නියම ගුරුවරයෙක් හැදෙන්නේ දුෂ්කර පාසලකින් : නිනී සෙනෙවිරත්න

 ඡායාරූපය:

නියම ගුරුවරයෙක් හැදෙන්නේ දුෂ්කර පාසලකින් : නිනී සෙනෙවිරත්න

මේ කතාව ගොඩනැගෙන්නෙ දරුවන්ට ගුරුහරුකම් දෙන අපූරු ජීවිතයක් ගැන..සහ අපි හිතනවට වඩා දුෂ්කරතා රාශියක් ඇති දරුවො ඉගෙන ගන්න පාසැලක ඒ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දුෂ්කරතා අවම කරන්න මහන්සි ගන්නා තවත් අපූරු ගුරුවරියක් ගැන.

එකපාරටම මතක් වෙන්නේ චිංගිස් අයිත්මාතව්ගේ ගුරු ගීතයේ දුයිෂෙන්, එහෙමත් නැතිනම් නාමල් ජයසිංහයන්ගේ “අප්පච්චි” ටෙලි නාට්‍යයේ “ලොකු දුව” ගෙ ගුරු චරිතය කරපු අපූරු කැපකිරීම...නැත්නම් “ හෝ ගාන පොකුණ” සිනමා නිර්මාණයේ ගුරුවරියගෙ අපූර්ව කැපකිරීම. තරුණ කෙල්ලෙකුට මේසා කැපකිරීමක් කරන්න පුළුවන්ද කියන දේ එක්ක, ගුරුවෘත්තිය කියන්නෙ අපි දකින දේට එහා ගිය උත්තුංග මානුෂීයත්වයක් කියලා දැනෙන්න ගත්තා. කලාවෙදි මෙවැනි චරිත බිහිකිරීම පහසු දෙයක් වුණාට, හැබෑ ජීවිතයෙ මෙවැනි චරිත දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. මේ එවැනි දුර්ලබ චරිතයක්, සැබෑ ජීවිතයෙදි අපට මුණගැහුණ.

ඇය සීමාවාසී ගුරු පුහුණුවට යන්නේ ඇඹිලිපිටියට ආසන්න පාසලක. ගෙදරින් එවන රුපියල් තුන්දහෙන් දෙදහස් පන්සීයක් බෝඩිමට ගෙවලා ඉතිරි පන්සීය ඉතිරිකරගෙන පයින් ඉස්කෝලෙට යනවා. කිලෝමීටර් හතරක් එන්නෙත් පයින්. බෝඩිමෙන් ලැබන බත් එකේ පොල්සම්බෝල තියෙන්නේ. එකොළහ වෙද්දී ඒ කෑම එක නරක් වෙනවා. හැමෝටම හොරෙන් ඒ බත් එක විසිකරන ඇය දවසම ගෙවන්නේ බඩගින්නේ මේක දැනගන්නවා ඒ පාසලේ උප විදුහල්පති ස්වාමින්වහන්සේ. උන්වහන්සේ එදා ඉඳලා හැමදාම දානේ කෑම එකක් ඇයට එවනවා. ඈට මේ බත් එක බෙදා ගන්න ඉරෝ කියලා උසස් පෙළ පංතියේ ගෑණු ළමයෙක් හිටියා. ඇගේ අම්මා නැහැ. ඔවුන් දෙදෙනාගේ පරතරය වැඩි වෙනසක් නැති නිසා යාළුවෝ වගේ හිටියේ. ඉරෝ ගොඩක් අසරණයි. තාත්තා ලෙඩ ගානේ. පොත් ගේන්න බෑග් එකක්වත් තිබුණේ නෑ .ඒත් ඉරෝට පිහිටවෙන්න ඇයට හයියක් තිබුණෙත් නැහැ. හයියක් තියෙද්දී ඈ ඉරෝ බලන්න ආවා. ඒත් ඉරෝ හිටියේ පෙට්ටියක. ඩෙංගු මාරයා ඇය අරන් ගිහින්. ගුරු ජීවිතේ ඇය වැඩිපුරම වැටුණු දවස එදා. ඒත් ඇය ඉරෝ වගේ දහසකුත් දරුවන් වෙනුවෙන් අද හීන අහුලනවා, ජීවිතය හොයනවා.   
 

නිනී කියන්නේ උප්පැන්නේ නමද?   
 නැහැ මං විශාකා මනනන්දනී සෙනවිරත්න. නිනී කියන නම ලැබෙන විදිහ ටිකක් වෙනස්. මම කියවපු නවල් එකක චරිතයක් නිනී. හැමෝම ඒ පොත කියවලා ඒ චරිතේ වෙනුවෙන් ඇඩුවා. මං හැමෝටම හිනාවුණා. ඒත් ඒ පොත කියෙව්වම ඒ හැමෝටම වඩා මං ඇඬුවා.  ඉතින් මට කාඩ් එක වැටුණා නිනී කියලා.   

ඇයි ගුරු වෘත්තිය තෝර ගත්තෙ? ඒකවැදගත් රස්සාවක් නිසා ද? එහෙමත් නැත්නම් නිදහස් නිසා ද?   
මං ගුරුවරයා කියන චරිතයෙන් එහාට යන්න ආසා වුණ කෙනෙක්. මං ආසා වුණේ මාධ්‍ය එක්ක වැඩකරන්න. ගුවන් විදුලි සංස්ථාවේ කටහඬ පරීක්ෂණයෙන් සමත්වෙලා කොළඹ එන්න වෙනවා. කොළඹ ඉන්න විදියක් නැතිව ඒ හීන නතරවෙනවා. පස්සේ විද්‍යා පීඨ යන්න ඇප්ලිකේෂන් දාද්දී හිතුවා මගේ හීන ඉවරයි කියලා.   

ගුරුවරියක් වෙලා කරන්න පුඵවන් දේ ගැන ඔබ තෘප්තිමත් නැද්ද?   
 තෘප්තිමත්. මුල් කාලේ දැනගෙන හිටියේ නැහැ ගුරු වෘත්තිය මෙහෙමයි කියලා. දැන් මගේ ජීවිතේ ඒක. ඇත්තටම වැඩ කරනව නම් ගුරුවරයෙකුට තරම් වෙලාව මදිවෙන්නේ නැහැ කාටවත්. මොකද ළමයෙක් හදන්න පැය 08න් බැහැ. ඒකට පැය 24කුත් මදි.   

අපි දකින ගුරුකමට එහා ගියපු මේ ජීවිතේ පටන් ගන්න ආරම්භය හැදෙන්නේ කොහොමද?   
 මගේ පළවෙනි පත්වීම, මගේ ජීවිතේ වෙනස් කළ තැන එතන. ඒත් මට එතැනින් එන්න වෙනවා. ඒ ගැටලු ටිකක් ආව නිසා. හැබැයි එද්දි මම ගොඩක් දේවල් කරලා ආවේ ළමයින්ට. මං දැන් වැඩකරන්නේ බදුල්ලේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුකුදේ සාරිපුත්ත විද්‍යාලයෙ. මේ පාසල් දෙකේම දරුවෝ හරි අහිංසක අසරණ ළමයි. ඉතින් පැය අටක සේවා කාලයකින් නවතින්න හිත හදාගන්න මට බැරිවුනා.

ගුරුවරයෙකුට ලැබෙන දුෂ්කර     පත්වීම අවසාන වුණාම තමන්ට පහසු සේවා ස්ථානයකට යන්න පුඵුවන්. මුලු කාලේම දුෂ්කර ජීවිතේ ඉන්න වුණොත්?   
 මං දෙවරක් හිතන්නේ නැහැ. මං කැමති ජීවිත කාලෙම එහෙම ඉන්න. මොකද දරුවන්ට යමක් කරලා ලබන සතුට ජීවිතේ වෙන කිසිම දේකින් ලබන්න මට දැන් බැහැ.  
 

ගුරු වෘත්තිය කියන්නේ ආත්ම ගොඩදාන වැඩක්. ඔබ උගන්වද්දී පරිස්සම්ද?   
 මගේ උපරිමයෙන් මම පරිස්සම්. ගුරුවරු විදිහට මුලින් ම අපි දරුවන්ගේ සිත් තේරුම් ගන්න ඕන. දරුවන්ගේ හැඟීම්වලට ඉඩදෙන්න ඕන. වැරදි පාරේ යන එක නවත්වන්න ඕන. දැන් අවුරුදු කීපයකට කලින් පිරිමි ළමයෙක් පාසලට ජංගම දුරකථනයක් ගෙනත් තිබුණා. මං ඒක දැකලා ඒ ළමයට කතා කරලා දුරකථනය පරීක්ෂා කරද්දී ඒ පංතියෙම ගෑනු ළමයෙක් එක්ක අසංවර විදියට හැසිරෙන ඡායාරූප කිහිපයක් දැක්කා. මං ඒ දෙන්නම ගෙන්නලා හොඳට අවවාද කළා. හැබැයි වෙන කාටවත් මං ඒක කිවුවේ නැහැ. ඒ ළමයින්ගේ ජීවිතේ අදටත් සුරක්ෂිතව තියෙනවා.

21 වන ශත වර්ෂයේ ජීවත්වන දරුවා ඔබ හඳුනාගන්නේ කොහොමද?   
දරුවෝ තාක්ෂණයත් එක්ක තමයි වැඩිපුර ඉන්නේ. ඒක හොඳ හෝ නරක කියලා වෙන්කරන්න බැහැ. භාවිතය එක්ක හැමදේම තිරණය වෙන්නේ. අපි දරුවෝ හඳුනගන්නනම් දරුවෝ එක්ක ඉන්න ඕනි. මොකද දරුවෝ ආදරේ බලාපොරොත්තු වෙනවා. දෙමාපියෝ උදේ වැඩට ගිහින් හවස එද්දි දරුවෝ තනිවෙලා. පාලූව කාන්සිය මකාගන්න ඔවුන් නරක දේකට පෙල‍ෙඔන එක වලක්වන්න අපට පුලූවන් වෙන්න ඕන.   

ඔබ කරපු සමාජ සත්කාර මතක් කළොත් ?   
 මුලින්ම දරුවන්ට මේස් කුට්ටමක් දෙනවා. එතැනදි මම ළමයට තමන් අසරණයි කියලා පෙන්වන්නේ නැහැ. මං මේක කළේ මගේ යාළුවෝ එක්ක. මගේ පඩියට අමතරව අම්මයි තාත්තයි මායි කරන කෑම කඩයක් තියෙනවා. ඒ ලාභයෙන් කොටසකුත් මේකට වෙන්කරනවා. පොඩියට අපේ පාසලෙන් මම මේක ආරම්භ කළාට පස්සේ මම ඉගෙනගත්තු පෙරහෙට්ටිය ප්‍රාථමික විද්‍යාලයට සහ වෙල්ලේවල පාසල් ළමයි 400 කට සපත්තු කුට්ටම්, පොත් පාර්සල්, බෑග් වගේම හැම ළමයෙකුටම කෑම එකක් දෙනවා. පොහොසත් දුප්පත් භේදයක් නැතිව අපි හැමෝටම තෑගි දෙනවා.මොකද හැමෝම ළමයිනේ. ඉතිරි තෑගි බිබිලේ ඉස්කෝලෙකට බෙදා දුන්නා. ඒ වගේම ආබාධිත දරුවෙක් වෙනුවෙන් ගෙයක් හදලා දුන්නා. පාසලේ වතුර ටැංකිය හදලා දුන්නා. සමස්ත ලංකා යන දරුවන්ට පෝෂණය, සපත්තු හැමදේකම වියදම දැරුවා. හැබැයි මේ කිසිම දෙයක් මම තනියම කළේ නැහැ. මම ෆේස්බුක් එකේ මගේ යාළුවන්ට මේක දැනුම් දුන්නම නිර්ලෝභීව මෙයට ආධාර දුන්නු බොහෝ පිරිසක් හිටියා. ඒ හැමෝටම බොහොම පින්. ඒක දැකලා අඬපු මිනිස්සු හිටියා.

මාතෘකා