කරමින් මෙසේ පැවසූහ. “තවම අපිට හරියාකාරව මේ ඉඩම් බේරලා දුන්නේ නැහැනේ. දුන්නානම් බලන්න ඕනේ අපේ වගාවේ අස්වැන්න කොහොමද කියලා. මොකද එතකොට මේ වගේ පොඩ්ඩක් නෙවෙයිනේ වවන්නේ.”  

‘හෝම්ස්ටේ’ සංචාරක ව්‍යාපාරය

“මම මේ ස්වයං රැකියාවේ නිරත වෙන්න හිතුවේ, ළමයි දෙන්නවත් බලාගෙන ගෙදරට වෙලාම මේ වැඩේ කරන්න පුළුවන් නිසයි. ඒ වගේම තමයි කවදාහරි දවසක අපේ ඉඩම් ලැබුණහම එහෙත් මේ ව්‍යාපාරය ආරම්භකරන්න පුළුවන්, ඒකට මේ අවස්ථාව හොඳ පෙරහුරුවක් වෙනවා.” පානම කේ. සුසන්තිකා ශ්‍රියානි පැවසුවාය.   

ඇය සමෘද්ධි බැංකුවෙන් සහ වෙනත් ණය ලබාදෙන ආයතනයකින් ණයක් ලබාගෙන තමන්ගේ නිවසේ එක් කාමරයක්ද නාන කාමරයක්ද මෙකී ‘හෝම්ස්ටේ’ සංචාරක ව්‍යාපාරයට ඔබින පරිද්දෙන් සකසා ගෙන පාරිසරික සංචාරක ව්‍යාපාරයට පිවිස සිටියි.

රාජ්‍ය ත්‍රස්තවාදය විසින් පැහැරගත්, වසර ගණනාවක් තමන් ජීවත් වූ පානම පාරම්පරික භූමිය නැවත ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරත වෙමින් සිටින ජනතාව ඒකරාශි කරන “පානම් පත්තුව සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ” කැඳවුම්කරු, සුසන්තිකා ශ්‍රියානි ගේ ස්වාමි පුරුෂයා පුංචිරාල සෝමසිරිය. සෝමසිරි, අරගලයට නායකත්වය දෙමින් ඉඩම් නැවත ලබාගැනීම සඳහා කාලය යොදන විට, සුසන්තිකා සිය පවුලේ පැවැත්ම වෙනුවෙන් සිය කාලයත් ශ්‍රමයත් යොදවන්නීය.

“එයාට වෙලාවක් නැහැ ගෙදර දේවල් බලන්න. අපේ පුතාලා දෙන්නම ස්කෝලේ යනවා. ඒ දෙන්නගේ අවශ්‍යතාවනුත් බලාගෙන, ගෙදර කටයුතු බලාගන්නේ මම තමයි. ඒ නිසා මේ හෝම්ස්ටේ ව්‍යාපාරය මට විශාල පහසුකමක් වගේම ශක්තියක්.” යැයි සුසන්තිකා ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කළාය.

ජී. එන්. ප්‍රියදර්ශිකා, බටහිර පානම, ‘පානම ග්‍රීන් හවුස්’ හි අධිපතිනියයි. මීට වසර දෙකකට පෙර ආරම්භ කළ එය වර්තමානයේදි කාමර දෙකකින් සමන්විත වන අතර මේ වසර තුළදි එය තවත් ව්‍යාප්ත කරන්නට සූදානමක් ඇති බවද ප්‍රියදර්ශිකා සතුටින් ප්‍රකාශ කළාය.

“ඇත්තටම අපිට ස්ථිර රැකියාවක් නැහැ. මගේ මහත්තයා පොඩි කඩයක් තමයි කරන්නේ. ඒකෙන් ලොකූ ආදායමක් ලැබෙන්නෙත් නැහැ. මේ ව්‍යාපාරය අපට ලොකු සහනයක්.” පානම බටහිර, ඉරේෂා අයේෂානි එසේ කීවේ වසර දෙකකට ආසන්න කාලයක් සිය නිවසේ පවත්වාගෙන යන හෝම්ස්ටේ සංචාරක ව්‍යාපාරය ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කරමිනි.

මඟපෙන්වීම

ලෝක කම්කරු සංවිධානය යටතේ, එකෝ වේව් නම් ආයතනයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ‘සංචාරක සත්කාරක නිවහන’ වැඩපිළිවෙළ ඔවුන්ට මේ කටයුතු සඳහා මඟ පෙන්වයි.
“අපිව දැනුවත් කරලා තියෙන්නේ මහා ලොකු ආහාර පිළියෙළ කරලා අනවශ්‍ය වියදම් ඇතිකර ගන්න නෙවෙයි. බොහොම සරළව, අපේ ප්‍රදේශයේම තියෙන ආහාර, රසවත්ව සකස්කරලා පිරිසිදුව ලබාදෙන්න කියලා තමයි අපිව දැනුවත් කරලා තියෙන්නේ.” ඉරේෂා පැවසුවාය.

“සංචාරකයින්ව පිළිගන්න ආකාරය, කෑම බීම පිළියෙළ කරන ආකාරය, කාමර සකස්කරන විධිය වගේම නිවස පිරිසිදුවට තබාගැනීම් යනාදිය ගැන අපිට මාස තුනක පුහුණුවක් ලබාදුන්නා. ඇත්තටම අපි මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ සතුටින්.” යැයි එවැනිම සංචාරක නිවහනක් පවත්වාගෙන යන එස්. තිලකා පැවසුවාය.

මහා ඛේදවාචකයකට ගොදුරු වූ පොළොවක, අළු මතින් දළු ලන බලාපොරොත්තු හැම අතම දක්නට ලැබිණි. ඔවුන්ගේ හිමිකම් නැවත තහවුරුකොට ඒ ඒ බලාපොරොත්තු අතු ඉති ලා වැඩෙන්නට පොහොර යෙදීම, ආණ්ඩුවේ වගකීමක් මෙන්ම මුළු මහත් සමාජයේම යුතුකමකි.

සටහන හා ඡායා [මෙලනි මානෙල් පෙරේරා]

මාතෘකා